Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝකෙට ම Internet දෙන Starlink වැඩසටහන

කොරෝනා වසංගතයත් සමඟ අන්තර්ජාල භාවිතාව වැඩි වී තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාව ඇතුළු තුන්වෙනි ලෝකයේ රටවල් සඳහා ලැබෙන අන්තර්ජාල පහසුකම් තවමත් සෑහීමකට පත්විය හැකි මට්ටමක නැහැ. ආවරණ කලාප අවම වීමත්, ලැබෙන අන්තර්ජාල වේගය ප්‍රමාණවත් නොවීමත් සහ දැරීමට සිදුවන අධික පිරිවැයත් නිසා මේ රටවල ජනතාව තවමත් අපහසුතාවන්ට පත්වනවා. අමෙරිකාවේ 2017දී කළ සංගණනයකට අනුව මිලියන 5ක නිවාසවලට ලැබෙන්නේ 3 Mbpsට වඩා අඩු වේග අන්තර්ජාල සබඳතාවක්. මේ නිසා ලොවට ම අඩු මිලට වේගවත් අන්තර්ජාල පහසුකම් ලබාදෙන වැඩසටහනක් Tesla සහ SpaceX ප්‍රධානී ඊලෝන් මස්ක් හඳුන්වාදෙනවා. දැනටත් බොහෝ රටවල භාවිතා කෙරෙන Starlink චන්ද්‍රිකා අන්තර්ජාල වැඩසටහන ගැනයි මේ ලිපිය.

මොකක්ද මේ Starlink?

ලොවට ම අන්තර්ජාල පහසුකම් ලබාදීම සඳහා Google සමාගමේ බැලුන් මගින් අන්තර්ජාල පහසුකම් ලබාදීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වුණා ඔබට මතක ඇති. මේ වසරේ ජනවාරි මාසයේදී එම වැඩසටහන අත්හිටවූ බව ඔවුන් නිවේදනය කළා. එයට ප්‍රධාන හේතුව ලෙස දක්වා තිබුණේ නිෂ්පාදන වියදම් අධික බැවින් දිගු කාලීන ව්‍යාපාරයක් ලෙස එය පවත්වාගෙන යෑම අසීරු බව යි. 2012 වසරේ ඇරඹි මෙම ව්‍යාපෘතිය මගින් ඉහළ අහසේ බැලූන රඳවා ඒවා මගින් දුරස්ථ ස්ථානවලට අන්තර්ජාල පහසුකම් ලබාදීමට සැලසුම් කර තිබුණා.

එයට සමාන වැඩසටහනක් Tesla සහ SpaceX සමාගම්වල ප්‍රධානි සුප්‍රකට ඊලෝන් මස්ක් 2015දී ඉදිරිපත් කළා. එය නම් කර තිබුණේ Starlink ලෙස යි. ඔහුගේ සැලැස්ම වුණේ පෘථිවි කක්ෂයේ චන්ද්‍රිකා 4000ක් ස්ථාපනය කර එමඟින් පෘථිවියේ ඕනෑම ස්ථානයකට අන්තර්ජාල පහසුකම් ලබා දීම යි. අද වනවිට එම චන්ද්‍රිකා ප්‍රමාණය 42,000ක් දක්වා වූ ජාලයක් දක්වා වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා. එයින් චන්ද්‍රිකා 1800ක් පමණ දැනටමත් කක්ෂගත කර තිබෙන බව යි පැවසෙන්නේ.

Starlink චන්ද්‍රිකාවලින් අන්තර්ජාල පහසුකම් ලැබෙන හැටි

අන්තර්ජාලය යනු සරල ව ලෝකයේ ම තොරතුරු කේන්ද්‍රගත වී තිබෙන ජාලයක් ලෙස හැඳින්විය හැකි යි. අප කුමක් හෝ වෙබ් අඩවියකට පිවිසෙන විට අපේ ජංගම දුරකථනය හෝ පරිගණකය, රවුටරයට හෝ මොඩමයට සම්බන්ධවී කේබල් මගින් හෝ 4G වැනි තාක්ෂණයකින් අපට අන්තර්ජාල පහසුකම ලබාදෙන ආයතනයේ Server එකට සම්බන්ධ වනවා. ඉන්පසු ඒ හරහා අපට අවශ්‍ය වෙබ් අඩවිය පිහිටුවා ඇති Server එකට සම්බන්ධ වනවා.

