Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අභියෝග රැසක් මැද ඔලිම්පික් කෙළි බිම ජය ගත් චීනය

 නූතන ඔලිම්පික් උළෙලේ ආරම්භය 1896 වසරේ ග්‍රීසියේ දී සනිටුහන් වුණා. එදා සිට අද දක්වා පැවැත්වුණු බොහෝ ඔලිම්පික් තරගාවලිවල දී අමෙරිකානුවන් සුපිරි දස්කම් දැක්වීමට සමත් වුණා. ඒ අතර විටින් විට අමෙරිකා ඔලිම්පික් ආධිපත්‍යයට විවිධ රටවල්වලින් අභියෝග එල්ල වුණා. මුල් යුගයේ දී මහා බ්‍රිතාන්‍ය, ස්වීඩනය, ප්‍රංශය, ජර්මනිය වැනි රටවල්වලින් අමෙරිකාවට අභියෝගයක් එල්ල වෙද්දී පසු කලෙක සෝවියට් රුසියාව අවස්ථා කිහිපයක දී ම අමෙරිකා අභිබවා ගියා. 90 දශකයේ මුල් භාගයේ දී සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු රුසියානුවන් අමෙරිකා ඔලිම්පික් ආධිපත්‍යයට අභියෝග කළා.

වර්තමානය වන විට අමෙරිකා ඔලිම්පික් ආධිපත්‍යයට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් සිටින්නේ චීනය යි. 1980 ඔලිම්පික් තරගාවලිය වන තුරු කිසිදු ඔලිම්පික් පදක්කමක් දිනාගෙන නොසිටි චීනය 1984 වසරේ සිට රන් පදක්කම් 237ක්, රිදී පදක්කම් 195ක් සහ ලෝකඩ පදක්කම් 176ක් දිනාගැනීමට සමත් ව සිටිනවා. ඒ අයුරින් ඔලිම්පික් බිමේ සුපිරි දස්කම් දැක්වීමට සමත් වුණු චීනය එම ගමන පැමිණියේ විවිධ අභියෝග රැසක් මධ්‍යයේ යි. මෙම ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ චීනය ඔලිම්පික් පිටිය ජයගත් ආකාරය පිළිබඳව යි.

චීන ජනරජයේ ඔලිම්පික් සහභාගිත්වය 

1924-1948 කාල සමයේ චීන ජනරජය ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වුණා. එහි දී චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන්  මලල ක්‍රීඩා, බොක්සිං, පැසිපන්දු, පාපන්දු, පිහිනුම්, බර ඉසිලීම, පාපැදි තරග, ටෙනිස් වැනි ක්‍රීඩාවලට සහභාගි වුණා. පහත දක්වා ඇත්තේ 1924-1948 දක්වා පැවති ඔලිම්පික් උළෙලවලට චීන ජනරජය නියෝජනය කරමින් සහභාගි වුණු  ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමාණය යි. 

1924 පැරිස් ඔලිම්පික් තරගාවලිය- 4 (නමුත් පසුව ඔවුන් තරගවලින් ඉවත් වුණා) 

1932 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් තරගාවලිය- 1

1936 බර්ලින් ඔලිම්පික් තරගාවලිය- 54

1948 ලන්ඩන් ඔලිම්පික් තරගාවලිය- 31

ඒ අයුරින් 1924-1948 කාල සමය තුළ චීන ජනරජය වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ඔලිම්පික් තරග සඳහා ඉදිරිපත් වුණත් ඔවුන්ට එකදු පදක්කමක්වත් දිනාගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. 

1932 ඔලිම්පික් උලෙළට සහභාගි වුණු චීන ක්‍රීඩකයා
1932 ඔලිම්පික් උලෙළට සහභාගි වුණු චීන ක්‍රීඩකයා – gettyimages

චීන-තායිවාන් ඔලිම්පික් අර්බුදය නිර්මාණය වුණු හැටි 

1949 වසරේ දී මහජන චීන සමූහාණ්ඩුව බිහි වුණා. ඒ සමඟ ම තායිවානය චීනයෙන් වෙන් වුණා. චීන නායකයන් තායිවානය වෙනම රාජ්‍යයක් ලෙසින් පිළිගැනීමට කැමති වුණේ නැහැ. ඔවුන් තායිවානය දුටුවේ තම පාලනයට එරෙහිව කැරලි ගැසූ ප්‍රාන්තයක් ලෙස යි. 1952 හෙල්සින්කි ඔලිම්පික් උළෙලට මහජන චීන සමූහාණ්ඩුව එක් පිහිනුම් ක්‍රීඩකයකු පමණක් ඉදිරිපත් කළා. තායිවානය එවර ඔලිම්පික් තරගාවලියට සහභාගි වුණේ නැහැ. 

