Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ක්‍රිකට් ක්‍රීඩාවේ පියා සම්බන්ධ රස කතා 3ක්

“ක්‍රිකට් ක්‍රීඩාවේ පියා” වශයෙන් හඳුන්වනු ලබන විලියම් ගිල්බට් ග්‍රේස්, 1880-1899 තුළ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක්. වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වුණු ග්‍රේස් 60 වැනි විය දක්වාම පළමු පෙළ ක්‍රිකට් තරගවලට සහභාගි වුණු බව සඳහන් වනවා. ඔහු 50 හැවිරිදි විය දක්වාම ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ ද රැඳී සිටියා. එනිසා ටෙස්ට් තරගයකට නායකත්වය ලබාදුන් වයස්ගතම ක්‍රීඩකයා බවට පත්වීමේ අවස්ථාව ඔහුට හිමිවුණා. 1899 අළුබඳුන ටෙස්ට් තරගාවලිය යටතේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ට්‍රෙන්ට් බ්‍රිජ් පිටියේ පැවති ටෙස්ට් තරගයේ දී එංගලන්තයට නායකත්වය ලබාදෙද්දී ග්‍රේස්ගේ වයස අවුරුදු 50 දින 320ක්. ග්‍රේස් බිහිකළ ඒ වාර්තාව අභිබවා යාමට අද වන තුරුත් කිසිදු ක්‍රීඩකයෙකුට හැකියාව ලැබී නැහැ. 

ටෙස්ට් තරග 22කට සහභාගි වුණු ග්‍රේස් අර්ධ ශතක 5ක් සහ ශතක 2ක් සමගින් ලකුණු 1098ක් ලබාගත්තා. ඔහුගේ පිත්තෙන් වාර්තා වුණු වැඩිම ලකුණු ප්‍රමාණය බවට පත්වුණේ 1886 වසරේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ලබාගත් ලකුණු 170 යි. එසේම වසර 43ක් පුරාවට පළමු පෙළ තරග සඳහා සහභාගී වුණු ග්‍රේස් තරග 870කට සහභාගී වෙමින් ශතක 124ක් සහ අර්ධ ශතක 251ක් සමගින් ලකුණු 54211ක් ලබාගැනීමට සමත් වුණා. ඔහුගේ පළමු පෙළ තරග දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව ලකුණු 344ක්. ඊට අමතරව, ඔහු සිය පළමු පෙළ තරග දිවිය තුළ දී කඩුලු 2809ක් දවාගත්තා. ලකුණු 49කට දවාගත් කඩුලු 10 ඉනිමක හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වුණා.

ක්‍රිකට් ඉතිහාසයේ අපූර්වතම ක්‍රීඩකයෙකු වුණු ග්‍රේස්ට “ක්‍රිකට් ක්‍රීඩාවේ පියා” යන අනවර්ථ නාමය පටබැඳුණේ ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ නූතන පිතිකරණ තාක්ෂණයේ නිර්මාණකරුවා බවට පත්වුණු නිසා යි. ඉදිරිපස පාදයෙන් සහ පසුපස පාදයෙන් නිවැරදිව පන්දුවට පහරදෙන ක්‍රමය මුලින්ම ලොවට හඳුන්වා දුන්නේ මෙම අපූරු පිතිකරුවා යි. එකල ග්‍රේස්ගේ පිතිහරඹය නැරඹීමට විශාල ප්‍රේක්ෂක පිරිසක් ක්‍රීඩාංගණවලට එකතු වුණා. විශේෂයෙන්ම ඔහුගේ ක්‍රීඩා දිවියේ අවසන් කාලය තුළ ක්‍රීඩාකළ දෙවන පෙළ තරග සහ ආරාධිත තරගවල දී විශාල ප්‍රේක්ෂක පිරිසක් ඔහුගේ පිතිහරඹය නැරඹීමෙන් උද්දාමයට පත්වුණු බව පැරණි ක්‍රිකට් වාර්තාවල සඳහන් වෙනවා. 

