Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

හෙට “ඇස් ඉස්සරහ” හමුවෙන, ක්‍රිෂාන් රත්නායක

මේ වන විට අපට නේත්‍රාස්පර්ශ වන බොහොමයක් දෑ යථාර්ථයමදැ යි ප්‍රශ්නාර්ථයකි. බොහෝ දෑ අදෘශ්‍යමාන හස්තයකින් නටවන රූකඩ සංදර්ශන වැනි ය. එවන් මොහොතක කවියක් ලියන්නට සිතීමම අගය කළ යුතු ය. මේ අපගේ ඇස් ඉස්සරහට කවියක්ව ප්‍රක්ෂේපනය වන්නට නියමිත ක්‍රිෂාන් රත්නායක හා කළ සංවාදය යි.

ක්‍රිෂාන්, නුවරින්-කොළඹට සේන්දු වන්නේ සරසවි වරම් ලැබීමත් සමගිනි. එහෙයින් කොළඹත් නුවරත් කවියකින් යා කරන්නට ඔහුට පුළුවන. නුවර වැව තරමටම බේරේ වැවේ ගැඹුර දකින්නට ද පුළුවන. නුවර අහසේ මෙන්ම කොළඹ අහසේ පියාසලන්නට ද (අ)පහසු ය. ක්‍රිෂාන් මේ මහා පොළොවේ පය ගසා ඇවිදින්නේ කෙසේ ද? කොයිබට ද? කියලා අපි බලමු.  

ඇස් ඉස්සරහ කෘතියේ කර්තෘ ක්‍රිෂාන් රත්නායක- facebook.com/krishan.pelwatte

මේ මොහොතේ “ඇස් ඉස්සරහ” දිස්වෙන දේවල් ගැන අවංක හැඟීම?

ඇස් ඉස්සරහ සිදුවෙන දේවල්, දිස්වෙන දේවල් ප්‍රියජනක යි කියලා කියන්න අමාරු යි. ඇස් ඉස්සරහ වෙන්න ඕන දුකම දේ, වේදනාව වැඩිම දේ එක්ක සතුටු හිතෙන දේ දක්වා විතැන් වෙමින්, ගැටෙමින් තියෙන අවධියක තමා මේ අදහස් කිහිපය හුවමාරු වෙන්නෙ. අප්‍රියජනක හෝ අකැප දේ සිදුවීම පුද්ගල නිශ්චිත කාරණයක් වුණත්, ඇසට ප්‍රිය දේවල්වලට අපි හරි ආස යි. නමුත්, අවාසනාවකට ද මන්දා මේ කාලසීමාව බොහෝ විට අප්‍රියජනක, එහෙමත් නැත්නම් බලාපොරොත්තු නොවූ ගැටීම්වල එකතුවක් විදියට තමා නිර්වචනය කරන්න වෙන්නෙ. හැබැයි, ජීවිතය ගැන තිබුණ මනෝරාජික අධිනිශ්චීය වූ හීන මාළිගා කැඩිලා, යථාභූතය තුළට වැටෙන්නෙ මේ කාරණා නිසා. ඇත්තටම කවිය අපිට සමීප වෙන්නෙ බොහෝ විට කැමති දේ තුළ ලබන තෘප්තියට වඩා අකමැති දේ තුළ ගැටීමෙන් ලද විඩාවත් එක්ක. සරලවම කිව්වොත් ඇස් ඉස්සරහ දකින්න ලැබෙන්නෙ දරාගන්න අමාරු දේවල්. දරාගන්න අමාරුයි කියන්නෙ ඒ තුළ ඇත්තෙ වේදනාවක් දුකක්. වේදනාව ඇති වෙන්නෙ බලාපොරොත්තු නොවූ දෙයක් සිදුවෙද්දි. සමාජයීය අර්ථයෙන් ගත්තත්, දේශපාලනික අර්ථයෙන් ගත්තත්, පුද්ගල වශයෙන් ගත්තත් මේ ස්වභාවය හැම තැනකම තියෙනවා. මේ කාලය තුළ ජීවත් වීමේ සරතැස වැඩියෙන්ම දැනෙන්න ගන්නවා.

