ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් Twitter හි ඇති අගය සහ වටිනාකම හඳුනා ගත්තේ අදින් බොහෝ කාලයකට පෙරදී යි. ප්‍රධාන මාධ්‍යවල ඇති තරඟකාරීත්වය, අධික මිල ගණන් ආදියෙන් තොරව තමන්ගේ අදහස් තමන්ට අවශ්‍ය විදියටම ක්ෂණිකව ලෝකෙටම බෙදාහරින්න Twitter හරහා පහසුවෙන් පුළුවන් වීම ඩොනල්ඩ් ට්‍රම්ප් Twitter වෙත ආකර්ශනය වෙන්න ප්‍රධානම හේතුවක්. “Twitter කියන්නේ තමන්ටම කියලා පත්තර කන්තෝරුවක් තියෙනවා වගේ වැඩක්. ඒ වගේම ඒකෙන් ලාභයක් මිසක් පාඩුවක් ඇත්තෙත් නැහැ”, ඩොනල්ඩ් ට්‍රම්ප් Twitter ගැන කියන්නේ එහෙම දෙයක්. Twitter හරහා ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතිකරනා සංවාදත් අති විශාලයි. අති දක්ෂ ව්‍යාපාරිකයෙකුගේ සිට ලොව බලවත්ම මිනිසා බවට පත්වීම දක්වා පැමිණි ගමනේ දී, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ Twitter පණිවිඩ මුළු ලෝකයේම සාකච්ඡාවට ලක්වුණා. Twitter පණිවිඩ 36,500කට අධික ප්‍රමාණයක් මේ චෙද්දි නිකුත් කරලා තියෙන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ Twitter ගිණුමේ ඉන්න Followers ප්‍රමාණය මිලියන 44ක්. ඒ කියන්නේ ආසන්න වශයෙන් අපේ රටේ ජනගහනය වගේ දෙගුණයක් ට්‍රම්ප් ගේ Twitter ගිණුම follow කරනවා. ඇත්තම කතාව මේකයි, ඩොනල්ඩ් ට්‍රම්ප් Twitter තරුවක්.
නොවැම්බර් 02වෙනිදා සිදුවූ දේ
ඇමරිකානු ඩොනල්ඩ් ට්‍රම්ප් කොයිතරම් බලවතෙක් වුනත්, ඔහුගේ තීන්දු තීරණ ලෝකයේ ඉදිරි අනාගතයට කොයිතරම් වැදගත් වුණත්, තොරතුරු තාක්ෂණය ඉඳිරියේ ඔහුත් තවත් එක Profile එකක් විතරයි කියන එක පැහැදිලි වුණ දවස තමයි 2017 නොවැම්බර් මාසේ 02වෙනිදා. එදා හදිසියේම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ Twitter ගිණුම මිනිත්තු 11ක කාලයකට ක්‍රියාවිරහිත වුනා.
Twitter ආයතනය ක්ෂණිකවම මේ ගැන විශේෂ ප්‍රකාශයක් නිකුත් කළා. ඔවුන් විසින් සඳහන් කළ ආකාරයට Twitter ආයතනයේ සේවකයෙකුගේ වරදක් හේතුවෙනුයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ Twitter ගිණුම ක්‍රියාවිරහිත වී තිබෙන්නේ. මේ පිළිබඳව පූර්ණ පරික්ෂාවක් සිදුකර එවන් ක්‍රියාවන් යළි සිදුවීම වළක්වන්නට ගතයුතු සියළුම ක්‍රියාමාර්ග සිදුකරන බවටත් එම පණිවිඩයේ සඳහන්.
එදිනම ඊට ටික වේලාවකට පසුව යළිත් ප්‍රකාශයක් නිකුත් කරනා Twitter ආයතනය, Twitter ආයතනයේ පාරිභෝගික සහයෝගිතා අංශයේ සේවය කළ සේවකයෙකු විසින් මෙම ක්‍රියාව සිදුකර ඇති බව සඳහන් කර සිටියා. එමෙන්ම ඔහු විසින් මෙම ක්‍රියාව සිදුකර ඇත්තේ තමන් Twitter හි රාජකාරියේ යෙදෙන අවසාන දිනයේ දී බවත් ඔවුන් වැඩිදුරටත් දන්වා සිටියා. නමුත් ඒ පිළිබඳව තව දුරටත් සොයාබැලීම සිදුකරන බව ඔවුන් සඳහන් කර සිටියා.
