ලෝකයේ විකිරණශීලී ද්‍රව්‍යවලින් දූෂිතම තැන් 6ක්

විකිරණශීලීත්වය කියන්නේ ඇසූ පමණින් බොහෝ දෙනෙක් බය වෙන දෙයක්. අපිව ලෙඩ කිරීමෙන් නොනැවතී, අපේ DNA පවා විකෘති කරලා පරම්පරා ගාණක් යන තුරු අපේ දරු මුණුබුරන්ට ජානමය රෝග ඇති කරවන්න එයට හැකියාව තිබෙනවා. මේ නිසා විකිරණශීලී අපද්‍රව්‍ය බැහැර කිරීම මේ වන විට දැඩි රෙගුලාසි යටතේ පමණක් සිදු කළ යුතු දෙයක්.

කොහොම වුණත් විවිධ හේතු මත මේ විදිහට විකිරණශීලී ද්‍රව්‍ය එක්රැස් වීම නිසා ලෝකය පුරා ප්‍රදේශ විශාල ගණනක් අතිශයින් ම දූෂිත ව පවතිනවා. මේ එයින් වඩාත් ම දූෂිත ස්ථාන හයක් ගැන යි.

6. සෙලාෆීල්ඩ් – මහා බ්‍රිතාන්‍යය

newscientist.com

එංගලන්තයේ සෙලාෆීල්ඩ්හි තිබෙන පැරණි ප්ලූටෝනියම් නිෂ්පාදනාගාරය අතීතයේ න්‍යෂ්ටික බෝම්බ හදන්න යොදා ගත් ස්ථානයක්. ඉස්සර ඉඳන් ම නිසි ක්‍රම අනුගමනය නොකිරීම නිසා විකිරණශීලී ද්‍රව්‍ය මුදා හැරෙන අනතුරු සිය ගණක් මෙහි සිදු වී තිබෙනවා. මෙහි ගොඩනැගිලි වැඩි ප්‍රමාණයක් විකිරණශීලීබවින් ඉහළ නිසා ම, ඒවා නිල වශයෙන් විකිරණශීලී අපද්‍රව්‍ය ලෙස යි වර්ගීකරණය කෙරෙන්නේ. කාලයක් තිස්සේ දිනකට විකිරණශීලී අපද්‍රව්‍ය ඝණ මීටර් 8000ක් පමණ මෙයින් මුහුදට මුදා හැරෙන නිසා ම අසල ඇති අයර්ලන්ත මුහුද අද ලෝකයේ වඩාත් ම විකිරණශීලී සාගරය බවට පත් ව තිබෙනවා.

5. සයිබීරියානු රසායනික අපද්‍රව්‍ය එකරැස

thelivingmoon.com

ලොව දෙවන න්‍යෂ්ටික බලවතා වූ සෝවියට් රුසියාව බොහෝ විට තමන්ගේ න්‍යෂ්ටික කටයුතුවල දී ප්‍රවේශමෙන් කටයුතු කළේ නැහැ. වසර 40ක් පමණ තිස්සේ කාලයක් ඔවුන් තම න්‍යෂ්ටික අපද්‍රව්‍ය කෙළින් ම සයිබීරියාවේ ජනාවාස නොමැති ප්‍රදේශයකට මුදා හැරියා. අද වන විට මෙට්‍රික් ටොන් 120,000කට අධික දියරමය න්‍යෂ්ටික අපද්‍රව්‍ය ප්‍රමාණයක් මේ ප්‍රදේශයේ තිබෙන විවෘත තටාකවල තිබෙනවා. නිසි බඳුන් නොමැති ව පොළොව යට ගබඩා කර තිබෙන ඝණ න්‍යෂ්ටික අපද්‍රව්‍යවලිනුත් විශාල ප්‍රමාණයක් භූගත ජලයට මිශ්‍ර වෙමින් පවතිනවා. තනිකර ම හිමෙන් වැසී තිබෙන මේ ප්‍රදේශය දුටුවන ම දූෂිත බවක් නොපෙනුණත්, එහි කෙටි කාලයක් ගත කිරීමෙන් පවා භයානක ලෙස විකිරණශීලීත්වයට බඳුන් විය හැකියි.

4. පොලිගන් – කසාක්ස්ථානය

තැඹිලි පාටින් දැක්වෙන්නේ අදාළ ප්‍රදේශය යි (Wikipedia.org)

ලොව විශාලතම රට වූ සෝවියට් රුසියාව න්‍යෂ්ටික බෝම්බ අත්හදා බැලීම්වලට යොදා ගත් ස්ථානය හඳුන්වන්නේ පොලිගන් නමින්. කසාක්ස්ථානයේ පිහිටි මේ ප්‍රදේශය සම්පූර්ණයෙන් ම ජනශුන්‍ය ලෙස ලකුණු කෙරුණත්, ඇත්තෙන් ම එයට ආසන්නයේ ලක්ෂ 6කට අධික විශාල පිරිසක් ජීවත් වී තිබෙනවා. 1949 දී තම මුල්ම පරමාණු බෝම්බය නිර්මාණය කිරීමත් එක්ක 1989 දක්වා න්‍යෂ්ටික පිපිරීම් 456ක් මේ ප්‍රදේශයේ සිදුකර තිබෙනවා. ලොව වැඩි ම න්‍යෂ්ටික පිපිරුම් ගණනක් සිදු කළ ස්ථානය ලෙසත් මෙය වාර්තාගත යි. 1991 සෝවියට් සමූහාණ්ඩුවේ බිඳ වැටීම දක්වා මේ ස්ථානය රහසක් ලෙස තියා ගන්න ඔවුන් කටයුතු කළා. මේ ප්‍රදේශය අවට සිටින 200,000ක පමණ පිරිසක් විවිධ විකිරණ ආශ්‍රිත රෝගවලට ලක් වී තිබෙනවා.

