අන්තර්ජාලයට ඡායාරූපයක් මුදාහරිද්දී අපේ හිතට ඇතිවන ලොකුම බය තමයි වෙනත් කෙනෙක් එය සොරාගෙන ඔවුන්ගේ වගේ පළ කරන එක. මොබයිල් ඡායාරූපකරණයෙහි යෙදෙන බොහෝ දෙනෙක් තමන්ගේ දක්ෂතාව හොඳින් යොදා ගනිමින් ගන්නා ඡායාරූප Instagram වෙත එක් කරන නමුත් වැඩි වේලාවක් යන්නටත් කලින් Photography pagesවලින් ඔවුන්ගේ වගේ ඒවා නැවත upload කර ඇතැම්විට ඔබටත් වඩා Likes, Comments ප්‍රමාණයක් ගන්නවා. මෙවන් අකරතැබ්බ වළක්වා ගන්නට දුරකතනයෙන්ම එම ඡායාරූපවලට Logo/Watermark එකක් දාගන්නට හැකි නම් පහසු යි. එවැනි App එකක් තෝරාගැනීම පහසු කරන්නට යි මේ ලිපිය.
Water Mark
විවිධාකාර විචිත්‍ර නම්වලින් එන Apps අතරේ කරන වැඩේ කෙලින්ම නමට දාපු App එකක් තමයි මේ. ඔබේ ඡායාරූපවලට Watermarks සකසා ගන්නටත්, ඒවා ඡායාරූපවලට එකතු කරගන්නටත් මෙමඟින් පහසුකම් සලසනවා. Templates හදාගැනීමට හැකි නිසා ඡායාරූපයක් පාසා Watermarks එකතු කරන්නට සිදු වන්නේ නැහැ. සකසා ගත් Template එකකින් ඡායාරූප රැසකට එක් වරම Watermarks එකතු කරන්නට පුළුවන්. Save කරන්නට පෙර ඡායාරූපයක් පාසා Preview කළ හැකි නිසා ඡායාරූපවලට හානියක් නොවන පරිදි Watermark එක ස්ථානගත කරගන්නට පුළුවන්.
වැඩිදුර කියැවීමට: ඔබේ නිර්මාණ රැකගන්නට CopyRight වෙනුවට CopyLeft
Shutterstock වැනි වෙබ් අඩවිවල ඡායාරූප සොරාගැනීමට නොහැකි වන සේ Grid එකකින් මුළු ඡායාරූපයම ආවරණය කරන්නාක් මෙන් මේ App එකෙන් ඔබටත් ඔබේ ඡායාරූපවලට උපරිම ආරක්ෂාවක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ, ඡායාරූප විකුණන්නට කැමති නම් බය නැතිව දැන් Watermark Grid එකක් සමග ඔබට අන්තර්ජාලයට එකතු කරන්නට හැකියි. මෙහි නොමිලේ දෙන වෙළුමෙහි වීඩියෝවලටත් සීමිත විනාඩි ගණනක් දක්වා Watermark යොදන්නට අවස්ථාව දෙනවා. මේ ඇප් එක ටිකක් බරසාර වන අතර බාගත කරගැනීමට මෙගාබයිට් 43ක් වැය වෙනවා.
බාගන්න: Add Watermark on Photos
Logo Licious
Logo ෆයිල් එකේ size එකෙහි සීමාවක් නොමැතිව, PNG, GIF හෝ JPGවලින් තියෙන පින්තූරයක් ඔබට ගත්තු ඡායාරූපයකට එකතු කරගන්න Logo Licious ඇප් එක අවස්ථාව දෙනවා. අවශ්‍ය නම් මේ App එක හරහාම ඡායාරූප ගන්නටත් පුළුවන්. මෙහි ඇති Template සැකසීමේ පහසුකම නිසා ලෝගෝ එක අවශ්‍ය පරිදි ස්ථානගත කර Template එකක් සකසා ගත්තාම හැම ඡායාරූපයටම ලෝගෝ එක open කරමින් ස්ථානගත කිරීම අවශ්‍ය නැහැ. ඡායාරූපයට Template එක තෝරා දුන්නාම Logo එක, එකම ස්ථානයක තිබෙන පරිදි ඡායාරූප සකසා ගන්නට පුළුවන්.
ලබාදෙන ලෝගෝවේ Transparency සැකසිය හැකි නිසා Watermark එකක් ලෙස වුවත් පාවිච්චි කරන්නට පුළුවන්. සකසා ගන්නා ඡායාරූපවල Quality අඩුවීමක් සිදු නොවන අතර, අවශ්‍ය නම් Resolution වෙනස් කරමින් Instagram ආදියට Upload වීම වේගවත් කරගන්නට File size එක අඩු කරගන්නට හැකියි. Logo පමණක් නොව, Text එකතු කිරීම, වර්ණ වෙනස් කිරීම්, ෆොන්ට් රැසක් තිබීම, ඡායාරූප Crop කළ හැකි වීම, වෙනත් කෙනෙක්ට Copy කළ නොහැකි පරිදි Grid එකක් දැමිය හැකි වීම මෙන්ම Ads නොමැති බව මෙය සතු විශේෂාංග ගොන්න අතරට එක් වෙනවා. බාගත කරගැනීමට මෙගාබයිට් 11ක් වැයවන අතර Play Store හි 4.7ක rating අගයකට මෙය හිමිකම් කියනවා.