අන්තර්ජාලය ක්‍රියාකරන හැටි ගැන කෙටි වීඩියෝවක් මෙතනින් නරඹන්න.

පෙර සඳහන් කළ වෙබ් අඩවියේ තොරතුරු අන්තර්ගත වන Server එක පිහිටා තියෙන්නේ අප සිටින රටේ ම හෝ වෙනත් රටක වන්නට පුළුවන්. විශාල පිරිසක් සමඟ ගනුදෙනු කෙරෙන වෙබ් අඩවියක් නම් විශාල Data Center එකක වෙබ් අඩවියේ දත්ත ගබඩා කරනවා. රටවල් අතර ඇති Server හෝ Data Center එකිනෙක සම්බන්ධ කරන්නේ බොහෝවිට Fiber Optic කේබල්වලින්. එහෙමත් නැත්නම් චන්ද්‍රිකා වලින්. ඔව්, දැනටත් චන්ද්‍රිකා යොදා ගන්නා අන්තර්ජාල සම්බන්ධතා පවතිනවා. ඒත් දත්ත හුවමාරු වීමේ වේගය සැලකීමේදී දැනට පවතින චන්ද්‍රිකා තාක්ෂණයට වඩා Fiber Optic යොදා ගැනීම වඩා සාර්ථක යි.

satellite internet
චන්ද්‍රිකා අන්තර්ජාල ක්‍රමවේදය ක්‍රියාකරන ආකාරය – angeliaplutus.github.io

වර්තමානයේ අන්තර්ජාල සේවා සඳහා භාවිත කෙරෙන චන්ද්‍රිකා ස්ථාපිත කර ඇත්තේ පෘථිවි පෘෂ්ඨයට කිලෝමීටර 36,000ක් දුරින් ඇති භූ-ස්ථාවර කක්ෂයේ යි (Geostationary Orbit). මේ නිසා දත්ත හුවමාරු වීමේ දී වැඩි කාලයක් (Latency – 240+ms) ගතවනවා. දත්ත පැකට්ටුවක් යම් Server එකකට ගොස් නැවත ඒමට ගත වන කාලය අප හඳුන්වන්නේ Latency ලෙස යි. අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය වැඩි වුවත් ඇතැම් අවස්ථාවල අදාළ Server එක සමඟ අපේ තිබෙන Latency අගය වැඩි නම් එම වෙබ් පිටුව බාගත වීම ප්‍රමාද වෙනවා.

Starlink චන්ද්‍රිකා කක්ෂගත කෙරෙන්නේ පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර 340, 550 සහ 1160 මට්ටම්වලින් පිහිටා ඇති කක්ෂ ත්‍රිත්වයක යි. මේ නිසා Latency අගය අඩු වන බව යි පැවසෙන්නේ. මෙම එක් චන්ද්‍රිකාවකින් සංඥා නිකුත් කෙරෙන්නේ කේතු ආකාර කලාපයක පමණ යි. මෙහි කෝණය අංශක 81ක් පමණ වනවා. මේ නිසා 550 kmක දුරින් පිහිටි චන්ද්‍රිකාවකින් ආවරණය වන්නේ පෘථිවි පෘෂ්ඨයේ 500kmක් අරයක් ඇති වෘත්තාකාර වපසරියක් පමණයි. මෙය ඉතා සුළු ප්‍රමාණයක් වීම නිසා සම්පුර්ණ පෘථිවිය ආවරණය කිරීමට චන්ද්‍රිකා විශාල ප්‍රමාණයක් අවශ්‍ය යි.

