වර්තමානයේ දී ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යි. එය ක්‍රියාත්මක වුණේ 1978 සැප්තැම්බර් 7 වැනිදා සිට යි. එදා සිට ගෙවුණු වසර 45කට ආසන්න කාලයේ දී එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 21 වාරයක් සංශෝධනය වුණා.
එසේ සිදු වුණු සංශෝධන අතුරින් 13 වන ව්‍යවස්ථා සංශෝධනයට රටේ විවිධ පාර්ශව අතර වැඩි කතාබහකට ලක් වුණා. ඒ 1987 ඉන්දු-ලංකා ගිවිසුමෙන් පසු ඉන්දියාවේ අවශ්‍යතාව මත එම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළ නිසා යයි චෝදනා නැඟීමත් සමඟ යි.
මතු වුණු දැඩි විරෝධතා
එදා එම සංශෝධනය මඟින් ඉදිරිපත් කළ සියලු ම යෝජනා ක්‍රියාත්මක වුණේ නැහැ. එනිසා ගෙවුණු දශක 3ක කාලයේ දී 13 වන ව්‍යවස්ථා සංශෝධන සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කිරීමට බලයට පත් වූ අප රටේ ඇතැම් දේශපාලන නායකයන් උත්සාහ කළා. එවැනි අවස්ථාවල දී මතු වුණු දැඩි විරෝධතා හේතුවෙන් 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ම බලාත්මක කිරීමට හැකි වුණේ නැහැ.
එසේ වරින් වර කතා බහට ලක් වුණු 13 වන ව්‍යවස්ථා සංශෝධනය මේ දිනවල යළිත් වරක් කරළියට පැමිණ තිබෙනවා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු බවට පසුගිය ජනවාරි 15 වැනිදා යාපනයේ පැවැත්වුණු ජාතික තෛපොංගල් උත්සවයේ දී සිදු කළ ප්‍රකාශයත් සමඟ යි. ඒ සමඟ ම 13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ව බොහෝ දෙනෙක් නැවතත් උනන්දුවෙන් පසු වෙනවා.
මේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ව ඔබ දැන ගත යුතු තොරතුරු යි.
1978 ව්‍යවස්ථා සංශෝධනයට මඟ පෑදූ දැවැන්ත මැතිවරණ ජයග්‍රහණය
1977 වසරේ පැවති මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට 5/6ක බහුතර බලයක් ලැබුණා. එය, එම කාල වකවානුව වන විට තනි පක්ෂයක් මහා මැතිවරණයක දී ලබා ගත් ඉහළ ම ආසන ප්‍රමාණය යි. එදා එක්සත් ජාතික පක්ෂයට ලැබුණු විශල ජනවරමෙන් ප්‍රයෝජන ගත් එවක අගමැති ජේ. ආර්. ජයවර්ධන ඒ වන විට ක්‍රියාත්මක වෙමින් තිබුණු 1972 පළමු ජනරජ ව්‍යවස්ථාවට සංශෝධනය කළා.
1977 වසරේ ඔක්තෝබර් 4 වැනිදා රාජ්‍ය සභාවට ඉදිරිපත් වුණු එම සංශෝධනය බහුතර කැමැත්තෙන් සම්මත වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1978 වසරේ පෙබරවාරි 4 වැනිදා ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා ලෙසින් පත් වුණේ ජේ. ආර්. ජයවර්ධන යි. ඔහුගේ පත්වීම නිසා පුරප්පාඩු වුණු අග්‍රාමාත්‍ය තනතුර රණසිංහ ප්‍රේමදාසට හිමි වුණා.
1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම
එදා එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුව තුළ 5/6ක බහුතර බලයක් තිබුණු නිසා ඔවුන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමට කල්පනා කළා. 1978 වසරේ ජූලි 25 වැනිදා එවකට අග්‍රාමාත්‍යවරයා ලෙසින් කටයුතු කළ රණසිංහ ප්‍රේමදාස නව ව්‍යවස්ථාව ජාතික රාජ්‍ය සභාවට ඉදිරිපත් කළා. එවකට එක්සත් ජාතික පක්ෂය සතු ව බහුතර බලයක් තිබුණු නිසා කිසිදු අපහසුවකින් තොර ව එම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට ඔහුට හැකි වුණා. එලෙස සම්මත වුණු දෙවන ජනරජ ව්‍යවස්ථාව 1978 වසරේ සැප්තැම්බර් 7 වැනිදා සිට ක්‍රියාත්මක වුණා.
