කොරියානු අර්ධද්වීපයෙහි යුධ වාතාවරණයක් ඇතිවූ අවස්ථාවක ක්‍රියාත්මක කිරීම සඳහා සකස් කළ ඇමරිකානු සහ දකුණු කොරියානු ඒකාබද්ධ යුධ සැලසුම් උතුරු කොරියානු හැකර්වරුන් අතට පත්ව ඇති බව දකුණු කොරියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් පසුගිය ඔක්තෝබර් 10 වනදා හෙලි කරනු ලැබුණා.
පාලක ප්රජාතන්ත්රවාදී පක්ෂයේ මන්ත්‍රීවරයකු වන ලී චොල්-හී සඳහන් කළේ 2016 සැප්තැම්බරයේදී උතුරු කොරියානු හැකරුන් දකුණු කොරියානු ආරක්ෂක දත්ත මධ්‍යස්ථානයේ පරිගණකවලට කඩා වැදී ගිගාබයිට් 235 ක දත්ත සොරාගෙන ඇති බවයි. මේ අතර ඒකාබද්ධ යුධ සැලසුම්වලට අමතරව යුධ තර්ජන අවස්ථාවකදී උතුරු කොරියානු නායක කිම් ජොංග්-අන් ඉලක්ක කරගන ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුම් ද තිබුණ බව විශ්වාස කෙරෙනවා.
මෙම දත්ත සොරාගැනීම පිළිබඳ කණගාටුදායකම තත්ත්වය නම් එය දකුණු කොරියානුවන් විසින් සිදු කළ වැරදි මත සිදුවූවක් වීමත් ඒ පිළිබඳ සොයා ගැනීමට වසරකටත් වඩා වැඩි කාළයක් ගතවීමත් බව ලී චොල්-හී කියා සිටියා.
සයිබර් යුද්ධ
පරිගණකය මිනිසාගේ බොහෝ කටයුතු පහසු කළාක් මෙන්ම එමගින් අලුත් යුධ පෙරමුණක් විවර කරනු ලැබුණා. ඒ සයිබර් අවකාශයේ යුද්ධයි (Cyber Warfare – සයිබර් යුද්ධ). මේ අනුව, ඇතැම් විට රහසිගත ලිපිගොනු සොයාගැනීමේ සිට සතුරාගේ පරිගණක පද්ධතීන් අකර්මණ්‍ය කිරීම දක්වා විවිධ නව උපක්‍රම කරලියට පැමිණියා.
සංඛ්‍යාත්මකව විශාල යුධ හමුදාවක් සිටියද, උතුරු කොරියානුවන් සතු අවි ආයුධ බොහොමයක් පැරණි ඒවා වනවා. ඔවුන් න්‍යෂ්ඨික අවි, බැලිස්ටික් මිසයිල වැනි අවි දියුණු කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට එයද එක් හේතුවක්.
උතුරු කොරියාවේ සයිබර් යුද්ධ හැකියාව කෙතෙක්ද යත් ඇතැම් වාර්තා අනුව එරට සයිබර් යුද්ධ අංශයෙන් ලෝකයේ ප්රමුඛ බලවතුන් සත් දෙනාගෙන් එක් රටක් බව පැවසෙනවා. ඒ අතර සිටින අනෙක් රටවල් වන්නේ ඇමරිකාව, රුසියාව, චීනය, මහා බ්‍රිතාන්‍යය, ඉරානය සහ ප්රංශයයි. මේ අනුව යම් රටක පරිගණක පද්ධතීන්වලට කඩා වැදීමේ හැකියාව ගත්විට උතුරු කොරියාව සුපිරි බලවතුන් සමඟ කරට කර සිටිනවා.
