Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අළුබඳුන තරග ඉතිහාසයේ ෂේන් වෝන්ගේ විස්මිත පන්දුයැවීම්

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ හමුවන පැරණිතම ටෙස්ට් තරගාවලිය ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් තරගාවලිය යි. එසේම මෙම තරගාවලිය ලොව පුරා සිටින ක්‍රිකට් රසිකයන් අතර ඉතාමත් ජනප්‍රිය එකක්. වසර 137ක් පැරණි අළුබදුන තරගාවලි ඉතිහාසයේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා ලෙසින් ඕස්ට්‍රේලියාවේ ඩොනල්ඩ් බ්‍රැඩ්මන් වැජඹෙන විට තරගාවලි ඉතිහාසයේ වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නාත් ඕස්ට්‍රේලියානුවෙක්. 1987-2005 කාල සමය තුළ අළුබඳුන කුසලානය අඛණ්ඩව ඕස්ට්‍රේලියානුවන් සතු කරගැනීමට විශාල මෙහෙයක් ඉටුකළ ඔහු නමින් ෂේන් කීත් වෝන්. අළුබඳුන ඉතිහාසයේ කඩුලු 195ක් ලබාගත් වෝන් එහිදී විස්මිත පන්දුයැවීම් කිහිපයක්ම කළ නිසා මෙම ලිපිය වෙන්වන්නේ ඔහුගේ එම පන්දුයැවීම් පිළිබඳව කතා කිරීමට යි.

1994 වසරේ දී ෂේන් වෝන් ලකුණු 71කට කඩුලු 8ක් දවාගත්තා 

1994/95 අළුබඳුන තරගාවලියේ පළමු ටෙස්ට් තරගය පැවැත්වුණේ බ්‍රිස්බේන් පිටියේ දී යි. එම තරගය පුරාවටම අණසක පැතිර වූ ඕස්ට්‍රේලියානුවන් තරගයේ සිව්වන දිනයේ දී එංගලන්තයට ලකුණු 508ක දැවැන්ත ඉලක්කයක් ලබාදුන්නා. නමුත් ඕස්ට්‍රේලියානුවන් ලබාදුන් අභියෝගය සාර්ථකව භාරගත් ග්‍රැහැම් හික් සහ ග්‍රැහැම් තෝර්ප් සිව්වන දිනය අවසන් වන විට එංගලන්ත ලකුණු පුවරුව 211/2 බවට පත්කළේ නොබිඳුණු ලකුණු 152ක සබඳතාවයක් ගොඩනගමින්. ඒ අනුව අවසන් දිනයේ දී එංගලන්තයට ජයග්‍රහණය සඳහා ලකුණු 297ක් අවශ්‍ය වුණු නිසාම අවසන් දිනය ඉතාමත් තීරණාත්මක එකක් වුණා. නමුත් අවසන් දිනය ආරම්භයේ දීම වෝන් විසින් තෝප් සහ හික්ව දවාගැනීමත් සමගින් එංගලන්ත ඉනිමේ කඩාවැටීම ආරම්භ වුණා. එදා එංගලන්ත පිතිකරුවන් භීතියට පත්කළ වෝන් ලකුණු 71කට කඩුලු 8ක් දවාගනිමින් සිය ටෙස්ට් දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළ නිසා එංගලන්තයට උරුමවුණේ ලකුණු 184ක දැවැන්ත පරාජයක්.

වෝන් විසින් හික්ව දවාගත් අවස්ථාව (gettyimages)

