ලෝකය පුරාම විවිධ භාෂා දහස් ගණනක් භාවිතා වෙනවා. ඒවාගේම ඒ සමහරකට ඊටම අනන්‍ය හෝඩි තිබෙනවා. මේවා භාවිතා කරන විට අක්ෂර වින්‍යාසය, ස්වර හැසිරවීම පමණක් නොව, අකුරු වල හැඩය පවා වෙනස් වෙනවා. මේවායින් බොහොමයක් අතීතයේ සිට පැවත ආ යම් මව් භාෂාවකින් බිඳි ගිය භාෂා සහ හෝඩි වෙනවා.
යම් භාෂාවක අකුරු ලිවීමේදී විවිධ ශිල්පීය ක්‍රම භාවිතා වෙනවා. ලෝකයේ බොහෝ භාෂා වලට අයත් වාක්‍ය ලියන විට කොළයේ වම් පස සිට දකුණු පසට ලිවීම ක්‍රමය වුවත් දකුණේ සිට වමට මෙන්ම ඉහළ සිට පහළටත් ලියන භාෂා තිබෙනවා. මේවායින් සුළුතරයක් භාෂා සතුව විශේෂිත හා අනන්‍ය ස්වරූප සහිත අකුරු පද්ධතියක් තිබෙනවා. ලෝකයේ භාෂා සතු හෝඩි අතරින් අලංකාරම හා සුවිශේෂීම ස්වරූප සහිත අකුරු වලට හිමිකම් කියන හෝඩි කිහිපයක් ගැනයි මේ සටහන.
බුරුම හෝඩිය
දක්ෂිණාවර්ථව ඇඳිය යුතු වක්‍රාකාර හැඩ වලින් සමන්විත බුරුම හෙවත් මියන්මාර හෝඩිය ඇත්තෙන්ම ඉතාම අලංකාර එකක්. මේ හෝඩිය වක්‍රාකාරව නිමවීමට හේතුව ලෙස දැක්වෙන්නේ අතීතයේ තල්පත් වල අකුරු ලිවීමේදී කෙලින් ඉරි ගැසීමේදී හෝ ලිවීමේදී එය ඉරී යාමට වැඩි සම්භාවිතාවක් තිබීමයි. වක්‍රාකාර හැඩ වලින් එවැනි ඉරී යාමක් වන්නේ නැහැ.
මියන්මාර භාෂාව යම් තාක් දුරකට තර්ජනයට ලක්වී ඇති එකක් ලෙස සැලකෙනවා. එයට හේතුව වන්නේ මෙය මියන්මාරයට සීමා වීමත් මියන්මාරයේ වර්තමානය වන විට හින්දි හා ලතින් ඌරුවේ අක්ෂර භාවිතා කිරීමත් දක්නට ඇති නිසායි. මෙය වර්තමාන මියන්මාරයේ බොහෝ විට භාවිත වෙන්නේ සාහිත්‍ය සම්බන්ධ කටයුතු වලටයි. [1]
බාලි හෝඩිය
‘අබුගිදා’ ලෙස හඳුන්වන ලිවීම් ක්‍රමවේදයට අනුකූලව සෑදුණු, ඉන්දුනීසියාවේ බාලි දිවයිනට අයත් මේ හෝඩියත් විශේෂිත එකක්. සිංහල භාෂාවේ මෙන්ම ස්වර-ව්‍යංජනාක්ෂර එකතුවකින් මෙහි අක්ෂර ශබ්ද කෙරෙනවා. බාලි දූපත් වැසියන් මේ හෝඩිය ‘අක්සර බාලි’ හෝ ‘හනකරකා’ ලෙස හඳුන්වනවා. මෙය බ්‍රාහ්මී අක්ෂර වලින් බිඳී ආ එකක් වන අතර බාලි, පැරණි ජාවා හා සංස්කෘත ලිවීම සඳහා පාවිච්චියට ගැනෙනවා.
