තාක්ෂණයේ දියුණුවත් සමග සිනමාව තුළ විවිධ ප්‍රයෝග භාවිත කරමින් ප්‍රායෝගික ව සිදු කළ නොහැකි දේ පවා සැබෑ ලෙස ම ප්‍රේක්ෂකයා ඉදිරියේ මවා පෙන්වීමේ හැකියාව ඒ සතු ය. ඈත අභ්‍යවකාශයේ සිට පෘථිවියේ ඩයිනෝසර් යුගය දක්වා ද, ඇලිස්ගේ මායාලෝකයේ සිට ඈත අනාගතයේ මිනිසාගේ ජීවිතය දක්වා ද දිවයන විවිධ පරාසයන් පුරා විහිදී යන ලෙස තාක්ෂණය සිනමාවට කලෙක පටන් ආදේශ වෙමින් නවමු අත්දැකීම් ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒමට සමත් ව ඇත. සිනමාවට මෙම ප්‍රයෝග කලාව ආදේශ වීම අදින් සියවසකටත් වඩා පෙර අතීතයට විහිද යයි. මේ එහි නියමු කාර්යය ඉටු කළ සිනමාකරුවෙකු වූ මැජික් ශිල්පියාගේ කතාව යි.
ඔහු නමින් ජෝර්ජ්ස් මේලියස් (Georges Méliès) ය. 1861 ප්‍රංශයේ පැරිස්හි උපත ලද ඔහු අලුත් දේ සොයාගැනීම් පිළිබඳ ව උනන්දුවක් දැක්වූ ඉතා නිර්මාණශීලී මිනිසෙක් විය. ඔහු පළමුව වේදිකා මැජික් ශිල්පියෙක් විය. ඔහු සිනමා ක්ෂේත්‍රය පිළිබඳ ව උනන්දුව දක්වන්නේ පළමුවරට ලූමියර් සහෝදරයන්ගේ චිත්‍රපට දර්ශනයකට සහභාගී විමෙන් පසු ව ය. තිරයක් මත දිවෙන සජීවී දර්ශනය දැක පුදුමයට පත් වූ ඔහුගේ ආශාව ක්ෂණිකව සිනමාව වෙතට සමීප විය. ඔහුට මෙම අපූරු කාර්යය සිදුකරන කැමරාවක් ලබාගැනීමේ දැඩි ආශාව ඇති විය. නමුත් ලුමියර් සහෝදරයන් කැමරාවක් අලෙවි කිරීමට එකඟ නොවීය. අවසානයේ මේලියස් තමන්ම කැමරාවක් නිපදවුයේ ඔහුට සිනමාව පිළිබඳ තිබූ දැඩි ආශාව කෙතරම් ද යන්න පෙන්වමිනි.
1896 දී රොබට්-හූඩින් නමින් චිත්‍රාගාරයක් ආරම්භ කරන විට සිනමාව ප්‍රේක්ෂකයා හමුවට පැමිණ වසරක් පමණක් ගත ව තිබුණි. චිත්‍රපට අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, තිර රචනය, කලා අධ්‍යක්ෂණය සියලු කටයුතු සිදු කරමින් ඔහු පළමු ලෝක යුද්ධය ඇරඹෙන විට සිනමා නිර්මාණ 500කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කර තිබුණි. ලූමියර් සහෝදරයන් විසින් ආරම්භ කළ චිත්‍රපට කලාවේ දක්නට ලැබුණේ වාර්තාකරණමය සිනමාවකි. දුම්රියක් පැමිණීම, දරුවන් දෙදෙනෙකුගේ හැසිරීම වැනි සිදුවීම් වාර්තා කිරීම මේලියස්ට පෙර සිනමාව තුළ දක්නට ලැබුණි. මේලියස්ගේ සිනමාව තුළත් මුල දී ඔහු වේදිකාව තුළ සිදු කළ මැජික් දර්ශන සිනමාව තුළට ගෙන ඒම දක්නට ලැබුණි. නමුත් ඔහු විසින් එම සීමාවන්ගෙන් මිදී නව නිර්මාණකරණයන් දක්වා ගමන් කිරීමට පසු ව සමත් විය.
