Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකා දුම්රිය ඉතිහාසයේ ස්වර්ණමය යුගයේ නියමුවා

19 වැනි සියවසේ මැද භාගය වන විට බ්‍රිතාන්‍යයන් ලංකාව තුළ කෝපි වගාව ආරම්භ කර තිබුණා. එය ටික කලක් යන විට ඉතාමත් ඉහළ අස්වැන්නක් ලබාදුන්නා. වසරින් වසර ලැබෙන කෝපි අස්වැන්න ඉහළ යන විට වැවිලිකරුවන්ට එම අස්වැන්න වෙනත් ප්‍රදේශවලට රැගෙනයාමට පහසු ක්‍රමයක් තිබුණේ නැහැ. ඒ වන විට මහනුවර සිට කොළඹ බලා අශ්ව කරත්ත ගමන් කළත් වැවිලිකරුවන්ගේ අස්වැන්න ප්‍රවාහනය කිරීමට එය ප්‍රමාණවත් වුණේ නැහැ. එම නිසා එක්වර වැඩි අස්වැන්නක් ප්‍රවාහනය කළ හැකි ප්‍රවාහන ක්‍රමයක අවශ්‍යතාවය මතු වුණා.

1850 වසර පමණ වන විට ලංකාවේ කෝපි වැවිලිකරුවන්ට හොඳ මාර්ග පද්ධතියක අවශ්‍යතාවය මතුවෙමින් පැවති නිසා, ඔවුන් එවකට ලංකාව පාලනය කළ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයාට ඒ සඳහා පිළියමක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළා. එයට ඔහුගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණත් 1855 වසරේ දී බලයට පත් වුණු හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයා එම ඉල්ලීමට එකඟ වුණා. ඒ අනුව ඔහු 1858 වසරේ දී දුම්රිය දෙපාර්තමේන්තුව පිහිටුවා එම වසරේම අගෝස්තු 3 වැනිදා මුල්ම දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා මංගල පස් පිඬැල්ල කපනු ලැබුවා.

මංගල පස් පිඬැල්ල කැපීම (newegg.com)

ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය ආරම්භ කිරීමට මුල් වුණු හෙන්රි වෝඩ් ආණ්ඩුකාරයා 1860 වසරේ දී සිය ධූර කාලය නිමා කළත්, ඉන් පසුව පත් වුණු බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන් එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගියා. 1864 වසරේ දෙසැම්බර් 27 වැනිදා මෙරට දුම්රිය ඉතිහාසයේ මුල්ම වරට දුම්රියක් කොළඹ සිට අඹේපුස්ස දක්වා ගමන් කරනු ලැබුවා. එලෙස බ්‍රිතාන්‍යයන් විසින් ආරම්භ කරන ලද ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ස්වර්ණමය යුගය බවට පත්වුණේ 1955-1970 කාල සමය යි. ඒ රම්පාල නම් යාන්ත්‍රික ඉංජිනේරුවරයා ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරිවරයා ලෙසින් කටයුතු කළ අවධිය යි.

රම්පාලගේ පාසල් අවධිය 

1910 වසරේ නොවැම්බර් 14 වැනිදා පන්නිපිටිය ප්‍රදේශයේ උපත ලැබූ බමුණුආරච්චිලාගේ දොන් රම්පාල නම් දරුවා කොට්ටාව මිශ්‍ර පාසලට ඇතුළත් වී සිය මූලික අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කළා. ඉන් පසුව ඔහු කොළඹ ආනන්ද සහ නාලන්දා යන විදුහල්වලින් වැඩිදුර අධ්‍යාපනය ලැබුවා. රම්පාල දරුවා ආනන්ද සහ නාලන්දා යන පාසල්වල ඉගෙනගත් අවධියේ දුම්රියෙන් දිනපතාම පාසල වෙත පැමිණියා. එදා පන්නිපිටියේ සිට මරදාන දක්වා කැළණිවැලි දුම්රිය මාර්ගය ඔස්සේ පැමිණි රම්පාල දරුවා දුම්රිය ලෝලියෙකු බවට පත් වුණා. 