starlink satellite constellation
චන්ද්‍රිකා ජාලය මගින් අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය අතර අන්තර්ජාල සබඳතාවක් නිර්මාණය වන ආකාරය – LinusTechTips

අවශ්‍ය චන්ද්‍රිකා ප්‍රමාණය අවම කරගැනීම සඳහා පෙර සඳහන් කළ ආකාරයට කක්ෂ මට්ටම් තුනක චන්ද්‍රිකා ස්ථාන ගත කෙරෙනවා. එවිට පහළ මට්ටමේ චන්ද්‍රිකාවක් පෘථිවිය හා පළමු ව සම්බන්ධ වන අතර එම චන්ද්‍රිකාව අනෙකුත් චන්ද්‍රිකා හා සම්බන්ධවී අවසානයේ අවශ්‍ය Server එක සමඟ දත්ත හුවමාරු කරනවා. මෙහිදී Latency එක අඩු කරගැනීම සඳහා පහළ ම කක්ෂයේ උපරිම චන්ද්‍රිකා ප්‍රමාණයක් ස්ථානගත කිරීමටයි Starlink සැලසුම් කරන්නේ.

Starlink අන්තර්ජාල වේගය

Starlink අන්තර්ජාල වේගයේ දැනට සාමාන්‍ය අගය 97Mbps පමණ වෙනවා. එය ශ්‍රී ලංකාවේ නම් Fiber අන්තර්ජාල වේගයට සමාන වේගයක් ලබාදීමට සමත්. එහිදී සමහර පරිශීලකයන්ට 210Mbps පමණ වේගයක් ලැබී තිබුණු බව ද වාර්තා වනවා. AT&T සමාගම පවා තමන්ගේ Fiber ජාලයෙන් අමෙරිකාවේ නිවෙස්වලට ලබදෙන අන්තර්ජාල වේගයේ සාමාන්‍ය අගය 115Mbps බවයි පැවසෙන්නේ. මේ නිසා Starlink අන්තර්ජාල වේගය සීමිත චන්ද්‍රිකා ප්‍රමාණයක් යොදාගෙන 100Mbps අගයකට ළඟා වීම ඉතා හොඳ ප්‍රවණතාවක් බව පැවසිය හැකි යි.

starlink 60 satellites
2019 දී ක්‍රියාත්මක කළ මුල්ම Starlink චන්ද්‍රිකා 60 එක පෙළට ගමන් කළ අයුරු – space.com

 

මේ වසරේ පළමු කාර්තුවේ දී Starlink චන්ද්‍රිකා පැවතියේ 1000කට ආසන්න සංඛ්‍යාවක් වන අතර දෙවන කාර්තුවේ දී එය 1800 දක්වා වැඩි කිරීමට Starlink සමාගම කටයුතු කළා. මේ නිසා අන්තර්ජාල වේගයේ සාමාන්‍යය 65Mbps සිට 100Mbps දක්වා වැඩි වූ බව සඳහන්. 2021 වසර අවසන් වෙද්දී අන්තර්ජාල වේගය 300Mbps දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බව ඊලෝන් මස්ක් ප්‍රකාශ කරනවා. අන්තර්ජාල වේගය 1Gbps දක්වා වැඩි කිරීම Starlink සමාගමේ අවසාන ඉලක්කය යි.

දැනට රටවල් 14ක (US, Canada, UK, France, Germany ඇතුළු) පමණක් Starlink අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක වනවා. එනම් දැනට පවතින චන්ද්‍රිකා 1800න් අන්තර්ජාල සේවා සැපයෙන්නේ එම රටවල් වලට පමණ යි. සමස්ත ලෝකය ම ආවරණය වන පරිදි බහුතර ප්‍රජාවකට අන්තර්ජාල පහසුකම් ලබා දීමට නම් අවම වශයෙන් චන්ද්‍රිකා 10,000ක් කක්ෂගත කළයුතු බ වයි Starlink සමාගම පවසන්නේ.

starlink in future
අනාගතයේ පෘථිවිය වටා විවිධ පථවල ගමන් කරන Starlink චන්ද්‍රිකා ජාලය දිස්වන අයුරු දැක්වෙන පරිගණක ඡායාරූපයක් – digitaltrends.com

 

Fiber තිබිය දී Starlink අවශ්‍ය ද?