වසර 9ක දී සංශෝධන 12ක්
1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුල් වසර 9ක කාලයේ දී12 වාරයක් සංශෝධනය වුණා. එම සංශෝධනවල දී අධිකරණය, ජනාධිපති ධූරය, සහ පාර්ලිමේන්තුව පිළිබඳ ව ව්‍යවස්ථාවේ දක්වා තිබුණු ඇතැම් කරුණු සංශෝධනය වුණා. මේ එම සංශෝධන සිදු වුණු කාල වකවානු යි.
1). පළමු සංශෝධනය- 1978/11/20
2). දෙවන සංශෝධනය- 1979/02/26
3). තෙවන සංශෝධනය- 1982/08/27
4). සිව්වන සංශෝධනය- 1982/12/23
5). පස්වන සංශෝධනය- 1983/2/25
6). හයවන සංශෝධනය- 1983/08/08
7). හත්වන සංශෝධනය- 1983/10/04
8). අටවන සංශෝධනය- 1984/03/06
9). නවවන සංශෝධනය- 1984/08/24
10). දසවන සංශෝධනය- 1986/08/06
11). එකොළොස්වන සංශෝධනය- 1987/05/06
12). දොළොස්වන සංශෝධනය- 1987/09/25
13 වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා වටපිටාව සැකසුණු හැටි
13 වන ව්‍යවස්ථා සංශෝධනය සිදු කිරීමට හේතු වුණේ 1987 දී අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුම යි. එවකට ඉන්දීය අගමැති රජීව් ගාන්ධි සිය බිරිය සෝනියා සමඟ ඉන්දු- ලංකා ගිවිසුමට අත්සන් තැබීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේ 1987 ජුලි 29 වැනිදා පෙරවරුවේ යි. ඒ සමඟ ඉන්දීය රජයේ අමාත්‍යවරුන් වුණු නරසිංහ රාවෝ, එන්.ඩී තිවාරි, රාජ්‍ය අමාත්‍ය නට්වාර් සිං යන උදවියත් පැමිණියා.
එස්. මෙනන්, රොහාන් සෙන් යන නිලධාරීන් සහ ජනමාධ්‍යවේදීන් පිරිසක් ද එම දූත පිරිසත් සමඟින් මෙරටට පැමිණියා. ඉන් පසුව ඉන්දීය අගමැතිවරයා සහ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා අතර ශ්‍රී ලංකා ජනාධිපති මන්දිරයේ දී කෙටි සාකච්ඡාවක් පැවතුණා. ඒ මොහොත වන විට විපක්ෂයේ ක්‍රියාකාරීන් රැසක් කොළඹට එකතු වී ගිවිසුම අත්සන් කිරීමට එරෙහි ව දැඩි විරෝධයක් පාමින් සිටියා.
ඒ පිළිබඳ ව කිසිදු තැකීමක් නොකළ ජේ.ආර් ජයවර්ධන එවක ජනාධිපතිවරයා සහ ඉන්දීය අගමැතිවරයා පස්වරු 3.37ට පමණ ගිවිසුමට නිල වශයෙන් අත්සන් කළා. ගිවිසුම අත්සන් කළ අවස්ථාව සඳහා එවකට ආණ්ඩුවේ අමාත්‍යවරුන් වුණු ඒ.සී.එස්. හමීඩ්, ගාමිණී දිසානායක, එස්. තොන්ඩමන්, දේවනායගම්, ඊ. එල්. බී. හුරුල්ලේ වැනි අයත් එක් ව සිටියා.
එදා ඉන්දීය රජයෙන් එල්ල වුණු බලපෑම හමුවේ ශ්‍රී ලංකා රජය ගිවිසුමට අත්සන් කළ ද රටේ ජනතාව සහ ආණ්ඩුවේ ඇමති වරුන්ගෙන් බහුතරයක් එහි අඩංගු වී තිබුණේ මොනවාදැයි හරියාකාර ව දැනුම්වත් ව නොසිටීම විශේෂත්වයක් වුණා.
