Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලාංකිකයන් අතර ඉතාමත් ජනප්‍රිය පළතුර: රඹුටන්

ලාංකිකයන් අතර ඉතාමත්ම ජනප්‍රිය පළතුරු වර්ග අතුරින් රඹුටන්වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. බොහෝ දෙනෙකු රඹුටන් වාරය පැමිණ ඇති බව දැනගන්නේ මඟතොටේ දී රඹුටන් වෙළෙන්දන් සුලබව දක්නට ලැබීමෙන්. සාමාන්‍යයෙන් අප රටේ බහුලවම වගා කරන පළතුරු වර්ග කිහිපය අතරට අයත් වන රඹුටන් ශාකය බොහෝ ගෙවතුවල ද දක්නට ලැබෙනවා. ලංකාවේ දක්නට ඇති රඹුටන් ප්‍රභේදවල ඵලය ඉදුණු විට රතු, කහ, තැඹිලි/රතු, සහ තද රතු වැනි පැහැයන් ගන්නවා. එසේම ඵලයේ රසය ද රඹුටන් ප්‍රභේදය  අනුව වෙනස් වනවා. මෙම ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කරන්නේ ලංකාවේ සුලභවම දක්නට ලැබෙන රඹුටන් වර්ග පිළිබඳව යි.

රඹුටන් වගාවට අවශ්‍ය දේශගුණික සාධක 

රඹුටන් ශාකයේ ඡන්ම භූමිය ලෙස සලකනු ලබන්නේ මලයාසියාව යි. වර්තමානය වන විට රඹුටන් ශාකය දකුණු ආසියාවේ නැගෙනහිර කලාපයේ රටවල්වල, නිවර්තන කලාපයට අයත් අප්‍රිකාවේ, මධ්‍යම ඇමරිකාවේ, සහ කැරිබියන් දූපත් ආශ්‍රිතව සාර්ථකව වගා කරනු ලබනවා. සාමාන්‍යයෙන් ලංකාව තුළ සෑම ප්‍රදේශයකම පාහේ විවිධ වර්ගවලට අයත් රඹුටන් ශාකයන් දක්නට ලැබුණත්, රඹුටන් වගාවට වඩාත් උචිත දේශගුණික තත්ත්වයන් තිබෙනවා.

1) රඹුටන් ශාකය මුහුදු මට්ටමේ සිට මීටර් 450ක් තරම් උස්බිම්වල වගා කළ හැකියි. 

2) රඹුටන් වගාව සඳහා සෙල්සියස් අංශක 27-30 අතර ප්‍රශස්ත උෂ්ණත්වයක් පැවතිය යුතු යි.

3) වාර්ෂික වර්ෂාපතනය මි.මි. 1500-2000 පමණ පවතින ප්‍රදේශ රඹුටන් වගාවට වඩාත් සුදුසු යි. එසේම සාපේක්ෂ ආර්ද්‍රතාවය 75-80% අතර පවතින ප්‍රදේශ රඹුටන් වගාවට වඩාත් හිතකර යි.

4) හොඳින් ජල වහනය වන ලෝම පස රඹුටන් වගාව සඳහා වඩාත් සුදුසු යි. 

5) රඹුටන් ගසක හොඳින් මල් හටගැනීම සඳහා සති 2 – 3 පමණ වියළි කාලයක් තිබීම වැදගත්. මල් හටගන්නා අවස්ථාවේ දී වර්ෂාව ලැබීම නිසා පරාගණය දුර්වල වී හට ගන්නා ගෙඩි ප්‍රමාණය අඩු වීමට ඉඩ තිබෙනවා.

බහුලවම රඹුටන් වගා කරන ප්‍රදේශ 

රඹුටන් යන නම ඇසූ පමණින් කාටත් මතක් වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මල්වාන ප්‍රදේශය යි. දැනට සාර්ථකව ලංකාවේ රඹුටන් වගාව සිදුවන්නේ පහතරට තෙත් කලාපය තුළ යි. ඒ අනුව ගම්පහ, ගාල්ල, කොළඹ, කළුතර, රත්නපුර, කෑගල්ල, මාතර වැනි දිස්ත්‍රික්කවල රඹුටන් වගාව හොඳින්ම සිදුකරනවා. ඊට අමතරව මැදරට තෙත් සහ පහතරට අතරමැදි කලාප දක්වා ද රඹුටන් වගාව ව්‍යාප්ත වී තිබෙනවා.

