නව කොරෝනාවෛරසය හෙවත් කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇමරිකාවේ සියලුම ප්‍රාන්තවල රෝගීන් වාර්තා වීම හා විශාල මරණ ප්‍රමාණයක් වාර්තා වීමත් සමග, නොවැම්බරයේ දී පැවැත්වීමට නියමිතව ඇති ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ කල් දැමීමට සිදුවේදැ යි කතාබහක් මතුව තිබෙනවා.
ඇමරිකානු ජනාධිපතිවරණයේ මහජන ඡන්ද විමසීම සෑම වසර හතරකටම වරක් පැවැත්වෙනවා. ඊට අමතරව සෙනට් සභාවේ මන්ත්‍රීන් අතුරින් තුනෙන් එක් දෙනෙකු සඳහා ද, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීන් සඳහා ද මැතිවරණ එදිනම පැවැත්වෙනවා. මේ අවස්ථාවේ කතාබහට ලක් වන කරුණ වන්නේ, වසංගත තත්ත්වයක් පවතින අවස්ථාවක මෙම මැතිවරණ පැවැත්විය හැකි ද යන්න යි.
කල් දැමූ ඡන්ද විමසීම්
කෝවිඩ්-19 වසංගතය ඇමරිකාවේ වේගයෙන් පැතිරීම ඇරඹුණේ ඇමරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂය සිය ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීමේ ඡන්ද විමසීම් පවත්වමින් සිටි අතරතුර යි. මෙය විවිධ ප්‍රාන්තවල විවිධ දිනයන් හි පැවැත්වෙනවා. වසංගතය හේතුවෙන් ප්‍රාන්ත කිහිපයක මෙම ඡන්ද විමසීම් අවලංගු කරනු ලැබුණා.
කෙසේ වෙතත්, මෙම කල් දැමීම් පූර්වාදර්ශයක් කරගනිමින් නොවැම්බරයේ පවත්වන්නට නියමිත ජනාධිපතිවරණය කල් දැමීමට, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාර්ශවය උත්සාහ කරනු ඇතැ යි ඇතැම් අය සැක මතු කළා. ඊට හේතු වුණේ, කෝවිඩ්-19 වසංගතය පිළිබඳ ඇමරිකන් රජයේ ක්‍රියා පිළිවෙත අසාර්ථක වන බවක් පෙන්නුම් කිරීම සමග යි.
මේ අතර, වසංගත තත්ත්වය හේතුවෙන් නොවැම්බරයේ ජනාධිපතිවරණය පැවැත්වීම අපහසු විය හැකියැ යි ද සැක සංකා මතු වී තිබෙනවා.
ජනාධිපතිවරණය කල් දැමීමේ හැකියාව
ජනාධිපතිවරණය ඇතුළු කලින් සඳහන් කළ මැතිවරණ තුනම පවත්වන දිනය නොවැම්බර් මාසයේ පළමු සඳුදාට පසුව එන අඟහරුවාදා ලෙස ෆෙඩරල් නීති මඟින් තහවුරු වී තිබෙනවා. මේ හේතුව නිසා එම දිනය වෙනස් කළ හැක්කේ ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලයට පමණයි.
යම්කිසි කරුණක් හේතුවෙන් ජනාධිපතිවරණය කල් දැම්ම ද, එය එළඹෙන ජනවාරි 20 වනදාට පෙර පැවැත්විය යුතු යි. එදින මධ්‍යහ්නයේ ට්‍රම්ප්ගේ සහ උප ජනාධිපති මයික් පෙන්ස්ගේ ධුර කාලය අවසන් වීමට නියමිත යි. යම් හෙයකින් ඒ වන විට නව ජනාධිපතිවරයකු තෝරාගෙන නොතිබුණහොත්, ජනාධිපති ධුරයේ වැඩ බැලීමට පත් වන්නේ කවරෙකු ද යන්න ව්‍යවස්ථානුකූලව පැහැදිලි නැති කරුණක්.
ජනාධිපතිවරණ ක්‍රමවේදය
ඇමරිකානු ජනාධිපතිවරණ පිළිබඳ බොහෝ විට අප අමතක කරන කරුණක් වනවා. එනම්, මහජන ඡන්ද විමසීම ඇමරිකානු ජනාධිපතිවරණය නොවන බව යි. ජනාධිපති තෝරා ගනු ලබන්නේ ඡන්ද විද්‍යාලයක් විසින්.