කවිය “ඇස් ඉස්සරහ“ට ඇවිත් හිතේ පැල්පදියන් වෙන්නෙ කොයි කාලෙ ද? ඒ අතීතේ ගැන කතා කරමු.

ඇත්තටම මගේ ජීවිතේ ඇතුළෙ මම උත්සාහ කරනවා, මම කියන්නෙ කවුද කියන එක හොයාගෙන යන්න. මම කියන්නෙ කොහොම කෙනෙක් ද කියන එක මට තාම නිර්වචනය කරගන්න බැරි වෙලා තියෙනවා. මම මාව හොයාගෙන යද්දි මට දැනෙන දේවල් වචනවලට පෙරලන්න ගත්තු උත්සාහයක් විදියට තමා කවිය මට සමීප වෙන්නෙ. මුලින්ම ආසාවෙන් කවි කියවන්න ගත්තෙ උසස් පෙළ කරන කාලෙ. ඒ කාලෙ අපිට නූතන පද්‍ය සංග්‍රහයක් කියලා පොතක පරණ කවි කිවිඳින්ගෙ කවි කීපයක් උසස් පෙළට නිර්දේශ කරලා තිබ්බා. ඒ කවි කියවීම හරහා කවියට ඇල්මක් ඇති වුණා. විමලරත්න කුමාරගම, ජී. එච්. පෙරේරා, මහගමසේකර, ගලප්පත්ති වගේ කවියන් ගැන කියවන්න, ඒ අයගේ කවි කියවන්න පෙළඹුණා ඒ කාලෙ.

ඒ වගේම මට මතුවුණ ප්‍රශ්නයක් තමා, නූතන පද්‍ය සංග්‍රහයේ ඇයි නූතනයේ ඉන්න කවි කිවිඳියන්ගෙ කවි නැත්තෙ කියන දේ. ඒ මොනවා වුණත්, කවියට ඇලෙන්නෙ එහෙම. ඊට පස්සෙ හෙමින් හෙමින් පත්තරවල කවි කියවන්න හුරු වුණා. ඉස්සර අපේ තාත්තා සැරයි. හැමවෙලේම පොතක් අතේ තියන් පාඩම් කරන්න ඕන, එයා ගෙදර ඉන්න වෙලාවට. නමුත්, පත්තරේ බලනවට බනින්නෙ නෑ. ඒ නිසා මම කරන්නෙ, තාත්තා ඉන්න.බොහෝ වෙලාවට පත්තරේ කවි කියවන එක. විචාර ලිපි කියවන එක. ඒක මාර රහ වැඩක් විදිහට දැනෙන්න ගත්තා. ඔහොම ඉන්න අතරින් පතර මගේ හිතට එන අදහස් කොළවල ලියන්නත්, මට ඒ කාලෙ හිටිය පෙම්වතියට ඒ අදහස් ලියලා කෙටි පණිවිඩ විදියට යවන්නත් හුරු වුණා. මුලින්ම මගේ කවිවලට ඇගයුම් ලැබුණේ ඇයගෙන්. ඊට පස්සෙ ලියන කවි බොහෝමයක් පත්තරේ ගියාම අම්මට තමයි පත්තරේ මුලින්ම පෙන්නන්නෙ. ඈ තමා මගේ කවි ගැන හොඳම ඇගයුම් දෙන්නී. ඔහොම තමා කවියත්, කවි ලිවීමත් මට සමීප වෙන්නෙ.

ඇස් ඉස්සරහ හමුවෙන්නට නියමිත අයුරු- facebook.com/krishan.pelwatte

මෙතෙක් ගත කරපු ජීවිතේ අත්දැකීම්, කවියකින් අපේ “ඇස් ඉස්සරහ“ට ගේන්න හිතුවේ ඇයි?