1956 මෙල්බර්න් ඔලිම්පික් තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගි කරවීම සඳහා මහජන චීන සමූහාණ්ඩුව තීරණය කළා.  තායිවානය ද චීන ජනරජය යන නමින් ඔලිම්පික් තරගාවලියට සහභාගි වන බව නිවේදනය කළා. ඒ අයුරින් තායිවානය චීන ජනරජය යන නම භාවිත කරමින් ඔලිම්පික් උළෙලට සහභාගි වන බව දැනගත් චීන සමූහාණ්ඩුව එයට දැඩි විරෝධයක් පළ කළා. එදා මහජන චීන සමූහාණ්ඩු රජය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් ඉල්ලා සිටියේ තායිවානයට, චීන ජනරජය යන නමින් ඔලිම්පික් උළෙලට සහභාගි වීමට ඉඩ ලබා නොදෙන ලෙස යි. 

ඒ අයුරින් චීන සමූහාණ්ඩුව කළ ඉල්ලීම පිළිබඳව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සලකා බැලුවේ නැහැ. එනිසා තායිවාන් ක්‍රීඩකයන් 20 දෙනකුට චීන ජනරජය යන නාමය යටතේ ඔලිම්පික් උළෙලට සහභාගි වීමේ වරම හිමිවුණා. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ එම තීරණය පිළිබඳව චීන සමූහාණ්ඩු රජය දැඩි ලෙස උරණ වුණා. එනිසා ඔවුන් 1956 මෙල්බර්න් ඔලිම්පික් උළෙල වර්ජනය කළා. 

මහජන චීන සමූහාණ්ඩුව බිහිවීම
මහජන චීන සමූහාණ්ඩුව බිහිවීම – Wikimedia

දශක දෙකක ඔලිම්පික් වර්ජනය 

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ක්‍රියා කලාපය පිළිබඳ කලකිරීමට පත්වුණු මහජන චීන සමූහාණ්ඩුව දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට තීරණය කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් චීන ඔලිම්පික් කමිටුව 1958 අගෝස්තු මාසයේ දී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සාමාජිකත්වයෙන් ඉවත් වුණා. එනිසා  1960-1976 කාල සමය තුළ පැවති කිසිදු ඔලිම්පික් උළෙලකට චීනය සහභාගි වුණේ නැහැ. 1960-1972 කාල සමයේ පැවැත්වුණු ඔලිම්පික් තරගාවලිවලට චීන ජනරජය යන නම යටතේ තරග වැදුණු තායිවාන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත්තා. එලෙස අඛණ්ඩව ඔලිම්පික් තරගාවලියට සහභාගි වුණු තායිවානයට 1976 මොන්ට්‍රියල් ඔලිම්පික් උළෙලේ දී ගැටලුවකට මුහුණ දීමට සිදුවුණා. ඒ චීන ජනරජය යන නාමය යටතේ තරග කිරීමට ඔවුන්ට අවසරය නොලැබීම යි. එනිසා තායිවානය එවර ඔලිම්පික් තරගාවලිය වර්ජනය කළා.  