කොටස් වෙළඳපොළක මිල ගණන් වෙනස්වීම ඉතා සුළු කාලයක දී සිදුවන බව ඔබ දැක ඇති. ඇත්තෙන් ම මිලිතත්පර ගණනක වෙනසක් වුවත් මිලියන ගණනක ගනුදෙනුවලට ලාභ හෝ පාඩු සිදු කරනවා. මේ නිසා කොටස් වෙළඳපොළ ක්ෂේත්‍රයේ අන්තර්ජාල Latency එක හැකිතාක් අවම කර ගැනීම ඉතා වැදගත්. මෙයට හොඳ ම සහ ආසන්නත ම උදාහරණය වන්නේ එංගලන්තය සහ අමෙරිකාව යාකරන Fiber කේබලය යි.

ලන්ඩනයේ සිටින ගැනුම්කරුවකුට නිව්යෝක්හි NASDAQ කොටස් වෙළඳපොලේ කොටස් මිලදී ගැනීමක් සිදුකිරීමට අවශ්‍යයැයි සිතුවොත් ඒ සඳහා ඔහුට අන්තර්ජාලය ඔස්සේ තම මිලදී ගැනීම කිරීමට සිදුවනවා. එය සාමාන්‍ය ක්‍රමයට සිදුවුවහොත් 2000 වසරේ ස්ථාපිත කළ අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය අත්ලාන්තික සාගරය හරහා යා කෙරෙන AC-2 කේබලය හරහා දත්ත හුවමාරුව සිදුවිය යුතු යි. මේ කේබලය ඔස්සේ දත්ත පැකට්ටුවක් එක් දිශාවකට ගොස් ආපසු පැමිණීමේ දී කිලෝමීටර 12,800ක දුරක් ගමන් කළයුතු වනවා.

fiber cable
සාගරය පතුලින් දිවෙන Fiber Optic කේබලයක් – 9to5google.com

 

Fiber කේබල හරහා දත්ත ගමන් ගන්නේ ආලෝක කදම්බයක් ලෙස යි. මේ නිසා ආලෝකයේ වේගයෙන් දත්ත සම්ප්‍රේෂණය සිදුවනවා. නමුත් Fiber කේබලවල හරය වීදුරු තන්තු නිසා ආලෝකයේ වේගය වීදුරු තුළ දී, රික්තයේ වේගයට වඩා 47%කින් අඩුවීමත් මෙහි දී සැලකිය යුතු යි. ඒ අනුව දත්ත පැකට්ටුව ඉහත දුර සම්පුර්ණ කිරීමට ගත කරන කාලය මිලිතත්පර 63ක් පමණ වනවා. ආලෝක සංඥාව විද්‍යුත් සංඥාවක් බවට පත් කිරීම, කේබලයේ දත්ත ගමනාගමනයේ තදබදය ආදී කරුණු සැලකිල්ලට ගත්විට සමස්ත කාලය එනම් AC-2 කේබලය හරහා අන්තර්ජාල Latency අගය 76msක් වනවා.

චන්ද්‍රිකා ගමන් කරන්නේ ආසන්න ලෙස රික්ත අවකාශයේ නිසා බොහෝ දුරට ආලෝකයේ වේගයෙන් දත්ත සම්ප්‍රේෂණය කළ හැකි යි. මෙය චන්ද්‍රිකා අන්තර්ජාල තාක්ෂණයේ ප්‍රධානත ම වාසිය වනවා. Starlink චන්ද්‍රිකා පෘථිවි පෘෂ්ඨයට ආසන්නයේ කක්ෂගත වී තිබීම නිසා නිව්යෝක් සහ ලන්ඩන් අතර දත්ත සම්ප්‍රේෂණයේ Latency අගය මිලිතත්පර 43 වැනි අවම අගයක් ගන්නවා. මෙය Fiber හරහා ලබාදෙන අගය හා සැසඳීමේ දී මිලිතත්පර 33ක පමණ වැඩි වේගයක් වුවත් කෙනකුට එහි එතරම් වැදගත්කමක් නොපෙනෙනු ඇති.