අත්දැකීම් කියන්නෙ හරි අමුතු දෙයක්. ගෙවුණු ජීවිතය පිළිබඳ ව ඉතුරු වුණු, මුහුණ දුන්, කිසියම් සුවිශේෂී සිද්ධියක් අපිට අත්දැකීමක් කියලා කියන්න පුළුවන්. ඔය අත්දැකීම කියන තරම් ලස්සන එකක් නොවෙන්නත් පුළුවන්. මම විශ්වාස කරන විදියට බොහෝ කලා නිර්මාණ හරහා එළිබසින්නේ අප ව නොරිද වූ අත්දැකීම් නොව හිතේ පෑරෙන, ඇනෙන, රිද්දන, පරද්දන, විරිත්තන, ගැටෙන අත්දැකීම්. මොකද, එහෙම අත්දැකීමක් කියන්නෙ හිතකට පීඩනයක්. ඒ පීඩනය නිදහස් කරගැනීම පිණිස තමයි, පුද්ගලයෙක් කිසියම් කලා මාධ්‍යයකින් තමන්ගෙ අත්දැකීම ප්‍රකාශ කරන්නෙ. ඒකට යොදාගන්න මාධ්‍යය කවිය, නවකතාව, චිත්‍රපට, කෙටි කතාව කියන ඕනම මාධ්‍යයක් වෙන්න පුළුවන්. ඉතින් මට මේ කාල පරාසය තුළ ගෝචර වුණු දේවල් එක්ක මගේ අත්දැකීම් ඇස් ඉස්සරහට පෙළගස්වන්න තීරණය කළා. මම නිරන්තර ව කියන කාරණයක් තමයි පුද්ගලයින් වශයෙන් තමන්ට අනන්‍ය භාව ප්‍රකාශන මාධ්‍යය මොකක්ද කියලා තරුණ කාලය තුළ දී සොයා ගත යුතු යි කියන දේ. මම මේ කරන්නෙ පරීක්ෂණයක්, මට යෝග්‍ය භාව ප්‍රකාශන මාධ්‍ය තෝරගන්න. එතකොට ” ඇස් ඉස්සරහ” කියන කාව්‍ය කෘතිය කියන්නෙ ඒ පරීක්ෂණය වෙනුවෙන් මම කරපු නිබන්ධනය. ඒක එක ප්‍රොජෙක්ට් එකක්. හැබැයි, ලේසි වැඩක් නෙවෙයි.

කොහොමද විශ්වවිද්‍යාල ජීවිතේ?

මම කැලණිය විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ මේ වන විට ඉගෙන ගන්නෙ. ආර්ථික විද්‍යා විශේෂවේදී උපාධියක් හදාරන්නෙ. විශ්වවිද්‍යාල ජීවිතය හරි රහට ගෙවමින් ඉන්නවා. නමුත්, ටිකක් වෙනස් අන්තරාවර්තී ගත කිරීමක් තියෙන්නෙ. මම ටිකක් නිහඬ, තනිකමට ලැදි චරිතයක් නිසා මගේ විශ්වවිද්‍යාල ජීවිතය ටිකක් නිහඬයි. හැබැයි, මම ඒ අස්සෙ හරි රහට ඉන්නවා. ඒ රහට සමපාත මට හමුවුණ මිත්‍ර පිරිසට මම හරිම ළෙන්ගතුයි. ඒ අයත් හරියට කවි වගේ. සරසවිය අස්සෙ හැම තැනකම මගේ මතක පිරිලා තියෙනවා. බොහෝ අය ජීවිතයට පැමිණි සටහන්වල සතුටුදායක සිනහව වගේම අවසානයේ ඔවුන් තබා ගිය වේදනාකාරී සටහන්වල රිදුම අතර හැම මතකයක් එක්කම සරසවිය බැඳිලා තියෙනවා. මම හිතන්නෙ හැම හමුවීමක්ම කවදා හරි දවසක කොහේ හරි වෙන්වීමක් සටහන් කරනවා. ඉතින්, මම හරි උපේක්ෂාවෙන් සියල්ලම විඳිමින්, විඳවමින් සරසවිය තුළ ජීවිතේ ගෙවනවා.