3. මයිලූ සූ – කිර්ගිස්තානය

iaea.org

කිර්ගිස්තානයේ ඇති මයිලූ සූ (mailuu suu) දූෂිත කලාපයේ විශේෂත්වය වන්නේ එය අපද්‍රව්‍ය බැහැර කිරීමක් හෝ න්‍යෂ්ටික පිපිරුම් නිසා නොව යුරේනියම් නිධියක් නිසා දූෂිත ව තිබීම යි. න්‍යෂ්ටික කටයුතු සඳහා අවශ්‍ය යුරේනියම් මහා ප්‍රමාණයෙන් කැණීම් සිදුකරන ලද ප්‍රදේශයක් වන මෙහි යුරේනියම් සැකසුම් කිරීමේ විවිධ තාක්ෂණික දුර්වලතා නිසා විකිරණශීලී යුරේනියම් ශේෂයන් ඝණ මීටර් මිලියන 2කට ආසන්න ප්‍රමාණයක් ප්‍රදේශය පුරා ම විසිරී තිබෙනවා. මේ ප්‍රදේශය නිතර භූ කම්පනයන්ට ලක් වන නිසා ඒ සෑම අවස්ථාවක දී ම විකිරණශීලීත්වය වේගයෙන් පරිසරයට මුදා හැරෙන්නේ එයට තරමක් ඈතින් ජීවත් වන පිරිසට භූ කම්පනවලට අමතර ව තවත් හිසරදයක් වෙමින්. වැසි ජලයට සේදී යාම නිසා මෙහි අවට ප්‍රදේශවල ජල මූලාශ්‍ර පවා දැඩි ලෙස විකිර්ණශීලීත්වයෙන් දූෂිත ව තිබෙනවා.

2. චර්නොබිල් බලාගාරයේ 4 වන ප්‍රතික්‍රීයකය – යුක්රේනය

boston.com

ලොව විශාලතම න්‍යෂ්ටික අනතුර සිදු වූ චර්නොබිල් බලාගාරයේ 4 වන න්‍යෂ්ටික ප්‍රතික්‍රීයකය අදටත් අතිශයින් ම හානිකර විකිරණශීලීත්වයෙන් යුතු යි. මේ අනතුර නිසා හිරෝෂිමා, නාගසාකි බෝම්බ මෙන් සිය ගුණයකට වැඩි විකිරණශීලීත්වයක් පරිසරයට මුදා හැරුණා. ලක්ෂ 60ක පමණ පිරිසක් මේ විකිරණවලට ලක් වුණා වගේ ම අදටත් ඊට ආසන්න බෙලාරුස් රාජ්‍යයේ ජනතාව අතර ඉහළ පිළිකා ඇති වීමේ සම්භාවිතාවක් පවතිනවා. චර්නොබිල් නගර ප්‍රදේශයට කෙටි කාලයක් තුළ සංචාරය කර පැමිණෙන්න අද හැකියාව තිබුණත්, 4 වැනි ප්‍රතික්‍රීයකය ඇති ස්ථානයට විශේෂ ඇඳුම් නැති ව යාම පැයකට අඩු කාලයක දී මරණය ගෙන දෙන්න හේතු වෙන්න පුළුවන්.

1. ෆුකුෂිමා ඩයිචි බලාගාරය – ජපානය

japantimes.jp

2011 භූමි කම්පාව සහ සුනාමිය නිසා බැට කෑ ජපානයට තවත් පීඩාවක් එක් කරමින් ෆුකුෂිමා ඩයිචි බලාගාරයේ ප්‍රතික්‍රීයක හයෙන් තුනක් බිඳ වැටී විකිරණශීලීත්වය පරිසරයට නිකුත් වෙන්න ගත්තා. අවට පරිසරයට වගේ ම එයට ආසන්නයේ ම තිබෙන මුහුදටත් විකිරණශීලතාවය මුසු වුණා. අද වන විට ලොව පරිසරයට විවෘත ව පවතින වඩාත් ම විකිරණශීලී ප්‍රදේශය ලෙස ෆුකුෂිමා ඩයිචි බලාගාරය හැඳින්වෙනවා. මේ ප්‍රදේශයේ ඇති විකිරණශීලීතාව කොතෙක් ද කීවොත්, එහි ප්‍රතික්‍රීයක ආසන්නයට ආරක්ෂක ඇඳුම් නැති ව යාමට උත්සාහ ගත්තොත් විනාඩි කිහිපයක් තුළ මරණය සිදුවෙන්න පුළුවන්.

 

කවරයේ රූපය : Roar Media

Related Articles

Exit mobile version