 චීන-තායිවාන් ඔලිම්පික් අර්බුදය විසඳෙයි 

70 දශකයේ අග භාගයේ දී චීන-තායිවාන් ඔලිම්පික් අර්බුදය විසඳීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මැදිහත් වුණා. එහි දී ඔවුන් තීරණය කළේ ඉදිරියේ දී පැවැත්වෙන ඔලිම්පික් තරගාවලිවල දී මහජන චීන සමූහාණ්ඩුව චීනය යන නමින් ද, තායිවානය චීන තායිපේ යන නමින් ද තරග කළ යුතු බව යි. එදා එම තීරණයට දැඩි ලෙස විරෝධය පළ කළ තායිවානය 1980 මොස්කව් ඔලිම්පික් තරගාවලිය වර්ජනය කළා.  චීනයට ද එවර ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගි වීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ අමෙරිකාව ඇතුළු රටවල් 65ක් සිදු කළ ඔලිම්පික් තරගාවලි වර්ජනයට චීනයත් එකතු වුණු නිසා යි.  ඉන් වසර 4කට පසුව අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැවති ඔලිම්පික් තරගාවලිය සඳහා චීනය සහ චීන තායිපේ යන කණ්ඩායම් දෙකම එකතු වීම සුවිශේෂී සිදුවීමක් වුණා.

ලී නිංග් ඔලිම්පික් තරග බිමේ දස්කම් දක්වමින්
ලී නිංග් ඔලිම්පික් තරග බිමේ දස්කම් දක්වමින් (gettyimages)

1984 ඔලිම්පික් තරගාවලියේ දී චීනය රනින් බැබළෙයි 

1984 ඔලිම්පික් තරගාවලිය සෝවියට් රුසියාව ඇතුළු රටවල් 14ක් වර්ජනය කළා. එදා ඔලිම්පික් බිමේ සිටි ප්‍රබල ම රටවල් වුණු සෝවියට් රුසියාව සහ නැගෙනහිර ජර්මනිය තරගාවලිය වර්ජනය කළ නිසා රටවල් රැසකට සිය පදක්කම් මල්ල වැඩි කරගැනීමට ඉන් අවස්ථාව උදාවුණා. එවර ඔලිම්පික් උළෙල සඳහා ක්‍රීඩා අංශ 19ක් යටතේ චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 215ක් තරග වැදීම සුවිශේෂී සිදුවීමක් වුණා. එහි දී දස්කම් අතරට පැමිණි චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 15ක්, රිදී පදක්කම් 8ක් සහ ලෝකඩ පදක්කම් 9ක් දිනාගෙන සමස්ත ඔලිම්පික් පදක්කම් සටහනේ සිවු වන ස්ථානය දිනා ගත්තා. එදා චීනය වෙනුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ ලී නිංග් නම් ජිම්නාස්ටික ක්‍රීඩකයා රන් පදක්කම් 3ක්, රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත්තා. ඒ අයුරින් රන් පදක්කම් 15ක් ලබාගත්තේ පහත දැක්වෙන ක්‍රීඩා යටතේ යි.

ජිම්නාස්ටික්- 5 

බර ඉසිලීම- 4 

ඉලක්කයට වෙඩි තැබීම- 3

වොලිබෝල් – 1 

කඩු හරඹ- 1

ඔලිම්පික් තරගාවලි 4කදී රන් පදක්කම් 65ක් 

1988 ඔලිම්පික් තරගාවලියට චීනය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 249ක ගෙන් සමන්විත කණ්ඩායමක් ඉදිරිපත් කළා. එදා ඔවුන් ක්‍රීඩා 25ක් යටතේ තරග වැදුණා. එවර දකුණු කොරියාවේ සෝල් නුවර පැවැත්වුණු ඔලිම්පික් උළෙල සඳහා සෝවියට් රුසියාව සහ නැගෙනහිර ජර්මනිය තරග වැදුණා. එනිසා චීනයට 1984 ඔලිම්පික් උළෙලේ රන් පදක්කම් ලැබුණු ක්‍රීඩා ඉසව්වලින් දස්කම් දැක්වීම අසීරු කරුණක් වුණා. එයට හේතුව වුණේ සෝවියට් රුසියානු සහ නැගෙනහිර ජර්මානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම ක්‍රීඩාවලින් වැඩිපුර දස්කම් දැක්වීම යි. 