දක්නට ලැබෙන රඹුටන් වර්ග 

ලංකාවේපළතුරු භෝග පර්යේෂණ සහ සංවර්ධන ආයතනය විසින් වගාවන් සඳහා නිර්දේශ කර ඇති රඹුටන් ප්‍රභේද 3ක් පමණක් තිබුණත්, අප රට තුළ රඹුටන් ප්‍රභේදයන් 8ක් පමණ වගා කරනු දැකගන්නට ලැබෙනවා.

මල්වාන ස්පෙෂල් 

වර්තමානය විට ලංකාවේ ජනප්‍රියම රඹුටන් වර්ගය වන්නේ මල්වාන ස්පෙෂල් නම් රඹුටන් ප්‍රභේදය යි. පළතුරු භෝග පර්යේෂණ සහ සංවර්ධන ආයතනය විසින් වාණිජ වගාවක් සඳහා වඩාත් සුදුසුයැ යි නිර්දේශ කර තිබෙන්නේ ද මෙම රඹුටන් වර්ගය යි. මල්වාන ස්පෙෂල් ප්‍රභේදයට අයත් රඹුටන් ගෙඩියක් ඉදුණු විට තැඹිලි මිශ්‍ර රතු පැහැයක් ගනු ලබනවා. එසේම රවුම් හැඩයක් ගන්නා ඵලය බරින් ග්‍රෑම් 40-45ක් පමණ වනවා. මෙම වර්ගයේ මදය යුෂ අධික, ඉතා පැණි රස ගතියෙන් යුත් පහසුවෙන් ගැලවෙන ගතියකින් යුක්ත යි. මල්වාන ස්පෙෂල් ප්‍රභේදයට අයත් රඹුටන් අස්වැන්න නෙළීමෙන් පසුව දුර්වර්ණ නොවී දින 4-6ත් අතර කාලයක් තබාගත හැකියි. 

මල්වාන ස්පෙෂල් රඹුටන් (Rove.Me)

මැලයන් කහ 

මැලයන් කහ නැමැති රඹුටන් ප්‍රභේදයත් වාණිජ වගාවන් සඳහා නිර්දේශ කර තිබෙනවා. මෙම වර්ගයට අයත් රඹුටන් ගෙඩියක් ඉදුණු විට කහ පැහැයක් ගනු ලබනවා. එසේම දිගටි අණ්ඩාකාර හැඩයක් ගන්නා ඵලය බරින් ග්‍රෑම් 30-38ක් පමණ වනවා. මෙම රඹුටන් වර්ගයේ මදය මධ්‍යස්ථ යුෂ සහිත,  පැණි රස ගතියෙන් යුත් පහසුවෙන් ගැලවෙන ගතියකින් යුක්ත යි. මැලයන් කහ ප්‍රභේදයට අයත් රඹුටන් අස්වැන්න නෙළීමෙන් පසුව දුර්වර්ණ නොවී තබාගත හැක්කේ දිනක පමණ කාලයක් පමණ යි. 

මැලයන් කහ රඹුටන් (Fruits Guide)

මැලයන් රතු 

මැලයන් රතු නම් රඹුටන් ප්‍රභේදයට අයත් ගෙඩියක් ඉදුණු විට තද රතු පැහැයක් ගන්නවා. ඉලිප්සාකාර  හැඩයක් ගන්නා ඵලය බරින් ග්‍රෑම් 28-35ක් පමණ වනවා. මෙම රඹුටන් වර්ගයේ මදය මධ්‍යස්ථ යුෂ සහිත,  පැණි රස ගතියෙන් යුත් පහසුවෙන් ගැලවෙන ගතියකින් යුක්ත යි. මැලයන් රතු ප්‍රභේදයට අයත් රඹුටන් අස්වැන්න නෙළීමෙන් පසුව දුර්වර්ණ නොවී දින 3ක පමණ කාලයක් තබාගත හැකියි. මෙම රඹුටන් වර්ගයත් වාණිජ වගාව සඳහා සුදුසුයැ යි නිර්දේශ කර තිබෙනවා.

මැලයන් රතු රඹුටන් (Boldsky.com)

ඉතත සඳහන් කළ වගාවන් සඳහා නිර්දේශ කර ඇති රඹුටන් ප්‍රභේදවලට අමතරව තවත් රඹුටන් ප්‍රභේදයන් කිහිපයක් අප රට තුළ දක්නට ලැබෙනවා. 

ජවා ලබුකබෝලා 

* ගෙඩි ඉදුනු විට තැඹිලි රතු පැහැයක් ගනියි. 

* එතරම් විශාල නැති වටකුරු ඵලයක් හටගනියි. 

* යුෂ සහිත, ඇඹුල් පැණි රස ගතියෙන් යුත් මදය පහසුවෙන් ගැලවෙන ගතියකින් යුක්ත යි.

ජාවා ස්පෙෂල් 

* ගෙඩි ඉදුනු විට තැඹිලි රතු පැහැයක් ගනියි. 

* එතරම් විශාල නැති අණ්ඩාකාර ඵලයක් හටගනියි.

* යුෂ සහිත, පැණි රස ගතියෙන් යුත් මදය මධ්‍යස්ථ මට්ටමකින් ගැලවෙන ගතියකින් යුක්ත යි.

ජාවා සීඩ්ලස් 

* ගෙඩි ඉදුනු විට තද රතු පැහැයක් ගනියි.

* ඵලය තරමක් කුඩා යි. 

* මදය යුෂ සහිත යි. මනා පැණි රස ගතියෙන් සහ හොඳින් ගැලවෙන ගතියකින් යුක්ත යි.

ජාවා සිමඩ්ජාන් 

* ගෙඩි ඉදුනු විට තැඹිලි රතු පැහැයක් ගනියි.

* එතරම් විශාල නැති අණ්ඩාකාර ඵලයක් හටගනියි.

* මදය යුෂ සහිත, ඇඹුල් පැණි රස ගතියෙන් යුත් මධ්‍යස්ථ මට්ටමකින් ගැලවෙන ගතියකින් යුක්ත යි.

ජාවා සින්ජන්ජාන් 

* ගෙඩි ඉදුනු විට කුණු ලේ රතු පැහැයක් ගනියි.

* අණ්ඩාකාර ඵලයක් හටගනියි.

* මදය ඇඹුල් පැණි රස ගතියෙන් යුත්ත යි. මදයෙහි ඝනකම අඩු නිසා ගැලවීම තරමක් අපහසු යි.

රඹුටන්වලට හානිකරන සතුන් සහ වැළදෙන රෝග 

සාමාන්‍යයෙන් ලේනුන්, වවුලන්, කපුටන්, වඳුරන්, සහ රිලවුන් වැනි සතුන් රඹුටන් වගාවට හානි කරන බව කවුරුත් හොඳින්ම දන්නා කරුණක්. රඹුටන් වගාවට හානි කරන සතුන්ගෙන් වගාව බේරා ගැනීම සඳහා ටක එල්ලීම, රතිඤ්ඤා පිපිරවීම, රාත්‍රී කාලයේ දී ගස් ආලෝකමත් කිරීම වැනි උපක්‍රම භාවිතා කරනවා. එම සතුන්ට අමතරව විවිධ කෘමීන් වර්ග ද රඹුටන් වගාවට හානි කරනවා. පහත දැක්වෙන්නේ එවැනි කෘමීන් කිහිපදෙනෙක්.

1) පළතුරු මැස්සා 

2) පිටි මකුණා 

3) ගෙඩි විදින පණුවා 

4) කඳ විදින කුරුමිණියා 

5) කඳ විදින පණුවා 

එම කෘමි සතුන් රඹුටන් වගාවට හානි කරනවා සේම, පිටිපුස් රෝගය නම් දිලීර රෝගයෙන් ද රඹුටන් වගාවට විශාල හානියක් සිදුවනවා. 

රඹුටන්වල තිබෙන සුවිශේෂී ගුණ 

රඹුටන් කියන්නේ රසයෙන් පමණක් නොව ගුණයෙන් ද යුක්ත පළතුරක්. එම නිසාම ඔබට රඹුටන් ආහාරයට ගැනීම මඟින් පහත ප්‍රතිලාභ ලබාගත හැකියි.

1) රඹුටන් ප්‍රතිඔක්සිකාරක පිරුණු පළතුරක් 

2) විටමින් C බහුල පළතුරක් 

3) දියවැඩියාවට ගුණදායක පළතුරක් බවට මතයක් තිබෙනවා 

4) ආහාර ජීර්ණය පහසු කරනවා 

5) පිළිකා ගැටිති සුව කිරීමේ ශක්තිය තිබෙන බවට මතයක් පවතිනවා 

කවරයේ ඡායාරූපය- Health Benefit Times

මූලාශ්‍රයයන්- doa.gov.lk

Related Articles