කොහොම නමුත් නමුත් ඇතැම් තරගවල දී ග්‍රේස්ගේ දඩබ්බර හැසිරීම නිසා ක්‍රීඩකයන් පමණක් නොව විනිසුරුවරයන් ද දැඩි ලෙස අපහසුතාවයට පත්වුණා. මේ ලිපියෙන් කියන්නට යන්නේත් ගිල්බට් ග්‍රේස් එසේ හැසිරුණු අවස්ථාවන් 3ක් ගැන යි.

විලියම් ග්‍රේස් (gettyimages)

අද හරි හුළඟ නේද? 

එක්තරා දෙවන පෙළ තරගයක ආරම්භයේ සිට හොඳින්ම පන්දුවට පහරදුන් ග්‍රේස් පිටිය පුරාම පහරවල් එල්ල කළා. ග්‍රේස් එල්ල කරන ලද සෑම පහරකටම ප්‍රේක්ෂකයන් ඔල්වරසන් හඬ නැගුවා. එයින් තවත් උද්දාමයට පත්වුණු ග්‍රේස් ද වඩාත් වේගවත් පහරවල් එල්ල කරන්නට වුණා.

ප්‍රතිවාදී කණ්ඩායමේ නායකයා ඔහු සතුව සිටි හොඳම පන්දු යවන්නන් යොදාගෙන ග්‍රේස්ව නැවැත්වීමට උත්සාහ කළත් එය සාර්ථක වුණේ නැහැ. නිවැරදි තාක්ෂණයට අනුව පන්දුවට පහරදුන් ග්‍රේස් ඉතාමත් පහසුවෙන් පන්දු යවන්නන්ව මර්දනය කළ නිසා ප්‍රතිවාදී නායකයා අපූරු උපායක් ක්‍රියාත්මක කළා. ඒ, වැඩිපුර පන්දු යවන්නේ නැති පන්දු යවන්නෙකු පන්දු යැවීම සඳහා කැඳවීම යි. එදා එම පන්දු යවන්නා යොමුකළ මුල්ම පන්දුව තරමක් සෙමෙන් යොමුකළ එකක්. ඒ අවස්ථාවේ දී පමණට වඩා අඩු වේගයකින් පැමිණි පන්දුව ග්‍රේස්ගේ පිත්ත පසුකර ගොස් කඩුල්ලේ වැදුණා. 

එවැනි දුර්වල පන්දු යවන්නෙකු හමුවේ දැවීයාම මඳිපුංචිකමක් වුණු නිසා ග්‍රේස් ක්ෂණයකින් ආපසු කඩුල්ල දෙසට හැරී බේල්ස් යුගලය තිබුණු ආකාරයටම සකස් කළා. විනිසුරුවරයා පුදුමයෙන් මෙන් ග්‍රේස් දෙස බලා සිටියා. ග්‍රේස් විනිසුරුවරයාට කීවේ,

“අද හරි හුළඟ නේද? බලන්නකො ඒ හන්ද මේ බේල්ස් බිම වැටුණු හැටි. ඉතින් ඔබතුමා අමුතුවෙන් මේක සවි කරන්න මෙතනට එන්න ඕනි නැති හින්දා යි මම බේල්ස් තිබුණු විදිහටම ආපහු හැදුවේ.”

එම යුගයේ ග්‍රේස්ට ක්‍රිකට් පිටිය තුළ තිබුණු ගරුත්වය නිසා විනිසුරුවරයා කිසිවක් කීවේ නැහැ. එසේම එකල එංගලන්තයේ දෙවන පෙළ තරගවල නීතිරීති තදින්ම ක්‍රියාත්මක වුණේ නැහැ. එනිසා බේල්ස් සකස්කර නැවතත් පන්දුවට පහරදුන් ග්‍රේස්ට කිසිදු දඬුවමක් හිමිවුණේ නැහැ. ඇතැම්විට ග්‍රේස් බේල්ස් සකසා පන්දුවට පහරදුන්නේ ඔහුගේ පිතිහරඹය නිසා කුල්මත්ව සිටි ප්‍රේක්ෂකයන්ව තවත් අමන්දානන්දයට පත්කිරීමට විය හැකියි.

විලියම් ග්‍රේස් තරගයක් අතරතුර (gettyimages) 

ඒකට අවුට් ඉල්ලනව නම් මේකට හයක් දෙන්න බැරි ද?

ග්‍රේස් ක්‍රීඩාකළ එක්තරා දෙවන පෙළ තරගයක දී දඟ පන්දු යවන්නෙකුගේ පන්දු යැවීම හමුවේ ඔහු තරමක් අපහසුවෙන් පන්දුවට පහරදුන්නා. ග්‍රේස් දවාගැනීම සඳහා ඔහුට දැඩි පීඩනයක් එල්ල කළ යුතු බව අවබෝධ කරගත් ප්‍රතිවාදී කණ්ඩායමේ නායකයා පිතිකරුවා වටා පන්දු රකින්නන් කිහිප දෙනෙකු යොදවනු ලැබුවා.

ඉන්පසු ග්‍රේස්ට යොමු කරන ලද පන්දුවට ඔහු හරවා පහරක් එල්ල කිරීමට උත්සාහ කළා. ඒ මොහොතේ පිත්තේ කොනක දැවටුණු පන්දුව ග්‍රේස්ගේ පා ආවරණයක් තුළට වැටී හිරවුණා. එවිට ඒ අසල පන්දු රකිමින් සිටි පන්දු රකින්නා ග්‍රේස් අසලට පැමිණ පන්දුව රැගෙන උඩපන්දුවක් රැකගත් අයුරින් ඉල්ලීමක් කිරීමට සැරසෙන බව ග්‍රේස්ට අවබෝධ වුණා. ඒ මොහොතේ දී එක්වරම ක්‍රියාත්මක වුණු ග්‍රේස් පා අවරණ තුළ පන්දුව තිබිය දී වේගයෙන් හතරේ සීමාව වෙත දිව ගියා. ඉන් පසුව ඔහු සිය පා ආවරණයෙන් පන්දුව ගැනීමට ගිය ක්‍රීඩකයාට මෙහෙම කිව්වා:

“ඔබ මගේ පා අවරණය තුළ රැඳුණු පන්දුව ඉවතට අරගෙන අවුට් ඉල්ලනවා නම්, මට මේකට හයක් දෙන්න බැරි ද?”

ග්‍රේස් එසේ කීමෙන් පන්දු රකින්නා ලැජ්ජාවට පත්වුණු බව කියනවා. ග්‍රේස්ගේ දඩබ්බර ක්‍රියාව ගැන එහි සිටි සියලු දෙනා මවිතයට පත්වුණාලු. ග්‍රේස් එවැන්නක් කළේ වර්තමානයේ දී නම්, ඊට විශාල දඬුවමක් හිමිවන්නට තිබුණා. නමුත් එදා ග්‍රේස් දෙවන පෙළ තරග සඳහා ක්‍රීඩාකරමින් දෙවන පෙළ තරගවල තිබුණු ගුණාත්මකබව වැඩි කිරීමට ගත් උත්සාහය නිසා ඔහු කෙරෙහි අනිකුත් ක්‍රීඩකයන් ගෞරවයක් දක්වන්නට ඇති. එනිසා ඔහුට එවැනි අවස්ථාවන්වල දී විරෝධයක් එල්ල නොවන්නට ඇති.

