දවසේ වැඩි කාලයක් අන්තර්ජාලය හා IoT සමග කාලය ගෙවන ඔබත්, මමත් පෞද්ගලිකත්වය ගැන මීට වඩා අතිශය සැලකිලිමත් විය යුතු බව අප මීට ටික දිනකට පෙර පළ කළ ලිපි ගණනාවක් ඔස්සේ පැහැදිලි කළා ඔබට මතක ඇති. තවද, අන්තර්ජාලයේ පළවන දෑ එකවර පිළිගැනීම හෝ එක් මූලාශ්‍රයකින් පමණක් තොරතුරු ලබාගැනීමත් ඉතාම භයානක දේවල් බවට අද වෙද්දී පත්ව තිබෙනවා. තාක්ෂණයේ දියුණුව සමග AI එසේ නොමැති නම්, කෘතීම බුද්ධි වැඩසටහන් භාවිතයෙන් විවිධ ඡායාරූප, වීඩියෝ පට අතිශය තාත්වික අන්දමෙන් නිර්මාණය වෙන්න පටන් ගැනීමත් සමග මේ තත්ත්වයන් තවත් භයානක වන්නට පටන් ගත්තා. මේ පිළිබඳව පෙර ලිපියක අපි ඔබව දැනුවත් කළා. ඔබ තොරතුරු තාක්ෂණය පිළිබඳව යම් දැනුමක් ඇත්තෙක් නම් අනිවාර්යෙන්ම Deepfake ගැන අසා ඇති. ප්‍රධාන වශයෙන් මේ තාක්ෂණයන් ඔස්සේ නිර්මාණය වෙන්නේ වීඩියෝ පට යි. භයානකත්වය වන්නේ; තවදුරටත් එවැනි වීඩියෝ පට සැබෑ ඒවා ද, නැති නම් කෘත්රීමව නිර්මාණය කරන ලද ඒවා ද යන්න සොයාගැනීම ඉතාම අපහසු වීම යි.
Deepfake ඇත්තටම භයානක ද?
Deepfake පිළිබඳ කතිකාවතක් නිර්මාණය වෙන්නේ 2017 පමණ මෑතක වුවත්, මීට සමාන තාක්ෂණික ක්‍රමවේදයන් චිත්‍රපට නිර්මාණයන්වල දී සුලබ ව භාවිත කර තිබෙනවා. මුල් කාලයේ නිර්මාණය වූ මෙවැනි වීඩියෝවක දී පුද්ගලයෙකුගේ මුහුණේ ඉරියව්වල සිදුවන වෙනස්කම්, ආලෝකකරණයේ වෙනස්කම්, හිසකෙස් හෝ රැවුල වැනි දේවල් එහා මෙහා වීම ආදී තත්ත්වයන් බොහොමයක් ගැන සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වුණා. ඒ නිසාවෙන් වීඩියෝවක තත්ත්පර කිහිපයක් වුවත්, මේ විදිහට එකෙන් එක සකසන්න වැය වන කාලය සහ මුදල් ප්‍රමාණය ඉතාම විශාල යි. එත් මේ වෙද්දී අතිශය සංකීර්ණ ක්‍රමවේදයන් භාවිත කරමින් AI වැඩසටහන් මඟින් මේවා ඉතා ඉක්මණින් නිර්මාණය කරනවා. ඔබට මතක නම් Fast Furious 7 චිත්‍රපටය නිෂ්පාදනය කරමින් සිටින අතරතුර එහි ප්‍රධාන චරිතයක් රඟපෑ Paul Walker මිය යනවා. ඉන් අනතුරුව රූගත කිරීම් සිදුවෙන්නේ ඔහුගේ සහෝදරයා සහ තවත් ඔහුගේ පෙනුමට ආසන්න සමානකමක් දක්වන සහාය නළුවන් යොදාගෙන යි. ඔවුන්ගේ ස්වරූපයන් Paul Walkerගේ රූපයට සමාන කරවන්නට භාවිත වෙන්නේ AI තාක්ෂණය ඔස්සේ Deepfake ක්‍රමවේදයන් සහ CGI ක්රමවේදයනුයි. පහළ Video වෙන් ඔබට ඒ පිළිබඳව යම් අදහසක් ලබාගන්නට පුළුවන්.
නමුත්, අද වෙද්දී ඔබත් දැනුවත්ව හෝ නොදැනුවත්වම හෝ එවැනි ක්‍රමවේදයන් භාවිත කරනවා. Deepfakeවල සිදුවෙන ක්‍රියාවලිය සරලව හැඳින්වුවොත්, එය කෘත්‍රීම බුද්ධිය සහ Machine Learning හෙවත් යාන්ත්‍රික ඉගෙනුම් ක්‍රමවේදයන් භාවිතයෙන් සිදුවන ක්‍රියාවලියක් ලෙස අර්ථ දක්වන්න පුළුවන්. දැනටමත් ඔබ Snapchat/ Instagram වැනි යෙදුම් ඔස්සේ මුහුණු වෙත විවිධ සජීවී Filters එකතු කරනවා නම්, නොදැනුවත්වම වගේ ඔබත් යම් දුරකට ඒ ක්රමවේදයන්ගේ අත්දැකීම ලැබූ පුද්ගලයෙක්.
