කොටකෙතන සිදුවීම් මාලාව මොහොතකට අමතක කළොත්, අනවරත ඝාතකයින්, එහෙමත් නැතිනම් “සීරියල් කිලර්ස්ලා” හා සම්බන්ධ සිදුවීම් ලංකාවෙන් වාර්තා වෙලා නැති තරම්. නමුත් අපේ අසල්වැසි ඉන්දියාව නම් අනවරත ඝාතන කීප පෙළක්ම දැකලා තියෙනවා කියන්න පුළුවන්. මේ කියන්න යන්නෙ එයින් 1985 – 1989 අතර කාලයේ මුම්බායි සහ කොල්කටා හි සිදුවූ මිනීමැරුම් මාලාව ගැනයි. “ස්ටෝන්මෑන් මිනීමැරුම්” ගැන ඔබත් සමහර විට අසා ඇති.
’85 වසරේ බොම්බේ මිනීමැරුම්
ඒ සියලුම ඝාතනයන් ඇරඹුනේ 1985 වසරේ බොම්බායේ දී යි. බොම්බාය (වර්තමානයේ මුම්බායි) නගරයේ යාචකයින්, සහ රාත්‍රී කාලයේ දී මග දෙපස අගුපිල්වල නින්දට යන පුද්ගලයින්ව ඝාතනය කරන්නෙක් සිටිනා බව පැහැදිලි වුණා. ඒ, නගරයේ සයොන් සහ කින්ග්ස් සර්කල් ප්‍රදේශයන් හි අහීමාන ස්ථානයන් වල නිදා සිටින යාචකයින්ගේ හිස්, ගලකින් ගසා පොඩි කර මරා දමා තිබී හමුවීම නිසායි. මේ සියල්ල සිදුවන අතරතුරේ ඉතා නිද්‍රාශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළ බොම්බාය පොලීසිය මේ මිනීමැරුම් අනවරත ඝාතකයෙකුගේ ක්‍රියාවන් බවට හඳුනාගනු ලැබුවේත් සයවන පුද්ගලයාත් මරා දැමුණු පසුවයි.
1985 සිට 1987 දක්වා වසර දෙකක් පුරාවට පුද්ගලයින් 12 දෙනෙකු මේ අයුරින් ඝාතනය කර තිබී හමුවුණා. මේ සියලුම ඝාතනයන් සිදු කර තිබුණේ ඔවුන් නිදා සිටිය දී හිස මතට කිලෝග්‍රෑම් 30ක් පමණ බර තනි ගලක් අත්හැර හිස පොඩි කිරීමෙනුයි. මරා දැමූ පුද්ගලයින් එකිනෙකාට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් පොලීසියට ලැබුණේ නෑ. ඝාතකයා තම ගොදුරු තෝරාගෙන තිබුණේ හුදෙක් ඔවුන් පාළු පෙදෙසක තනිව නිදා සිටීම යන කරුණ මතම පමණයි. මරා දැමුණු පුද්ගලයින් සියළුම දෙනාගේ අනන්‍යතාවයන් තහවුරු කරගැනීමට ද පොලීසියට නොහැකි වුණේ ඔවුන් තනිව ජීවත්ව තිබූ නිසාත්, ඔවුන්ගේ මුහුණු හඳුනාගැනීමට අපහසු වන ලෙස තුවාල වී තිබුණු නිසාත්.
මේ අතරේ ඝාතකයාගේ ප්‍රහාරයට ලක්වුණු එක් පුද්ගලයෙකු සිය දිවි ගලවා ගැනීමට සමත්වුණා. කුඩා හෝටලයක වේටර්වරයෙකු වශයෙන් සේවය කරමින් සිටි ඔහු, ඝාතකයා සිය හිස මතට ගලක් අත්හැරීමට මොහොතකට පෙර නින්දෙන් අවදි වූ නිසා දරුණු තුවාල සහිතව වුව ද සිය දිවි බේරාගැනීමට සමත් වුණා. කෙසේ නමුත් ඒ රාත්‍රියේ ආලෝක තත්ත්වයත්, එක් වරම නින්දෙන් අවදි වීම නිසාත් තමාට පහර දුන් තැනැත්තා කෙබඳු පුද්ගලයෙකු දැයි ඔහු දුටුවේ නැහැ.