කැළණිවැලි දුම්රිය මාර්ගය (ceylon Guide)

දුම්රිය දෙපාර්තමේන්තුවට එක් වීම 

සිය පාසල් අධ්‍යාපනය හමාර කිරීමෙන් පසුව කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණු මොහු එහි දී සාර්ථකව ඉගෙනුම් කටයුතු සිදුකිරීමෙන් පසුව එංගලන්තයේ ලන්ඩන් විශ්වවිද්‍යාලයයේ දී උපාධිය සම්පූර්ණ කරනු ලැබුවා. උසස් අධ්‍යාපන කටයුතු නිම කළ රම්පාල තරුණයා ආධුනික යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළා. ඔහු ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට එක්වුණේ 1934 වසරේ දී යි. රම්පාල කුඩාකල සිටම දුම්රියට විශේෂ ඇල්මක් දැක්වීම එයට හේතු වුණා. 

සිය වෘත්තීය ජීවිතය තුළ සාර්ථකත්වයට පත්වීම 

ඕනෑම කෙනෙකු තමන් කැමති ක්ෂේත්‍රයක රැකියාවකට ගිය පසුව ආශාවෙන් මහන්සි වී වැඩ කිරීම සාමාන්‍ය දෙයක්. ආධුනික ඉංජිනේරු රම්පාලත් සිය වෘත්තීය ජීවිතයේ දී අනුගමනය කළේ එම ක්‍රමවේදය යි. එදා ඔහු කැපවීමෙන් රාජකාරි කටයුතු කළ නිසා ක්‍රමයෙන් උසස් තනතුරුවලට පත්වී, අවසානයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු තනතුර දක්වා උසස් වුණේ 1949 වසරේ දී යි. මෙරට දුම්රිය ඉතිහාසය තුළ පත්වුණු පළමු ලාංකීය ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරුවරයා බවට පත්වීමේ අවස්ථාව ඉංජිනේරු රම්පාලට හිමිවුණා. එතෙක් එම පදවිය දරා තිබුණේ බ්‍රිතාන්‍යයන්. 

රත්මලාන දුම්රිය කර්මාන්තශාලාවට නව පණක් ලබාදුන් මිනිසා 

ඉංජිනේරු රම්පාල ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු තනතුරට පත්වීමෙන් පසු රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලාවට හොඳ කාලයක් උදා වුණා. එම අවධිය වන විට මෙරට වාෂ්ප එන්ජින් සම්බන්ධව මනා පුහුණුවක් ලැබසිටි ඉංජිනේරුවන් සහ පුහුණු කාර්මිකයන් සම්බන්ධ කරගත් ඔහු වාෂ්ප එන්ජින් සඳහා අමතර කොටස්, ගැල් සහ මැදිරි එම කර්මාන්ත ශාලා සංකීර්ණය තුළම නිෂ්පාදනය කරනු ලැබුවා. එකල  භාවිතා කළ  වානේ රාමු මත දැවයෙන් තැනූ දුම්රිය මැදිරි වෙනුවට ඇළුමිනියම් තහඩු යොදා දුම්රිය මැදිරි නිපදවනු ලැබුවේ ද  ඔහුගේ අදහසකට අනුව යි. 

ඔහු එවැනි අදහසක් ඉදිරිපත් කළේ එදා රට තුළ පැවති දැව හිඟය නිසා දැවයෙන් තැනූ දුම්රිය මැදිරි ඉදිකිරීම සඳහා විශාල මුදලක් වැයවීම නිසා යි. නමුත් රම්පාලගේ අදහසකට අනුව වියදම් අවම කර ගැනීම සඳහා නිර්මාණය කළ ඇළුමිනියම් තහඩු යෙදූ මැදිරිවල අලූත්වැඩියා වියදම් අඩු වුණා. එසේම ඒවායේ සැහැල්ලූ බව නිසා එන්ජින්වල ඉන්ධන පිරිමැස්ම අතින් ද මේ මැදිරි වාසිදායක වුණා. 

එසේම වානේ රාමු මත වානේ තහඩු යොදා සාදන ලද ගැල් රථ එම අවධියේ දී  රත්මලාන දුම්රිය කම්හල තුළ නිෂ්පාදනය වුණා. එකල බෝගි සහිත ගැල් රථ නිපදවීම ආරම්භ වුණේ රෝද හතරේ ගැල් භාවිතය අවම කිරීමට මෙන්ම වැඩි භාණ්ඩ ප්මාණයක් එක් ගැල් රථයකින් ප්රවාහනය කිරීමේ පහසුව තකා යි. ඒ වන විට වසරකට මැදිරි 30ක් සහ ගැල් රථ 100ක් පමණ රත්මලාන දුම්රිය කම්හල තුළ නිපදවනු ලැබුවා. එම නිසා රත්මලාන දුම්රිය කර්මාන්තශාලාව ආසියාවේ තිබුණු උසස්ම දුම්රිය කර්මාන්තශාලා කිහිපය අතරට එක්ව තිබුණා. 