fiber cable around the world
ලොව පුරා Fiber කේබල ව්‍යාප්තිය – theatlantic.com

 

2015 සිට අමෙරිකාවේ නිව්ජර්සි හා එංගලන්තයේ Slough නගර යාකෙරෙන වඩා වේගවත් Fiber කේබලයක් Hibernia Networks පෞද්ගලික සමාගම ස්ථාපිත කළා. මේ සඳහා වැයවූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 300ක්. මෙමගින් මිලිතත්පර 63ක ගමන මිලිතත්පර 59ක් දක්වා අඩු කරගැනීමට සමත් වී තිබෙනවා. මෙය දැනට අමෙරිකාව සහ එංගලන්තය අතර අඩුම Latency අගයක් පෙන්වන කේබල් අන්තර්ජාල සබඳතාව යි. මිලිතත්පර 4ක වෙනසක් සඳහා ඩොලර් මිලියන 300ක ආයෝජනය Starlink සඳහා ඇති ඉල්ලුම හොඳින් ම පැහැදිලි කරනවා. Starlink අන්තර්ජාල සබඳතාව මගින් වඩා දුර පිහිටි වෙළඳපොළ සමඟත් වේගවත් සබඳතා ඇති කිරීමට හැකි වීම තවත් වාසියක් වනවා.

Starlink සබඳතාවක් ලබා ගන්නා හැටි

Starlink චන්ද්‍රිකා අන්තර්ජාල සම්බන්ධතාවක් ලබාගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ Starlink Starter Kit එක මිලදී ගැනීම යි. මෙය දැනට අමෙරිකානු ඩොලර් 500ක ගාස්තුවකට ලබාගත හැකි යි. එහි අඩංගු වන්නේ තැටි ඇන්ටෙනාවක්, Wifi රවුටරයක් සහ PoE Injector එකක් පමණ යි. PoE (Power over Ethernet) Injector එක මගින් Wireless Access Point සඳහා අවශ්‍ය විදුලිය Ethernet කේබලය හරහා ම ලබා දීමයි සිදුවන්නේ.

starlink instruction manual
Starlink Starter Kit එක සමඟ ලැබෙන උපදෙස් පත්‍රිකාව – twitter.com

තැටි ඇන්ටෙනාව අඟල් 23ක විශ්කම්භයෙන් යුක්ත යි. මෙය විවෘත අහසට යොමු වන ලෙස සකස් කිරීම අනිවාර්ය වනවා. ඇන්ටෙනාව පොළවේ හෝ වහලය මත හෝ ස්ථානගත කර විදුලිය ලබාදුන් විට ස්වයංක්‍රීය ව අවශ්‍ය දිශානතිය සකස් කර ගන්නවා. මෙම ඇන්ටෙනාවේ කේබලය රවුටරය හා සම්බන්ධ කළ විට Starlink චන්ද්‍රිකා හා සම්බන්ධ වී අන්තර්ජාලයේ දත්ත රවුටරය හරහා ඔබගේ devices වෙත ලබාදෙනවා. මාසිකව ඩොලර් 100ක මිලකට unlimited අන්තර්ජාල භාවිතාවක් ලබා ගැනීමට ඒ අනුව හැකි යි.

