ක්‍රිස්තු වර්ෂ 17 වැනි සියවසට පෙර කාල සීමාව ජපානයට ආර්ථික වශයෙන් පමණක් නොව දේශපාලනික වශයෙන් ද අඳුරු කාල සීමාවක් බව පැවසීමේ වරදක් නැහැ. ‘සෙන්ගොකු සමය’ හෙවත් ‘ප්‍රතිවිරුද්ධ ප්‍රාන්ත පාලනය’ ලෙස ජපන් ඉතිහාසයේ දැක්වෙන ක්‍රිස්තු වර්ෂ 1478 – 1605 දක්වා වූ මෙම කාල සීමාව තුළ දී ජපන් අධිරාජ්‍යය තුළ සාමාජීය විප්ලවයන්, දේශපාලන කුමන්ත්‍රණ සහ නිරන්තර හමුදා ගැටුම් බහුල වූ බව යි සඳහන් වන්නේ. මේ කාල සීමාව තුළ දී ප්‍රාන්ත රාජ්‍යයන් හි පාලකයින් (දෛම්යෝවරුන්) එකිනෙකාට එරෙහි ව සටන් මෙහෙයවමින් රටේ පාලනය සියතට ගැනීමට උත්සාහ කරමින් සිටියා.
නමුත් දෛම්යෝවරුන්ගේ ජපන් අධිරාජ්‍යය දෙකඩ කිරීමේ සියලු ප්රයත්නයන්ට නැවතීමේ තිත තබමින් ජපානය එක්සේසත් කිරීමට කටයුතු කළ වීර සමුරායිවරුන් තිදෙනෙකු පිළිබඳව ජපන් ඉතිහාසයේ සඳහන් වෙනවා. ඔඩා නොබුනගා, තොයෝතොමි හිදෙයොෂි සහ තොකුගාවා ඉයෙයාසු නම් වූ ඔවුන් තිදෙනාගේ උත්සාහයන් හි අවසන් ප්‍රතිඵලය වුණේ ක්‍රිස්තු වර්ෂ 1603 දී එක්සේසත් කරන ලද ජපනයේ පාලන බලය ‘තොකුගාවා ෂෝගුනේට්’ නම් වූ හමුදා පාලනයට යටත් වීම යි. මෙසේ තොකුගාවා ඉයෙයාසු යටතේ ඇරඹි පාලනය යටතේ ජපානයේ පාලන කටයුතු විධිමත් කිරීමට පියවර ගන්නා ලද අතර ජපන් ආණ්ඩුව, රාජකීය පවුල සහ කියෝතෝ ප්රභූන්ගේ සභාව යන ද්විත්ව පදනම මත ක්‍රියාත්මක වුණා.
‘තොකුගාවා ෂෝගුනේට්’ පාලනය යටතේ ජපානයේ සාමාජීය, ආර්ථික සහ දේශපාලිනක වෙනස්කම් රාශියක් සිදු වූ අතර ජපානය නූතන රාජ්‍යයක් බවට පත් වීමේ පදනම ඇරඹුණේ ද මේ කාලය තුළ දී බව යි ඉතිහාසඥයින්ගේ මතය වන්නේ. ඒ හේතුවෙන් ‘තොකුගාවා ෂෝගුනේට්’ පාලන සමය ජපන් ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් ලෙස ද සැලකෙනවා. නමුත් ක්‍රිස්තු වර්ෂ 1868 දී සිදු වූ මෙයිජි ප්‍රතිසංස්කරණ මගින්, ‘තොකුගාවා ෂෝගුනේට්’ පාලනය අවසන් කර යළිත් වරක් ජපන් අධිරාජ්‍යයාට බලය පැවරීම සිදු කරනවා. මෙහි ප්‍රතිඵලය වන්නේ ‘තොකුගාවා ෂෝගුනේට්’ පාලනය යටතේ ආවෘත ආර්ථිකයක් පවත්වාගෙන යන ලද ජපානය, විවෘත ආර්ථිකයකට මාරු වීම සහ ආසියාවේ දියුණු රාජ්‍යයක් ලෙස නැගී සිටීම යි.