ඩීසල් එන්ජින් මෙරටට හඳුන්වාදීමේ පුරෝගාමියා 

දෙවන ලෝක යුද්ධ සමයේ දී ඇති වුණු ගල් අඟුරු හිඟය නිසා 1950 දශකය එළඹෙන විට ඩීසල් දුම්රිය එන්ජින්වල අවශ්‍යතාවය මතු වුණා. එම නිසා  එංගලන්තයෙන්  ඩීසල් එන්ජින් 25ක් මිල දී ගත්තා. මුලින්ම මෙරටට එවනු ලැබුවේ එම එන්ජින්වලින් කිහිපයක් පමණ යි. ලංකාවට රැගෙන ආ සියලුම එංජින්වල අත්හදාබැලීම් සහ  පරීක්ෂණ කටයුතු සිදුවුණේ ප්‍රධාන ඉංජිනේරු රම්පාලගේ අධීක්ෂණය යටතේ යි. M1 ලෙසින් නම් කළ එම එන්ජින් කාණ්ඩයේ පළමු එන්ජින් අත්හදා බැලීමේ චාරිකාවේ සිටම තමන් එන්ජිම පදවා සකස් කළ පූර්ණ වාර්තාවක් ඔහු නිෂ්පාදන සමාගම වෙත ඉදිරිපත් කළා. 

රම්පාල විසින් ඉදිරිපත් කෙරුණු වාර්තාවට අනුව එංගලන්ත සමාගම ඉතිරි එන්ජින් මෙරටට එවීමට පෙර අවශ්‍ය සියළු නවීකරණයන් සිදු කරනු ලැබුවා. එහිදී ඔහු සිය තම අත්හදාබැලීමේ ගමන් සහ පරීක්ෂණවල දී කළ නිරීක්ෂණයන් පිළිබදව ලන්ඩන් නුවර දුම්රිය එන්ජින් ඉංජිනේරු ආයතනය වෙත ඉදිරිපත් කළ, “ලංකාවේ විදුලි ඩීසල් එංජින් උපදේශනය” නම් වාර්තාව ඉහළ ඇගයීමකට ලක් වුණා. එනිසා ඔහු ආසියාවේ හොඳම දුම්රිය එන්ජින් ඉංජිනේරුවා ලෙස සම්මානයට ද පාත්‍ර වුණා. එසේම කොළඹ ක්‍රමය යටතේ කැනඩාව විසින් මෙරටට පරිත්‍යාග කළ M2 එන්ජින්වල පර්යේෂණ කටයුතු සිදුකළේත් රම්පාල නම් දක්ෂ ඉංජිනේරුවා යි.

දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට පත්වීම 

ඉංජිනේරු රම්පාල ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරුවරයා ලෙසින් රාජකාරි කළ අවධියේ දී ඔහු අතින් කාර්යක්ෂම සේවාවක් ඉටු වුණා. එම නිසා 1955 වසරේ දී දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට පත්වුණු පළමු ලාංකිකයා බවට පත්වීමට ඔහුට වාසනාව හිමි වුණා. නව තනතුරට පත්වීමෙන් පසුව සාමාන්‍යාධිකාරී රම්පාල සිය දැනුම භාවිතා කරමින් මෙරට දුම්රිය සේවාව දියුණු කිරීමට අවශ්‍ය පියවර ගනු ලැබුවා. ඒ ඔහු දශක 2කට අධික කාලයක් ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කළ අවධියේ දී එහි තිබුණු ගැටළු නිසියාකාරව හඳුනාගෙන තිබුණු නිසා යි. 

රම්පාල මහතා (Ceylon Guide)

අළුතින් සීඝ්‍රගාමී දුම්රිය කිහිපයක් ආරම්භ කිරීම 

1954 වසරේ දී කැනඩාවෙන් මෙරටට ලැබුණු M2 එන්ජින් භාවිතා කරමින් දුර ගමන් සේවා ආරම්භ කිරීම පිළිබඳව ඔහුගේ අවධානයට ලක් වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1955 වසරේ ඔක්තෝබර් 24 වැනි දින සවස 4ට කොළඹ කොටුවේ සිට මාතර දක්වා සීඝ්‍රගාමී දුම්රියක් ධාවනය වුණා. එම දුම්රිය රුහුණු කුමාරි යන නමින් හඳුන්වනු ලැබුවා. රුහුණු කුමාරි දුම්රිය ධාවනය කිරීම නිමිත්තෙන් පැවැත්වුණු උත්සවය සඳහා කොළඹ කොටුව දුම්රිය ස්ථානය මනාව සූදානම් කර තිබුණා.

