ආහාර ගැනීම අපි හැමෝගෙම මූලික අවශ්‍යතාවලින් එකක්. “කෑම” කියනකොට අපි කාටත් කොත්තුවක්, පොල් රොටියක්, අම්මා බැඳලා දෙන බත්මුල, හෝ අපි කන්න කැමති හෝටලයක්වත් මතක්වෙනවා.
ලෝකයේ බොහෝ සංස්කෘතීන්වල කෑමට සම්බන්ධ දෙවිවරුන් ගැන සඳහන් කෙරෙනවා. මේ ලිපිය ලියැවෙන්නෙත්, රට රටවල මුළුතැන්ගෙට අධිපති දෙවිවරුන් ගැන ඔබට කියන්න යි.
චීනය
චීනයේ වැසියන් ‘සාඕ ෂෙන්’ (Zao Shen) කියලා හඳුන්වන දෙවියෙකු මුළුතැන්ගෙට හා ආහාරවලට අධිපති දෙවියා ලෙස පිළිගන්නවා. ඒ වගේම නිවෙසේ වෙසෙන්නන්ගේ හැසිරීම පිළිබඳව අනික් දෙවිවරුන්ට වාර්තා කරන්නේත් ඔහු බව යි චීන වැසියන් විශ්වාස කරන්නේ. මෙම දෙවියාට පොහොසත්කම හෝ දුප්පත්කම ලබාදීමේ බලයක් ඇති බවත් ඔවුන්ගේ විශ්වාසයක්. ඒ වගේම ඔහු නපුරු ආත්මවලින් ආරක්ෂා කරන්නෙකු වන නිසා, ඔහු නිවෙසකට ආවෙ නැති නම් එහි භූත දෝශ ඇති වෙන්න පුළුවන් බව ඔවුන් සලකනවා. සාඕ ෂෙන් දෙවියන් ඇදහීම චීනයේ ජනප්‍රිය වුණේ අඩුම තරමින් දෙවන සියවසේ සිට කියලා හිතන්න සාධක තිබෙනවා. ඒ දෙවියන්ගේ කතාව මෙන්න මෙහෙම යි:
එක කාලෙක ෂැං ඩෑන් නමැත්තෙක් චීනයේ ජීවත් වෙනවා. ඔහු ඉතා ගුණ යහපත් තරුණියක් එක්ක විවාහ වුණත්, කාලය ගතවෙද්දී ඔහුගේ හිත වෙනත් ලාබාල කාන්තාවක් වෙත ඇදී යන නිසා ඔහු සිය බිරිඳ ගෙදරින් එලවනවා.ඔහුගේ කුරිරුකමට දෙවියන්ගෙන් ලැබෙන දඬුවමක් විදියට ඒ වෙලාවේම ඔහු අන්ධභාවයට පත්වෙනවා. ඔහුගේ නව බිරිඳ ඔහු හැර යන නිසා, ජීවත්වීම සඳහා සිඟමනේ යාමට ඔහුට සිදු වෙනවා.
මෙහෙම කාලයක් සිඟමනේ යන ෂැං දවසක් නොදැනුත්වම ඔහුගේ මුල් බිරිඳගේ ගෙදර පහු කරගෙන යනවා. ඇය තමන්ගේ ස්වාමි පුරුෂයා අඳුනාගෙන, ඔහු තමන්ට පහත් විදියට සැලකුවා වුණත් ඔහුට අනුකම්පා කරලා නිවසට ආරාධනා කරනවා විතරක් නෙවෙයි, ඔහු කැමතිම කෑම වර්ගයකුත් හදලා දෙනවා.
ෂැං තමන් තමන්ගේ මුල් බිරිඳට කළ අකටයුතුකම් ගැන මේ කාන්තාවට කියන්නේ ඇය කවුද කියලා දැනගෙන නෙවෙයි. ඔහු ඒ ගැන කණගාටු වන බව ඇසූ මුල් බිරිඳ ෂැංට සමාව දීලා, ‘ඇස් ඇරලා තමන් දිහා බලන්න’ කියලා ඔහුට කියනවා. ඒ එක්කම පුදුමාකාර විදියට ෂැංට පෙනීම ලැබෙනවා. නමුත්, තමන්ට සලකා තිබෙන්නේ තමන් අතහැර දැමූ බිරිඳ බව දුටු ෂැං ඒ ලැජ්ජාවෙන්ම මුළුතැන්ගෙයි ගිනි උදුනට පනිනවා. බිරිඳ ඔහු බේරා ගන්නට උත්සාහ කළත්, ඔහු ගින්නෙන් අළු වී යනවා. මේ යහපත් කාන්තාව තමන්ගේ සැමියා මියගිය ගිනි උඳුනට උඩින් පුදසුනක් නිර්මාණය කරනවා. දෙවිවරුන් ඔහු ගැන අනුකම්පාකොට ඔහුත් දෙවිකෙනෙකු බවට පත්කළාලු.
චීන ජනතාවගේ එක් විශ්වාසයක් වුණේ, අඩුම තරමේ මාසයකට වරක්වත් සාඕ ෂෙන් මුළුතැන්ගෙයි සිට දිව්‍යලෝකයට යනබව යි. 12 වන චන්ද්‍ර මාසය අග දී මේ දෙවියා නිවැසියන්ගේ චර්යාව සම්බන්ධයෙන් වාර්ෂික වාර්තාවක් දිව්‍යලෝකයට ඉදිරිපත් කරන බවත් ප්‍රසිද්ධ විශ්වාසයක් වුණා.
සාමාන්‍යයෙන් චීන නිවෙස්වල උඳුන්වලට ඉහළින් සාඕ ෂෙන්ගේත් ඔහුගේ බිරිඳගේත් කඩදාසි රූපයක් එල්ලා තැබෙනවා. චීන වැසියන්, සාඕ ෂෙන් ස්වර්ගයට පිටත්වන බවට සැලකෙන දිනයේ දී මේ කඩදාසි රූපයේ තොල් මත මී පැණි වගේම පැණිරස කෑමත් ආලේප කරනවා. එමඟින් ස්වර්ගයට ගිය විට එම නිවසේ වැසියන් ගැන හොඳ වචන පමණක් ඔහුගේ මුවින් පිටවන බව ඔවුන් විශ්වාස කරනවා. ඊට අමතරව කෑම, වයින්, කඩදාසිවලින් අශ්ව කරත්ත, කඩදාසි අශ්වයන් ආදිය මෙදිනට ඔහුගේ රූපය ඉදිරියේ පූජා කරනවා. ඉන්පසු අලුත් අවුරුද්ද උදාවෙද්දී පැණි තැවරුණු කඩදාසි රූපය වෙනුවට සාඕ ෂෙන්ගේ අලුත් කඩතිර රෑපයක් ගෙනැවිත් උඳුනට ඉහළින් එල්ලා පුද පූජා කිරීම සිදු කරනවා.
ජපානය
ජපානයේ ෂින්ටො ආගමේ පුරාවෘතවලට අනුව ආහාරවලට අධිපති දේවතාව වන්නේ උකෙමොචි නො කමී යි. ඇය සමහර අවස්ථාවල දී ‘වකකනොමි’ හෙවත් ‘ආහාර සමග සිටින තරුණ කාන්තාව’ කියලත් හඳුන්වනවා.
ජපානයේ පුරාවෘත්තයකට අනුව සූර්ය දේවතාව ඇගේ සොයුරා වන චන්ද්‍ර දෙවියන් නො කමීගේ සැප දුක් හොයලා බලන්න මහපොළොවට එවලා තියෙනවා. චන්ද්‍ර දෙවියන් පිළිගැනීමට කෑම වේලක් පිළියෙළ කරද්දී නො කමී දේවතාවිය ඇගේ මුඛයෙන්, නාසයෙන් ආදී සිරුරේ එක එක විවරයන්ගෙන් ආහාර බඳුන් මවා ඉදිරිපත් කළාලු. මෙයින් අප්‍රසාදයට පත් සඳ දෙවියන් තමන්ගේ කඩුවෙන් ඇය මරා දමනවා.ඇගේ මළ සිරුරෙනුත් විවිධ ධාන්‍ය වර්ග මතුවී තිබෙනවා.
