ජෙනරාල් පර්වේස් මුෂාරෆ් නම් හිටපු පාකිස්තාන ජනාධිපතිවරයාට මරණ දඬුවම ලබා දීමට එරට අධිකරණය පසුගිය දා තීරණය කරනවා. ඒ, ඔහු විසින් 2007 වසරේ දී පාකිස්තානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්හිටුවා හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා ඔප්පු වීමත් සමග යි. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයන් දෙදෙනෙකුගේ කැමැත්ත මත මෙම තීරණය අධිකරණය විසින් ලබා දී තිබෙනවා.
බලයේ සිටිය දී සිදුකළ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පාකිස්තාන හමුදා පාලකයෙක්ව අධිකරණයෙන් වරදකරුවකු කළ පළමු අවස්ථාව මෙය ලෙස හැඳින්විය හැකි යි.
නමුත් ඔහුව මේ වන තුරු අත්අඩංගුවට ගැනීමට පාකිස්තාන ආරක්ෂක අංශවලට හැකියාව ලැබී නෑ. ඊට හේතුව වන්නේ මේ වන විට ඔහු පාකිස්තානයේ නොමැති වීම යි. 2008 දී ඔහු බලයෙන් ඉවත් වන අතර, 2016 වසරේ සිට ඩුබායි රාජ්‍යයේ ජීවත් වෙනවා. වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඩුබායි හි රැඳී සිටින බව ඔහු විසින් පවසා ඇති අතර, මෙම නඩු තීන්දුව හුදෙක් දේශපාලන පලිගැනීමක් බව ද තීන්දුවෙන් පසුව ඔහු විසින් වීඩියෝ පටයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා. ඒ ඩුබායි රාජ්‍යයේ රෝහලක ඇඳක් මත සිට යි.
රාජ්‍යද්‍රෝහී වීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම
ජනාධිපතිවරයා 2007 වසරේ දී සිය ධුර කාලය දීර්ඝ කර ගැනීමේ සඳහා පාකිස්තානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්හිටුවා හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම ඔහුට එල්ල වෙන ප්‍රධාන චෝදනාව යි. එය රාජද්‍රෝහී චෝදනාවක් ලෙස නම් වී තිබෙනවා. පාකිස්තානයේ රාජද්‍රෝහී වීම මරණ දඬුවම ලැබිය හැකි වරදක් බැවින් නඩුව විභාග කළ පෙෂාවර් මහාධිකරණයේ ප්‍රධාන විනිසුරු වකාර් අහමඩ් සෙත් ප්‍රමුඛ විනිසුරු මණ්ඩලයේ බහුතර කැමැත්ත මත ඔහුට මරණ දණ්ඩනය හිමි වෙනවා. 2007 නොවැම්බර් 3 වනදා හදිසි නීතිය පැනවීම මඟින් පාකිස්තානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වන වගන්තිය උල්ලංඝණය කළ බව එහි දී අධිකරණය දන්වා සිටිනවා.
2013 සිට මෙම නඩු විභාගය පැවැත්වුණු අතර, මේ සඳහා හිටපු ජනාධිපතිවරයා පැමිණ තිබෙන්නේ අවස්ථා කිහිපයක දී පමණ යි. මෙම නඩුවට අමතරව තවත් නඩු කිහිපයක්ම මුෂාරෆ් ජනාධිපතිවරයාට එරෙහිව පාකිස්තානයේ ක්‍රියාත්මක වෙනවා. 2016 වසරේ දී රටෙන් පිට වූ පසු ඔහු කිසිම නඩු වාරයක් සඳහා සහභාගී වී නෑ.