1988 පමණ වන විට, මේ මිනීමැරුම් එකවරම නතර වුණත්, මිනීමරුවා කවුද යන්න අනාවරණය කරගැනීමට හෝ ඔහුව අල්ලා ගැනීමට පොලීසිය අසමර්ථ වුණා. මෙය අදටත් නොවිසඳූ සිදුවීමක්.
89′ දී කොල්කටාවේ සිදු වූ දේ
1989 වසරේ ජුනි 4 වන දා කල්කටා (වර්තමානයේ කොල්කටා) නගරයෙන් මිනීමැරුමක් වාර්තා වුණා. මග අයිනේ නිදා සිටි පදික වෙළෙන්දියක් හිස පොඩි කර ඝාතනය කර තිබුණා. ඇය පදික වේදිකාවේ අනවසර මත්පැන් විකිණීම සිය ජීවිකාව කොටගෙන සිටි තැනැත්තියක්. ඉන්පසු ගත වූ මාස 6 ඇතුලත තවත් 12දෙනෙකු මෙලෙස ඝාතනයට පත්ව තිබී සොයාගනු ලැබුවා.
පළමුව මෙම මිනීමැරුම් සම්බන්ධයෙන් කල්කටාවාසීන් හෝ පොලීසිය එතරම් සැලකිල්ලක් දක්වා තිබුණේ නැහැ. එයට හේතුව වන්නට ඇත්තේ එකල කල්කටාවේ වීථිවල 50 000ක් පමණ වූ යාචකයින්, කම්කරුවන්, රික්ෂෝ පදවන්නන්, රෝගීන්, හා මහළු පුද්ගලයින් වාසය කිරීම යැයි අනුමාන කළ හැකියි.
කල්කටාවේ දෙවනි මිනීමැරුම සිදුවූයේ පළමු මිනීමැරුමෙන් හරියටම මසකට පසුයි. එහිදී ඝාතකයාට ගොදුරු වූයේ මග අයිනක නිදා සිටි යාචකයෙක්. නගරයේ දිගින් දිගටම සිදුවන ඝාතනයන් එකිනෙකට සම්බන්ධ දැයි සැකයක්වත් පොලීසියට ඇතිවූයේ පළමු මරණයන් 5 – 6 සිදුවීමෙන් අනතුරුවයි. පොලීසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ දියත් කිරීමට පවා උනන්දුවක් දැක්වූයේ සැප්තැම්බර් 8 වන දා සිදු වූ සත්වන මිනීමැරුමෙන් පසුවයි. එයට ගොදුරු වූ යාචකයා මරා දමා තිබී හමුවුණේ කල්කටාවේ පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලට මීටර දෙතුන් සියයක දුරකිනුයි.
මේ සියලුම ඝාතනයන් සිදුකර තිබුණේ නිදාසිටින තැනැත්තා අසලකින්ම සොයාගත්, කිලෝග්‍රෑම් 20කට අධික බරකින් යුත් කොන්ක්‍රීට් ලෑල්ලකින්. එය එක වරක් හිස මතට අත්හැර, හිස්කබල පොඩි කර දැමීමෙන් ඝාතනයන් සිදු කර තිබුණා.
ඝාතකයා කවුරුන් විය හැකි ද?
කල්කටා සිදුවීම්වල ඝාතකයා සොයාගැනීමට උපකාරී වීම පිණිස ප්‍රෝෆයිලය සෑදීමේ දී ඔහු ඉහළ බුද්ධි මට්ටමකින් යුතු තනි පුද්ගලයෙකු යැයි උපකල්පනය කර තිබුණා. යම් මනෝව්‍යාධියකින් පෙලෙන මොහු, වීථියේ වෙසෙන්නන් හා යාචකයන් කෙරෙහි දරුණු වෛරයකින් පෙලෙන්නෙකු යැයි විශ්වාස කෙරුනා. එසේම භාවිතා කර තිබූ ආයුධයේ (කොන්ක්‍රීට් ලෑල්ල) බර අනුව ඝාතකයා ශක්තිමත්, උස් පුද්ගලයෙකු විය යුතු බව පෙන්නුම් කෙරුනා.