අහම්බයෙන් විවර වූ මාවත
තම කැමරාව ද රැගෙන දිනක් රූගත කිරීමක් සඳහා පැරිස් නගරයට යන මේලියස් ලබාගන්නා අහඹු අත්දැකීම ඔහුගේ සිනමා රටාවේ ගමන තීරණය කරන ලදී. ඔහු පැරිස් නගරයේ අශ්ව රථ, මිනිසුන්, කාන්තාවන් ගමන් ගන්නා දසුනක් රූගත කරමින් සිටින අතරතුර හදිසියේ ම කැමරාවේ දෝෂයක් හටගෙන ක්‍රියා විරහිත විය. දෝෂය නිරාකරණය කොට නැවත රූගත කිරීම ආරම්භ කළ ඔහු දළ සේයා රුව ද රැගෙන පිට විය. සංස්කරණය සඳහා සේයාපටය රැගෙන පරීක්ෂා කරන විට අපූර්ව සිදුවීමක් ඔහුගේ නිරීක්ෂණයට හසු විය. නගරයේ දර්ශනය අතරතුර හදිසියේ ම දර්ශනය වෙනස් විය. පෙර තිබූ අශ්ව රථ, මිනිසුන්, කාන්තාවන් දැන් එහි නැත වෙනත් අය, වෙනත් වස්තූන් දැන් දර්ශනය වේ. කැමරාවේ කාර්මික දෝෂය ඇති වීම නිසා පටිගත වීම නරත වීමෙන් පසු ව නැවත පටිගත කිරීම අරඹන විට නගරයේ දර්ශනය වෙනස් වී තිබීම එකවර කැමරාව තුළ සටහන් වීම මීට හේතුව ය. ඔහුගේ සිනමාවට අවශ්‍ය වූ ප්‍රධානම තාක්ෂණික සිදුවීම මෙය යි. ඔහු විසින් මෙම සංසිද්ධිය උපයෝගී කරගෙන ආරම්භයේ දී ඉතා පහසුවෙන් මැජික් දර්ශන ඔහුගේ සිනමාව තුළට ගෙන එන ලදී. 1896 නිර්මාණය කළ The Vanishing Lady යනු එක් උදාහරණයකි.
සිදුවීම් වෙන වෙන ම පටිගත කර සංස්කරණයේ දී ඒවා අවශ්‍ය පරිදි සම්බන්ධ කිරීම මෙන්ම එකම සේයාපටයේ විවිධ ස්ථාන කපා වෙනස් කරමින් අවශ්‍ය කොටස දර්ශනය කිරීමටත් අනවශ්‍ය කොටස් ඉවත් කිරීමටත් ඔහු සමත් විය. කඳින් වෙන් වූ හිස සිනමාවට ගෙන ආවේ එලෙස යි. මෙය එදා තාක්ෂණයට සාපේක්ෂ ව නිර්මාණශීලී භාවිතාවක් විය.
මෙසේ නිර්මාණ විශාල ප්‍රමාණයක් මේලියස් විසින් සිදුකරන ලදී. මෙම යුගයේ තාක්ෂණයේ දුර්වලතාව නිසා ම සිනමා නිර්මාණ විනාඩියක දෙකකට පමණ සීමා විය. එසේ ම ඒවා සාමාන්‍ය කටයුතු වාර්තා කිරීමේ ආකෘතියෙන් ද යුතු විය. තම ජීවිත කාලය තුළ මේලියස් විසින් නිර්මාණ 500ක් පමණ සිදුකරන ලද මුත් අද ඉන් ඉතිරි ව ඇත්තේ අතලොස්සකි.
සඳ ගමන
මේලියස්ගේ නිර්මාණ අතුරින් වැදගත් ම කාර්යය ලෙස හැඳින්විය හැක්කේ ඔහු විසින් 1902 දී නිර්මාණය කළ A Trip to the Moon චිත්‍රපටය යි. මෙහි කතාවේ අන්තර්ගත වන්නේ විද්‍යාඥයන් පිරිසක් රොකටයක් මඟින් සඳ ගමනක් සිදුකරන අයුරු ය. ජූල්ස් වර්න්ගේ From the Earth to the Moon සහ Around the Moon කෘතීන් මත දළ වශයෙන් පිහිටා රචනා කළ මෙම චිත්‍රපටය වර්ණ ගන්වා ද ඇත.
වර්ණ ගැන්වීම සඳහා දළ සේයාපටවල දස දහස් ගණනක් වූ එක් එක් රාමුව වෙන වෙන ම වර්ණ ගැන්වීම මඟිනි. මෙම ශිල්පය මඟින් නිර්මාණ වර්ණ ගැන්වීම සිදුකළ ද මෙය පිරිවැය සහ කාලය විශාල වශයෙන් ගත වූ ක්‍රියාවක් විය. මෙම නිර්මාණයේ සේයා පටයේ දිග මීටර් 250ක් පමණ විය. කාලය විනාඩි 13කට ආසන්න විය. එය ඒ වනවිට නිර්මාණය වෙමින් තිබූ චිත්‍රපටවල කාලය මෙන් තුන් ගුණය ද අභිබවා යන කාලයක් විය.