අද වන විට බාලි වැසියන් සිය භාෂාව ලිවීම සඳහා ලතින් අකුරු යොදා ගැනීමට බොහෝ විට හුරු වී සිටියත් තවමත් ආගමික ඉගැන්වීම් වැනි දේ වලට මේ අක්ෂර යොදගන්නවා. පෙර කාලයේ මෙම හෝඩිය තෝරාගත් ආගමානුකූල අයට පමණක් ඉගැන්වූ අතර පූජනීය එකක් ලෙස සැළකුණා. [2]
සිංහල හෝඩිය
සිංහල භාෂාව හා හෝඩිය ශ්‍රී ලංකාව නිජබිම කරගත් සිංහල ජාතිකයින් හාවිතා කරන භාෂාවයි. ඉතාම වැඩි පරාසයක පැතිරුණු හා පරිණත භාෂාවක් ලෙස හැන්ඳින්වෙන මෙහි ස්වර 38ක් සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිතා වුවත් 50 කටත් වඩා භාෂාව තුළ ගැබ් වෙනවා. තර්ජනයට ලක් වූ භාෂාවක් ලෙස හැඳින්වෙන මෙය තවමත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන රාජ්‍ය භාෂාව ලෙස හොඳින් භාවිතා වෙනවා. සිංහල හෝඩියත් ‘අබුගිදා’ ක්‍රමවේදයට සෑදුණු එකක් [1]
එර්සු ෂාබා හෝඩිය
ටිබෙටයේ භාවිත කෙරෙන එර්සු ෂාබා හෝඩිය තවත් අසාමාන්‍ය හෝඩියක්. මෙහි අකුරු වෙනුවට භාවිත වෙන්නේ රූපයි. මෙය සාමාන්‍යයෙන් ආගමික ග්‍රන්ථ වල දක්නට ලැබෙනවා. උත්සව අවස්ථා වලදීද පාවිච්චියට ගන්නා මෙහි ‘රූප’ අතීතයේ ඇඳ තිබුණේ උණ හා සත්ත්ව ලොම් වලින් සාදන ලද බුරුසුවක් මාර්ගයෙන්. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ යොදාගන්නා වර්ණය අනුව කියවෙන දෙයහි තේරුම වෙනස් වීමයි. මෙය ස්වර සහිත, උච්චාරණය කරන භාෂාවක් නොව සංකේතාත්මක භාෂාවක් ලෙස හැඳින්වෙනවා.
ටිබෙටයේ කුඩා ජනකොටසක් වන එර්සු ගෝත්‍රිකයන් විසින් භාවිතයට ගන්න මේ භාෂාව සංකේතාත්මක එක වුවත් ඉතාම සියුම් ලෙස නිවැරදිව කිව හැකියි. වර්තමානය වන විට මෙය හොඳින්ම කියැවිය හැකි අය ලොව සිටින්නේ දස දෙනෙක් වැනි ප්‍රමාණයකුයි.[2]
ජෝර්ජියානු හෝඩිය
තුර්කිය හා රුසියාව අතර පිහිටා ඇති ජෝර්ජියාව සතුවත් ඔවුන්ටම අාවේණික වූ භාෂාවක් හා හෝඩියක් තිබෙනවා. කාලයාගේ ඇවෑමෙන් රුසියානු බලපෑම් හා වෙනත් දේශපාලනික කරුණු කාරණා මත සිරිලික් හෝඩිය මෙහි ජනප්‍රිය වෙමින් පවතින අතර ජෝර්ජියානු භාෂාව භාවිතා කරන ජෝර්ජියානුවන්ගේ ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වී යමින් තිබෙනවා. මෙය අරාබි හෝඩිය හා සිංහල වැනි බ්‍රාහ්මී අක්ෂර වලින් බිඳුණු භාෂා වල දක්නට ලැබෙන වෘත්තාකාර අකුරු වල සම්මිශ්‍රණයකින් සෑදුණු දැකුම්කළු හෝඩියක්. [1]
