Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ස්මාර්ට් දුරකතනවල කැමරා එකකට වඩා තිබෙන්නේ ඇයි?

ඔබ කැමරාවක් මිල දී ගන්නට ගියා නම්, කඩසාප්පුවල 24mm හෝ 35mm වැනි අගයයන් කාච වර්ග කිරීමට යොදා ඇති ආකාරය දකින්නට ලැබෙන්න ඇති. ඉන් ඡායාරූප ප්‍රතිදානය වර්ග කර දැක්වීම ද සිදු වෙනවා. මෙම අගයයන්ගෙන් අදහස් වෙන්නේ කාචයේ නාභි දුර යි. එනම්, කැමරාවේ කාචය සහ ඡායාරූප සංවේදකය අතර ඇති දුර යි. සරලව කිව්වොත්, Lens එකේ නාභි දුරෙන් දේවල් දෙකක් අදහස් වෙනවා. ඒ, දර්ශනයකින් කොපමණ කොටසක් එය ඡායාරූපයට නඟනවා ද, සහ ඔබ දකින කොටස කෙතරම් එයට ලං කර (magnify) දක්වන්නට හැකිය යන්න යි.

නාභි දුර කෙටි කාචයක් සහිත කැමරාවකට පුළුල් පරාසයක ඡායාරූප ගන්නට පුළුවන්. ඒ වගේම, දිගු නාභි දුරක් ඇති විට ඈත තිබෙන දෙයක් පවා සුපැහැදිලිව ඡායාරූපයට හසුකරගන්නට පුළුවන්. DSLR කැමරා සඳහා සාමාන්‍යයෙන් තිබෙන්නේ පරාසයන් සහිත නාභි දුර අගයනුයි. (උදා: 18mm-55mm)

Telephoto කාච

පිටතින් සවිකළ හැකි කාච ද තිබෙනවා (dhgate.com)

කැමරාවකට දුර ඇති වස්තුවක් දකින්නට ක්‍රම දෙකක් තිබෙනවා. බොහෝ ස්මාර්ට් දුරකතන digital zoom හෙවත් මෘදුකාංගය මඟින් ඡායාරූපය Crop කර තිරය මතට ගෙන ඒම පාවිච්චි කරනවා. එහිදී සම්පූර්ණ resolution එකෙන්ම කොටසක් විශාලනය කරනු ලබනවා. එවිට detail නැතිව යාම නිසා දුර ඇති දේවල් බොඳවූ හෝ අපැහැදිලි ලෙස යි කැමරාවේ සටහන් වන්නේ.

DSLR වැනි කැමරාවලට optical zoom පාවිච්චි කරන්නට අවස්ථාව තිබෙනවා. මේ සඳහා පාවිච්චි කරන්නේ telephoto කාච යි. ඒවායෙන් ඡායාරූපයේ නාභි දුර වැඩි කරනු ලබන නිසා ඡායාරූපයේ ගුණාත්මකභාවයට හානියක් සිදු නොකර zoom කරන්නට හැකියාව ලැබෙනවා. නමුත් ස්මාර්ට් දුරකතනවලට ඒවායේ පාවිච්චි කරන Telephoto කාචයන්ම පාවිච්චි කරන්නට හැකියාවක් නැහැ.

දැන් තිබෙන බොහෝ දුරකතනවල දෙවැනි කැමරාවක් දකින්නට ලැබෙනවා. එහි වැඩි නාභි දුරක් තිබෙන අතර iPhone X වැනි දුරකතනයකින් ඡායාරූපයක් ගනිද්දී දෙගුණයක Optical zoom විශේෂාංගය සිදු කරන්නේ ප්‍රධාන කැමරාව වෙනුවට දෙවැන්නට මාරුවී එමඟින් quality එකට හානි නොවූ ඡායාරූප ප්‍රතිදානයක් ගෙන ඒම යි.