මහජනතාව ප්‍රතිචාර දැක්වූයේ මෙහෙමයි
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ Twitter ගිණුම ක්‍රියාවිරහිත වූ බව දැනගත් සැනින් ඇමරිකාවේ වාසය කරනා බොහෝ පිරිසක් ඒ වෙනුවෙන් Twitter ඔස්සේම තමන්ගේ සතුට ප්‍රකාශ කර තිබූ ආකාරය දැකගන්නට ලැබුණා. සාමාන්‍ය ජනතාව මෙන්ම ඇමරිකාව තුළ ජනප්‍රිය පිළිගත් චරිත ද ඒ අතර වෙනවා. ඒ අතරින් බොහෝ පුද්ගලයින් ට්‍රම්ප්ගේ Twitter ගිණුම ක්‍රියාවිරහිත කළ පුද්ගලයාව මීළඟ නෝබෙල් සාම ත්‍යාගය සඳහාත් යෝජනා කර තිබීම විශේෂත්වයක්.
ට්‍රම්ප්ව පන්නපු Twitter සේවකයා කවුද?
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ Twitter ගිණුම අක්‍රීය කරපු සේවකයා ගැන බොහෝ දෙනෙක් තොරතුරු සෙව්වා. ඔහුගේ නම භාටියා ඩුයිසැක් (Bahtiyar Duysak). තුර්කි සම්භවයක් සහිත ඔහු ඉපදී සහ හැදී වැඩී තිබෙන්නේ ජර්මනියේ යි. ඔහු ඇමරිකාවට සංක්‍රමණය කරන්නේ අධ්‍යාපනික/රැකියා වීසා යටතේ යි. ඇමරිකාවේ රැඳී සිටින අවසාන මාස කීපයේදී කොන්ත්‍රාත් පදනම මත ඔහු Twitter ආයතනයේ සේවයේ නියුතු වෙලා තියෙනවා.
Twitterහි තමන්ගේ සේවය අවසන් කරන්න ඔන්න මෙන්න තිබියදී භාටියාට අවසන් රාජකාරී කටයුත්ත පැවරෙනවා. එම රාජකාරි පණිවිඩයේ තිබුණේ, Twitter ගිණුමක් පිළිබඳව පැමිණිල්ලක්. @realdonaldtrump නම් වූ Twitter ගිණුමෙන් වෛරීසහගත දේ ප්‍රචාරය කරනවා කියලයි එම පැමිණිල්ලේ සටහන් වූයේ. මෙවන් පැමිණිලි සඳහා Twitter ආයතනය සිදුකරනා සාමාන්‍ය ක්‍රියාපිළිවෙත නම්, Twitter හි කොන්දේසිවලට පටහැණි ආකාරයෙන් ක්‍රියාකරනා ගිණුම් තාවකාලිකව ක්‍රියාවිරහිත කිරීමයි. මේ නිසා දෙවරක් නොසිතූ භාටියා තමන්ට ඇති රාජකාරී බලතල පාවිච්චි කරමින් එම ගිණුම ක්‍රියාවිරහිත කරන්න අවශ්‍ය කටයුතු යොදවා තමන්ගේ දවසේ වැඩකටයුතු අවසන් කරනවා.
තමන් ඒ අක්‍රීය කරන ලද Twitter ගිණුමේ හිමිකරු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බව භාටියා දැන සිටියේ නැහැ. කොටින්ම මේ සිද්ධිය මේ ආකාරයේ විශාල ප්‍රවෘත්තියක් බවට පත්වේවි කියලත් ඔහු කිසිම දවසක හිතන්නේ නැතුව ඇති. ඒ කෙසේ වුනත්, ඔහු විසින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ Twitter ගිණුම අක්‍රීය කිරීම ලෝක මට්ටමේ ප්‍රවෘත්තියක් බවට නම් පත්වුනා.