බාගන්න: Logo Licious
AppX Watermark
පැරණි කාලයේ අඳින සිතුවම්වල චිත්‍ර ශිල්පියා තමන්ගේ අත්සන තබා ඇති ආකාරය ඔබ දැක ඇති. ඒ වගේ මේ App එකෙනුත් ඔබ ලබාගත් අගනා ඡායාරූප මතට අත්සනක් සකසා එය එකතු කරන්නටත්, ඡායාරූප ආකාරයේ Watermark එකතු කරන්නට හැකියාව තිබෙනවා. සකසාගත් අත්සන Save කළ විට ඉදිරි ඡායාරූපවලත් එය පාවිච්චි කරන්න පුළුවන්. 4:3, 9:16, 16:9 ආදී ප්රමාණයන්ට ඡායාරූපය Crop කර ගැනීමත්, Facebook Ads, Cover, Post ආදියට ගැලපෙන සේ ප්‍රමාණ වෙනස් කරගන්නටත් හැකි නිසා පළ කරන ස්ථානය අනුව ඡායාරූපයට වඩාත් හොඳ පෙනුමක් ලබාගන්නට මින් හැකියාව ලැබෙනවා.
Copyright සලකුණු යෙදීම, Text එකතු කිරීම, Stickers යෙදීම වැනි තවත් විශේෂාංග රැසක් ගෙන එන මේ ඇප් එක බාගත කරගැනීමට මෙගාබයිට් 24ක් අවශ්‍ය වෙනවා.
බාගන්න: AppX Watermark
Add Watermark and Photo Editor
වර්ණවත් සහ සරල අතුරුමුහුණතක් ඇති නමුත් හඳුන්වන්නට අපහසු නමක් ඇති මෙම Add Watermark and Photo Editor ඇප් එක එහි නමින් කියැවෙන්නාක් මෙන්ම Watermark එක් කිරීමට සහ ඡායාරූප සංස්කරණයටත් පහසුකම් සලසනවා. ලබාගත් ඡායාරූපයක් වෙනස් කරන්නට, App එක හරහාම ඡායාරූපයක් ගන්නට සහ අලුතින් ඇප් එක මත නව Watermark එකක් සකසන්නට මින් අවස්ථාව ලබා දෙනවා. අකුරු එකතු කරන්නටත්, අවශ්‍ය පරිදි Rotate කරන්නට, Fonts හා වර්ණ වෙනස් කරන්නට මෙහි පහසුවෙන්ම පුළුවන්. කතු හිමිකම් ලකුණ “©” වැනි විශේෂ ලකුණු ඡායාරූපය පුරාවටම එක් කළ හැකි නිසා බාහිර කෙනෙක්ට ඔබේ නිර්මාණය සොරා ගන්නට කිසිසේත් හැකිවන්නේ නැහැ.
Watermarks වලට අමතරව ඡායාරූපවලට Filters එකතු කරන්නට, Effects යොදන්නට සහ Brightness, Saturation, Sharpness වැනි සැකසුම් වෙනස් කරන්නට ද අවස්ථාව සැලසීම විශේෂත්වයක්. බාගත කරගැනීමට මෙගාබයිට් 15ක් වැය වෙනවා.
බාගන්න: Add Watermark and Photo Editor
Photo Watermark
Watermark වෙනුවෙන්ම සකසන ලදමුත් Photo Editor එකක තරම් විශේෂාංග ගෙන එන Photo Watermark app එක ඡායාරූප ගන්නටත්, ලබාගත් ඡායාරූපවලට Watermarks එකතු කරන්නටත් අවස්ථාව ලබා දෙනවා. Text එකක් ආකාරයෙන් හෝ ඔබ සතු රූපමය ලෝගෝවක් ඡායාරූප මතට එක් කරන්නට පුළුවන්. සංවේදී දත්ත සහිත ඡායාරූපවලට බොඳවීම් එක් කරන්නට, Stickers මඟින් ඡායාරූපය හැඩ ගන්වන්නට මෙන්ම ඡායාරූප මත අතින් අඳින්නටත් මෙහි පහසුකම් සලසනවා.
පහසුවෙන් භාවිතා කළ හැකි අතුරුමුහුණත් තිබෙන අතර පහසුවෙන් එහා මෙහා කරමින්, Rotate, Reverse, Clone ආදී මෙවලම් භාවිතා කරන්නටත්, Watermark එකේ Transparency හදන්නටත් මෙමඟින් පුළුවන්. App එක යට වෙළඳ දැන්වීම් දර්ශනය වෙනවා. මෙගාබයිට් 15ක් බාගත කරගැනීමට වැයවන අතර ඡායාරූප Save කිරීමේදී අපට අවශ්‍ය File type එකක් තෝරන්නට නොහැකියි.
බාගන්න: Photo Watermark