Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දකුණු අප්‍රිකා-නවසීලන්ත තරගයේ පෙර විමසුම

2019 ලෝක කුසලාන තරගාවලියේ 25 වැනි තරගය බර්මින්හැම් නුවර එජ්බැස්ටන් පිටියේ දී පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර යි. තරගාවලිය තුළ තවදුරටත් රැඳී සිටීමට නම් දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙම තරගය අනිවාර්යෙන්ම ජයගත යුතු යි. එලෙසම නවසීලන්තය මෙම තරගය ජයග්‍රහණය කළොත් ඔවුන්ට ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට හැකි යි. එම නිසාම මෙම තරගය ඉතාමත් තරගකාරී එකක් වීමට වැඩි ඉඩක් ඇති බැවින් තරගය පිළිබඳව පෙර විමසුමක් මෙලෙසින් ඔබ වෙතට ගෙන එනවා.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ දකුණු අප්‍රිකා-නවසීලන්ත ගැටුම්

මෙම කණ්ඩායම් 2ක එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ අවස්ථාවන් 7ක දී තරග කර තිබෙනවා. එහි දී නවසීලන්ත කණ්ඩායම තරග 5ක් ජයග්‍රහණය කරන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙන්නේ තරග 2ක් පමණ යි.

1992 ලෝක කුසලාන තරගාවලියේ දී මුල්ම වරට මෙම කණ්ඩායම් දෙක තරග වැදුණා. එහිදී පීටර් කර්ස්ටන් දකුණු අප්‍රිකානුවන් වෙනුවෙන් ලකුණු 90ක් ලබාගත්තත් ඔවුන්ට පරාජය උරුම වුණේ මාක් ග්‍රේට්බැච් නවසීලන්තය වෙනුවෙන් ලබාගත් වේගවත් ලකුණු 68 නිසා යි.

දකුණු අප්‍රිකාව – 190/7 (50)

නවසීලන්තය – 191/3 (34.3)

නවසීලන්තයට කඩුලු 7ක ජයක්

1992 ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකා-නවසීලන්ත තරගයේ අවස්ථාවක් (gettyimages)

1996 ලෝක කුසලාන තරගාවලිය යටතේ නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරගයෙන් දකුණු අප්‍රිකානුවන් පහසු ජයක් ලබාගත්තේ නායක හැන්සි ක්‍රොන්යේ පන්දු 64කින් ලබාගත් ලකුණු 78 නිසා යි.

නවසීලන්තය – 177/9 (50)

දකුණු අප්‍රිකාව – 178/5 (37.3)

දකුණු අප්‍රිකාවට කඩුලු 5ක ජයක්

1996 ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකා-නවසීලන්ත තරගයේ අවස්ථාවක් (gettyimages)

1999 ලෝක කුසලාන තරගාවලියේ  සුපිරි 6 වටය යටතේ පැවති තරගයක දී මෙම කණ්ඩායම් දෙක නැවතත් තරග වැදුණා. එහිදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජැක් කාලිස් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ නිසා තරගයේ ජය දකුණු අප්‍රිකාවට හිමිවුණා.

දකුණු අප්‍රිකාව – 287/5 (50)

නවසීලන්තය- 213/8 (50)

දකුණු අප්‍රිකාවට ලකුණු 74ක ජයක්

1999 ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකා-නවසීලන්ත තරගයේ අවස්ථාවක් (gettyimages)

2003 ලෝක කුසලාන තරගාවලිය යටතේ මෙම කණ්ඩායම් දෙක අතර පැවති තරගයේ දී හර්ෂල් ගිබ්ස් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ලකුණු 143ක් ලබාගත්තත් තරගයේ ජය නවසීලන්තයට හිමිවුණේ ස්ටීවන් ෆ්ලෙමිං නොදැවී ලබාගත්  ලකුණු 134 නිසා යි.

දකුණු අප්‍රිකාව – 306/6 (50)

නවසීලන්තය – 229/1 (36.5)

නවසීලන්තයට කඩුලු 9ක ජයක් (ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව)

ස්ටීවන් ෆ්ලෙමිංගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් (gettyimages)

නැවතත් 2007 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටයේ තරගයක දී මෙම කණ්ඩායම් දෙක හමුවුණු අවස්ථාවේ නවසීලන්තය ජයග්‍රහණය කළේ ක්‍රේග් මැක්මිලන් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ නිසා යි.

දකුණු අප්‍රිකාව – 193/7 (50)

නවසීලන්තය – 196/5 (48.2)

නවසීලන්තයට කඩුලු 5ක ජයක්

2007 ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකා-නවසීලන්ත තරගයේ අවස්ථාවක් (gettyimages)

2011 ලෝක කුසලාන තරගාවලියේ තෙවන අර්ධ අවසන් පූර්ව තරගය පැවැත්වුණේ නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර යි. එහිදී නවසීලන්තය වෙනුවෙන් ජෙසී රයිඩර් ලබාගත් ලකුණු 83 නිසා නියමිත පන්දුවාර 50 අවසානයේ දී ඔවුන්ට ලකුණු 221ක් ලබාගැනීමට හැකිවුණා. ඉන්පසුව ලකුණු 222ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානුවන් එක් අවස්ථාවක 108/2 ලෙසින් ප්‍රබල තත්වයක පසුවුවත් ජේකබ් ඕරම් සහ නේතන් මැකලම් දක්ෂ ලෙස පන්දු යවමින් නවසීලන්තය ජයග්‍රහණය වෙත රැගෙන ගියා