Google Pixel 3 දුරකතනයේ නම් ඇත්තේ තනි කැමරාවක් පමණ යි. නමුත් එහි මෘදුකාංගයට දෙවන කැමරාවක ජවයම තිබෙන නිසා Zoom කරද්දී සිදුවන detail හානිවීම් ඌණපූරණය කරන්නට එයට හැකියාව ලැබෙනවා. නමුත් optical zoomවලට සමාන කළ හැකි ගුණාත්මක බවක් දෙන්නේ නැහැ. Mega Pixel අගය 48ක් වැනි විශාල අගයයන් සහිත දුරකතන සිදු කරන්නේ ඡායාරූපයේ පික්සල ප්‍රමාණය වැඩි කරමින් zoom කරද්දී සිදුවන හානිවීම් පියවා ගන්නට උත්සාහ කිරීම යි.

Wide-Angle කාච

වම්පස සාමාන්‍ය ඡායාරූප සහ දකුණුපස WideAngle ඡායාරූප (alicdn.com)

තනි වස්තුවක ඡායාරූපයක් ගන්නවා වෙනුවට නගරයක් වැනි පුළුල් ස්ථානයක්, Group Photo එකක් වැනි වැඩි පිරිසක් ඡායාරූපයට සටහන් කරගත යුතු අවස්ථාවක දී අපි යොදාගත යුතුවන්නේ නාභි දුර බොහොම අඩු කාචයක්. මේවාට Wide-angle කාච යැයි කියනවා.

ඡායාරූපයක කොටසක් විශාලනය කරන්නට ස්මාර්ට් දුරකතනවලට මෘදුකාංග හරහා Zoom කිරීමේ හැකියාව තිබුණ ද Wide angle ඡායාරූපයක් ගන්නට නම් එයට කිසිම හැකියාවක් නැහැ. එයට කාචයක සහාය අත්‍යාවශ්‍ය යි. මේ නිසා ඇතැම් දුරකතනවල Wide-angle කාචයක් ද සහිත කැමරා ඇසක් අඩංගු කරනවා. මෑත කාලීනව Selfie කැමරාවට පවා මෙම කාච අඩංගු වනු දකින්නට ලැබෙනවා.

ගැඹුර හඳුනාගැනීමේ සංවේදක

iPhone 7 දුරකතනයකින් Portrait ඡායාරූපයක් ගනිමින් (imore.com)

මිනිසාට ත්‍රිමාණ දෘෂ්ඨියක් ලැබුණේ ඇස් දෙකක් තිබෙන නිසායි. එක් ඇසක් වසාගත් විට අත් දෙකේ ඇඟිලි දෙකක් එකිනෙක ළං කර ඇඟිලි තුඩු ස්පර්ශ කිරීම අපහසු බව ඔබ අත්විඳ ඇති. ඒ, දුර පිළිබඳව නිසි සංවේදනයක් නොලැබෙන නිසා යි. ඒ වගේම, තනි ඇසක් වසාගත්තාම දෙයක් ඇත්තේ ඈතින් බව අපිට නොතේරී යන්නේ නැහැ.  මොළය නිසා එවන් අවබෝධයකුත් ලැබෙනවා. ඉතින් දුරකතනයකට මෙය ආදේශ කර බැලු‍වොත්, දුර ඇති දෙයක් තනි කැමරාවකින් හඳුනා ගැනීම Pixel වැනි දුරකතනවලට හැකි වුණේ, හරියට අපි මොළය පාවිච්චි කළා වගේ; එහි මෘදුකාංගය නිසා යි. නමුත් එය වඩාත් සාර්ථක කරගන්නට බොහෝ දුරකතනවල ගැඹුර හඳුනාගැනීමේ සංවේදකයක් හෙවත් Depth sensor එකක් අඩංගු වෙනවා.

මෙමඟින් සිදුකරන්නේ කැමරාව මානන ලද වස්තුව සහ එහි පසුබිම අතර ඇති දුර/වෙනස අවබෝධ කරගෙන, Portrait ඡායාරූප ගනිද්දී පසුබිම බොඳකිරීම යි. මෙය Edge detection හෙවත් දාරය හඳුනාගැනීම ලෙස හඳුන්වනවා. 2018 වසරේ ආ බොහොමයක් දුරකතනවල දෙවැනි කැමරාවක් ලෙස තිබුණේ මෙය යි. මිල අඩු ඒවායේ ප්‍රධාන කැමරාවට සාපේක්ෂව අඩු මෙගාපික්සල් ගණනක් සහිතව මෙම කැමරාව අඩංගු කෙරුණා. OnePlus 6T දුරකතනය නම් ද්විතීයක 20MP කැමරාවෙන් ම මේ කටයුත්ත සිදුකර ගැණුනා.

