ලංකාව වැනි රටවල තිබෙන පරිගණක බොහොමයක භාවිතා වෙන්නේ මිලදී ගත් ඔරිජිනල් මෙහෙයුම් පද්ධතියක් නෙමෙයි. ඒ වගේම ඒ පරිගණක වල දුවන මෘදුකාංගත් බොහෝවිට සොරාගන වෙනස්කරගන්නා ලද මෘදුකාංග. සාමාන්‍යයෙන් වර්ථමාන වෙළඳපොලේ මයික්‍රොසොෆ්ට් 10 මෙහෙයුම් පද්ධතිය රුපියල් 20,000 පමණ වෙනවා. ඔෆිස් සහ පොටෝෂොප් ආදී මූලික මෘදුකාංගත් එවැනිම සහ ඊට වැඩි මිලට තමයි අලෙවි වන්නේ, ඉතින් සත්‍ය වශයෙන්ම පරිගණකයේ හාඩ්වෙයාර් වලට ගෙවන මුදල වැනිම මුදලක් සාමාන්‍ය පරිඝනකයක මෘදුකාංග වලටත් අපිට වියදම් කරන්නට වෙනවා.
ලිනක්ස් ෆ්‍රී අප්ඩේට් ලේසියි
අප වැනි රටවල අය බොහෝවිට වින්ඩෝස් හොර කොපි සහ මෘදුකාංග වල අනවසර පිටපත් භාවිතා කරලා තමුන්ගේ වැඩ කටයුතු කරගන්න පෙළඹිලා තිබෙනවා. මේ ලෙස අනවසර පිටපත් භාවිතා කිරීමේදී ඒ මෙහෙයුම් පද්ධතිවත්, සොෆ්ට්වෙයාර් වත් අප්ඩේට් කරන්නේ නෑ. මෘදුකාංග එසේ වෙනස්කර නොමිලේම ඇතුලත් කල හැකි ලෙස සැකසීමේදීම ඇතැම් අය වෙනත් අහිතකර වෛරස් සහ මැල්වෙයාර් වැඩසටහන්ද මෙහෙයුම් පද්ධති තුලට ඇතුලත් කොට තිබෙනවා.එසේම එම පරිගණක කිසිදිනක අන්තර්ජාලයට සම්බන්ධ කොට අප්ඩේට් කිරීමක් සිදුකොට යාවත්කාලීන වන්නේ නැති නිසා එම පැරණි සංස්කරණ සහිත මෙහෙයුම් පද්ධති සහ මෘදුකාංග සහිත පරිගණක ආසාදනයට ලක්වීමට වැඩි අවධානමක් තිබෙනවා.
හැබැයි බොහෝ ලිනක්ස් නිකුතු නම් නොමිලේම නිකුත් කරනවා. අපිට හිතුන පලියට ඒවාට ක්‍රැක් කල මෘදුකාංග එකතු කරගන්නත් ලිනකස් වලදි ටිකක් අමාරුයි. යාවත්කාලින වීමද ගෙවිමකින තොරවම සිදු වන නිසා කිසිදින යාවත්කාලීන නොවන වෙනස්කල සොර මෘදුකාංග සහිත වින්ඩෝස් පරිගණකයකට වඩා යාවත්කාලීන වන ලිනක්ස් පරිඝනකයක් ආරක්ෂාව අතින් ඉදිරියෙන් සිටිනවා.
රූට් වලට ලොගින් ඕනි, එතකොට සොෆ්ට්වෙයා සෝස් වලින් ගන්න ඕනි, මේ ඇත්තද?
ඔබ ස්මාට්ෆෝන් එකක් භාවිත කරනවා නම් දන්නවා එහි ඇප්ස් එකතුකරගන්නා ආකාරය..අපිට වින්ඩෝස් වලට සොෆ්ට්වෙයා දානවා වගේ නෙමෙයි. ෆෝන් එක ඇන්ඩ්‍රොයිඩ් නම් ගූගල් ප්ලේ හෝ වෙනත් ඇප්ස්ටෝර් එකකට යොමුකොට අපිට ඇප් දාගන්න හැකියාව තිබෙනවා. ලිනක්ස් වලට මෘදුකාංග දැමිමත් බොහෝ විට ඒ වගේ ඇතුලත තිබෙන සොෆ්ට්වෙයා ස්ටෝ එකක් හරහා සිද්ද වෙනවා.
