ලෝකයේ තාක්ෂණික දියුණුවත් එක්ක හැමදෙයක්ම පරිගණක ගතවෙන්නේ නව තාක්ෂණයේ පහසුවෙන් සහ වේගවත් බවෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීමේ අරමුණෙන්. කොහොම නමුත් ඒ පහසුව, වේගවත් බවත් එක්කම එන ආරක්ෂාව පිළිබඳ ගැටලුව ගැනත් සැලකිලිමත් වීම ඉතාම අවශ්‍ය යි. භෞතිකව මහා පරිමාණයෙන් එහා මෙහා ගෙන යන්න ඉතා අපහසු මුදල් වගේ වටිනා දේවල් ඉලෙක්ට්‍රොනිකව හුවමාරු කිරීම මොන තරම් පහසු වුණත් එහි දී නිසි ආරක්ෂක ක්‍රම සැලසුවේ නැතිනම් ඒ තරම්ම පහසුවෙන් අනවශ්‍ය අයෙක් අතට ඒ මුදල් පත්වීමේත් ලොකු අවදානමක් තිබෙනවා.
පසුගිය දා ඇමෙරිකාවේ ෆෙඩරල් විමර්ශන බියුරෝව හෙවත් FBI එක ලෝකය පුරාම තිබෙන බැංකුවලට විශේෂ නිවේදනයක් යවමින් නුදුරේ දී ම හැකර්ලාගේ අතට පත්වීමට ඉඩ තිබෙන ආරක්ෂණ දුර්වලතාවක් ගැන දැනුම් දුන්නා. විශේෂයෙන්ම තමන්ගේ වැඩකටයුතු සඳහා පැරණි හෝ යාවත්කාලීන නොකළ මෙහෙයුම් පද්ධති භාවිත කරන බැංකු මෙහි දී වැඩි අවදානමකට ලක්වෙන්න ඉඩ තිබෙන බව ඔවුන් සඳහන් කරනවා.
අපේ රටේත් බැංකු බොහොමයක් තවමත් අලුත් මෙහෙයුම් පද්ධතිවලට මාරුවෙලා නැති නිසා මේ ගැන අපිත් ටිකක් හොයලා බලන්න තීරණය කළා.
ආරක්ෂණ ක්‍රම අඩු කුඩා බැංකුවලට අවදානම වැඩියි
බැංකුවක් කියන්නේ විශාල මුදල් ප්‍රමාණයක් රඳවා තබාගන්නා සහ ගනුදෙනු කරන ආයතනයක් නිසා තමන්ගේ ඉලෙක්ට්‍රොනික උපාංග හා පරිගණක ජාලවලට විවිධ ආරක්ෂණ ක්‍රම යෙදීම මොන බැංකුවත් කරනවා. නමුත් ඉතාම සංකීර්ණ ගනුදෙනු රාශියක් සිදු වෙනකොට ඒවායේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කරන ක්‍රම බොහොමයක් අතිශයින්ම මිලෙන් අධික යි. ඉතින් කුඩා ප්‍රමාණයේ බොහෝ බැංකුවලට ඒ වගේ ක්‍රම ස්ථාපනය කරගන්න ආර්ථික ශක්තියක් නැහැ.
නමුත් මේ ගැන දන්නා බොහෝ පරිගණක හැකරුන් සහ සොරුන් මේ ආරක්ෂක බාධා බිඳගෙන මුදල් සොරා ගන්න නිතරම උත්සාහ කරමින් සිටිනවා. ඔවුන්ට වඩා පියවරක් ඉදිරියෙන් ඉන්න බැංකු සමත් නොවුණොත් විශාල මුදලක් අහිමිවෙන්න පුළුවන්. බොහෝ අවස්ථාවල දී මේ විදිහට පරිගණක ජාලවල ආරක්ෂක හිස්තැන්වලින් සොරකම් කරන මුදල් ප්‍රමාණයන් සාමාන්‍යයෙන් මුදල් තැනකින් තැනකට ගෙන යනකොට සොරකම් කරන ප්‍රමාණවලට වඩා ඉතා විශාල යි.