13 වන ව්‍යවස්ථා සංශෝධනය කරළියට පැමිණි හැටි
ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කර මාස 4ක් ගත වීමට පෙර 13 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරුණා. ඒ 1987 නොවැම්බර් 12 වැනිදා යි. ඉන් පසුව එම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවට ඡන්ද විමසීමක් පාර්ලිමේන්තුවේ පැවැත්වුණා. එහි දී යෝජනාවට පක්ෂව ඡන්ද 138ක් හිමිවෙද්දී විපක්ෂ ව හිමි වුණේ ඡන්ද 11ක් පමණ යි.
පාර්ලිමේන්තුවේ ඉතිරි මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක් ඡන්ද දීමෙන් වැලකී සිටිද්දී තවත් පිරිසක් එදින පාර්ලිමේන්තුවට පැමිණියේ නැහැ. එහි දී එවකට එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් දෙදෙනෙක් වුණු සිරිල් මැතිව් සහ ගාමිණී ජයසූරිය යෝජනාවවට විරුද්ධව ඡන්දය ලබා දීම විශේෂ සිදුවීමක් වුණා. එලෙස සම්මත 13 වන ව්‍යවස්ථා සංශෝධනය 1987 නොවැම්බර් 14 වැනිදා සිට ක්‍රියාත්මක වුණා.
13 වන ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු වුණු දේ කෙටියෙන්
1987 නොවැම්බර් 14 වැනිදා සිට ක්‍රියාත්මක වුණු 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත් වුණු කරුණු මෙසේ කෙටියෙන් දක්වන්නට පුළුවන්.
1). දෙමළ බස රාජ්‍ය භාෂාවක් කිරීම සහ ඉංග්‍රීසි සන්ධාන භාෂාවක් කිරීම සඳහා 4 වන පරිච්ඡේදයේ 18 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.
2). අභියාචන අධිකරණ බලය පිළිබඳ ව වුණු 16 වැනි පරිච්ඡේදයේ 138 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.
3). සෑම පළාතක් සඳහා ම පළාත් සභාවක් පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස 17 වන පරිච්ඡේදයේ ව්‍යවස්ථා 154(අ) සිට 154(ට) ද ඇතුළු ව XVII A ඡේදය ඇතුළත් කිරීම.
4). මහජන ආරක්ෂක ආඥා පනත යටතේ හදිසි අවස්ථා නියෝග සෑදීම පිළිබඳ ව 18 වන පරිච්ඡේදයේ 155 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.
5). පළාත් සභා මඟින් සාදන ප්‍රඥප්ති ද ලිඛිත නීති යන නිර්වචනය යටතට ඇතුළත් කිරීම සඳහා 23 වන පරිච්ඡේදයේ 170 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.
6). පළාත් නවය නම් කිරීම සඳහා අටවන උපලේඛනය ද, පළාත් සභා ලැයිස්තුව, සංවෘත ලැයිස්තුව සහ සමගාමී ලැයිස්තුව විස්තර කිරීම සඳහා නවවන උපලේඛනය ද ඇතුළත් කිරීම.
13 වන ව්‍යවස්ථා සංශෝධනයට එල්ල වුණු විරෝධතා
ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලබා දීම 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රධාන අරමුණක් බවට පත් වුණා. එම කාල වකවානුව වන විට දෙමළ ජනතාවගේ ප්‍රධාන ඉල්ලීම් දෙකක් බවට පත් ව තිබුණේ සමාන භාෂා අයිතිවාසිකම් සහතික කිරීම සහ පුළුල් බලය බෙදා හැරීමේ ක්‍රමය ස්ථාපිත කිරීම යන ඉල්ලීම් දෙක යි.
ඒ අනුව භාෂා අයිතිවාසිකම් සහතික කිරීම වෙනුවෙන් සිංහල සහ දෙමළ යන භාෂා දෙක ම රාජ්‍ය භාෂාව ලෙස පිළිගත යුතු බවත්, බලය බෙදා හැරීමේ ක්‍රමයක් ලෙසින් ඉන්දීය ෆෙඩරල් ආකෘතියට දල වශයෙන් සමාන වුණු පළාත් සභා ඇති කළ යුතු බවත් 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත් ව තිබුණා.