ජාවා හෝඩිය
ජාවා හෝඩිය බාලි හෝඩියට ළඟ නෑකමක් දක්වනවා. මෙයත් බ්‍රාහ්මී අක්ෂර හෝඩියෙන් බිඳුණු එකක්. ජාවා හෝඩියේ අක්ෂර දැකුම්කළු වන අතර ජාවා භාෂාවට අමතරව සංස්කෘත වැනි ඉන්දුනීසියාවේ භාවිත භාෂා කිහිපයක්ම ලිවීම සඳහා යොදාගන්නවා. බාලි හෝඩිය පැරණි ජාවා භාෂාව ලිවීම සඳහා යොදාගන්නා අතර ජාවා හෝඩිය නවීන ජාවා භාෂාව ලිවීම සඳහා යොදාගන්නවා. වර්තමානය වන විට ඉන්දුනීසියාවේ සියළු භාෂා ලිවීම සඳහා ලතින් අක්ෂර හෝඩිය (ඉංග්‍රීසි අකුරු) ජනප්‍රිය වෙමින් යන ප්‍රවණතාවයක් පැවතියත් එහි රජය විසින් මේ බස හා හෝඩිය අභාවයට යා නොදී රැක ගැනීම සඳහා පාසැල් වල ඉගැන්වීම දිරිගන්වන අතර පොදු ස්ථාන වල නාම පුවරු වැනි දෑ මේ හෝඩිය යොදාගෙන නිමවා තිබෙනවා. [2]
තගාලොග් හෝඩිය
ස්පාඤ්ඤ ජාතිකයන්ට නතු වෙන තුරු පිලිපීනයේ ප්‍රමුඛ වශයෙන් භාවිතා වුණේ ඉන්දු-යුරෝපීය භාෂා හා අක්ෂර වල සම්භවය ඇති තගාලොග් භාෂාව හා හෝඩියයි. ඈත අතීතයේ මෙය පහළ සිට ඉහළට ලියා ඇති අතර යුරෝපීය බලපෑම් සමඟ වමේ සිට දකුණට ලිවීම දක්වා පරිණාමය වී තිබෙනවා. පසුව ස්පාඤ්ඤ භාෂාව පිලිපීනයේ රාජ්‍ය භාෂාව කිරීම නිස මේ බසට කණ කොකා හැඬුවා. ක්‍රි.ව 1973 දී පිලිපීනයේ රාජ්‍ය භාෂාව ලෙස සාම්ප්‍රදායික පිලිපීන හා ස්පාඤ්ඤ භාෂා වල සම්මිශ්‍රණයකින් සෑදුණු ෆිලිපිනෝ බස නම් කරන ලද අතර එහි ලිවීම ලතින් අක්ෂර වලින් සිදු කරනවා. තගාලොග් බස තවමත් පිලිපීන ජනතාව අතර මද වශයෙන් හෝ ව්‍යවහාරයේ පැවතුණත් ක්‍රමයෙන් අභාවයට යමින් පවතින බසක් ලෙස හඳුනාගෙන තිබෙනවා. [1]
මොංගෝලියානු හෝඩිය
මොංගෝලියානු භාෂාව අලංකාර අක්ෂර සහිත සිරස්ව, ඉහළ සිට පහළට ලියන හෝඩියක් සහිත භාෂාවක්. වාක්‍යයක් ලිවීමේදී ස්වර හා ව්‍යංජන අක්ෂර සම්පූර්ණව (සිංහල හොඩියේ මෙන් ව්‍යංජනාක්ෂරයට කොටස් එකතු කිරීම මෙන් නොව ) වෙන්ව ලියන ආකාරයට සෑදී ඇති මෙය නුහුරු කෙනෙකුට පෙනෙන්නේ අරාබි බසෙන් ලියන ලද යමක් සිරස් කර තබා ඇති ලෙසයි. මෙය සිරස්ව ලියන භාෂා වලින් අලංකාරම අකුරු තිබෙන එකක් ලෙස දැක්වෙනවා. මෙය දැකුම්කළු වන්නේ දෙවනුව ලියන අක්ෂරයට අනුව පළමු අක්ෂරයේ යම් සුළු වෙනස්කම් සහිතව (බැඳි අකුරු මෙන්) ලිවීම නිසායි [2]
1- (කවරයේ පින්තූරය-flickr.com/Shammie Jayaransie)
මූලාශ්‍ර