කවුද මේ ජෙනරාල් පර්වේස් මුෂාරෆ් කියන්නේ
1943 වසරේ බ්‍රිතාන්‍ය ඉන්දියාවේ දිල්ලි හි උපත ලබන පර්වේස් මුෂාරෆ්, 1947 වසරේ දී පාකිස්තානය නම් අලුත් රටක් බිහි වූ පසුව තම දෙමාපියන් සමග එහි පදිංචියට පැමිණෙනවා. අධ්‍යාපනය නිමා කිරීමෙන් පසුව පාකිස්තාන හමුදා ඇකඩමියට ඇතුළත් වෙන ඔහු, දෙවන ලුතිනන්වරයෙක් ලෙස අධිකාරි ලබා එරට හමුදාවට ඇතුළත් වෙනවා.
ඇෆ්ගනිස්තාන් සිවිල් යුද්ධයේ මෙන්ම 1965 වසරේ කාශ්මීරය මුල් කරගත් ඉන්දු-පාකිස්තාන යුද්ධයේ ද දෙවන ලුතිනන්වරයෙකු ලෙස විශාල කාර්යභාරයක් ඔහු විසින් ඉටු කරනවා. 1990 වසරේ දී මේජර් ජෙනරාල් ධූරයට උසස් වෙන මුෂාරෆ්, 1999 වසරේ දී පාකිස්තාන යුද හමුදාවේ ප්‍රධානියා ලෙස පත් කරන්නේ එවකට පාකිස්තානයේ සිටි අගමැතිවරයා වන නවාෂ් ෂරිෆ් විසින්.
1999 වසරේ දී කාශ්මීරය මුල්කරගෙන ඉන්දියාව හා පාකිස්තානය අතර නිර්මාණය වූ අප්‍රකාශිත කාගිල් යුද්ධයේ දී ජෙනරාල් මුෂාරෆ් ඉන්දියාවට එරෙහිව සිය හමුදාව මෙහෙයවනු ලබනවා.
මෙම කාලයේ දී ජෙනරාල් මුෂාරෆ් හා එවකට අගමැති නවාස් ෂරීෆ් අතර මතභේදයක් නිර්මාණය වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ජෙනරාල් මුෂාරෆ් විසින් හමුදා කුමන්ත්‍රණයක් දියත් කර රාජ්‍ය බලය ලබාගැනීම සිදුකරනවා. ඒ, 1999 වසරේ ඔක්තෝම්බර් මාසයේ දී යි.
1999 වසරේ හමුදා ප්‍රධානියා ලෙස රටේ බලය අල්ලා ගන්නා ඔහු, 2001 වසරේ සිට එරට ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනවා. 2001 වසරේ සැප්තැම්බර් මාසයේ 11 වන දා ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරයෙන් පසු ඇමරිකාව ඇරැඹූ “ත්‍රස්‌තවාදයට එරෙහි ගෝලීය යුද්ධයට” පාකිස්‌තානය සිය සහාය පලකරන අතර, ඒ කාලයේ ජනාධිපති වූ ජෙනරාල් මුෂාරෆ් ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ට සිය උපරිම සහාය ලබා දීම සඳහා ඉදිරිපත් වෙනවා.
චෝදනා ප්‍රතික්ෂේප කරන ජෙනරාල් මුෂාරෆ්
- රෝහලේ සිට ප්‍රකාශයක් නිකුත් කරමින් (gulfnews)
1999 වසරේ දී හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කෙරුණු හිටපු අගමැති නවාස් ෂරීෆ්, 2013 වසරේ දී අගමැතිවරයා වශයෙන් නැවතත් පත් වෙනවා. ඉන්පසුව යි ජෙනරාල් මුෂාරෆ්ට රාජ්‍ය ද්‍රෝහී චෝදනාව එල්ල වෙන්නේ. කලක් විදේශගතව සිටි ඔහු, 2013 වසරේ දී නැවතත් පකිස්තානයට පැමිණෙන අතර මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට ද බලාපොරොත්තු වෙනවා. නමුත් ඔහුට විරුද්ධව පැවති නඩු විභාග හේතුවෙන් මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට හැකියාව ලැබෙන්නේ නෑ. 2016 වසරේ දී නැවතත් රටෙන් පිට වී ගිය ඔහු මේ වන තුරු රැදී සිටින්නේ ඩුබායි රාජ්‍යයේ යි.