රන් පදක්කමක් දිනාගත් චීන මේස පන්දු ක්‍රීඩිකාවක්
රන් පදක්කමක් දිනාගත් චීන මේස පන්දු ක්‍රීඩිකාවක් – gettyimages

එදා සෝවියට් රුසියාව සහ නැගෙනහිර ජර්මනිය එක්ව සමස්ත රන් පදක්කම් 241න් 92ක්ම දිනාගෙන ඔලිම්පික් පදක්කම් සටහනේ මුල් ස්ථාන දෙක දිනාගනිද්දී චීනයට හිමිවුණේ පදක්කම් සටහනේ 11 වන ස්ථානය යි. එහි දී චීනය රන් පදක්කම් 5ක්, රිදී පදක්කම් 11ක්, සහ ලෝකඩ පදක්කම් 12ක් දිනාගත්තා. චීනය ඉන් රන් පදක්කම් දෙකක්ම දිනාගත්තේ එවර ඔලිම්පික් උළෙලට මුල්ම වරට එක් කළ මේසපන්දු ක්‍රීඩාවෙන් වීම විශේෂත්වයක්. පහත දක්වා තිබෙන්නේ සෝල් ඔලිම්පික් උළෙලේ දී චීනයට රන් පදක්කම් 5ක් හිමිවුණු ආකාරය පිළිබඳව යි.

මේසපන්දු- 2 

දිය යට කිමිදුම්- 2 

ජිම්නාස්ටික්-  1

1992 බාසිලෝනා ඔලිම්පික් තරගාවලිය සඳහා චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 244ක් සහභාගි වුණේ ක්‍රීඩා 23ක් යටතේ යි. ඊට පෙර පැවති ඔලිම්පික් තරගාවලියේ චීනය කිමිදුම් ඉසව්වලින් දස්කම් දැක්වූවා. එනිසා චීනය බාර්සිලෝනා ඔලිම්පික් තරගාවලියේ පිහිනුම් සහ කිමිදුම් තරගවලින් ජයග්‍රහණය කිරීම සඳහා පිඹුරුපත් සකස් කර තිබුණා. ඔවුන් වැඩි දස්කම් දැක්වූ ජිම්නාස්ටික්, මේසපන්දු සහ ඉලක්කයට වෙඩි තැබීම යන ක්‍රීඩා පිළිබඳව ද වැඩි අවධානය යොමුකර තිබුණා.

පිහිනුම් තරගවල දී දස්කම් දැක්වූ චීන ක්‍රීඩිකාවක්
පිහිනුම් තරගවල දී දස්කම් දැක්වූ චීන ක්‍රීඩිකාවක් – gettyimages

එදා මනා සැලසුමකින් යුතුව ඔලිම්පික් උළෙලට සහභාගි වුණු චීනය රන් පදක්කම් 16ක් දිනාගෙන පදක්කම් සටහනේ සිවු වන ස්ථානය දිනාගත්තා. එහි දී ඔවුන් රන් පදක්කම් 16 දිනාගත්තේ පහත දැක්වෙන ආකාරයට යි.

පිහිනුම්- 4                                       දිය යට කිමිදුම්- 3

මේසපන්දු-  3                                  ඉලක්කයට වෙඩි තැබීම- 2 

ජිම්නාස්ටික්- 2                                 මලල ක්‍රීඩා- 1 

ජූඩෝ- 1

1996 ඇට්ලන්ටා ඔලිම්පික් තරගාවලිය සඳහා ද චීන ක්‍රීඩක ක්‍රීඩිකාවක් 294ක් සහභාගි වුණා. එදා ක්‍රීඩා 25ක් යටතේ තරග වැදුණු එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 16ක්, රිදී පදක්කම් 22ක් සහ ලෝකඩ පදක්කම් 12ක් දිනාගෙන සමස්ත පදක්කම් සටහනේ සිවු වන ස්ථානය දිනා ගත්තා. පහත දක්වා තිබෙන්නේ චීනය රන් පදක්කම් 16 දිනාගත් ආකාරය පිළිබඳව යි.  