නූතන ජපානය බිහි කළ මෙයිජි ප්‍රතිසංස්කරණ
ක්‍රිස්තු වර්ෂ 17 වැනි සියවසට පෙර ජපන් සමාජයේ ඉහළ ම තලයක වැජඹුණු සමුරායිවරුන්ට ‘තොකුගාවා ෂෝගුනේට්’ පාලන සමයේ දී හිමි වුණේ නොවැදගත් තත්ත්වයක්. එයට හේතු වුණේ ෂෝගුන්වරුන් විසින් ජපානය තුළ ආර්ථික වර්ධනයක් ඇති කිරීම සහ සමාජ ආරවුල් විසඳීම යි. ඒ අනුව පැරණි සාමාජ ක්රමයේ පහළ මට්ටමක සිටි වෙළෙන්දන් ක්‍රමයෙන් ධනය එක් කරගෙන සමස්ත ආර්ථිකයට ම බලපෑම් කළ හැකි පිරිසක් බවට පත් වූ අතර රට තුළ පැවති සාමකාමී තත්ත්වය හේතුවෙන් සමුරායිවරුන්ට ඉදිරියට පැමිණීමට කිසිදු අවස්ථාවක් හිමි වුණේ නැහැ. මෙහි ප්‍රතිඵලය වුණේ සමුරායිවරුන් එක් ව ‘තොකුගාවා ෂෝගුනේට්’ පාලනය අවසන් කිරීම සඳහා ක්‍රමන්ත්‍රණයක් දියත් කිරීම යි.
ඒ අනුව තරුණ සමුරායිවරුන්ගෙන් සැදි ‘සච්චෝ මිත්‍රත්වය’ (‘තොකුගාවා ෂෝගුනේට්’ පාලනයට එරෙහි ව ‘සත්සුමා’ සහ ‘චෝෂු’ නම් වැඩවසම් රාජ්‍යයන් එක් ව ඇති කර ගන්නා ලද සම්මුතියක්) ක්‍රිස්තු වර්ෂ 1868 ජනවාරි 3 වැනි දින ක්රමන්තණයක් මගින් කියෝතෝ නුවර බලය අල්ලා ගන්නා ලද අතර එහි අවසන් ප්‍රතිඵලය වුණේ අවසන් ෂෝගුන්වරයා වූ තොකුගාවා යොෂිනොබු ව බලයෙන් ඉවත් කරන ලද බව සහ යළිත් වරක් ජපන් අධිරාජ්‍යයාට පාලන කටයුතු භාර කරන ලද බව ප්‍රකාශයට පත් කිරීම යි. මෙයට එරෙහි ව තොකුගාවා යොෂිනොබු සිවිල් යුද්ධයක් ඇරඹුව ද ක්‍රිස්තු වර්ෂ 1869 ජූනි මාසයේ දී ඔහු තමන් සතු සියලු බලතල ජපන් අධිරාජ්‍යයාට පවරා යටත් වුණා.
මෙයිජි පාලනය යටතේ දියුණු වූ ජපානය
මෙයිජි ප්‍රතිසංස්කරණ යටතේ ජපන් අධිරාජ්‍යයේ පාලන බලය පවරන ලද්දේ මුත්ෂුහිතෝ කුමරුට යි. වයස අවුරුදු 15 ක් තරම් වන අඩු වයසක දී ජපානයේ අධිරාජ්‍යයා බවට පත් වුව ද ජපාන යළි නගා සිටුවීම සඳහා ඔහු දක්වා ඇති දායකත්වය විශ්මයජනක යි. ක්‍රිස්තු වර්ෂ 1868 – 1912 දක්වා වූ ඔහුගේ පාලන සමය හඳුන්වනු ලබන්නේ ‘මෙයිජි ප්රබුද්ධ සමය’ ලෙස යි. ජපානය දියුණු කිරීම සඳහා නවීන ක්‍රම ශිල්ප යොදා ගත යුතු බව තරයේ විශ්වාස කළ ඔහු ක්‍රිස්තු වර්ෂ 1871 දී එවකට ජපානය තුළ ක්‍රියාත්මක වූ වැඩවසම් ආර්ථික ක්‍රමය අහෝසි කරන ලද අතර ඒ අනුව ජපන් වංශාධිපතිවරුන්ට එතෙක් කාලයක් භුක්ති විඳින ලද වරප්‍රසාද පසෙකලා නව පාලන ආයතන හා එක් ව ජපානය නගා සිටු වීමට දායක වීමට සිදු වුණා.
