භූතානය දකුණු ආසියානු කලාපයේ පිහිටි සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයක්. එය අනෙකුත් දකුණු ආසියානු කලාපයේ රාජ්‍යයන්ට වඩා කරුණු කිහිපයක් නිසා සුවිශේෂී වෙනවා. ඒ අතර භූතාන ජෛව විවිධත්වය සුවිශේෂී ස්ථානයක් ගන්නවා. එරට සමස්ත භූමි ප්‍රමාණයෙන් සියයට හැත්තෑ දෙකක් (72%) ආවරණය වන්නේ වනාන්තර පද්ධතියකින්. මේ නිසාම එරට ස්වභාවික සෞන්දර්යයෙන් අනූන භූමියක්. ඒ නිසාම සංචාරක ආකර්ෂණය ද නොඅඩුව පවතී. එසේම භූතානය ජාතික සන්තෝෂය අනුව ද ඉහළ ස්ථානයක පසුවෙයි.
දළ ජාතික සතුට
දළ ජාතික සතුට යනු භූතානයටම අනන්‍ය වූ සංකල්පයක්. මේ සංකල්පය පළමු වරට හඳුන්වා දෙනු ලැබුවේ 1972 දී. ඒ, එරට රජ කළ 4 වැනි ජිග්මේ සිංගි පාලකයා විසින්. එයින් අදහස් වන්නේ දළ දේශීය නිෂ්පාදනයට වඩා දළ ජාතික සතුට වඩා වැදගත් වන බව යි. මෙහි දී තිරසාර සංවර්ධනයට මූලිකත්වය ලබාදෙමින් සංවර්ධනය ළඟා කර ගැනීමයි අපේක්ෂාව. දළ ජාතික සතුට ගණනය කරනු ලබන්නේ දර්ශක 9කින්. ඒ දර්ශක නමය වන්නේ; මානසික යහපැවැත්ම, සෞඛ්‍යය, අධ්‍යාපනය, වේලාව කළමනාකරණය, සංස්කෘතික විවිධත්වය සහ දරාගැනීම, යහපාලනය, ප්‍රජා ශක්තිය, පාරිසරික විවිධත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව, ඉහළ ජීවන මට්ටමක් යනාදිය යි. භූතානය සහ තවත් රාජ්‍ය 68ක් එකතු වී 2011 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට දළ ජාතික සතුට පිළිබඳ යෝජනාවක් ද ඉදිරිපත් කරනු ලැබුවා. 2012 සිට එක්සත් ජාතීන්ගේ සංවිධානය ද මේ සංකල්පය අනුගමනය කරනු ලබනවා.
භූතානය එරට ජනතාවගේ සතුට කෙරෙහි අවධානය යොමු කරනු ලැබුව ද, වර්තමානය වන විට එරට පවතින්නේ එතරම්ම සතුටුදායක තත්ත්වයක් නොවේ.
වර්තමාන භූතානය
වර්තමානය වන විට එරට මත්පැන්, මත්ද්‍රව්‍ය සහ මත්කුඩුවල තෝතැන්නක් බවට පත් වී තිබෙනවා. මෙය වසංගතයක් ලෙස එරට පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඒ නිසාම බහුතරයක් වූ භූතාන වැසියන් අසන්තෘප්තියෙන් සහ කායික-මානසික පීඩනය යටතේ ජීවත් වන ආකාරය දක්නට ලැබෙනවා.
මෙයට ප්‍රධානතම හේතුව බවට පත් වී ඇත්තේ මත් පෙති, මත්කුඩු භාවිතය යි. අසූ ගණන්වල සිට සුළු ප්‍රමාණයකින් මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය එරට තුළ පැවතුණා. විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල. මරිජුවානා ග්‍රාමීය තරුණයන් විසින් භාවිතා කර තිබෙන අතර, වර්තමානය වන විට මත්පෙති වසංගතයක් මෙන් රට වෙලා ගනිමින් පවතිනවා. තවද, මේ තත්ත්වය එරට ආර්ථිකයට ද විශාල බලපෑමක් සිදුකරනවා. නිල වාර්තාවලට අනුව මත්පැන් සඳහා වාර්ෂිකව වැය වන මුදල ඩොලර් මිලියන 70ක්. නමුත්, එය අලෙවියෙන් ලැබෙන ලාභයට වඩා හතර ගුණයක් වැඩි යි.
ප්‍රතිඵල
මත්පැන් සහ මත්කුඩු වර්තමානය වන විට එරට විශාලතම ඝාතකයා බවට පත්ව අවසන්. එරට රෝහල්වල සිදුවන මරණවලින් සියයට 50කට වැඩි ප්‍රමාණයකට හේතුව බවට පත් වී ඇත්තේ මත්පැන්, මත්කුඩු ආශ්‍රිතව ඇති වන රෝගී තත්ත්වයන්. මෙහි ඇති විශේෂත්වය වන්නේ එලෙස මියයන බහුතරයක් වාර්තා නොවීම යි. ඒ නිසා මේ තත්ත්වය ඉතා දරුණු වන්නට ඇතැ යි අනුමාන කරන්න පුළුවන්. එසේම එරට සියදිවි නසා ගැනීම්වලින් සියයට හැත්තෑවකට (70%) හේතුව ද මත්පැන්, මත්කුඩු ආශ්‍රිතව ඇති වන තත්ත්වයන්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව; සියදිවි නසා ගැනීම් අතින් ලෝකයෙන්ම තුන්වැනි තැනට භූතානය පත්වෙමින් පවතිනවා. මෑතකාලීනව සිදුකරන ලද ජාතික සමීක්ෂණයකට අනුව හෙළි වුණේ, එරට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගෙන් තුනෙන් දෙකක් පමණ මත්පැන් සහ මත්කුඩු භාවිතයට ඇබ්බැහි වී ඇති බව යි. එසේ ම තිම්පු අගනුවර 2017 දී සිදු වූ අපයෝජන සහ නීතිවිරෝධී ගනුදෙනු සම්බන්ධයෙන් හයසීයක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සියල්ලන්ම මත්පැන් සහ මත්කුඩු සම්බන්ධයෙනුයි. එරට වයස අවුරුදු 13 සහ 17 වසරේ වයස්වල පසු වන තරුණයන්ගෙන් සියයට දහයක් (10%) පමණ මරිජුවානා භාවිත කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තාවලට අනුව මෙය දකුණු ආසියාවේ ඉහළම අගයක්. මේ අනුව පැහැදිලි වන්නේ භූතානය මත්පැන්, මත්කුඩු ආශ්‍රිතව පවතින තත්ත්වය වසංගතයක් මෙන් එරට සමස්ත සමාජයම වසා ගෙන ඇති බව යි.
හේතුව
මෙයට හේතු කිහිපයක්ම හඳුනාගන්න පුළුවන්. ඒ අතර අවිධිමත් සංවර්ධනය ප්රමුඛ යි. භූතානය වේගයෙන් සංවර්ධනය වන්නට පටන් ගත්තේ 1990 දශකයෙන් පස්සෙ. 1999 දී පමණ එරටට රූපවාහිනිය සහ අන්තර්ජාලය වැනි නව මාධ්‍යයන් පැමිණෙන ආකාරය දැක ගත හැකි වුණා. භූතානය බාහිර ලෝකයට විවෘත වන්නේ මීට වසර හැටකට පමණ පෙර ඉඳන්. ඒත් එක්කම විවිධ වෙනස්කම් භූතාන රාජ්‍ය අභ්‍යන්තරය තුළ සිදුවෙනවා. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනට අනුව භූතානය යනු වේගවත් නාගරීකරණයක් පැවැති රාජ්‍යයක්. ඒ සමග ග්‍රාමීය තරුණයින් නගර කරා සංක්‍රමණය වන්නට පටන් ගන්නවා. ඒ; අලුත් අධ්‍යාපන අවස්ථා හා නව රැකියා බලාපොරොත්තුවෙනුයි. බොහෝ විට ඔවුන් ගොවිතැන් කටයුතුවල නිරතවීම මඟින් ඉහළ ආදායමක් ලබාගැනීමට අපොහොසත් වීම හේතු කොට ගෙන නව රැකියා බලාපොරොත්තුවෙන් නගරයට සංක්‍රමණය වුණා. එලෙස සංක්‍රමණය වූ බහුතරයකට බලාපොරොත්තු වූ රැකියා අවස්ථා හිමි වුණේ නැහැ. මේ නිසාම ඔවුන්ට ඇති වූ කායික-මානසික පීඩනයට ඔවුන් මත්පැන් සහ මත්කුඩුවලට ඇබ්බැහි වූ බව මනෝචිකිත්සක ඩෝර්ජි පවසනවා. ඩෝර්ජි කියන්නෙ, භූතානයේ සිටින විශිෂ්ටතම මනෝචිකිත්සකවරයා. තවදුරටත් ඔහු පවසන්නේ එලෙස රැකියා අහිමි ඇතැම් පිරිස් මත්ද්‍රව්‍ය ආශ්රිත නීති විරෝධී ජාවාරම් සඳහා ද දායක වී ඇති බව යි. 2019 වන විට එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාවන්ට අදාළව එරට දළ ජාතික සතුට අනුව, රටවල් 156කින් 95 වැනි ස්ථානයේ පසු වෙනවා. මෙලෙස පසුබැසීමට ප්‍රධානතම හේතුව, එරට පවතින මත්පැන් හා මත්කුඩු ආශ්රිත වසංගතකාරී තත්ත්වය යි.