A Trip to the Moon (1902)
සිනමාවේ නිර්මාණශීලි කටයුතු සිදු කළ ද ඔහු ව්‍යාපාර කටයුතුවල දක්ෂයෙකු නොවීය. කලක් ගතවන විට ඔහුගේ චිත්‍රාගාර වියදම් අධික විය, නළු නිළියන් වෙනුවෙන් ගෙවීම් පවා සිදු කළ නොහැකි විය. 1914 දී දෙවන ලෝක යුද්ධය ආරම්භ වීමත් සමගප්‍රංශයේ සිනමා කර්මාන්තයද බිඳ වැටුණි. මේලියස්ට සිදු වූයේ සිනමාවෙන් වෙන්වීමට යි. තම සේයාපට සියල්ල උණුකර පාවහන් සෑදීම සඳහා විකුණා දැමීමට ඔහුට සිදුවිය. අවසානයේ ඔහුගේ නිර්මාණ ඉතිරි වූයේ වෙනත් පුද්ලයන් විසින් නීතිවිරෝධී ව ප්‍රදර්ශනය කරමින් සිටි පිටපත් ලෙස සහ ඔහුගේ රසිකයෙකු ලෙස සිටි අය විසින් සුරක්ෂිත කර තැබූ පිටපත් ය.
යුද්ධය අවසන් වූ පසු ව මේලියස් 1920 දී ප්‍රංශයේ පැරිස් දුම්රියපොළක වෙළෙන්දෙක් බවට පත් විය. ඔහුගේ නැවත ආගමනය සිදුවන්නේ ඔහුගේ සිනමාවට ආශා කළ රසිකයෙකු විසින් ඔහුව සොයා යාමෙන් පසුව ය. 1932 දී Knight of the Legion of Hound නිර්මාණය කළ මේලියස් 1938 ජනවාරි 21 වන දා පැරීසියේ දී මියගියේ ලොවට නිහඬ ව ය.
1993 දී ස්පාඤ්ඤයේ කැටලෝනියාවේ පිහිටි Filmoteca චිත්‍රපට සංරක්ෂණ ආයතනයේ දී මේලියස්ගේ A Trip to the Moon චිත්‍රපටයේ පිටපතක් හමුවන අතර ඒ වන විට එය බොහෝ සේ විනාශ ව ගොස් භාවිතයට ගත නොහැකි තත්ත්වයක පැවති අතර 1999 දී මෙය සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය අරඹන ලදී. විශාල ශ්‍රමික සහ තාක්ෂණික වෙහෙසක් දරා එය නැවත යථා තත්තවයට පත්කර ගැනීමට හැකි වන්නේ වසර 11කට පසු ව 2010 දී ය. රාමුවෙන් රාමුව එක්කරමින් සම්පූර්ණයෙන් විනාශ ව ගිය රාමු කළු සුදු පිටපතින් රැගෙන වර්ණ ගන්වා සකස් කරමින් අවසානයේ ප්‍රතිසංස්කරණය කිරීමට ඔවුන් සමත් විය. මෙම මෙහෙයුමේ දී සම්පූර්ණ වශයෙන් රාමු 13,375ක් එකින් එක වෙන වෙන ම සකස් කිරීමට සිදුවිය. අප දැන් නරඹන A Trip to the Moon යනු එසේ පුනරුත්පත්තිය ලැබූ නිර්මාණය යි.
මෙසේ Trip to the Moon සමග නැවත ජෝජ්ස් මේලියස් ලෝක සිනමාව තුළ කතිකාවට පැමිණි අතර ඔහුට කරනු ලබන ගෞරවයක්, ඔහු ව සිහිකිරීමක් වශයෙන් 2011 දී ම බ්‍රයන් සෙල්නික්ගේ කතාවට අනුව මාටින් ස්කෝසස් විසින් අධ්‍යක්ෂණය කළ Hugo චිත්‍රපටය එළිදැක්විණි. 2012 ඇකඩමි සම්මාන උළෙලේ දී හොඳම සිනමාකරණය, හොඳම කලා අධ්‍යක්ෂණය, හොඳම ශබ්ද සංකලනය, හොඳම ශබ්ද සංස්කරණය, සහ හොඳම දෘෂ්ටි ප්‍රයෝග සඳහා සම්මාන හිමි කරගන්නා ලදී.
ජෝර්ජ්ස් මේලියස් අවසන් සුසුම් හෙළා දැන් වසර 80ක් ද පසු වී ඇත. ඔහු සිහිකිරීම සඳහා පැරීසියේ Père Lachaise සුසාන භූමියේ ස්මාරකයක් ද ඉදිකර ඇත.
මූලාශ්‍රයයන්: