පසුගිය කාල සමය තුළ මෙරට දේශීය කර්මාන්ත නඟා සිටුවීම පිළිබඳව සමාජ කතිකාවතක් ඇතිව තිබුණා. 2020 මහා මැතිවරණයෙන් පසුව බලයට පත්වුණු ඇමති මණ්ඩලයට වේවැල්, පිත්තල, මැටි, ලී බඩු, සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන යන විෂයයන් සඳහා රාජ්‍ය අමාත්‍යවරයෙකු පත්කර තිබෙනවා. පත්වුණු රාජ්‍ය අමාත්‍යවරයා ගෙවුණු මාසයක පමණ කාලය තුළ කුඹල් කර්මාන්තය නඟා සිටුවීම වෙනුවෙන් පියවර ගන්නා ආකාරය දක්නට ලැබුණා.
වසර දහස් ගණනක් තරම් ඈත අතීතයක සිට අප රට තුළ ක්‍රියාත්මක වුණු මැටි කර්මාන්තයට සේම, වේවැල් සහ පිත්තල යන කර්මාන්තවලටත් දිගු අතීතයක් තිබෙනවා. එම කර්මාන්ත ද්විත්වය අතුරින් වේවැල් කර්මාන්තය දැනට සියවස් කිහිපයක සිට ලංකාව තුළ ක්‍රියාත්මක යි. පසුගිය කාල සමයේ වෙළඳපලට පැමිණි විවිධ ආදේශක නිසා වේවැල් කර්මාන්තය කඩා වැටෙමින් තිබෙන ආකාරය දක්නට ලැබුණා. දැනට වේවැල් කර්මාන්තයේ නිරත වන පිරිසත් එය කරගෙන යන්නේ විවිධ ගැටළු මධ්‍යයේ යි.
ලංකාවේ වේවැල් කර්මාන්තයේ ඉතිහාසය
අතීතයේ සිටම ලංකාව තුළ වේවැල් කර්මාන්තයෙහි යෙදුණු පිරිසක් සිටි නිසා වේවැල්දෙණිය, වේවැල්දූව, වේවැල්කඳුර, වේවැල්වල, වේවැල්පනාව වැනි ග්‍රාම නාමයන් අදටත් දක්නට ලැබෙනවා. ලංකාවේ ආදිවාසී ජනතාව බඹර කැපීම සඳහා අවශ්‍ය වුණු ඉණිමං සෑදීම සඳහා වේවැල් භාවිතා කළා. දෙවන පෑතිස් රජ සමයේ මෙරටට පැමිණි ශිල්ප ශ්‍රේණි 18කට අයත් පිරිස අතර කුළු පොත්තන් නමින් හඳුන්වනු ලැබූ පිරිසක් සිටියා. ඔවුන්ට පැවරී තිබුණු රාජකාරිය වුණේ වේවැල් භාවිතා කරමින් විවිධ භාණ්ඩ සෑදීම යි. ලංකාවේ වේවැල් කර්මාන්තයේ නිරත වුණු පිරිසක් සිටි බව රොබට් නොක්ස් ඔහුගේ වාර්තාවල සඳහන් කර තිබුණා. එම වාර්තාවල වේවැල් කර්මාන්තකරුවන් පිළිබඳව පහත දැක්වෙන දේවල් ලියා තිබුණා.
“බෙරවායින් ළඟට එන්නෝ කුළු පොත්තෝ ය. ඔවුන්ගේ කාරිය වේවැල් බටපොතු ආදියෙන් කුඩා කුළු, කුඩා වට්ටි, පෙට්ටි ආදිය විවීම යි. ඇඳ පුටු ද වියා දෙන ඔවුහු පඩි ද නොතකා ජීවිකාව රැක ගන්නෝ ය.”
ඉහත සඳහන් කළ කරුණුවලින් පැහැදිලිවම පෙනීයන්නේ මෙරට වේවැල් කර්මාන්තයට දිගු ඉතිහාසයක් තිබෙන බව යි.
වේවැල් කර්මාන්තය සඳහා භාවිතා කරන වේවැල් වර්ග
වේවැල් කර්මාන්තයේ යෙදෙන්නන් වේවැල් භාණ්ඩ සෑදීම සඳහා විවිධ ප්‍රභේදවලට අයත් වේවැල් භාවිතා කරනවා. වර්තමානය වන විට වේවැල් කර්මාන්තය සඳහා ප්‍රමාණවත් තරම් වේවැල් මෙරටින් සොයාගැනීමට අපහසු වී තිබෙන නිසා මැලේසියාව, ඉන්දුනීසියාව, සිංගප්පූරුව වැනි රටවල්වලින් වේවැල් ආනයනය කරනු ලබනවා. පහත දක්වා තිබෙන්නේ වේවැල් භාණ්ඩ නිෂ්පාදනය සඳහා භාවිතා කරන විවිධ වේවැල් ප්‍රභේද යි.
1) හීන් වේවැල්
2) සුදු වේවැල්
3) මා වේවැල්
4) කම්බොටු වේවැල්
5) නර වේවැල්
6) එළ වේවැල්
7) මැලේසියා වේවැල්
8) කැකුළු වේවැල්
භාණ්ඩ සෑදීම සඳහා වේවැල් සකස් කරගන්නා ආකාරය
වේවැල් ජලයේ සෑදෙන නිසා ඒවා කපාගත් පසුව ජලය ඉවත් කළ යුතු යි. වේවැල්වල තිබෙන ජලය ඉවත් නොකළොත් අවශ්‍ය ආකාරයට නැමීමට හැකිවන්නේ නැහැ. වේවැල්වල ඇති ජලය ඉවත් කිරීම සතියක පමණ කාලයක් ඒවා කෙලින් අතට තැබීමට සිදුවනවා. එම ක්‍රියාවලිය මඟින් හොඳින් ජලය ඉවත් වුණු පසුව වේවැල් නමාගත යුතුයි. වේවැල් නැමීම සඳහා භාවිතා කළ පැරණිතම ක්‍රමය වන්නේ වේවැල් කැබැල්ලක් ගෙන භූමිතෙල් භාජනයකට දමා පොඟවා පන්දමක් සාදාගෙන එම දැල්ලෙන් වේවැල් නැමීම යි. නමුත් පසු කලෙක භූමිතෙල් දමා හුළං ගැසූ බෝ ලෑම්ප් නම් ලාම්පු වර්ගයේ දැල්ලට අල්ලා ඒවා නැමීම සිදු කළා. එසේම මෑත යුගයේ දී වේවැල් නැමීම සඳහා ගෑස් ටෝච් නම් උපකරණය හඳුන්වා දෙනු ලැබුවා. එලෙස නවාගත් වේවැල් හීනියට ඉරා ගැනීම සහ මැදීම සඳහා අච්චු තලය භාවිතා කරනවා. දීර්ඝ ක්‍රියාවලියකින් පසුව සකස් කරගන්නා වේවැල් කොටස් ලී සහ යකඩ ඇණ යොදාගෙන එකට සම්බන්ධ කරනු ලබනවා. ඉන් අනතුරුව පාරම්පරික දැනුම උපයෝගී කරගනිමින් වේවැල් විවීම සිදු කරනවා.
වේවැල් භාණ්ඩ රටා වර්ග
වේවැල් කර්මාන්තකරුවන් විසින් වේවැල් යොදාගෙන ඉඳිආප්ප තට්ටු, පුටු වර්ග, වට්ටි, පෙට්ටි, කිරි ගොටු, කූඩ සහ විසිතුරු භාණ්ඩ වැනි දේවල් නිර්මාණය කරනවා. එලෙස නිර්මාණය කරන වේවැල් භාණ්ඩ වඩාත් අලංකාර වන්නේ ඒ සඳහා යොදන විවිධ රටා නිසා යි. ඈත අතීතයේ සිටම වේවැල් කර්මාන්තකරුවන් අතර ජනප්‍රිය රටා වර්ග කිහිපයක් පහත දක්වා තිබෙනවා.
1) මුද්ද රටාව
2) දැල් රටාව
3) කිරිබත් කැට රටාව
4) තෙත්තු රටාව
5) පිඹුර රටාව
6) කොයිල් රටාව
7) ගස්ලබු රටාව
වේවැල් කර්මාන්තය ආශ්‍රිතව පවතින ගැටළු
පසුගිය කාලයේ දේශීය කර්මාන්ත රැසක් කඩා වැටුණේ ඒවා ආශ්‍රිතව මතුවුණු ගැටළු නිසා යි. වර්තමානය වන විට වේවැල් කර්මාන්තය ආශ්‍රිතව මතුව ඇති විශාලතම ගැටළුව වන්නේ අමුද්‍රව්‍යය හිඟය යි. දැනට අම්පාර, බිබිල, මනම්පිටිය, බුලත්සිංහල වැනි ප්‍රදේශවලින් වේවැල් කර්මාන්තය සඳහා අවශ්‍ය වේවැල් සපයාගනු ලබනවා. එලෙස ලංකාවෙන් සපයාගන්නා වේවැල් ප්‍රමාණය කර්මාන්තයේ යෙදෙන පිරිසට භාණ්ඩ නිෂ්පාදනය සඳහා ප්‍රමාණවත් වන්නේ නැහැ. එම නිසා විදෙස් රටවලින් වේවැල් ආනයනය කිරීමට සිදුව තිබෙනවා. එලෙස ආනයනය කරන වේවැල්වල මිල තරමක් වැඩි නිසා වේවැල් කර්මාන්තකරුවන්ට ලාභ ලබාගැනීමට තිබෙන අවස්ථාව අහිමිව ගොස් තිබෙනවා. එසේම වේවැල් කර්මාන්තය කරගෙන යාම සඳහා අවශ්‍ය වන සේවකයන් සොයාගැනීමත් බොහෝ දෙනෙකුට ගැටළුවක් වී තිබෙනවා. පසුගිය කාල සමයේ වේවැල් භාණ්ඩ වෙනුවට විවිධ ආදේශක වෙළඳපලට පැමිණියා. එම ආදේශක භාණ්ඩවල මිල බොහෝ විට වේවැල් භාණ්ඩවල මිලට වඩා අඩු වුණා. ඒ අනුව වේවැල් භාණ්ඩවලට තිබෙන ඉල්ලුම අඩුවීම නිසා සමහර කර්මාන්තකරුවන් වේවැල් කර්මාන්තය අතහැර වෙනත් රැකියාවන් තෝරාගත්තා.
වේවැල් කර්මාන්තය යළි දියුණු කළ යුතු යි
වේවැල් කර්මාන්තය සියවස් ගණනාවක සිට මෙරට ක්‍රියාත්මක වන පාරම්පරික කර්මාන්තයක්. එදා සිට අද දක්වා බොහෝ දෙනෙකු වේවැල් කර්මාන්තය සිය ප්‍රධාන ආදායම් මාර්ගය කරගත්තා. එසේම අදටත් මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන් වේවැල් ආශ්රිත භාණ්ඩ මිල දී ගැනීමට විශාල කැමැත්තක් දක්වනවා. වේවැල් භාවිතා කරමින් නිපදවන විසිතුරු භාණ්ඩ මඟින් අප රටට විදෙස් විනිමය උපයාගත හැකියි. ඒ සඳහා මුලින්ම කළ යුත්තේ දැනට වේවැල් කර්මාන්තකරුවන් මුහුණදෙන ගැටළුවලට ස්ථීර විසඳුම් ලබාදීම යි. වර්තමාන රජය තුළ දේශීය කර්මාන්ත නඟා සිටුවීම සඳහා රාජ්‍ය අමාත්‍යවරයෙකු සිටින නිසා ඔහුට ඍජුවම වේවැල් කර්මාන්තකරුවන්ගේ ගැටළු විසඳීම සඳහා මැදිහත් විය හැකියි. රජය මඟින් වේවැල් කර්මාන්තය යළි නගා සිටුවීමත් සමගම වේවැල් කර්මාන්තය අතහැර ගොස් සිටි අයට යළි කර්මාන්තය ඇරඹිය හැකියි. එමඟින් මෙරට තුළ නිපදවන වේවැල් භාණ්ඩ ප්‍රමාණය ඉහළ යනු ඇති. එලෙස නිපදවනු ලබන වේවැල් භාණ්ඩ අලෙවි කිරීම සඳහා රජය මඟින් නිසි ක්‍රමවේදයක් සකස් කරනු ලැබුවොත් වේවැල් කර්මාන්තකරුවන්ට මහන්සියට සරිලන ආදායමක් ලබාගත හැකියි. එසේම වර්තමානයේ දී භාවිතා කරන ප්ලාස්ටික් භාණ්ඩ පරිසරයට හිතකර වන්නේ නැහැ. එම නිසා පරිසර හිතකාමී වේවැල් භාණ්ඩ යළි මෙරට තුළ ජනප්‍රිය කිරීමට අදාළ පාර්ශවයන් උත්සාහ කළොත් ලංකාවේ වේවැල් කර්මාන්තකරුවන්ට හොඳ කලක් උදාවනු ඇති.