රජයේ අවම අවධානය
මේ පිළිබඳ රජයේ සහ වගකිවයුතු ආයතනවල අවධානය සැලකිය යුතු ආකාරයකින් යොමුවී නැහැ. මත්ද්‍රව්‍ය නිෂ්පාදකයන් සහ අලෙවිකරුවන්ට දඬුවම් කරනු ලබන’මුත් ඉන් මත්පැන්, මත්ද්‍රව්‍ය ව්‍යාප්තියට සැලකිය යුතු අන්දමකින් බාධාවක් සිදු වී නැහැ. බොහෝ විට අල්ලස් ගැනීම් ආදිය ද රජයේ ආයතන ආශ්‍රිතව දැකගත හැකියි. ඒ නිසා මත්පැන්, මත් කුඩු නිෂ්පාදකයන් සහ ජාවාරම්කරුවන් බිය සැකයකින් තොරව මෙම කර්මාන්තයේ තවදුරටත් යෙදී සිටිනවා.
භූතානය තුළ දේශීය මත්පැන් මත්ද්‍රව්‍ය ආශිත නිෂ්පාදන විකිණීම තහනම්. රජයට අයත් බීර කර්මාන්තශාලා හතක් පවතින අතර, පෞද්ගලික අංශයේ කර්මාන්තශාලා හතරක් ද වනවා. නිෂ්පාදනය කරන මත්ද්‍රව්‍යවලින් සියයට අසූවක් (80%) අපනයනය කරනු ලබනවා. එය රජයට සැලකිය යුතු ආදායමක් ද උපයා දෙනවා. දේශීය පරිභෝජනය සඳහා යොදා ගන්නේ 20%කට වඩා අඩු ප්‍රමාණයක්. නමුත් ජනතාවට අපනයනය කරනු ලබන මත්පැන්, මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට තරම් වත්කමක් නැහැ. ඒ නිසා ඔවුන් ප්‍රමිතියෙන් තොර මත්පැන් දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා යොමු වන බව වෛද්‍ය නිරෝලා පවසනවා. රජයේ මේ ප්‍රතිපත්ති නිසා දේශීයව නීති විරෝධී මත්පැන්, මත්ද්‍රව්‍ය නිෂ්පාදන බිහි වී තිබෙනවා.
එලෙස බිහි වී ඇති මත්පැන් නිෂ්පාදන කොපමණ පවතිනවා ද යත්, සමීක්ෂණයකින් පෙන්වා දෙන්නේ ගෘහස්ථ මධ්‍යසාර නිෂ්පාදන අලෙවිසැල් පුද්ගලයින් අනූවකට එකක් ලෙස පවතින බව යි. ඒ හේතු කොට ගෙන පුද්ගලයන්ට වඩා පහසුවෙන් මත්පැන්, මත්ද්‍රව්‍ය සොයාගැනීම හා භාවිතා කිරීමේ අවස්ථාව නිර්මාණය වී තිබෙනවා.
ගනු ලබන පියවර
මේ තත්ත්වය වසංගතයක් මෙන් පැතිරීමට ජනතාවගේ පවතින අනවබෝධය සහ උනන්දුවක් නොමැති වීම ද හේතුවක් බවට පත් වී තිබෙනවා.
බොහෝ පිරිසක් මේ පිළිබඳව විවෘතව කථා කිරීමට උත්සුක වන්නේ නැහැ. මේ ප්රශ්නය පිළිබඳ නිශ්ශබ්දව සිටිනවා. තවත් පිරිසක් මෙය ඔවුන්ගේ සංස්කෘතිය ලෙස පිළිගන්නවා. විශේෂයෙන්ම හිමාලයානු රාජධානියේ පෞරාණික ස්වරූපය තුළ මත්පැන් පානය කිරීම ඔවුන්ගේ සංස්කෘතියේ එක්තරා ලක්ෂණයක් බව තවත් කොටසක් පිළිගනු ලබනවා. මෙවැනි මිත්‍යා විශ්වාස සහ පිළිගැනීම් නිසා ජනතාව මෙයට එරෙහිව ක්‍රියා නොකරන නිද්‍රාශීලී තත්ත්වයට පත් වී තිබෙනවා. එය ප්‍රතිපත්ති සම්පාදනයට ද ගැටළුවක්.