මේසපන්දු- 4                                      දිය යට කිමිදුම්- 3 

බර ඉසිලීම-  2                                    ඉලක්කයට වෙඩි තැබීම- 2 

ජිම්නාස්ටික්- 1                                    පිහිනුම්- 1 

මලල ක්‍රීඩා- 1                                      ජූඩෝ- 1යි

බැඩ්මින්ටන්- 1 

2000 සිඩ්නි ඔලිම්පික් තරගාවලියේ දී විශිෂ්ට දස්කම් දැක්වූ චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 28ක් දිනාගෙන සමස්ත ඔලිම්පික් පදක්කම් සටහනේ තෙවන ස්ථානයට පත්වුණා. එය චීනය ඔලිම්පික් පදක්කම් සටහනේ මුල් රටවල් තුන අතරට එක්වුණු පළමු වතාව යි. එදා චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 271ක් ක්‍රීඩා ඉසව් 28ක් යටතේ තරග වැදුණා.

චීන ක්‍රීඩකයෙක්  ඔලිම්පික් බිමේ දස්කම් දක්වමින්
චීන ක්‍රීඩකයෙක්  ඔලිම්පික් බිමේ දස්කම් දක්වමින් – gettyimages

එහි දී චීනය අවධානය යොමුකර තිබුණේ ඔවුන් වැඩි දස්කම් දැක්වූ ක්‍රීඩාවලින් වැඩිපුර පදක්කම් ලබාගැනීමට යි. එම සැලසුම සාර්ථක වුණු නිසා චීනයට රන් පදක්කම් වැඩි ප්‍රමාණයක් දිනාගැනීමට හැකියාව ලැබුණා. පහත දක්වා තිබෙන්නේ එදා චීනය රන් පදක්කම් 28 ලබාගත් ආකාරය පිළිබඳව යි. 

දිය යට කිමිදුම්- 5                             බර ඉසිලීම-  5

මේසපන්දු- 4                                   බැඩ්මින්ටන්- 4

ඉලක්කයට වෙඩි තැබීම- 3                 ජිම්නාස්ටික්- 3

ජූඩෝ- 2                                         මලල ක්‍රීඩා- 1 

ටයිකුන්ඩෝ- 1 

චීන ක්‍රීඩිකාවක් වෙඩි තැබීමෙන් රන් පදක්කමක් දිනාගත් අවස්ථාව
චීන ක්‍රීඩිකාවක් වෙඩි තැබීමෙන් රන් පදක්කමක් දිනාගත් අවස්ථාව – gettyimages

අමෙරිකාවට ප්‍රබල අභියෝගයක් එල්ල කරයි 

2004 ඇතන්ස් ඔලිම්පික් උළෙලට චීනය 384 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ඉදිරිපත් කළා. 2000 සිඩ්නි ඔලිම්පික් තරගාවලියේ දැක්වූ සුපිරි දස්කම් හේතුවෙන් චීනය පිබිදීමට පත්වුණා. එනිසා ඔවුන් 2004 ඇතන්ස් ඔලිම්පික් තරගාවලියට පිවිසුණේ වසර කිහිපයක් සැලසුම් කිරීමෙන් පසුව යි. එවර චීනය ඔවුන්ට තරමක් ආගන්තුක වුණු ක්‍රීඩාවලින් ද හැකිතරම් පදක්කම් ප්‍රමාණයක් දිනා ගැනීමට උත්සාහ කළා. අවසානයේ දී චීනයේ උත්සාහය සාර්ථක වුණා.අමෙරිකාව එදා  රන් පදක්කම් 36ක් දිනාගන්නා විට ඔවුන්ට ප්‍රබල සටනක් ලබාදුන් චීනය රන් පදක්කම් 32ක් ලබාගෙන පදක්කම් සටහනේ දෙවන ස්ථානයට පත්වුණා. චීනය රන් පදක්කම් 32 ලබාගත්තේ පහත දැක්වෙන ක්‍රීඩා යටතේ යි. 

දිය යට කිමිදුම්- 6                           බර ඉසිලීම-  5

ඉලක්කයට වෙඩි තැබීම- 3              මේසපන්දු- 3 

බැඩ්මින්ටන්- 3                              මලල ක්‍රීඩා- 2 

ටයිකුන්ඩෝ- 2                              ජිම්නාස්ටික්- 1

ජූඩෝ- 1                                      පිහිනුම්- 1 

කැනෝයිං- 1                                 ටෙනිස්-1 

වොලිබෝල්- 1                              මල්ලවපොර- 1

ඇතන්ස් ඔලිම්පික් තරගාවලිය අවසානයේ දී චීන බලධාරීන් පවසා සිටියේ ඊළඟට පැවැත්වෙන බීජිං ඔලිම්පික් උළෙලේ දී ඔවුන් පදක්කම් සටහනේ අංක එකට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි. 