ලිනක්ස් මුල්කාලේ සිටම ඒ වගේ ගතිලක්ෂණ සහිත එකක්. වින්ඩෝස් වැනිව කොහෙන් හෝ බාගන්නා ලද මිලදී ගන්නා ලද මෘදුකාංගයක් ඩබල් ක්ලික් කිරීමෙන් ලිනක්ස් වලට මෘදුකාංග ඇතුල් කරගන්න බැහැ.. ඒ සදහා බොහෝවිට ඔවුන්ගේම සොෆ්ට්වෙයා ගොනුවක් තිබෙන අතර අපිට ඒවායින් තෝරාගෙන ඇතුලතින්ම මෘදුකාංගය ස්ථාපනය කරගන්න හැකියාව ලිනක්ස් වලදී ලැබෙනවා.
ඒ වගේම ලිනක්ස් බිහිවන්නේ 80 දශකයේ මල්ටියූසර් හෙවත් භාවිත කරන්නන් විශාල සංඛ්‍යාවක් එකවර යොදාගන්නා මෘදුකාංගයක් විදියට. එහිදි එක් එක් මට්ටමේ වරප්‍රසාද එක එක් අයට ලැබෙනවා. ලිනක්ස් වලට මෘදුකාංග හෝ ප්ලගින් එකතුකිරීම හෝ වෙනස්කම් සිදු කරනවා නම් ලිනක්ස් ඇඩ්මින් කෙනෙක් ලෙස ලොග් වී අදාල කටයුතු කල යුතුයි. මෙය ලිනක්ස් වල ඇති තවත් ආරක්ෂිත උපක්‍රමයක්.
ඇත්තටම යූසර්ස්ලා අඩුද?
ලෝකයේ පරිගණක භාවිත කරන අයගෙන් ලිනක්ස් භාවිත කරන පිරිස 2%ක් තරම් අඩු පිරිසක්. මේ පිරිසෙනුත් බහුතරය ඕ එස් එක සමගම පරිගණක මිලදි ගන්නා අය නෙමෙයි.. ලිනක්ස් භාවිත කරන පිරිස බොහෝවිට පරිගණක ගැන යම් දැනුමක් සහිත උදවිය.
සමස්ථ මෙහෙයුම් පද්ධති භාවිත කරන අයගෙන 2%ක් පමණ වූ තරමක් දැනුම් මට්ටමක් සහිත පාරිභෝගික පිරිසක් වෙනුවෙන් වෛරස ලියන එක වෛරස් හරහා මුදල් ලබාගන්න බලාගෙන සිටින ක්රැකර්ලාට ලාබදායී වැඩක් නෙමෙයි. ගෙදරදොර පරිගණක වල 90%ක ට වඩා බාවිත කරන, සාපේක්ෂව ලිනක්ස් භාවිත කරන අයට වඩා අඩු දැනුම මට්ටමක සිටින වින්ඩෝස් යූසර්ලාට ඇටෑක් කරන එක වඩාත් ලෙහෙසියි. ඒ වගේම මාකට් එකේ වින්ඩොස් බොහෝ වැඩි නිසා ඔවුන්ට ආසාදනය කල හැකි පරිගණක සහ පද්ධති ප්‍රමාණයද නිරායාසයෙන්ම වැඩි අගයක් ගන්නවා.
ගොඩක් අයගේ ඇල්ම බැල්ම නම් ලැබෙනවා
ලිනක්ස් කියන්නෙ ඕපන් සෝස් හෙවත් කෝඩ්ස් සගවා නොමැති පද්ධතියක්. ලිනක්ස් පද්ධතිය ගැන නිරන්තරයෙන් ඇසගසාගෙන සිටින විශේෂඥයින් රැසක් ලොව පුරාම සිටිනවා. ඔවුන් ස්වේච්චාවෙන් ලිනක්ස් සදහා දායක වෙන පිරිසක්.
බොහෝ පිරිසක් බලා ඉන්න තැනක හොරකමක් කරන්න අමාරුයි..ඒ වගේම සියලුම කෝඩ් ආදිය පැහැදිලිවම දන්නා පිරිස වැඩි නිසා අමතර කොටසක් එකතු කලද එය ලෙහෙසියෙන්ම අදුනා ගන්නට විශේෂඥයින්ට අවකාශ ලැබෙනවා.