මෙසේ ඇරඹුණු මෙයිජි පාලන සමය ජපානය තුළ දේශපාලන, ආර්ථික, සාමාජීය සහ බුද්ධිමය වෙනස්කම් රැසක් සිදු කළ කාල සීමාවක් බව පැවසීම වැරදි නැහැ. බටහිර රටවල පවතින දේශපාලන ක්‍රම අධ්‍යයනය කළ ජපන් අධිරාජ්‍යයා සහ මෙයිජි නායකයන් එක් ව තීරණය කරන ලද්දේ නූතන ජපානයට අවැසි වන්නේ ව්‍යවස්ථානුකූල රාජාණ්ඩුවක් බව යි. ඒ අනුව ජර්මන් ව්‍යවස්ථාව අනුගමනය කරමින් සකස් කරන ලද නව ජපන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රිස්තු වර්ෂ 1890 දී ප්‍රකාශයට පත් කරන ලද්දේ මුත්ෂුහිතෝ අධිරාජ්‍යයා විසින්. මේ යටතේ ජපන් අධිරාජ්‍යයාගේ බලය පිළිගෙන ඇති අතර ව්‍යවස්ථාදායක කටයුතු සඳහා ‘ඩයට් සභාව’ නම් ද්වී-මණ්ඩල පාර්ලිමේන්තුව ස්ථාපිත කර තිබෙනවා.
ජපානය ලොව බලවත් ම ආර්ථිකයක් බවට පත් වුණේ ද මෙයිජි ප්රබුද්ධ සමයේ දී යි. අභ්‍යන්තර ඉතුරුම් වැඩි කිරීම මගින් ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කළ මුත්ෂුහිතෝ අධිරාජ්‍යයා, විදෙස් තාක්ෂණික දැනුම ජපානයට රැගෙන ඒම සඳහා ක්‍රිස්තු වර්ෂ 1871 – 1873 දක්වා කාලයේ දී ජපන් තානාපතිවරු ලොව පුරා රාජ්‍යයන් හි (විශේෂයෙන් ම ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපයේ) සංචාරයක නිතර කරවීමට ද කටයුතු කළා. මෙය හඳුන්වන්නේ ‘ඉවාකුරා මෙහෙයුම’ ලෙස යි.
එසේ ම නූතන තාක්ෂණය සමග ඉදිරියට යන යුද හමුදාවක් ඇති කිරීමේ අරමුණෙන් ක්‍රිස්තු වර්ෂ 1873 දී සමුරායිවරුන්ගේ බලතල අහෝසි කර ප්‍රංශ ජාතිකයන් යටතේ ජපන් හමුදාවට යුද පුහුණුව ලබා දීමට ද ජපන් අධිරාජ්‍යයා කටයුතු කර තිබෙනවා. පසු කාලීනව මෙයිජි පාලනයට විරුද්ධව සමුරායිවරුන් විසින් ‘සත්සුමා කැරැල්ල’ දියත් කරන ලද්දේ ද මේ හේතුවෙන්. කෙසේ වුව ද ‘සත්සුමා කැරැල්ල’ සාර්ථක ව මැඩ පැවැත්වීමට අධිරාජ්‍යයා සමත් වූ අතර නිසි පුහුණුව ලද ජපන් හමුදාව යුදමය වශයෙන් ද ලෝක බලවතෙකු ලෙස නැගී සිටීමට සමත් වුණා.
ක්‍රිස්තු වර්ෂ 1912 දී සිදු වූ මුත්ෂුහිතෝ අධිරාජ්‍යයාගේ මරණය හේතුවෙන් ‘මෙයිජි ප්රබුද්ධ සමය’ අවසන් වුව ද ඒ වන විට ද ආර්ථික වශයෙන් පමණක් නොව සෑම අංශයකින් ම ජපානය ලෝක බලවතෙකු බවට පත් වී අවසන්. ඒ අනුව මෙයිජි ප්‍රතිසංස්කරණවල අවසන් ප්‍රතිඵලය වූ ‘මෙයිජි යුගය’ ජපානයේ දීප්තිමත් ම පාලන සමය ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවනු ඇත.
මූලාශ්‍ර :
11 ශ්‍රේණිය – ඉතිහාසය පෙළපොත (පැරණි නිර්දේශය)
කවරයේ පින්තූරය : © Pinterest
මෙයිජි පාලනය යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දීම