2001 වසරේ දී ෂේන් වෝන් ලකුණු 165කට කඩුලු 7ක් දවාගත්තා 

2001 වසරේ පැවති අළුබඳුන තරගාවලියේ 5 වැනි ටෙස්ට් තරගය පැවැත්වුණේ ලංඩන් නුවර කෙනිංටන් ඕවල් පිටියේ දී යි. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 641ක් ලබාගත්තේ ලැන්ගර් සහ වෝ සහෝදරයන් ලබාගත් ශතකවල සවියෙන්. ඉන් අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩාකළ එංගලන්ත කණ්ඩායමේ මුල් කඩුලු 3ම වෝන් විසින් දවාගැනීම නිසා ඔවුන්ගේ ලකුණු පුවරුව 104/3 බවට පත්වුණා. නමුත් එම අවස්ථාවේ දී ඉතාමත් ඉවසීමෙන් ක්‍රීඩාකළ එංගලන්ත පිතිකරුවන් ලකුණු තත්ත්වය 313/5 දක්වා ඉහළට ගෙනගියා. එලෙස ක්‍රමයෙන් ස්ථාවර වෙමින් පැවතුණු එංගලන්ත ඉනිමට තිරිංග යෙදූ වෝන් අවසන් කඩුලු පහෙන් 4ක් ලබාගත්තේ එංගලන්ත ඉනිම ලකුණු 432කට සීමාකරමින්. එහිදී මනරම් පන්දු යැවීමක නිරත වුණු වෝන් ලකුණු 165ක් ලබාදෙමින් ලබාගත් කඩුලු ප්‍රමාණය 7ක්. 

වෝන් කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරමින් (gettyimages)

2001 වසරේ දී ෂේන් වෝන් ලකුණු 33කට කඩුලු 6ක් දවාගත්තා 

2001 අළුබඳුන තරගාවලියේ තුන්වන තරගය පැවැත්වුණේ ට්‍රෙන්ට් බ්‍රිජ් පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්තය පළමු ඉනිමට ලබාගත්තේ ලකුණු 185ක් පමණ යි. නමුත් ඉන් පසුව පළමු ඉනිම ක්‍රීඩාකළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමත් එංගලන්ත පන්දු යවන්නන් හමුවේ ලකුණු 190කට දැවීගියා. පිතිකරුවන්ට අසීරු තණතීරුවක සිය දෙවන ඉනිම ආරම්භ කළ එංගලන්තය 115/2ක්  ප්‍රබල තත්ත්වයකට පත්වුණේ තරගයේ පාලනය ඔවුන්ගේ අතට ගනිමින්. නමුත් එම අවස්ථාවේ ක්‍රියාත්මක වුණු වෝන් ලකුණු 33කට කඩුලු 6ක් දවාගනිමින් සිදුකළ මනරම් පන්දු යැවීම නිසා එංගලන්ත ඉනිම ලකුණු 162කට සීමාවුණා. එදා අවශ්‍යම අවස්ථාවක වෝන් ක්‍රියාත්මක වුණු නිසා ඕස්ට්‍රේලියාවට තරගය ජයග්‍රහණය කිරීමට හැකිවුණේ කඩුලු 7කින්. 

වෝන් එංගලන්තයට එරෙහිව පන්දු යවමින් (gettyimages)

2005 වසරේ දී ෂේන් වෝන් ලකුණු 46කට කඩුලු 6ක් දවාගත්තා 

2005 වසරේ පැවැත්වුණු අළුබඳුන තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය පැවැත්වුණේ බර්මිංහැම් නුවර එජ්බැස්ටන් පිටියේ දී යි. එම තරගයේ පළමු ඉනිම අවසානයේ දී ලකුණු 99ක වාසියක් එංගලන්තයට හිමිවුණා. නමුත් ඉන් පසුව දෙවන ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම ලකුණු 182කට දැවීගියේ වෝන් ලකුණු 46කට කඩුලු 6ක් දවාගනිමින් සිදුකළ දක්ෂ පන්දු යැවීම නිසා යි. එදා වෝන් සිය කණ්ඩායම වෙනුවෙන් උපරිමය කළත් ඕස්ට්‍රේලියානු පිතිකරුවන් ඉන් ප්‍රයෝජනයක් නොගැනීම නිසා අවසානයේ දී එංගලන්තය ලකුණු 2ක තියුණු ජයක් හිමිකරගත්තා.