හෙට මේ අයත් එනවා- facebook.com/krishan.pelwatte

නුවරින් කොළඹට සේන්දු වුණ මුල් කාලෙයි, වර්තමානය යි දැනෙන්නෙ කොහොමද?

නුවරින් සේන්දු වුණ මුල් කාලේ හා අද අතර මම දකින්නෙ චූටි චූටි වෙනස්කම් කීපයක්. මම නුවර ඉඳන් ආව මුල් කාලෙත්, අදත් නොඅඩු ව විප්‍රවාසී වේදනාව විඳිනවා. ගෙදරින් දුර හිඳීමේ වේදනාව, රිදුම, පෑරුම හරි තද යි. ඉතින්, කවිය සමීප වෙන්නෙත් ඒ හේතුව නිසා කියලයි මට හිතෙන්නෙ. ඉතා දැඩි ලෙස කාර්‍යබහුල වීම නිසා මට මාව මඟහැරෙන විදිය වගේම, ඒ නිසා අම්මා-අප්පච්චී-මල්ලී වගේ මට ආදරය කරන අයගේ සෙනෙහස මොහොතකට හරි මගෙන් දුරස් වෙන මොහොතක ඒ වේදනාව මට තදින් දැනෙනවා. එහෙම බැලුවාම ගෙදර එක්ක මට තියෙන්නෙ හරි පුදුමාකාර බැඳීමක්. ඊට අමතර ව ගත්තාම නුවරින්-කොළඹට ආව මුල් කාලෙට වඩා විශාල අත්දැකීම් ගණනාවක් අත්වින්දා. බොහෝ මිනිසුන්ගේ ඇසුර, හොඳ-නරක, ගුණ-අගුණ, වංක-අවංක, සෑම හැඩයකම පාහෙ මිනිස් හිත් හා ගැටීමෙන් ලද පරිචය මට ඇති වුණේ කොළඹ ආගමනයෙන් පසුව යි. ජීවිතයේ ගලා යන තාලය රිද්මය අහුවෙන්නෙත් ඔන්න ඔය කියන ආගමනයෙන් පස්සෙ.

එකතු කරපු කවි ටික පොතක් විදියට “ඇස් ඉස්සරහ“ට එන දවස ගැන මතක් කරමු.

පොතක් කරන ආශාව ඕනෑම කවි ලියන්නෙකුට තියනවා. නමුත්, ඒක හිතූ පමාවෙන් කරන්න බැහැ. ඒක ලොකු ප්‍රොජෙක්ට් එකක්. සමහර විට අවුරුදු ගණනක වැඩක්. කවි එකතුවක් තිබූ පමණින් පොතක් කරන්නත් බැහැ. ඒක ටිකක් බරපතල කාරණයක්. කොහොමින් කොහොම හරි බර වැඩ වුණත් හරි ආසාවෙන් කරන්නෙ, කවිය කියන්නෙ නිවීමට පර්යාය පදයක් නිසා. එහෙම කවි පොතක් විදියට ආව මගෙ පොත 2019 පෙබරවාරි 21 බ්‍රහස්පතින්දා (හෙට) හවස 2.30ට මහවැලි කේන්ද්‍රයේ දී එළිදක්වන්න සූදානමින් ඉන්නවා. ඩිල්ෂාන් පතිරත්න, ළහිරු කිතලගම, ශශික දියමන්ත සමරසිංහ (සමරේ) අදහස් දැක්වීමට නියමිතයි. ඒ වගේම ඩිලාන් සේනානායකගේ මෙහෙයවීමෙන් කවි ගැන කතා කරන හෝරා කීපයක් සූදානමින් පවතිනවා. ඒ හැමදේම ඔබට ඔබේ මතකයක් කරගන්නට ඉඩ වෙන්වෙලා තියෙනවා ඇස් ඉස්සරහට ඇවිත්.

කවරය: lankanewsweb.net

Related Articles