බොහෝමයක් චන්ද්‍රිකා අන්තර්ජාල පහසුකම් සපයන සමාගම් හා සැසඳීමේ දී Starlink සමාගමේ මෙම අන්තර්ජාල සේවාව අය කිරීම, වේගය සහ Latency අගය අතින් ඉදිරියෙන් ම සිටිනවා. එසේම ෆයිබර් හෝ වෙනත් cellular සේවා ලබාගත නොහැකි හෝ අඩු අන්තර්ජාල වේග සහිත දුෂ්කර පළාත්වල වෙසෙන්නන්ට මෙම චන්ද්‍රිකා අන්තර්ජාල ක්‍රමවේදය වඩාත් සුදුසු යි. 100Mbpsක වේගයක් ලබාගැනීමට ඔබ තවදුරටත් නගරාසන්න ව ජීවත් විය යුතු නැහැ. දැනට ශ්‍රී ලංකාවේ ලිපිනයක් Starlink Kit ඇණවුම් කිරීම සඳහා ඔවුන්ගේ වෙබ් අඩවියට ඇතුළත් කළොත් 2022දී ඔවුන් මෙම කලාපය ආවරණය කිරීමට බලාපොරොත්තු වන බව වෙබ් අඩවියේ ප්‍රදර්ශනය වනවා.

starlink starter kit
Starlink ඇන්ටෙනාව, PoE ඉන්ජෙක්ටරය සහ රවුටරය – theverge.com

Starlink හමුවේ ඇති අභියෝග

භූ-ස්ථාවර කක්ෂයේ ගමන් කරන සන්නිවේදන චන්ද්‍රිකා පෘථිවියට සාපේක්ෂව චලනය වන්නේ නැහැ. යම් ප්‍රදේශයකට ඉහළින් තිබෙන එවැනි චන්ද්‍රිකාවක් පෘථිවියේ භ්‍රමණය සමඟ ගමන් කිරීම මෙයට හේතුවනවා. ඒත් Starlink චන්ද්‍රිකා ගමන් කළ යුත්තේ පෘථිවියට ඉතා ආසන්නයේ නිසා පෘථිවියේ භ්‍රමණයට වඩා ඉතා අඩු වේගයකින් ගමන් කළ යුතු යි. මේ නිසා නිරන්තරයෙන් අන්තර්ජාල සබඳතාව නිර්මාණය කරන චන්ද්‍රිකාව වෙනස් වනවා. එවිට ක්ෂණිකව මීළඟ ආසන්න චන්ද්‍රිකාව හා සබඳතාව ඇති කර ගත යුතු යි. මෙම අභියෝගය Starlink සමාගම ජය ගෙන තිබෙනවා. ඒ සෑම චන්ද්‍රිකාවක් ම ආසන්නයේ ඇති තවත් චන්ද්‍රිකා 4කට සෑම විට ම සම්බන්ධ කරමින්. චන්ද්‍රිකා එකිනෙක අතර දත්ත හුවමාරුව සිදුවන්නේ ලේසර් තාක්ෂණයෙන් නිසා එහිදී ඇතිවන Latency එක හැකිතාක් අඩු කරගෙන තිබෙනවා.

lelabs.space
වම්පස – මිනිසා ගුවන්ගත කළ සියලුම චන්ද්‍රිකා, දකුණු පස – අභ්‍යවකාශයේ ඇති අබලි ද්‍රව්‍ය – leolabs.space

විවිධ අවශ්‍යතා සඳහා 1957 සිට මේ දක්වා මිනිසුන් කක්ෂ ගත කර ඇති චන්ද්‍රිකා ගණන ආසන්නව 8500ක්. මේවයින් 6500ක් පමණ 2021 වන විට ක්‍රියාකාරී තත්ත්වයේ පවතිනවා. නමුත් Starlink වැඩසටහන යටතේ පළමු අදියරයේ පමණක් චන්ද්‍රිකා 12,000ක් දියත් කිරීමටත් පසුව 42,000ක් දක්වා එය වැඩි කිරීමට අදහස් කිරීමත් ඇත්තෙන් ම ඇදහිය නොහැකි යි. මෙහිදී බොහෝ අභ්‍යවකාශගාමීන් සහ විද්‍යාඥයන් සතු ව සැක පවතින්නේ පහළ කක්ෂවල මෙවැනි අති විශාල චන්ද්‍රිකා ප්‍රමාණයක් පැවතීම අභ්‍යවකාශ මෙහෙයුම්වලදී අවදානම් තත්ත්වයක් බව යි. එසේම අභ්‍යවකාශයේ ඇති බිලියන ගණනක් වූ අබලි කොටස් බහුල ව පවතින්නේ පහළ කක්ෂවල නිසා Starlink චන්ද්‍රිකා එම කක්ෂවලට නිදහස් කිරීමෙන් අනතුරු සිදුවීමේ අවස්ථා වැඩි බව විශේෂඥයන්ගේ අදහස යි. (මේවා www.leolabs.space වෙත පිවිස සජීවීව නැරඹිය හැකි යි)

