දකුණු ආසියාවේ ප්‍රථම වරට වාණිජ්‍යමය වශයෙන් eSIM ව්‍යාප්ත කෙරෙයි

දුරකතනයට එහි සේවා සම්පාදකයා සමඟ සබඳතාව ඇති කරන්නේ SIM පත හරහා යි. 1991 කාලයේ දී සිම්පත ක්‍රෙඩිට් කාඩ් පතක් ද සමඟ විශාල එකක් වූ අතර 1996 දී චිප් එක වටා දාරයක් ඇති කුඩා Mini SIM එකත්, 2003 දී දාරය අඩු කොට Micro SIM එකත්, 2012 දී චිප් එක පමණක් ඉතිරිවන සේ Nano SIM එකත් බිහිවුණා. නමුත් මේ කාලය තුළ සිදු වූ එකම වෙනස දාරය අඩුවීම පමණයි. චිප් එකෙහි ධාරිතාව වැඩි වුණත් එහි භෞතික ප්‍රමාණයෙහි අඩුවීමක් සිදුනොවූ අතර දුරකතන, ස්මාර්ට් ඔරලෝසු ආදියේ ප්‍රමාණයන් අඩු කිරීමෙහි දී, නව විශේෂාංග එක් කිරීමේ දී ද මෙම සිම්පත් වලට වැඩි ඉඩකඩක් යාම ගැටළුවක්ව තිබෙනවා. මෙයට විසඳුමක් වශයෙන් මේ වන විටත් බොහෝ රටවල සහ උපාංගවල භාවිතා වන eSIM හෙවත් නැනෝ සිම්පතටත් වඩා කුඩා උපාංගයෙහි ස්ථාවරව සැකසූ ඉලෙක්ට්‍රොනික සිම්පතක් එළිදැක්වුණා.

සිම්පත්වල පරිණාමය (oliverwyman.com)

eSIM සහිත device එකක ඇති විශේෂත්වය වන්නේ උපාංගය ගලවා, සිම්පත් මාරු කරමින් කල් ගත කරනවා වෙනුවට දුරකතන සේවා සම්පාදකයා සමඟ ලියාපදිංචිවූ විට සිම්පතක් වෙනුවට ඊමේල් එකකින් ලැබෙන QR code එකකින් eSIM profile එක device එකට install කරගත හැකි වීම යි. මෙම තාක්ෂණයට දකුණු ආසියාවේ ප්‍රථම වරට ලංකාවේ ප්‍රමුඛතම දුරකතන සේවා සම්පාදකයා වන Dialog Axiata ආයතනයෙන් සහාය දක්වනු ලබනවා. මේ නිසා දැන් eSIM සහිත උපාංග ලංකාවේ පාවිච්චි කරන්නට අපිට අවස්ථාව ලැබී තිබෙන අතර Dialogහි One number සේවාව හරහා උපාංග කිහිපයකට තනි අංකයක් පාවිච්චි කළ හැකිවීම ද විශේෂත්වයක්.

eSIMපතක් සහිත Huawei Watch 2 ස්මාර්ට් ඔරලෝසුව

මෙම තාක්ෂණය ලංකාවට ගෙන ඒමට සමගාමීව Huawei Watch 2 ස්මාර්ට් ඔරලෝසුව ද හඳුන්වාදෙනවා. එහි eSIM පතක් පාවිච්චි වන නිසා උපාංගයේ නව විශේෂාංග සඳහා වැඩි ඉඩකඩක් භාවිත කරන්නට නිෂ්පාදකයන්ට හැකිව තිබෙනවා. අඟල් 1.2ක AMOLED තිරයක්, Quad-core 1.1 GHz Cortex-A7 ප්‍රොසෙසරයක්, මෙගාබයිට් 768ක RAM ධාරිතාවක් සහ ගිගාබයිට් 4ක අභ්‍යන්තර ධාරිතාවක් ඇති මෙහි හෘද ස්පන්දන මාපකයක්, ආර්ද්‍රතාමානයක්, මාලිමාවක් වැනි සංවේදක රැසක් සහ Fast charging හැකියාවෙන් යුතු වන්නේ Android Wear OS 2.0 ධාවනය කරමින්. Huawei Watch 2 උපාංගය Dialog Iconic Store හරහා ලබාගත හැකි අතර නවතම QR code එකකින් සිම්පතේ තොරතුරු වෙනස් කරන ආකාරය තමන්ටම අත්විඳින්නට එහි අවස්ථාව සලසා තිබෙනවා.

මෙතෙක් දකින්නට ලැබුණු wearable devices වලින් ඇමතුම් ගැනීමේ හැකියාව ලැබුණේ බ්ලූටූත් හරහා යි. එනමුත් Dialog සමාගම ලංකාවට හඳුන්වාදෙන eSIM ක්‍රමවේදයෙන් දුරකතනයෙන් ස්වාධීනව ඇමතුම් ගන්නට, මැසේජ් යවන්නට, සහ අන්තර්ජාලයට සම්බන්ධ වන්නට ඒවාට හැකියාව ලැබෙනවා. මෙම තාක්ෂණය ස්මාර්ට් නිවාස උපාංගවලට, මෝටර් රථවලට පවා ඇතුළු කරමින් අනාගතයේ දී ප්‍රධාන සිම්පත් මාදිලිය බවට පත්වන නිසා එයට දැන් පටන්ම GSMAහි නූතන සම්මතයන්ට අනුව ලාංකිකයන් සවිබල ගන්වා සූදානම් කරලීමට Dialog සමාගම කටයුතු කරනු ලබනවා.

Cover image courtesy: kasperskydaily.com

Related Articles

Exit mobile version