ප්‍රධාන සයිබර් ප්‍රහාර
උතුරු කොරියාවේ බුද්ධි අංශයෙහි විදෙස් බුද්ධි ඒකකය යටතේ ක්‍රියාත්මක වන 180 ඒකකය (Unit 180) උතුරු කොරියාවේ ප්‍රධාන හැකර් බලකායක් ලෙස සැළකිය හැකියි. ඔවුන් දැනට කාළයක පටන් සිය කටයුතුවල නිරත වන අතර විවිධ සයිබර් ප්‍රහාර පිළිබඳ ඔවුනට චෝදනා එල්ල වනවා. මේ අතර මූල්‍ය ආයතන ඉලක්ක කරගත් ප්රහාරයන් ප්‍රධාන ලෙස දැකිය හැකියි.
රටවල් 150 ක පරිගණක 300,000 කට බලපෑ, 2017 මැයි මාසයේදී එල්ල වූ, “WannaCry” රැන්සම්වෙයාර් (Ransomeware) ප්‍රහාරය පිටුපස සිටින්නේ උතුරු කොරියානු සයිබර් හමුදාව බව විශ්ලේෂකයන් සැක පහළ කරනවා. මේ අතර 2014 දී සෝනි ආයතනයේ හොලිවුඩ් චිත්රාගාරයට එල්ල වූ හැකර් ප්‍රහාරය පිළිබඳ උතුරු කොරියාව වෙත පැහැදිලිවම ඇඟිල්ල දිගු වනවා. ඊට හේතුව ඊට සමකාලීනව සෝනි ආයතනය විසින් “ද ඉන්ටර්විව්” නම් විත්රපටය නිකුත් කිරීමේ සූදානමක් පැවතීමයි. මෙම චිත්‍රපටය පාදක වී තිබුණේ උතුරු කොරියානු නායක කිම් ජොංග්-අන් ඝාතනය කිරීමට ගන්නා ලද උත්සාහයක්.
මේ අතර 2016 වසරේදී බංගලාදේශ මහ බැංකුවට හැකර් ප්‍රහාරයක් එල්ල කොට ඇමරිකානු ඩොලර් මිලියන 81 ක් සොරාගැනීමට උතුරු කොරියානුවන් ද සම්බන්ධ වූ බව ඇතැම් ඇමරිකානු නිලධාරීන් විශ්වාස කරනවා.
පරිගණක විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු ලෙස උතුරු කොරියාවේ සේවය කර 2004 දී දකුණු කොරියාවට පළා ආ කිම් හෙවුන්ග්-ක්වෑංග් සඳහන් කරන පරිදි මෙම මූල්‍ය සොරකම් ක්‍රියාත්මක කරන හැකර් කණ්ඩායම Unit 180 ට අයත් වනවා. එමෙන්ම තමන්ගේ සිසුන් සමහරෙක් ද උතුරු කොරියානු සයිබර් බලකායට එක්වූ බව ඔහු සඳහන් කරනවා.
වෙනත් රටවල සිට
උතුරු කොරියානු සයිබර් බලකාය ඉන්ටර්නෙට් පහසුකම් වඩා හොඳ තත්ත්වයේ පවතින රටවල සිට සිය කටයුතු බොහොමයක් ක්‍රියාත්මක කරන බවයි හිටපු මහාචාර්යවරයා සඳහන් කරන්නේ. ඒ අතරම පිටරටක සිට ක්‍රියාත්මක වීමේදී එම කටයුතු පිටිපස සිටින්නේ උතුරු කොරියානු රජය බව ඔප්පු කරගැනීමද පහසු කටයුත්තක් නොවීමත් එහි වාසියක් වනවා. වෙළෙඳ සමාගම් සේවකයින්, උතුරු කොරියානු සමාගම්වල විදෙස් ශාඛාවල සේවකයින් ආදීන් ලෙස ඔවුන් චීනයේ සහ ගිණිකොණදිග ආසියාවේ විසිර සිටින බව සඳහන් වනවා.