මේ අතර ඉදිරිපත් කෙරුණු තවත් අදහසක් වූයේ මෙම ඝාතකයා තන්ත්‍රික පූජකයෙකු, එනම් අඳුරු මායාවන් ප්‍රගුණ කරන්නෙකු විය හැකි බවයි. කිසියම් යක්ෂෙයෙකුට බිලි පිණිස, කිසියම් අඳුරු මායාවක් ජප කිරීම පිණිස ඔහු විසින් මෙසේ මිනිසුන් මරනවා වන්නට හැකි බව එහිදී ඉදිරිපත් වූ අදහසයි.
කල්කටා සිදුවීම් සම්බන්ධයෙන් සැක පිට “මොහොමඩ් අක්‍රම්” නම්, මානසික රෝගී පුද්ගලයෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේ යාචකයෙකු විසින් ඔහු තමාට පහර දුන් බවට කළ බවට කළ පැමිණිල්ල නිසායි. නමුත්, පසුව ඔහු විසින්ම අක්‍රම් තමාට බර ගලකින් පහර නුදුන් බවට කළ ප්‍රකාශයත්, ඔහුට කිසිදු තුවාලයක් සිදු නොවී තිබීමත්, බර ගලක් එසවීමට හැකි තරම් ශරීර ශක්තියක් අක්‍රම්ට නොමැති බවත් තහවුරු වීමෙන් අනතුරුව ඔහුව නිදහස් කෙරුණා. ඉන් පෙරත්, පසුත් විටින් විට පොලීසිය විසින් වීථි සරන්නන් හා යාචකයින් අත්අඩංගුවට ගෙන, පහරදී ප්‍රශ්න කළත්, ඝාතකයා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සොයාගැනීමට ඔවුන් අපොහොසත් වුණා.
කල්කටා හා බොම්බේ සිදුවීම් එකිනෙකට සම්බන්ධ ද?
බොම්බේ සහ කල්කටාව අතර දුර ආසන්න වශයෙන් කිලෝමීටර 2000ක්. මේ හේතුව නිසා හෝ ඔවුන්ගේ අදක්ෂකම නිසා ඉන්දියානු පොලීසිය එකල බොම්බේ සහ කල්කටා අනවරතන ඝාතන සිදුවීම් එකිනෙකට සම්බන්ධ දැයි සලකා බලා නැහැ.
මෙම සිදුවීම් මාලාවන් දෙක අතර කැපී පෙනෙන සමානකම් පවතිනවා. ඝාතනයට ලක්වූ පුද්ගලයින් යාචකයින් සහ වීථි වල වසන්නන් වීම, ඝාතනයන්ට යොදාගත් ආයුධය (බර ගලක් හෝ කොන්ක්‍රීට් ලෑල්ලක්), හිසට එල්ල කළ තනි පහරකින් ඝාතනයන් සිදු කිරීම, ඝාතනයන් සිදු වූ සමය ආදිය මේ අතර වෙනවා.
2009 දී තවත් ඝාතනයන්
කල්කටා ඝාතනයන්ගෙන් වසර 20කට පසු, 2009 වසරේ ජනවාරියේ සිට මාස දෙකක පමණ කාලයක් තුල ඇසෑමයේ ගුවාහාටි නගරයේ ඝාතනයන් මාලාවක් සිදුවුණා. මාර්ගයන්හි නිදා සිටි යාචකයින් 7දෙනෙකු හිස් පොඩි කර ඝාතනයට පත් කර තිබුණා. යම් යම් සමානකම් තිබුණත් මේවා මින් වසර 20කට ප්‍රථමව කල්කටාවේ හා බොම්බායේ සිදු වූ සිදුවීම් වලට කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව පැහැදිලි කරුණක් වුණා.
කෙසේ නමුත් ඝාතනයන් ඇරඹීමෙන් තෙමසකට පසු සැකපිට අත්අඩංගුවට ගත්, මතට ඇබ්බැහි වූ මනෝව්‍යාධික 22හැවිරිද්දෙකු විසින් එම අපරාධයන්ට පාපොච්ඡාරණය කිරීමෙන් අනතුරුව 2009-ගුවාහාටි අභිරහස විසඳා අවසන් කෙරුණා.
මූලාශ්‍රයන්:
Los Angeles Times
Times of India
Zee News India
කවරයේ පින්තුරය: YouTube