ලෝක වාර්තාවක් සමඟින් මීටර් 110 කඩුලු පැනීමේ ඉසව්ව ජයගත් ලූ ෂියෑන්ග්
ලෝක වාර්තාවක් සමඟින් මීටර් 110 කඩුලු පැනීමේ ඉසව්ව ජයගත් ලූ ෂියෑන්ග් – gettyimages

ඔලිම්පික් පිටිය ජයගැනීම 

2008 ඔලිම්පික් තරගාවලිය චීනයේ බීජිං නුවර දී පැවැත්වුණා. එහි පළමු ස්ථානය දිනාගැනීම සඳහා පෙර සිට ම සූදානම් වුණු චීනය දක්ෂ පුහුණුකරුවන් යටතේ ඔවුන්ගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කළා. චීනය ඊට පෙර එතරම් දස්කම් නොදැක්වූ බොක්සිං, ඔරු පැදීම, දුනු විදීම වැනි ක්‍රීඩා සඳහා ද අවධානය යොමු කළා. එහි අවසන් ප්‍රතිඵලය භුක්ති විඳි චීනය 2008 බීජිං ඔලිම්පික් උළෙලේ දී රන් පදක්කම් 48ක් දිනාගෙන පළමු ස්ථානය දිනා ගත්තා. එහි දී ඔවුන් ක්‍රීඩා ඉසව් 16කින් රන් පදක්කම් දිනාගෙන තිබීම සුවිශේෂී සිදුවීමක් වුණා. එදා චීනය පළමු ස්ථානය දිනාගනිද්දී දෙවන තැනට පත්වුණු අමෙරිකානුවන්  දිනාගෙන තිබුණේ රන් පදක්කම් 36ක් පමණ යි. පහත දැක්වෙන්නේ චීනය රන් පදක්කම් 48ක් දිනාගත් ආකාරය යි. 

ජිම්නාස්ටික් – 11                           දිය යට කිමිදුම්-  7

බර ඉසිලීම- 5                               ඉලක්කයට වෙඩි තැබීම- 5

මේසපන්දු- 4                                බැඩ්මින්ටන්- 3

ජූඩෝ- 3                                      බොක්සිං- 2

රුවල් ඔරු- 1                                පිහිනුම්- 1 

කැනෝයිං- 1                                ඔරු පැදීම-1 

කඩු හරඹ- 1                                 මල්ලවපොර- 1

දුනු විදීම- 1                                  ටයිකුන්ඩෝ- 1

චීන ජිම්නාස්ටික් ක්‍රීඩිකාවන් සුපිරි දස්කම් දක්වමින්
චීන ජිම්නාස්ටික් ක්‍රීඩිකාවන් සුපිරි දස්කම් දක්වමින් – gettyimages

ඒ අයුරින් ඔලිම්පික් පිටිය ජයගත් චීනය 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී රන් පදක්කම් 38ක් ද, 2016 රියෝ ඔලිම්පික් උළෙලේ දී රන් පදක්කම් 26ක් ද දිනාගෙන සුවිශේෂී දස්කම් දැක්වීමට සමත් වුණා. ඒ කිසිදු අවස්ථාවක චීනයට පදක්කම් සටහනේ පෙරමුණ දිනාගැනීමට හැකියාව ලැබුණේ නැහැ. මෙවර ඔලිම්පික් තරගාවලියේ දී චීනය ප්‍රබල අමෙරිකානුවන්ට දැවැන්ත අභියෝගයක් එල්ල කිරීමට ඉඩ තිබෙන බව සිහිපත් කළ යුතුයි.

කවරයේ ඡායාරූපය- බාසිලෝනා ඔලිම්පික් උළෙලේ දී චීන ක්‍රීඩිකාවක් දස්කම් දක්වමින්  (gettyimages)

මූලාශ්‍ර:

olympic.com

Related Articles