එම යෝජනා දෙක ක්‍රියාත්මක කිරීමට එරෙහි ව රටේ මහා විරෝධයක් ගොඩ නැඟුණා. එයට මහා සංඝරත්නය, විපක්ෂයේ දේශපාලන පක්ෂ ඇතුළු විවිධ සංවිධාන පමණක් නොව රටේ මහජනතාව ද එක් ව සිටියා. එම විරෝධතාකරුවන්ගේ මතය වුණේ මේ සංශෝධනය මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පහත වගන්ති උල්ලංඝණය වන බව යි.
1). ඒකීය රාජ්‍යයක් සහතික කරන දෙවන වගන්තිය උල්ලංඝණය වීම
2). ජනතාවගේ ස්වාධිපත්‍යය තහවුරු වන තෙවන වගන්තිය උල්ලංඝණය වීම
3). බුද්ධාගමට ප්‍රමුඛස්ථානයක් දෙන නව වන වගන්තිය උල්ලංඝණය වීම
ඒ අනුව 13 වන ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථානුකූලව සහ දේශපාලනික වශයෙන් අභියෝගයට ලක් කිරීමට ඇතැම් පිරිස් කටයුතු කළා. එනිසා එම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල බව පරීක්ෂා කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යාමට ජනාධිපති ජේ.ආර් ජයවර්ධන තීරණය කළා. විනිසුරුවන් 9 දෙනෙකුගෙන් යුත් කමිටුවක් ඉදිරියේ එම නඩුව විභාග කෙරුණා.
එම නඩු විභාගය අවසානයේ දී එහි සිටි විනිසුරුවන් පස් දෙනකුගේ මතය වුණේ එම කෙටුම්පත මඟින් ශ්‍රී ලංකාවේ ඒකීය බවට, බුද්ධාගමට ලැබී තිබෙන ප්‍රමුඛස්ථානයක් කිසිදු හානියක් නොවන බව යි. ඉතිරි විනිසුරුවරුන් සිව් දෙනාගේ මතය වුණේ එම කෙටුම්පත මඟින් මෙරට ඒකීය භාවයට හානියක් වන නිසා ජනමත විචාරණයක් පැවැත්වීමෙන් පසුව එය සම්මත කළ යුතු බව යි.
13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම
13 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පෙර එහි ව්‍යවස්ථානුකූල බව පරීක්ෂා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගිය අවස්ථාවේ විනිසුරු මඬුල්ලේ බහුතරයේ මතය වුණේ එහි ව්‍යවස්ථානුකූල ගැටලුවක් නොපවතින බව යි. එනිසා 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු වුණු ඇතැම් යෝජනා ක්‍රියාත්මක කිරීමට හැකි වුණා.
ඒ අතුරින් ක්‍රියාත්මක වුණු ප්‍රධාන යෝජනාවක් වුණේ පළාත් සභා ස්ථාපිත කිරීම යි. එහි දී ඉඩම් සහ පොලිස් බලතල පළාත් සභා පනතට ඇතුළත් කළේ නැහැ. ඒ වාගේ ම එම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව දෙමළ භාෂාව රාජ්‍ය භාෂාව බවට ද පත් වුණේ නැහැ. එයින් පැහැදිලි වන්නේ එකල 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක නොවූ බව යි.
13 වන ව්‍යවස්ථා සංශෝධනයේ අනාගත ඉරණම කෙබඳු වේවිද?
අද වන විට සමාජගතව තිබෙන මතය වන්නේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කිරීමට වත්මන් ජනාධිපතිවරයා සූදානමින් සිටින බව යි.
එය එසේ සිදු වුණොත් දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් බවට ද, ඉංග්‍රීසි සන්ධාන භාෂාවක් බවට ද පත්වනු ඇති. ඉඩම් සහ පොලිස් බලතල පළාත් සභාවලට ලැබෙනු ඇති.
එවැනි තත්ත්වයක් යටතේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක වුණොත් එයට එරෙහි ව ප්‍රබල ජනතා විරෝධයක් නැවත මතුවනු ඇති බවට සැකයක් නැහැ. ගෙවුණු දශක 3ක කාලයෙත් විවිධ අවස්ථාවල දී 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට විවිධ පාලකයන් උත්සාහ කළා. ඒ කිසි විටෙක එම වෑයම් සාර්ථක ප්‍රතිපල අත් කර ගත්තේ නෑ. එනිසා 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ අනාගත ඉරණම මෙවර විසඳෙන ආකාරය කෙබඳුදැයි බලා සිටීමට සිදු වනු ඇත.