ඩයිවර්සිටි එක වැඩියි.
ලිනක්ස් භාවිත කරන පිරිස සම්පූර්ණ පර්ඝණක භාවිත කරන අයගෙන් 2%-3%ක් පමණයි. එහෙත් ඇති ලිනක්ස් සංස්කරන නිකුතු ප්‍රමාණය 150කට අධිකයි. විවිධ ආකාරයේ සැකසුම් ආදියෙන් යුතු ලිනක්ස් ඩිස්ට්‍රෝ කලින් කලට ලිනක්ස් ලෝකයට එනවා.එයින් උබන්ටු, ලිනක්ස් මින්ට්, ෆෙඩෝරා, ඕපන් සූස් වැනි ඒවා කිහිපයක් වඩාත් ජනප්‍රිය වි තිබෙනවා.
වින්ඩෝස් සැලකුවහොත් එහි එන අවුට්ලුක් සහ ඉන්ටනෙට් එක්ස්පෝලර් සෑම වින්ඩෝස් පද්ධතියකටම එකම වගේ නිකුත් වෙනවා. නමුත් ලිනක්ස් වලදී විවිධාකාර මේල් සේවාවන් ෆයර්ෆෝක්ස්, ක්‍රෝමියම් ආදී විවිධ බ්‍රව්සර සහිතව නිකුත් වෙනවා..
ඉතිං මෙවැනි විශාල විවිධත්වයකින් යුතු ලිනක්ස් මෙහෙයුම් පද්ධති සෑම එකකට බලපෑම් කරන්නට සමත් වෛරස සහ ආසාදන නිපදවීම කියන්නේ තරමක වෙහෙසකර කටයුත්තක්. උදාහරණ විදියට නිවාස යෝජනා ක්‍රමයකදී තනන නිවාස බොහෝවිට සර්ව සමයි. එවිට හොරෙක්ට එම නිවෙසකට අතුලුවිය හැකි පිවිසුමක් සොයාගත හොත් නිවෙස් සියල්ලටම එම පිවිසුම හරහා ඇතුලුවන්නට පුලුවන් කම ලැබෙනවා. ලිනක්ස් හරියට කට්ටි කල ඉඩම් වල හදපු ගෙවල් වගේ. ඉඩම එක වුවත් ගෙවල් විවිධාකාරයි. එකම කර්න්ල් එක එකම ලිනක්ස් සැකිල්ල වුවත් එහි ඇති මෙහෙයුම් පද්ධති වල සැකසුම් වෙනස්. එම නිසා ඇතුල්වෙන්නට බලාගෙන ඉන්න සොරුන්ට සෑම නිවසකට වෙනස් වූ ක්රමවෙද අලුතින් සොයාගන්නට සිදු වෙනවා.
ගෙදර දොරට ලිනක්ස්
අපි පරිගණකයක් මිලදී ගන්නේ ඇයි? අන්තර්ජාලයට සම්බන්ධ වීම, ලිපි ලේඛන සැකසීම, ක්‍රීඩා කිරීම, නව නිපැයුම් සිදු කිරීම, ව්‍යාපාරික කටයුතු පිණිස ආදි විවිධ හේතුන් මෙහිදී තිබෙනවා. ඒ සෑම දෙයක්ම එක්තරා මට්ටමකින් සපුරාගන්නට හැකියාව ලිනක්ස් ස්ථාපනය කරන ලද පරිඝනකයකදී හැකියාව තිබෙනවා.
අන්තර්ජාලය සමග නිතර ගනුදෙනු කරන්නට වන වර්ථමානයේ ආරක්ෂාව අතින් කොහොමත් ඉදිරියෙන් සිටින නිසා ලිනක්ස් වලට අමතර වෛරස් ආරක්ෂන මෘදුකාංග අවශ්‍ය නෑ. පසුගිය දිනවල පැතිරුන රැන්සම් වෙයාර් වැනි උවදුරු වලදී කිසිදු අවුලකට පත් නොවූ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියකට යොමු වීම අපේ පසුම්බියටත් පරිගණකයේ ආකර්ෂාවටත් හොද පිවිසුමක් බවට පත් වේවි කියලයි අපිටනම් හිතෙන්නේ.