කුඩා බැංකු අනෙක් බොහෝ අවස්ථාවල දී වගේම මේ ගැටලුවේ දී ද වැඩි අවදානමකට මුහුණදෙනවා.
Credit, Cash බවට හැරවීමේ අපහසුව නිසා ඇති රැකවරණය
සාමාන්‍යයෙන් බොහෝ අවස්ථාවල දී පරිගණක නූල් සූත්තරවලින් සොරකම් කරන්නේ සැබෑ මුදල් හෙවත් නෝට්ටුවලින් පවතින මුදල් (cash) නෙවෙයි. එය සෑමවිටම වගේ පරිගණක සටහන් වෙනස් කිරීමක් මඟින් සිදුවන අතථ්‍ය මුදල් (credit) හුවමාරුවක්. මෙමඟින් එක් ගිණුමකින් තවත් ගිණුමකට මුදල් ප්‍රමාණයක් හුවමාරු කරගන්න පුළුවන් වුණත් එයින් සැබෑ වටිනාකමක් ලබාගන්නා තුරු, එහෙමත් නැතිනම් ඒවා ATM එකකින් ලබාගැනීම හෝ කාඩ්පතක් මඟින් ගෙවීමක් කරන තුරු ඇත්තෙන්ම කිසිම ප්‍රයෝජනයක් ඇති දෙයක් නෙවෙයි.
පරිගණක ආරක්ෂණ ක්‍රමවේද සකස් කරන්නේ මේ වගේ දේවල් ගැනත් සැලකිලිමත් වෙමින්. ඕනෑම ATM එකකින් වරකට ලබාගත හැකි උපරිම මුදල, සමහර බැංකුවලින් දිනක දී කාඩ්පත භාවිතයෙන් ලබාගත හැකි උපරිම මුදල වගේ සීමා දාලා තියෙනවා ඔබත් දැකලා ඇති. ඊට වඩා විශාල මුදලක් ගන්න නම් බැංකුවටම යන්න වෙනවා. මේ වගේ ක්‍රමයක් භාවිත වෙන්නේ එක අතකින් ATM එකේ මුදල් ඉක්මණින් අවසන් වීම වළක්වන්නත් එක්ක වුණත් හදිසි ගැටලුවක දී සුවිශාල මුදලක් සොරකම් කරන්න තියෙන ඉඩකඩ ඇහිරීමත් එහි එක සාධකයක්.
කාඩ්පත්වලින් ගෙවීම් කිරීමේ දී ද විශාල සංසරණ සඳහා බැංකුවෙන් විශේෂ අවසරයක් අවශ්‍ය වෙනවා. සාමාන්‍ය අවස්ථාවන්වලට වඩා වැඩිපුර තොරතුරු තහවුරු කරගැනීම යි මෙහි අරමුණ. මේ සියලු කාරණා නිසා එකවර විශාල මුදලක් සොරකම් කරත් නීතියට හසු නොවී එයින් සැබෑ ප්‍රයෝජනයක් ගන්න තරමක් අසීරු යි.
ATM හැක් කර මුදල් ලබා ගැනීම
කොහොම වුණත් FBI එකෙන් දැනුම් දීපු මේ අලුත් හැක් කිරීම මඟින් ජාල සම්බන්ධතා හරහා ATM එකේ මෙහෙයුම් පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී විවිධ වෙනස්කම් කරන්න ඉඩ තිබෙන බව යි කියවෙන්නේ. වරකට ලබාගත හැකි උපරිම මුදල අසීමිත කිරීම, ගිණුම් ශේෂය පරීක්ෂා කර පමණක් මුදල් පිටතට දීම අක්‍රීය කිරීම වැනි වෙනස් කිරීම් මඟින් එකවර අතිවිශාල මුදල් ප්‍රමාණයක් බැහැරට ලබාගැනීමට මේ තුළින් හැකරුන් අවස්ථාව ලබාගන්නවා.
