Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විල්පත්තු මිනීමැරුම රිදී තිරයට ගෙනා ‘දඩයම’

ලාංකේය සිනමා ඉතිහාසයේ 558 වැනි සිනමාපටය ලෙස තිරගත වූ ‘දඩයම’ මෙරට සිනමා ඉතිහාසයේ සුවිශේෂී සිනමාපටයක් ලෙස සැලකෙනවා. ඇතැම් විචාරකයන් එය මෙරට බිහි වූ විශිෂ්ටතම සිනමාපට දහයට ඇතුළත් කරන්නේ ‘දඩයම’ සිනමාපටයේ අති ඉහළ සිනමාරූපී බව හේතුවෙනුයි. වසන්ත ඔබේසේකර විසින් අධ්‍යක්ෂණය කළ එහි ප්‍රධාන චරිත නිරූපණය කළේ   රවීන්ද්‍ර රන්දෙණිය සහ ස්වර්ණා මල්ලවාරච්චි විසිනුයි. කේමසිරි ප්‍රේමදාස ශූරීන් එහි සංගීතය නිර්මාණය කළ අතර එහි කැමරා අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළේ ඩොනල්ඩ් කරුණාරත්නයි. මෙම සිනමාපටය එම වසරේ ජනාධිපති සම්මාන උලෙළේ දී හොඳම සිනමාපටය ඇතුළු සම්මාන නවයකින් පිදුම් ලැබීමට ද සමත් වුණා.

ඇඩ්ලින් විතාරණ ඝාතනය

alchetron.com
(ඇඩ්ලින් සහ ජයලාල්)

‘දඩයම’ සිනමාපටය සඳහා වසන්ත ඔබේසේකර විසින් පාදක කරගනු ලැබුවේ මෙරට සිදු වූ සුප්‍රකට මිනීමැරුමක් වූ ඇඩ්ලින් විතාරණ ඝාතනය යි. විල්පත්තු ඛේදවාචකය යන නම්වලින්ද හැඳින්වූ එම මිනීමැරුම එවකට දැඩි ආන්දෝලනයක් ඇති කළ අතර, එහි විත්තිකරු වූ ජයලාල් ආනන්දගොඩ නැමැත්තාට මරණ දඬුවම පවා හිමිවුණා. එම සිදුවීම පාදක කරගනිමින් නිව්ටන් ගුණසේකර විසින් ‘දඩකෙලිය’යන නමෙන් නවකතාවක්ද නිර්මාණය කිරීමත් විශේෂත්වයක්.

1959 වසරේ මාර්තු 16 වැනිදා දිනමිණ පුවත්පතේ අටවැනි පිටුවේ පළ වූ එක්තරා මිනීමැරුමක් මුළු ලංකාවම තිගැස්සීමට ලක් කළේ එම මිනීමැරුම සිදුකර තිබූ ආකාරය හේතුවෙනු යි. ගැබිනියක වූ රූමත් තරුණියක් මෝටර් රියකට යටකර මරා දමා තිබූ අතර, පසුව වැඩිදුරටත් වාර්තා වුණේ එම මළසිරුර අනුරාධපුර පුත්තලම මාර්ගයේ  විල්පත්තු වනෝද්‍යානය අසලින් සොයාගත් බවයි. අඩි පහයි අඟල් දෙකක් පමණ උස් වූ එම මළසිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අනුරාධපුර මහේස්ත්‍රාත් වරයාගේ නියෝගය පරිදි කොළඹදී පැවැත්වුණු අතර එහිදී හෙළි වූයේ එම මල සිරුර ඇඩ්ලින් විතාරණ නම් කාන්තාවකගේ බවයි.

dinamina.lk
(දඩයම සිනමාපටයේ ඇඩ්ලින් ලෙස රංගනයේ යෙදෙන ස්වර්ණා මල්ලවාරච්චි)