තිම්පු රෝහල් වෛද්‍ය නිර්ලෝ පවසන්නේ, මත්කුඩු සහ මත්පැන් භාවිතය වැළකීම සඳහා එරට විසින් ප්‍රමාණවත් නීති සම්පාදනය කර පැවතුණ ද, එය ක්‍රියාත්මක කිරීම අතින් අසාර්ථක වී ඇති බව යි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2010 දී ගෝලීය මත්පැන් ප්‍රතිපත්තියක් ගෙන ඒමට ක්‍රියාකරනු ලැබුවා. භූතානය ද එයට සහාය දක්වමින් ඊට වසර 6කට පසු පනතක් ගෙන එමින් එයට අවසර ලබාගත්තා. නමුත්, එලෙස ලබා ගන්නා ලද පියවර ද ප්‍රමාණවත් සහ ඵලදායි ද ප්‍රශ්නාර්ථයක් පවතිනවා.
එලෙස මත්පැන් සහ මත් කුඩුවලට ඇබ්බැහි වන තරුණයන් පුනරුත්ථාපනය කිරීමට ද රජය විසින් පියවර ගෙන තිබෙනවා. නමුත් මෙහි ඇති ප්රශ්නය වන්නේ, එලෙස වසර කිහිපයක් පුනරුත්ථාපනය වී පිටවන තරුණයන්ට සමාජයට පැමිණි විට රැකියා අවස්ථා අහිමි වීම යි. රැකියා අහිමි තරුණයන් නැවතත් රැකියාවක් ලෙස මත්පැන් සහ මත්කුඩු ආශ්‍රිතව නිතී විරෝධී ක්‍රියාවන්හි නිරත වන ආකාරය දැකගත හැකියි. එලෙස පැමිණෙන තරුණයන්ට නිසි අධ්‍යාපන මට්ටමක් නොමැති වීම ද, රැකියාවක් සොයාගැනීමට බාධාවක්. මේ නිසා නැවතත් ඔවුන් පෙර තත්ත්වයටම පත්වෙනවා.
වැළැක්වීමට නම්;
මේ තත්ත්වය වැළැක්වීමට නම් එරටට ශක්තිමත් ආර්ථික වැඩපිළිවෙලක් පැවතිය යුතු යි. තරුණයන්ගෙ විරැකියාව දුරු කළ යුතු යි. තරුණයන්ට නියැලීමට නිශ්චිත රැකියාවක් පවතින්නේ නම් මෙලෙස මත්පැන් මත්ද්‍රව්‍ය ආශ්රිත නීති විරෝධී ජාවාරම්වල නියැලීමට පවතින ඉඩකඩ අවම කරගන්න පුළුවන්. එසේම, නිශ්චිත වැටුපක් ලබන රැකියාවක් පැවතීම හරහා ඔවුන්ගේ මානසික පීඩනය අවම කිරීම තුළින් මත්පැන් මත්කුඩු ආදිය භාවිතා කිරීමෙන් වළක්වා ගන්නත් බැරි නැහැ.
තවදුරටත් මේ පිළිබඳ අදහස් දක්වමින් මනෝචිකිත්සක ඩෝර්ජි පවසන්නේ; දැනුවත්භාවය සහ අධ්‍යාපනය ජාතික වශයෙන් ව්‍යාප්ත කරන තුරු, භූතානයේ පවතින මෙකී ඇබ්බැහිය අවසන් කළ නොහැකි බව යි. මේ නිසාම දීපව්‍යාප්තව මත්පැන්, මත්කුඩු සහ මත්ද්‍රව්‍යවලට එරෙහිව සමාජයක් ගොඩනැගීම අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු කාර්යයක් බවට පත් වෙනවා.
මේ වසංගතය භූතානයට පමණක් සීමා වූ ඛේදවාචකයක් නොවෙයි. ලාංකිකයන් වශයෙන් අප ද එම ඛේදවාචකය අත්විඳිමිනුයි ඉන්නෙ. මතින් තොර සමාජයක් බිහි කිරීම භූතානයට පමණක් නොව, ශ්‍රී ලාංකිකයන් වන අපට ද අතිශයින් ම වැදගත්.