Bahtiyar Duysakගෙන් වචනයක්
ලොව ප්රමුඛ පෙලේ වෙබ් අඩවියක් වන Tech Crunch විසින් Bahtiyar Duysak සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වනවා. “මම කිසිම වරදක් හෝ අපරාධයක් කළේ නැහැ. ඒත් මට දැනෙන්නේ මම පැබ්ලෝ එස්කොබා වගේ” යි භාටියා ඩුයිසැක් ප්‍රකාශ කර සිටිනවා.
“මම කාගේවත් ගිණුමකට අනවසරයෙන් ඇතුළ්වුනේ නැහැ. මට අයිතියක් නැති කිසිම දෙයක් සිදුකෙරුවෙත් නැහැ. මම කිසිම නීතියක් කඩවෙන විදියේ දෙයක් සිදුකරලා නැහැ. මට තව දුරටත් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට අවශ්‍යයි. මට මගේ අසල්වැසියන් සමඟ, යාළුවන් සමඟ කතා කරන්න අවශ්‍යයි. මම මගේ සමාජ ජාල ගිණුම්වල තිබ්බ ෆොටෝ සහ හිතවතුන් සිය ගණනක් ඉවත් කළා. ජනමාධ්‍යවේදීන් හැමදාම මගේ ගැන ඇහැ ගහගෙන ඉන්නේ. මට බැහැ හැමදාම ජනමාධ්‍යවේදීන්ගෙන් පළායන්න.” මේ තමන්ගේ වර්ථමාන ජීවිතය ගැන භාටියා දක්වන අදහස්.
Twitter හි ගැටළු සහගත ප්‍රතිපත්ති
තමන් විසින් නිකුත්කරන මතභේදාත්මක Tweet නිසා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ Twitter ගිණුම නිරන්තරයෙන්ම පැමිණිලි කිරීමට ලක්වෙනවා. නමුත් Twitter ආයතනය විසින් ඔහුගේ ගිණුම අක්‍රීයවීමෙන් වළක්වලා තියෙන්නේ. මෙයට හේතුව වශයෙන් Twitter ආයතනය දක්වන්නේ ට්‍රම්ප්ගේ ගිණුම ප්රවෘත්තිමය වටිනාකමෙන් යුක්ත ගිණුමක් වීම නිසා එළෙසින් ඔහුව අක්‍රීය නොකිරීම සිදුකරන බවයි. නමුත් එක එක පුද්ගලයන්ට එක එක හැන්දෙන් බෙදීමේ Twitterහි දෙබිඩි පිළිවෙත ගැන Twitter හි අනෙකුත් බොහෝ පාරිභෝගිකයන් දක්වන අදහස නම් කිසිසේත්ම සුබදායක නැහැ.
Twitter ප්‍රතිපත්ති පිළිබඳව වන ගිණුමේ මේ පිළිබඳව පොදු ජනතාව ඉතාම දැඩි ප්‍රතිචාර දක්වා තිබූ අයුරු දැකගන්නට පුළුවනි. යම්කිසි ආයතනයක් පුද්ගල තාරාතිරම මත එක් එක් පුද්ගලයන්ට විවිධාකාරයෙන් සැළකීමට යාමේදී පාරිභෝගිකයන්ට ඒ ආයතනය පිළිබඳව ඇති විශ්වාසය බිඳවැටීම අනිවාර්යෙන්ම සිදුවෙන දෙයක් කියන එකයි අපේත් අදහස.
ඔබ ලෝකෙටම ලොක්කා වුනත් අන්තර්ජාලය තුළදී ඔබේ ලොකුකම් ඒ තරම් ලොකු නැහැ කියන එකට මේ සිද්ධිය ඉතා හොඳ උදාහරණයක්. මේ නිසා අන්තර්ජාලය තුළදී ඒ බවත් මතක තියාගෙනම ජීවත්වෙන එක හොඳයි නේද.
ආශ්රිත වෙබ් අඩවි:
bbc.com
independent.co.uk
theguardian.com
techcrunch.com
theverge.com
Cover.jpeg – www.ljr.com