කටුගස්තොට පල්ලෙතලවින්නේ සිට පැමිණි එච්.එම්.පොඩි මැණිකේ සහ ඇග්නස් විතාරණ එම මළසිරුර හඳුනාගත් අතර ඔවුන් දෙදෙනා ඇඩ්ලින්ගේ මව සහ සොයුරියයි. වැඩිදුර විමර්ශන වලින් අනතුරුව එම මිනීමැරුමට සැකපිට කළුතර පාසලක සේවය කළ ජයලාල් ආනන්දගොඩ නමැත්තකු අත්අඩංගුවට පත් වූ අතර ඇඩ්ලින්ට ඔහුට දාව දියණියක්ද සිටි බවත් හෙළි වුණා. ජයලාල් සමග මෙම මිනීමැරුමට සැකපිට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට පත් වූ අතර ඉන් ජයලාල්ට මරණ දණ්ඩනය හිමි වුණා.1962 වසරේ ජුනි 21 වැනි දින ඔහු බෝගම්බර බන්ධනාගාරයේ දී එල්ලා මැරූ අතර ඔහුගේ ඉල්ලීම පරිදි ජයලාල්ගේ ඇස් දෙක වෙනත් අයකුට දන් දීමත් විශේෂත්වයක්.

dbsjeyaraj.com
(ඇඩ්ලින් සහ ජයලාල් ලෙස රඟපාන ස්වර්ණා සහ රවින්ද්‍ර රන්දෙණිය)

ඇඩ්ලින් සහ ජයලාල්ගේ කතාව

1956 නොවැම්බර් 21 දා ඇඩ්ලින් සිය පියා හා ආච්චී සමග කොළඹ සිට දුම්රියේ පැමිණි ගමන ඇගේ ජිවිතයේ තීරණාත්මක සිදුවීම් දාමයකට මගපෑදුවේ ලාල් අතපත්තු නම් තරුණයා හමුවීම හේතුවෙනුයි. ජයලාල් ආනන්දගොඩ ලාල් අතපත්තු ලෙස සිය ලිපිනය ඇයට ලබා දුන්නේ ව්‍යාජ ලිපිනයක්ද සමගයි. ඉන්පසු ගෙවී ගිය දින ගණනාවකින් පසු ඔවුන් දෙදෙනා පෙම්වතුන් බවට පත් වූ අතර, එහි අවසානය ලියැවුණේ ඇඩ්ලින්ගේ කුසේ ජයලාල්ට දාව දරුවකු පිළිසිඳ ගනිමිනුයි. ධනවතෙකු ලෙස පෙනී සිටිමින් කුලියට ගත් පියට් රථයකින් නිරතුරුව ඇඩ්ලින් මුණ ගැසීමට පැමිණි ජයලාල් මෙම සිදුවීමෙන් පසු ඇඩ්ලින් මගහැරීමට පටන්ගත් අතර ඇඩ්ලින් දැඩි කම්පනයකට පත් වුණේ ඔහු ලබා දුන් ලිපිනය මෙන්ම නමද ව්‍යාජ බව හෙළිවීමත් සමගයි.

සිය දියණිය වෙත පියකු ලබා දීමට නොතිත් උත්සාහයක නිරත වූ ඇඩ්ලින් කොළඹට පැමිණ ලිංගම් නැමැත්තෙකු හරහා කෙසේ හෝ ජයලාල් සොයාගත් අතර කපටි තැනත්තෙකු වූ ජයලාල් කෙසේ හෝ ඇඩ්ලින් සිය බසට අවනත කරගත්තේ ඇගේ සිතේ ඔහු කෙරෙහි නැවත විශ්වාසයක් ද ඇති කරමිනුයි. ඇඩ්ලින් දෙවන වර ගැබ් ගැනීමෙන් පසු ඇය ජයලාල්ට තමා විවාහ කරගන්නා ලෙස නැවත ආයාචනා මෙන්ම තර්ජන ද සිදුකළ නමුත්, ජයලාල් ඒ හැමවිටම බොරු පවසමින් ඇය මුළා  කළේ ඒ වන විටද ඔහු මහබැංකුවේ සේවය කරන තරුණියක සමග විවාහ වීමට සූදානමින් ඇගේ නිවසේ නැවතී සිටි බැවිනුයි.