ඕස්ට්‍රේලියානුවන් කඩුල්ලක් ලබාගැනීමේ සතුට සමරමින් (gettyimages)

1997 වසරේ දී ෂේන් වෝන් ලකුණු 48කට කඩුලු 6ක් දවාගත්තා 

1997 වසරේ පැවති අළුබඳුන තරගාවලියේ තෙවන ටෙස්ට් තරගය පැවැත්වුණේ මැංචෙස්ටර් නුවර ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ දී යි. තරගයේ කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිම සඳහා ලබාගත්තේ ලකුණු 235ක් පමණ යි. ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලබාගත් ලකුණු 235ට පිළිතුරු වශයෙන් පළමු ඉනිම ආරම්භ කළ එංගලන්තය එක් අවස්ථාවක කඩුල්ලක් දැවී ලකුණු 74ක් ලබා සිටියා. එලෙස එංගලන්තය තරගයේ පාලනය ඔවුන්ගේ අතට ගැනීමට සූදානම් වුණු අවස්ථාවේ ක්‍රියාත්මක වුණු වෝන් ලකුණු 48කට කඩුලු 6ක් දවාගනිමින් එංගලන්ත ඉනිම ලකුණු 162කට සීමා කළා. 

වෝන් කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරමින් (gettyimages)

1994 වසරේ දී ෂේන් වෝන් ලකුණු 64කට කඩුලු 6ක් දවාගත්තා 

1994/95 අළුබඳුන තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය පැවැත්වුණේ මෙල්බර්න් පිටියේ දී යි. තරගයේ කාසියේ වාසිය පරාජය වී මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිම සඳහා ලබාගත්තේ ලකුණු 279ක් පමණ යි. ඉන් අනතුරුව සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 1ක් පමණක් දැවී ලකුණු 119ක් ලබාගත්තේ ප්‍රබල තත්ත්වයකට පත්වෙමින්. එම අවස්ථාව වන විට එංගලන්ත පිතිකරුවන් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට ප්‍රබල පීඩනයක් එල්ල කළත් ඉන් නොසැලුණු වෝන් ලකුණු 64කට කඩුලු 6ක් ලබාගත්තේ එංගලන්ත ඉනිම ලකුණු 212කට සීමා කරමින්.

වෝන් විසින් ඇතර්ටන්ව දවාගත් අවස්ථාව (gettyimages)

2005 ඕවල් ටෙස්ට් තරගයේ දී වෝන් කඩුලු 12ක් දවාගනියි 

2005 අළුබඳුන තරගාවලියේ අවසන් ටෙස්ට් තරගය පැවැත්වුණේ ඕවල් පිටියේ දී යි. එම අවස්ථාව වන විට එංගලන්තය තරගාවලිය තුළ 2-1ක් ලෙසින් ඉදිරියෙන් සිටියා. 1987-2005 දක්වා අළුබඳුන පරාජය නොවී සිටි ඕස්ට්‍රේලියානුවන්ට සිය ගෞරවය බේරාගැනීමට මෙම තරගයේ ජයග්‍රහණය අනිවාර්ය වුණා. එදා වෝන් සිය කණ්ඩායම ජයග්‍රහණය කරවීම සඳහා 122/6 සහ 124/6 ලෙසින් දක්ෂ පන්දුයැවීම්වල නිරත වුණත් තරගය අවසන් වුණේ ජය පැරදුමෙන් තොරව යි. එහිදී සමස්ත තරගය තුළ වෝන් ලකුණු 246ක් ලබාදෙමින් දවාගත් කඩුලු 12 අළුබඳුන ටෙස්ට් තරගයක දී වෝන් වාර්තා කළ හොඳම පන්දු යැවීම යි.

වෝන් එංගලන්තයට එරෙහිව පන්දු යවමින් (gettyimages)

2006/07 අළුබඳුන තරගාවලියෙන් පසුව වෝන් ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගත්තා. එදා වෝන්ගේ සමුගැනීම ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට බලවත් පාඩුවක් වුණා. එම පාඩුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කෙතරම් තදින් දැනුණා ද කිවහොත් ඔවුන් පිට පිටම අළුබඳුන තරගාවලි 3ක් පරාජය වුණා. ඕස්ට්‍රේලියානු කණ්ඩායමට වසර ගණනාවක් අළුබඳුන කුසලානය උරුමකර දීමට විශාල මෙහෙවරක් කළ වෝන් එම තරගාවලි ඉතිහාසයේ දැක්වූ දස්කම් ක්‍රිකට් ලෝලීන්ට කිසිදා අමතක නොවනු ඇති. 

කවරයේ ඡායාරූපය - වෝන් අළුබඳුන කුසලානය සමග (gettyimages)

Related Articles