නවසීලන්තය – 221/8 (50)

දකුණු අප්‍රිකාව – 172/10 (43.2)

නවසීලන්තයට ලකුණු 49ක ජයක්

2011 ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකා-නවසීලන්ත තරගයේ අවස්ථාවක් (gettyimages)

අවසන් වරට මෙම කණ්ඩායම් දෙක තරග වැදුණේ 2015 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ දී යි. ඉතාමත් තියුණු අවසානයක් දක්නට ලැබුණු එම තරගයේ ජයග්‍රහණය නවසීලන්තයට හිමිවුණේ ග්‍රාන්ට් එලියට් ක්‍රීඩා කළ සුපිරි ඉනිම නිසා යි

දකුණු අප්‍රිකාව – 281/5 (43)

නවසීලන්තය – 299/6 (42.5)

නවසීලන්තයට කඩුලු 4ක ජයක් (ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව )

ග්‍රාන්ට් එලියට්ගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් (gettyimages)

බර්මිංහැම් නුවර එජ්බැස්ටන් පිටිය පිළිබඳව දත්තයන්

පසුගිය වසර 5 තුළ මෙම පිටියේ දී දිවා තරග 5ක් පැවැත්වුණා. එහිදී පිතිකරුවන්ට පන්දුවට පහරදීමට එතරම් ගැටලුවක් නොවුණු මෙම තණතීරුවේ මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම් වල ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය වුණේ ලකුණු 257ක්. මෙම පිටියේ අවසන් වරට එක්දින තරගයක් පවත්වා ඇත්තේ 2017 වසරේ දී යි.

කාසියේ වාසිය තරගයේ තීරණයට බලපෑම් කරනු ඇත් ද?

එජ්බැස්ටන් පිටියේ දී පැවති තීරණයක් ලැබුණු අවසන් දිවා එක්දින තරග 5 සලකා බලද්දී කාසියේ වාසිය දිනාගත් කණ්ඩායම තරග 2ක් ජයග්‍රහණය කරන විට, කාසියේ වාසිය පරාජය වුණු කණ්ඩායම තරග 3ක් ජයග්‍රහණය කර තිබෙනවා. එම නිසා එජ්බැස්ටන් පිටියේ පැවැත්වෙන නවසීලන්ත-දකුණු අප්‍රිකා තරගයේ ජය පරාජය කෙරෙහි කාසියේ වාසිය විශාල බලපෑමක් නොකරනු ඇති.

කාසියේ වාසිය දිනූ කණ්ඩායමේ තීරණය කුමක් වේවි ද?

මෙම පිටියේ පැවති තීරණයක් ලැබුණු අවසන් දිවා එක්දින තරග 5 දී කාසියේ වාසිය දිනාගත් නායකයන් අවස්ථාවන් 4ක දී ප්‍රතිවාදීන්ට පන්දුවට පහරදීමට ආරාධනා කර තිබෙනවා. එම නිසාම මෙම තරගයේ දීත් කාසියේ වාසිය දිනාගන්නා නායකයේ තීරණය එය වීමට ඇති ඉඩ වැඩි යි.

එජ්බැස්ටන්  පිටියේ දී කණ්ඩායම් දෙකේ දක්ෂතා

2017 වසරේ පැවති ශූරයන්ගේ කුසලාන තරගාවලිය යටතේ, එජ්බැස්ටන් පිටියේ පැවති තරගයක දී  පාකිස්ථානය හමුවේ පරාජය වීමට දකුණු අප්‍රිකානුවන්ට සිදුවුණා. 1999 ලෝක කුසලාන තරගාවලියේ දී නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව මෙම පිටියේ දී තරග වැදුණේ සුපිරි 6 වටය යටතේ පැවති තරගයක දී යි. එම තරගයේ දී නවසීලන්තය පරාජය කරමින් පහසු ජයග්‍රහණයක් ලබාගැනීමට දකුණු අප්‍රිකානුවන්ට හැකිවුණා.

අද පැවැත්වෙන දකුණු අප්‍රිකා-නවසීලන්ත තරගය පිළිබඳව

අවසන් වරට මෙම කණ්ඩායම් දෙක එක්දින තරගාවලියක දී  හමුවුණේ 2017 වසරේ දී යි. එවර තරගාවලිය දකුණු අප්‍රිකාව 3-2ක් ලෙස ජයග්‍රහණය කළා. නමුත් මෙම තරගාවලිය තුළ අසාර්ථක ආරම්භයක් ලබාගත් දකුණු අප්‍රිකානුවන්ට වඩා ඉතාමත් යහපත් මානසිකත්වයකින් සිටින නවසීලන්ත කණ්ඩායමට මෙම තරගය ජයග්‍රහණය කිරීමට ඇති ඉඩ වැඩි යි. නමුත් වසර 20කින් පසුව ලෝක කුසලාන තරගයක දී කිවියන්ව පරාජය කර නොමැති දකුණු අප්‍රිකානුවන් තරගය ජයග්‍රහණය කිරීමට උපරිම උත්සාහයක් යොදනු ඇති.

2019 ICC ලෝක කුසලාන තරගාවලිය සජීවීව නරඹන්න ඩයලොග් TV හරහා Star Sports නාලිකාවන් සමග එක්වන්න.

කවරයේ ඡායාරූපය- Roar සිංහල

Related Articles