sarasaviya.lk

ජයලාල්ගෙන් පිළිතුරක් නොලැබුණු තැන ඇඩ්ලින් ඔහුගේ පාසලේ විදුහල්පතිවරයා වෙත සියල්ල දන්වා ලිපියක් යොමුකළ අතර ජයලාල් ඇඩ්ලින් කෙරෙහි වෛර බැඳ ගැනීමට එය ප්‍රකට හේතුවක් වූ බව පැවසෙනවා. දිනක් සිය මව සහ සොයුරිය ලෙස හඳුන්වා ගත් කාන්තාවන් දෙදෙනෙකු සමග ඇඩ්ලින්ගේ නිවසට පැමිණෙන ජයලාල් තමා ඇයව විවාහ කරගැනීමට කැමති බව පවසා ඇඩ්ලින් කැටුව යන්නේ කලින් සැලසුම් කරගත් ගණිකා නිවාසයක් වෙතට යි. ඇඩ්ලින් එම ගණිකා නිවාසයෙන් පලා එන අතර, ඉන්පසු හොඳින් හෝ නරකින් ජයලාල් විවාහ කරගැනීමට තීරණය කරන්නේ වෙන කිසිවක් නොමැති බැවිනුයි. ඇය 1959 වසරේ මාර්තු 2 වැනිදා රෙදිපිළි ද රැගෙන පැමිණ තමා භාර ගන්නා ලෙසට ජයලාල් හමු වී තර්ජනය කරන්නේ තමා දෙවන වරටත් ගැබ්ගෙන ඇති බව සිහිපත් කරමිනුයි.

කුරිරු සැලසුම

ඇඩ්ලින්ගෙන් ගැලවීමක් නොමැති බව තේරුම් ගන්නා ජයලාල් ඇයව විවාහ කරගන්නා බව පවසා ඇඩ්ලින් කලවැල්ලව ප්‍රදේශයේ නිවසක රඳවන අතර, මාර්තු 14 වැනි දින ඇය සොයා පැමිණෙන්නේ තවත් පිරිමි දෙදෙනකු සමගයි. තමා ඇඩ්ලින් විවාහ කර ගැනීමට තීරණය කළ බව පවසන ඔහු එම විවාහය ලියාපදිංචි කිරීමේ මුවාවෙන් ඇය කැටුව අනුරාධපුරයට පැමිණෙන්නේ කුලියට ගත් පියට් වර්ගයේ මෝටර් රථයෙනුයි. ඒ වන විටත් ඇඩ්ලින් වෙනුවෙන් ජයලාල් ගේ සිතේ කුරිරු සැලසුමක් තිබූ නමුත් ඒ කිසිත් නොදන්නා ඇඩ්ලින් ඔහුව විශ්වාස කළේ සිය ජීවිතයේ නැති වී ගිය සැනසීම වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට ඒ වන විටත් ඇය හිත හදාගෙන සිටි බැවිනුයි.

එදින රාත්‍රියේ පුත්තලමේ ටජ්මහල් හෝටලයෙන් රාත්‍රී ආහාරය ගන්නා අතර ඇඩ්ලින්ගේ වතුර වීදුරුවකට ජයලාල්  එක්කළ යම් ද්‍රව්‍යයක් නිසා ඇය වාහනය තුළ දී සිහි විසඥ වීමෙන් පසුව ඔවුන් ඇඩ්ලින් ගේබඩු බාහිරාදිය වරින්වර කාරයෙන් පිටතට විසි කර තිබෙනවා. අවසානයේ පුත්තලම-අනුරාධපුර මාර්ගයේ තිඹිරිවැව නම් ගම්මානය ආසන්නයේ 27 ½ සැතපුම් කණුව අසල දී, විසඥව සිටි ඇඩ්ලින් රථයෙන් පිටතට ගෙන ජයලාල් විසින් ඇගේ සිරුර මතින් දෙවරක් පියට් රථය පැදවූ බවත් නඩු විභාගයේදී හෙළිව තිබුණා.

sarasaviya.lk

ඇඩ්ලින් විතාරණ නඩුව දින 34 විභාග කර ඇති අතර අවසානයේ ජූරි සභිකයන් හත් දෙනාගෙන් හය දෙනෙකුගේම මතය අනුව ජයලාල් ආනන්දගොඩ එම මිනීමැරුමට වරදකරු බවට පත්වුණා. එම සිදුවීමෙන් වසර 14 කට පමණ පසු විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.සී. අලස් විසින් The Wilpattu Murder Case නමින් එම නඩුව සම්බන්ධව ග්‍රන්ථයක්  පල කළ අතර 1976 වසරේදී එම පොත නීල් ශ්‍රී විජේසිංහ විසින් විල්පත්තු සිහිවටනය ලෙසින් සිංහලට පරිවර්තනය කරනු ලැබුවා.

COVER- fragmenteyes.blogspot.com

මූලාශ්‍ර

www.sarasaviya.lk

www.dinamina.lk

www.sasrutha.com

www.medaperadiga.com

Related Articles