ඇමරිකානු නීතියට අනුව ජනාධිපති තෝරාගැනීම සිදුකරන්නේ සාමාජිකයන් 535කින් යුතු ඡන්ද විද්‍යාලයක් විසින්. මෙයට එක් එක් ප්‍රාන්තයෙන් නියෝජිතයන් යම් ප්‍රමාණයක් පත් කෙරෙනවා. එය තීරණය වන්නේ, ඒ ඒ ප්‍රාන්තයේ ජනගහනය මත යි. මේ අනුව කැලිෆෝර්නියාවෙන් ඡන්ද විද්‍යාලයට නියෝජිතයන් 52 දෙනෙක් තෝරා ගැනෙනවා. එය වැඩිම නියෝජිතයන් ප්‍රමාණයක් තෝරා ගැනෙන ප්‍රාන්තය යි. ඇලස්කාවෙන් තෝරා ගැනෙන්නේ 3 දෙනෙක්.
යම් ප්‍රාන්තයක් විසින් ඡන්ද විද්‍යාලයට නියෝජිතයන් පත් කළ යුතුයැ යි සඳහන් වුව ද, එය සිදුකළ යුතු ආකාරය ෆෙඩරල් නීතිය මඟින් තීරණය කර නැහැ. එනම්, යම් ප්‍රාන්තයකට අවශ්‍ය පරිදි මෙම නියෝජිතයන් තෝරා ගත හැකියි. කෙසේ වෙතත්, සෑම ප්‍රාන්තයක්ම මේ වෙද්දී එම නියෝජිතයන් තේරීමේ කාර්යය සිදුකරන්නේ මහජන ඡන්දයකට අනුව යි. එනම්, ජනාධිපතිවරණයේ දී යම් ප්‍රාන්තයක් ජයගන්නා අපේක්ෂකයාට එම ප්‍රාන්තයේ ඡන්ද විද්‍යාල නියෝජිතයන් සියල්ලගේ ඡන්දය හිමි වන ලෙස ක්‍රමවේදය සැකසී තිබෙනවා.
මෙය සෑම අවස්ථාවකම මෙසේ වූයේ නැහැ. ඇමරිකන් සිවිල් යුද්ධය වනතුරුම දකුණු කැරොලිනාව ජනාධිපතිවරණ ඡන්ද විද්‍යාල නියෝජිතයන් තෝරාගත්තේ මහජන ඡන්දයෙන් නොවේ. එය එම ප්‍රාන්ත කොන්ග්‍රස් සභාව විසින් සිදුකෙරුණා. එහෙත්, අනෙක් ප්‍රාන්ත 1832 වන විට මහජන ඡන්දය අනුව ඡන්ද විද්‍යාල නියෝජිතයන් තෝරාගන්නා තැනට පැමිණ තිබුණා. මේ හේතුවෙන් එය දැන් සම්ප්‍රදායික තත්ත්වයටම පැමිණ තිබෙනවා.
යම් ප්‍රාන්තයක ව්‍යවස්ථාදායකයට අවශ්‍ය නම් නව නීති සම්මත කර මහජන ඡන්දය වෙනුවට වෙන ක්‍රමයකින් ඡන්ද විද්‍යාලයට නියෝජිතයන් පත් කිරීමට හැකියාව තිබෙනවා. එහෙත්, එයට ප්‍රාන්තයේ නීතිරීති වෙනස් කළ යුතු යි. කෙසේ වෙතත්, කාලයක් පවතින ක්‍රමය වෙනස් කිරීමට ඔවුන් උත්සාහ කරනු ඇතැ යි සිතීමට අපහසු යි.
මේ අනුව, යම් හෙයකින් 2020 ඇමරිකන් ජනාධිපතිවරණය, දැනට නියමිත පරිදි නොවැම්බර් මාසයේ පළමු සඳුදාට පසුව එළඹෙන අඟහරුවාදා වන නොවැම්බර් 3 වනදා පවත්වන්න බොහෝ ඉඩ තිබෙනවා. එය කල් දැම්මත් 2021 ජනවාරි 20ට පෙර නව ජනාධිපතිවරයකු පත් කර ගත යුතු වනවා. එහෙයින්, උපරිමයෙන් මාස දෙකහමාරකට වඩා ජනාධිපතිවරණය කල් දැමිය නොහැකියි.