AI ආශ්රිත Deepfake නිර්මාණය කරන වැඩසටහනකට සාර්ථක ප්‍රථිපල ලබාගන්නට නම් යම් පුද්ගලයෙකුගේ වීඩියෝ හෝ ඡායාරූප විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ ඔස්සේ ඔහුගේ හෝ ඇයගේ මුහුණෙන් පෙන්වන බොහෝ ඉරියව් හඳුනාගන්නට මේ වැඩසටහන සමත් වෙනවා. මේ ඔස්සේ එසේ ඉගෙන ගත් ඉරියව් වෙනත් වීඩියෝවක පුද්ගලයෙකු වෙත ආදේශ කරෙනවා. පහතින් දැක්වෙන්නේ එවැනි වීඩියෝවක්.
බොහෝ දෙනෙක් හොඳින් හඳුනන ජනප්‍රිය පුද්ගලයන්ට මෙය විශාල ගැටළුවක්. දැන් පවතින Deepfake වැඩසටහන්වලට ස්වයංක්‍රීය ව සෙවුම් යන්ත්‍ර භාවිත කර ඡායාරූප සොයාගන්නට පවා හැකියාව තිබෙනවා. ඔබ අන්තර්ජාලය වෙත, සමාජ ජාලයන් වෙත ඡායාරූප වැඩි වශයෙන් එකතු කරන්නෙක් නම් මෙවැනි Deepfake වීඩියෝවක් ඔබේ රූපය සහිතව නිර්මාණය කිරීමත් එතරම්ම අපහසු නැහැ. ඔබට මතක නම සුරූපී නිළි ගල් ගඩෝට් යොදාගෙන සැකසූ අසභ්‍ය වීඩියෝව ඇතුළු ජනප්‍රිය තරු යොදාගෙන සකසන ලද Deepfake videos, ඔවුන්ගේ ජනප්‍රියත්වය නිසාම සමාජය තුළ ඉතා ඉක්මණින් මේවා ප්‍රචාරය වීම වළක්වන්නට බැහැ. මෙය අතිශය ගැටළුකාරී තත්ත්වයක් බවට අද වෙද්දී පත්ව තිබෙනවා. Twitter ඇතුළු සමාජ ජාලා ගණනාවක් මෙවැනි දේ ප්‍රචාරය කිරීම වැළැක්වීමට කටයුතු කර තිබෙනවා නමුත්, එය ප්‍රමාණවත් ද යන්න නම් තවමත් ගැටළුවක්.
2019 උණුසුම් කළ Faceapp භීතිකාව ඔබට මතක ඇති. මේ භීතිකාව සමග කරළියට පැමිණි ප්‍රධාන මතයක් වන්නේ මේ app එක හරහා අපේ මුහුණේ ඉරියව් සහ ඡායාරූප ලබාගෙන ඒ ඔස්සේ කෘත්‍රීම බුද්ධි වැඩසටහනක් පුහුණු කිරීම සිදුවෙනවා යන්න යි. කොහොම නමුත්, Faceapp එක හරහා එවැන්නක් සිදුනොවන බවත්, ඒ අවස්ථාවේ load කරවන image එකෙහි cache image එකක් පමණක් upload වීම සිදුවන බවත් Faceapp නිර්මාණකරුවන් සඳහන් කළා. මෙහි දී upload වෙන cache image එක අනුව නිර්මාණය වෙන overlay එක ඇප් එක වෙත පැමිණ එතන සිදුවන process එකක් මඟින් අවසාන ඡායාරූපය නිර්මාණය වෙන බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.
ඔබ අනිසි බියක් ඇති කරගත යුතු නම් නැහැ. නමුත් එවැනි ක්‍රමවේදයන් තිබෙන බවත්, ඒ ඔස්සේ සිදුකළ හැකි දේ පිළිබඳවත් යම් අවබෝධයක් ලබාගැනීම වටිනවා. අන්තර්ජාලය තුළ Privacy කියන්නේ මිත්‍යාවක්. එනිසා යම් ලියවිල්ලක්, වීඩියෝවක් දුටු පමණින් කලබලයට පත් නොවී, ඒ පිළිබඳව නිර්පාක්ෂික සොයාබැලීමක් සිදුකර, එවැනි යෙදුම් භාවිතා කරනවා ද නැද්ද යන්න තීරණය කිරීම තමයි නුවණට හුරු.