Monochrome කාච

Huawei P10 දුරකතනයකින් ගත් ඡායාරූපයක් (photobyrichard.com)

වර්ණ නොදකින මොනොක්‍රෝම් කාච කළු සුදු ඡායාරූපකරණය ස්මාර්ට් දුරකතනවලට ගෙන ආවා. Huawei Mate 10, P20 වැනි දුරකතනවල දකින්නට ලැබුණු මෙය මෘදුකාංගවලින් බහුලව සිදුකෙරෙන කටයුත්තක්. අතීත ඡායාරූපවල හැඟීම සහ ඊටත් වඩා ඡායාරූපමය වශයෙන් අවස්ථාවකට විශේෂ රසයක් අඩංගු කළ හැකි කළු-සුදු ඡායාරූපකරණය මේ හරහා වටිනාකම් ලැබුවා. මෘදුකාංගයකින් සිදුකරනවාට වඩා වැඩි සාර්ථකත්වයක් මෙම කාචවල ප්‍රතිදානයන් ලෙස ලැබුණා. වැඩි Contrast එකක් තිබීම, හෙවනැලි වැඩි කළු පැහැයක් ගැනීම සහ දීප්තිමත් ප්‍රදේශ වඩාත් හොඳින් පැහැදිලි වීම නිසාම මෙය සත්‍ය කළුසුදු (True Black and White) ලෙසයි හඳුන්වන්නේ.

Sony Xperia XZ2 Premium, Moto Z2 Force වැනි දුරකතනවල ද මෙම කාච දකින්නට ලැබුණත් බොහෝ සමාගම් මේ වෙනුවෙන් තම අවධානය යොමු කරන බවක් පෙනෙන්නට නැහැ. මන්ද, කළුසුදු ඡායාරූපයක් ගැනීමට හැමවිටම අවශ්‍ය වන්නේ නැහැ.

කාච දෙකකටත් වැඩි දුරකතන

කැමරා 5ක් සහිත Nokia දුරකතනයක් (aolcdn.com)

අප ඉහත සඳහන් කළ කාචයක් සමග ප්‍රධාන කැමරාව අඩංගු කිරීම 2018 වසර පුරා දකින්නට ලැබුණු අතර 2018 අගභාගයේ දී ආ Samsung Galaxy A9 දුරකතනයේ කැමරා 4ක් තිබුණා. ඒ, ප්‍රධාන කැමරාව, ටෙලිෆොටෝ කාචය, ‍ගැඹුර හඳුනාගැනීමේ සංවේදකය මෙන්ම Wide-Angle කාචය ද සහිතව යි.

මෑතකදී ආ Huawei Honor View 20 වැනි දුරකතන කැමරා 4ක් පමණ යොදනු ලැබුවා. එහි time-of-flight නමැති කාචයක් අඩංගු කර තිබූ අතර ඉන් සිදුවූයේ ආලෝකයේ වේගය අනුව වස්තුවකට ඇති දුර තීරණය කිරීමයි. අ‍ාලෝකය වස්තුවේ සිට කාචයට පැමිණීමට ගතවන කාලය හඳුනා ගැනීමට ද ඊට හැකියාව තිබෙනවා.

මේ ආකාරයට දැන් අලුතෙන් එන දුරකතනවල ක්‍රම ක්‍රමයෙන් කැමරා සංඛ්‍යාව වැඩිවෙමින් පවතිනවා. විහිළුවට සකසන ලද ඡායාරූප (memes) වල ඇතැම් දුරකතනවල පසුපස වැසෙන්නටම කැමරා යොදා තිබෙනු දකින්නට ලැබුණා. ඔබ හිතන්නේ ඒ වගේ මේ ක්‍රියාව දිගටම සිදුවෙමින් යාවි ද?

කවරය: digitaltrends.com

Related Articles