රුහුණු කුමාරී දුම්රිය සිය මංගල ගමන ආරම්භ කළේ එදා එහි තිබුණු පස්වන වේදිකාවේ සිට යි. එම වේදිකාව වර්තමානයේ දී භාවිතා කරන්නේ හත්වන වේදිකාව ලෙස යි. එදා සමස්ත වේදිකාවම මල් වැල්වලින් සහ ජාතික ධජ රැසකින් විචිත්‍රවත් අයුරින් සරසා තිබුණා. දුම්රියේ මංගල ගමන සඳහා භාවිතා කළේ  M2 572 – British Columbia (බ්‍රිටිශ් කොලම්බියා) නම සඳහන් කැනඩා ආධාරයක් ලෙස ලැබුණු නවීන දුම්රිය එන්ජිම යි. එහි මුලින් පැවති රතු සහ දුඹුරු පැහැය වෙනස් කොට රිදී සහ නිල් පැහැයෙන් වර්ණ ගන්වා රුහුණු කුමාරි දුම්රියට යොදා තිබුණා.  

උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙසින් එක් වුණේ එවකට අග්‍රාමාත්‍යවරයා ලෙසින් කටයුතු කළ ජෝන් කොතලාවල යි. දුම්රිය විවෘත කිරීමේ අවස්ථාව ද හිමිව තිබුණේ ඔහුට යි. කලක් ප්‍රවාහන අමාත්‍යවරයා ලෙසින් කටයුතු කර තිබුණු අග්‍රාමාත්‍ය කොතලාවලට දුම්රිය ක්ෂේත්‍රය පිළිබඳව හොඳ දැනුමක් තිබුණා. එම නිසා දුම්රිය දියුණු කිරීම සඳහා ඔහුගේ උපරිම සහාය සාමාන්‍යාධිකාරී රම්පාලට ලැබුණා. 

රුහුණු කුමාරි දුම්රියේ මංගල ගමන පිළිබඳව පළවුණු පුවත්පත් දැන්වීමක් (Ancient Ceylon)

1956 වසරේ අප්‍රේල් 23 වැනිදා ලංකා දුම්රිය ඉතිහාසයේ අමතක නොවන දිනයක් ලෙසින් සටහන් වුණා. ඒ කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා ධාවනයට යාල් දේවි නමින් නව සීඝ්‍රගාමී දුම්රියක් එක්වීමත් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනයට උඩරට මැණිකේ නමින් නව සීඝ්‍රගාමී දුම්රියක් එක්වීමත් නිසා යි. ඉංජිනේරු රම්පාල නව තනතුරට පත්වීමෙන් මාස කිහිපයක් ඇතුළත ආරම්භ වුණු සීඝ්‍රගාමි දුම්රියන් ත්‍රිත්වය නිසා මෙරට දුම්රිය ගමනාගමනය වඩාත් කාර්යක්ෂම වුණා. 

ප්‍රධාන සීඝ්‍රගාමී දුම්රිය තුන ඇතුළත් දැන්වීමක් (Train Simulator)

රාත්‍රී තැපැල් දුම්රිය සේවය ද විධිමත්ව ක්‍රියාත්මක වීම ආරම්භ වුණේ රම්පාල යුගයේ සිට යි. එසේම ඔහුගේ මඟපෙන්වීම යටතේ උදය දේවී, උත්තර දේවි, සහ මුතුකුමාරි යන නමින් තවත් සීඝ්‍රගාමි දුම්රිය තුනක් පසුකලෙක දී මෙරට දුම්රිය සේවයට එකතු වුණා. එතෙක් මන්දගාමීව ක්‍රියාත්මක වුණු ලංකා දුම්රිය සේවයට නව ජවයක් ලැබුණේ එසේ යි. 

ඉංජිනේරු රම්පාල මෙරට දුම්රියට කළ සේවය පිළිබඳව කෙටියෙන් 

ඉංජිනේරු රම්පාල මෙරට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වශයෙන් රාජකාරි කළ යුගය මෙරට දුම්රිය ඉතිහාසයේ ස්වර්ණමය යුගය බවට පත්වුණා. එම නිසා රම්පාල නාමය පිළිබඳව අදටත් බොහෝ දෙනෙකු කතා කරනවා. ඔහු කළ සේවයෙන් බිඳක් පහත ආකාරයට දැක්විය හැකියි. 