මෙම අවදානම් තත්වය මඟ හරවා ගැනීමට Starlink සහ SpaceX සමාගම් තම චන්ද්‍රිකාවලට විශේෂ තෙරපුම් ක්‍රියාකාරක (Thrusters) සවිකර තිබෙනවා. අනතුරු අවස්ථාවක දී ස්වයංක්‍රිය ව ඒවා ක්‍රියාත්මක කර මඟහැරීමට අවශ්‍ය කෘත්‍රිම බුද්ධිය මෙම චන්ද්‍රිකා සතු බවයි පැවසෙන්නේ. කෙසේවෙතත් තවමත් ෆෙඩරල් සන්නිවේදන කොමිසම – FCC (Federal Communication Commision) අවසර ලබා දී ඇත්තේ චන්ද්‍රිකා 12,000ක් කක්ෂගත කිරීමට පමණ යි. ඉතිරි 30,000 සඳහා අවසර ලබාගැනීමත් Starlink සමාගම හමුවේ ඇති අභියෝගයක් වනවා.

starlink stelites inside falcon 9
Falcon 9 රොකට්ටුව තුළ දිගහැරිය හැකි Starlink චන්ද්‍රිකා 60ක් ගබඩා කර ඇති ආකාරය – rocketrundown.com

කක්ෂ ගත කිරීමට සැලසුම් කර ඇති Starlink චන්ද්‍රිකාවලින් 50%ක් තවත් වසර 4ක් තුළ දී කක්ෂගත කිරීමට Starlink සමාගම සැලසුම් කර ඇති අතර සම්පුර්ණ ව්‍යාපෘතිය අවසන් වීමට වසර 8ක් පමණ ගත වෙනු ඇතැයි අපේක්ෂා කරනවා. සම්පුර්ණ ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත වියදම ඩොලර් බිලියන 10ක්. අමෙරිකාවේ cellular ජාලය 4G සිට 5G දක්වා වැඩි දියුණු කිරීමේ දී භාවිත කෙරෙන fiber කේබල් සඳහා පමණක් අමෙරිකානු ඩොලර් බිලියන 150ක් වැය වන පසුබිමක Starlink චන්ද්‍රිකා අන්තර්ජාල ක්‍රමවේදය වඩා අඩු වියදම් සාර්ථක ක්‍රමවේදයක් බව බොහෝ දෙනා පවසනවා. SpaceX සමාගමේ Falcon 9 රොකට්ටු මගින් අඩු වියදමකින් චන්ද්‍රිකා කක්ෂගත කර හැකි වීම නිසා වියදම් මෙලෙස අඩුවී ඇති බව යි පැවසෙන්නේ. මිලියන 40ක ප්‍රජාවක් දක්වා අන්තර්ජාල සේවා ලබාදීමට හැකිවුවහොත් ඩොලර් බිලියන 30ක පමණ ආදායමක් Starlink සතුවෙතැයි අපේක්ෂිත යි.

කවරයේ පින්තූරය - Tesla සහ SpaceX ප්‍රධානී ඊලෝන් මස්ක් - techspot.com

මූලාශ්‍ර:

starlink.com

spacex.com

cnet.com

prestigeonline.com

businesswire.com

commscope.com

 brilliant.org/realengineering 

Related Articles