විලියම් ග්‍රේස් (gettyimages)

මේ මිනිස්සු ඇවිල්ල ඉන්නෙ ඔහේ ඇඟිල්ල උස්සනව බලන්න නෙවෙයි 

මේ සිදුවීම වාර්තා වුණේ ග්‍රේස් සහභාගි වුණු ආරාධිත ක්‍රිකට් තරගයක් අතරතුර යි. එම තරගයට ග්‍රේස් සහභාගී වන බව ප්‍රචාරය කිරීම නිසා මහා සෙනගක් ක්‍රීඩා පිටිය වෙත පැමිණියා. විලියම් ග්‍රේස් ආරම්භක පිතිකරුවා ලෙස පිටියට පිවීසීමත් සමග ප්‍රේක්ෂකාගාරය පුරාම ඔල්වරසන් හඬ පැතිරී ගියා. ග්‍රේස් ද ප්‍රේක්ෂකාගාරයේ සිටි ප්‍රේක්ෂකයන්ට ආචාර කරමින් පන්දුවට පහරදීම ආරම්භ කළා.

ප්‍රතිවාදී කණ්ඩායමේ ආරම්භක වේගපන්දු යවන්නා යොමුකළ පන්දුව ග්‍රේස්ගේ පිත්තේ කොනක දැවටී පිටුපස සිටි කඩුලු රකින්නා වෙත ඇදී ගියා. පන්දුව රැකගත් කඩුලු රකින්නා ග්‍රේස්ට එරෙහිව ප්‍රබල ඉල්ලීමක් කළා. එවිට විනිසුරුවරයා ග්‍රේස් දැවීගිය පිතිකරුවෙකු ලෙස නම්කළා. විනිසුරුවරයා තීරණය ලබාදීම සමග ග්‍රේස් මෙසේ පවසා තිබෙනවා:

“යාළුවා අද මෙතනට මහ සෙනගක් එකතු වෙලා ඉන්නෙ ඔහේ ඇඟිල්ල උස්සන හැටි බලන්න නෙවෙයි. මේ මිනිස්සු ටිකට් අරන් ඇවිල්ල ඉන්නෙ මං සෙල්ලම් කරන හැටි බලන්න. ඒ හින්ද පිස්සු නැතුව මට බැට් කරන්න ඉඩ දෙන්න”

ග්‍රේස්ගේ වචනවලට උඩින් කිසිවක් පැවසීමට විනිසුරුවරයාට හැකියාවක් තිබුණේ නැහැ. එනිසා ග්‍රේස් අඛණ්ඩව පන්දුවට පහරදුන්නා. තරගය නැරඹීමට පැමිණ සිටි ප්‍රේක්ෂකයන්ට උපරිම විනෝදයක් ලබාදුන් ග්‍රේස් වේගවත් ද්විත්ව ශතකයක් ද වාර්තා කළා. ග්‍රේස් දෙවන වරටත් දැවීයාමෙන් පසු අපූරු දෙයක් කළා. ඒ ඔහු මුලින්ම දවාගත් පන්දු යවන්නා ළඟට ගොස් ඔහුට සුබ පතා පිටියෙන් ඉවත්වීම යි. 

විලියම් ග්‍රේස් පන්දුවට පහරදෙමින් (gettyimages)

ක්‍රිකට් පිටියේ දස්කම් දැක්වූ මෙම අපූරු ක්‍රීඩකයා 1891 වසරේ දී ලංකාවටත් පැමිණියා. සිලෝන් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී ටොම් කෙලාර්ට් එවූ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදී ඔහු ලකුණු 14කට දැවීගියා. එනිසා ඔහුගේ පිතිහරඹය දැකබලා ගැනීමට ලක්වාසීන්ට අවස්ථාවක් ලැබුණේ නැහැ. 

ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ මෙම ක්‍රීඩකයාට ගරු කිරීමක් ලෙස 1923 වසරේ දී ලෝඩ්ස් පිටියේ ප්‍රධාන දොරටුව “ග්‍රේස් ගේට්” ලෙසින් නම් කෙරුනා.

කවරයේ ඡායාරූපය- විලියම් ග්‍රේස් සම්බන්ධව ඇඳි කාටූනයක් (gettyimages)

මූලාශ්‍රයයන්- Wisden Cricket, Sports-2009

Related Articles