1) 1956 වසරේ දී S2 වර්ගයේ බලවේග කට්ටල මෙරටට ගෙන්වා නගරාසන්න දුම්රිය සේවයට යෙදවීම මඟින් ධාවන කාලය අඩුකර ගැනීමට හැකියාව ලැබුණා. එසේම එම බලවේග කට්ටල භාවිතා කිරීම හේතුවෙන් ඉක්මනින් වේගය වැඩිකිරීමට හැකියාව ලැබීම, ක්ෂණිකව දුම්රිය නැවැත්වීමට හැකියාව ලැබීම, ගමනාන්තයේ දී එන්ජින් හැරවීමට අවශ්‍ය නොවීම වැනි තාක්ෂණික වාසි රැසක් හිමිවුණා.

2) රත්මලාන දුම්රිය කර්මාන්තශාලාවේ නිපදවනු ලැබූ S3 සහ S4 බලවේග කට්ටල සේවයට එක් කිරීමට කටයුතු කළා. 

3) වායු සමනය කරන ලද මැදිරි සහ  නැරඹුම් මැදිරි දුම්රියයන්ට එක් වුණේ මොහුගේ සංකල්පයකට අනුව යි. 

4) ඩීසල් හයිඩ්‍රොලික් එන්ජින් මෙරට දුම්රිය සේවයට එක් කිරීම සඳහා පුරෝගාමී වී කටයුතු කළේ මොහු යි. එසේම කඳුකර මාර්ගවල ධාවනය කිරීම සඳහා W2 කාණ්ඩයේ එන්ජින් ද, තැනිතලා මාර්ගවල ධාවනය කිරීම සඳහා W1 කාණ්ඩයේ එන්ජින් ද මෙරටට ආනයනය කළේ මොහුගේ යුගයේ දී යි. 

5) දුම්රිය ස්ථාන හරහා දුම්රියයන් ධාවනය වන විට සිංහල, දෙමළ, සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම නිවේදනය කිරීම ආරම්භ වුණේ රම්පාල යුගයේ දී යි. 

6) 1961 වසරේ දී වර්ණාලෝක සංඥා ක්‍රමය ලංකාවට හඳුන්වාදුන්නේ මොහු යි. එම අවධිය වන විට සංඥා ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තුළ සංඥා ඉංජිනේරුවරයෙකු සිටියේ නැහැ. එදා සාමාන්‍යාධිකාරී රම්පාල දුම්රිය සංඥා පද්ධතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වුණු නිලධාරින් අළුතින් බඳවාගෙන එය ක්‍රියාත්මක කළේ මෙරට දුම්රිය සේවයෙහි කාර්යක්ෂමතාවය තවත් වැඩි කරමින්. 

7) ඊට අමතරව මොහු කළ සේවාවන් ලෙස, ත්‍රිකුණාමලය සහ මඩකලපුව වැනි ප්‍රදේශවල දුම්රිය මාර්ග සඳහා බරින් වැඩි පීලි යොදා සකස් කිරීම, දුම්රිය මාර්ගවල වංගු කෙලින් කිරීම, දුම්රිය ස්ථානවල වේදිකාවල දිග වැඩි කිරීම, සංචාරකයන් ඉලක්ක කරගෙන සුඛෝපභෝගි දුම්රිය කට්ටල ධාවනයට එක් කිරීම වැනි ඒවා සඳහන් කළ හැකියි. 

දුම්රිය නැරඹුම් මැදිරියක් (Elakiri)

ලංකා දුම්රිය සේවය දියුණු තත්ත්වයකට පත්කිරීම සඳහා මූලික අත්තිවාරම වැටුණේ රම්පාල යුගයේ දී යි. එම නිසා අදටත් එතුමාගේ නම බොහෝ දෙනෙකු ගෞරවයෙන් සිහිපත් කරනවා. 1994 වසරේ ජූනි 20 වැනිදා ඔහු සිය ජීවන ගමන නිමා කළත්, ලාංකීය දුම්රිය ඉතිහාසය තුළ ඔහුගේ නාමය සදා නොනැසී පවතිනු ඇති.

කවරයේ ඡායාරූපය- Lakpura.com

මූලාශ්‍රයයන්- elakiri Talk

                        relluwa.com  

Related Articles