ඉන් පස්සේ ඉතා අඩු මුදලට ලබාගත හැකි චුම්භක පටියක් සහිත කාඩ්පතක තොරතුරු වෙනස් කිරීම මඟින් එය භාවිත කර ATM යන්ත්‍රයේ ඇති මුළු මුදලම වුණත් පිටතට ගන්න අවස්ථාව හැකරුන් ලබාගන්නවා. මෙහි දී බොහෝ විට ලබාගන්නේ තවත් කෙනෙකුගේ ගිණුමක ඇති මුදල්වත් නෙවෙයි. හොර කාඩ්පතක් භාවිතයෙන් සැබෑවට නොමැති ගිණුමක විශාල මුදලක් ඇති බවට ATM යන්ත්‍රයට ඒත්තු ගන්වා, ATM එකේ වරකට ගත හැකි උපරිම මුදල අසීමිත කර විශාල මුදලක් එකවර ලබාගැනීම යි මෙහි දී සිදු වෙන්නේ.
සැබෑ මුදල් (cash) ලබා ගැනීමට ඇති හැකියාවේ භයානක කම
කලිනුත් කිව්වා වගේ අතථ්‍ය මුදල් (credit) හුවමාරු කර ගැනීමකට වඩා මෙය හැකරුන්ගේ පැත්තෙන් හරිම ආරක්ෂිත දෙයක්. විශාල මුදලක් නෝට්ටු විදිහට ළඟ තිබුණාම ඔවුන්ට නීතියෙන් රිංගා යන්න තියෙන අවස්ථාව ඉතා ඉහළ යි. මේ නිසාම එවැනි හැකර් ප්‍රහාර දියත් කරන්න පෙළඹෙන පිරිසත් ඉතා වැඩි වෙන්න පුළුවන්.
දැනටමත් ඇමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ බැංකුවකට මේ විදිහට ඩොලර් මිලියන 2 ක් අහිමිවෙලා. ඒ වගේම යුරෝපය පුරා රටවල් ගණනාවක සැලකිය යුතු තරමේ මෙවැනි සොරකම් ගැන වාර්තා වී තිබෙනවා. තවමත් හෙළි නොවූ හෝ වාර්තා නොකෙරුණු කුඩා ප්‍රමාණවල සොරකම් ගණනාවක් සිදු වී තිබෙන බව යි විශේෂඥයන්ගේ මතය.
ගිණුම් හිමි අපිට ගැටළුවක්ද?
මෙහි දී ඍජුවම පාඩුව සිදු වෙන්නේ බැංකුවට යි. මොකද ඔවුන් ATMවල යොදන මුදල් ඔවුන් සතුව පවතින ගිණුම්වලින් බැර නොවී ඉවත් වීමක් තමයි මෙහි දී සිදු වෙන්නේ. එය ATM එක කඩා මුදල් පැහැර ගැනීමක් වගේම යි. ATM එකක තිබෙන මුදල අහිමි වීම දරා ගත නොහැකි පාඩුවක් නොවුණත් මේ වගේ විශාල පාඩු ගණනාවක් සිදු වුණොත් බැංකුවේ විශ්වාසනීයත්වය අහිමි වීම නිසා එහි පැවැත්මට ගැටලුවක් ඇති වෙන්න ඉඩ තියෙනවා.
ඒ නිසා ගිණුම් හිමි අපිට කෙළින්ම ගැටලුවක් නොවුණත් බැංකුව කඩා වැටීමේ අවදානම ගැන ටිකක් සැලකිලිමත් වීම හොඳ යි. විශේෂයෙන්ම ඔබ ගනුදෙනු කරන බැංකුවේ ATM තවමත් ආදි කාලේ ඒවා බව පෙනෙන්න තියෙනවා නම් ප්‍රවේශමෙන්.
කවයේ රූපය : nydailynews.com