උතුරු කොරියානු හැකරුන් මෙසේ මෙසේ වෙනත් රටවල සිට කටයුතු කරන බව ඇමරිකාව සහ දකුණු කොරියාවද පවසන කරුණක්. 2016 දී ඇමරිකානු කොන්ග්රස් මණ්ඩලයට ඉදිරිපත් කළ වාර්තාවකින් එරට ආරක්ෂක දෙපාර්තමේන්තුව ඒ බව ප්‍රකාශ කළා. මේ අතර දකුණු කොරියාවද එම අදහස තහවුරු කරනවා. එරට නියෝජ්‍ය විදේශ ඇමති ආන් චොංග්-ගී 2017 මැයි මාසයේදී රොයිටර්ස් පුවත් සේවය සමඟ පවසා සිටියේ විදෙස් රටවල ඇති වඩා හොඳ තොරතුරු තාක්ෂණික යටිතල පහසුකම් භාවිතා කිරීමට හැකි හෙයින් ඔවුන් මෙසේ කරනු ලබන බවයි.
දකුණු කොරියාවේ සියොල් නුවර මූලස්ථානය කරගත් හෞරි ප්‍රතිවෛරස සමාගමේ (Hauri Inc.) පර්යේෂකයකු වන සයිමන් චෝයි රොයිටර්ස් පුවත් සේවය සමඟ සඳහන් කළේ, චීනයෙහි සිට මෙම කටයුතු කළ විට, ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන අයට සොයාගත හැකි වන්නේ චීනයේ ලිපිනයන් වන හෙයින් එහි සිට උතුරු කොරියානුවන් කටයුතු කරන බවයි.
මේ අතර රොයිටර්ස් පුවත් සේවය පවසන පරිදි මැලේසියාවේ පිහිටි තොරතුරු තාක්ෂණය සම්බන්ධ සමාගම් දෙකකට උතුරු කොරියානු ඔත්තු සේවය සමඟ සබඳතා පවතිනවා.
සයිබර් ප්‍රහාර සූදානම
දකුණු කොරියානු පොලිසිය සඳහන් කරන පරිදි 2016 ජූනි මාසයේදී උතුරු කොරියානු හැකර්වරුන් දකුණු කොරියාවේ සමාගම් සහ රජයේ ආයතනවල පරිගණක 140,000 කට පමණ ඇතුලු වී ඒවාට හානිකර කේතයන් ඇතුළත් කර තිබෙනවා. ඒ පසු කලෙක ප්‍රබල සයිබර් ප්‍රහාරයක් එල්ල කරන අරමුණින් බවට බලධාරීන් විශ්වාස කරනවා.2004 දී උතුරු කොරියාවෙන් පළා ආ තවත් පරිගණක විශේෂඥයකු වන ජෑංග් සේ-යුල් මෑතකදී ABC ආයතනය හා ප්‍රකාශ කළේ දකුණු කොරියාව තුළ උතුරු කොරියානු සයිබර් ප්‍රහාරකයින් සිදු කර ඇති ක්‍රියාකාරකම් පුදුම එළවනසුළු බවයි.
කිම් ජොංග්-අන් ප්‍රහාරය සඳහා අවසරය නිකුත් කළහොත්, ඒ විගසම දකුණු කොරියාවේ පරිගණක පද්ධතීන් අඩපණ කිරීමට උතුරු කොරියානුන් සූදානමින් සිටින බව ජෑංග් පවසනවා. උතුරු කොරියානු හැකර්වරුන් විශ්වාස කරන්නේ මිසයිල සහ න්‍යෂ්ඨික අවි සඳහා කරන වියදම අනවශ්‍ය එකක් වන බවයි.
ලෝකයා උතුරු කොරියාවේ මිසයිල සහ න්‍යෂ්ඨික වැඩපිළිවෙල පිළිබඳ අවධානය යොමු කරද්දී තම පරිගණක ඉදිරිපිට හිඳගත් උතුරු කොරියානුවන් පිරිසක් තම කටයුතු රහසිගතවම කරගෙන යන බව මේ අනුව පැහැදිලි වනවා.
Cover Image: KCNA