ආපසු දෙව්ලොවට ගිය චන්ද්‍ර දෙවියන සූර්ය දේවතාවියට මේ ගැන දැනුම්දුන් විට ඇය කෝපයට පත් වී, “මෙතැන් සිට මම ඔබේ මූණ බලන්නේ නැහැ” කියලා කිව්වාලු. ජපන් ජනප්‍රවාදයන්ට අනුව ඉර දහවලේත්, සඳ රාත්‍රියේත් පායන්නට ගත්තේ ඉන්පසුව යි.
තායිලන්තය
තායිලන්තයේ දී, සහල්වලට අධිපති ලෙස සලකන්නේ ෆෝසෝප කියන දේවතාවිය යි. සහල් නිෂ්පාදනයේ විවිධ අදියරවල දී ඇයට පුද පූජා කිරීම තායි සංස්කෘතියේ ලක්ෂණයක්. ගොවියන්ගේ විශ්වාසයට අනුව එමඟින් සහල් නිෂ්පාදනය වැඩි වෙනවා.
වර්තමානය වන විට තායිලන්තයේ සහල් ගොවීන් ඇයට වැඳුම් පිදුම් කිරීම අඩු වුණත්, පෙර රජුගේ බිරිඳ වූ සිරිකිත් රැජින 2008 දී ඒ සදහා රාජකීය අනුග්‍රහය ද ලබා දුන්නා.
ඉන්දුනීසියා
දේවි ශ්‍රී හෙවත් ශ්‍රී දේවි කියන්නේ ඉන්දුනිසියානු දූපත්වල සහල්වලට අධිපති දේවතාවිය. ඇගේ උපතට නාගයකු සම්බන්ධ බව කියවෙනවා. අනන්ත නාගරාජයා භතරා ගුරු නම් මහා දෙවියාට දුන් බිත්තරයකින් ශ්‍රි දේවිය බිහිවුණා කියලා විශ්වාස කරනවා. ඇය උස්මහත් වෙද්දී මහා දෙවියාට ඇය ගැන අනිසි සිතක් පහළවෙනවා. මෙයින් දෙව්ලොවේ සාමයට බාධා ඇතිවේයැ යි බියවුණු අනෙක් දෙවිවරුන් ඇය මරා දමා, ඇගේ සිරුර මිනිස් ලෝකයේ පොළොවේ මිහිදන් කරනවා.
ඇගේ නිර්දෝෂීභාවය නිසා ඇය භූමදාන කළ තැන විවිධ ආහාර පහළ වෙනවා. ඇගේ හිසෙන් පොල් ශාකයත්, නාසයෙන්, තොල්වලින්, සහ කන්වලින් විවිධ කුළුබඩු හා එළවළුත් පහළ වුනා. ඇගේ හිසකෙස්වලින් තණකොළ හා මල් පිපෙන ශාක පහළ වුනා. පියයුරුවලින් විවිධ පලතුරු පැළෑටි, අත්වලින් දැව ශාක, කලවාවලින් විවිධ වර්ගයේ උණ ශාක බිහි වුණා. එසේම, ඇගේ නාභියෙන් වී ගස බිහිවුණා. ඉන්දුනීසියාව ඉස්ලාම්කරණය වන්නට පෙර දේවී ඉතා උසස් දේවතාවියක් විදියට සැලකුම් ලැබුවා.
ඉන්දියාව
ඉන්දියාව කවදවත් දේවතා ඇදහිලිවලට ප්‍රසිද්ධ රටක්. ආහාරවලට අධිපති ‘අන්නපූර්නා’ නම් දේවතාවියක් එහි සිටිනවා. ශිව දෙවිගේ බිරිඳ වූ පාර්වතියගේ එක්තරා ස්වරූපයක් ලෙස අන්නාපූර්නා දේවිය හැඳින්වෙනවා. ඇගේ උපත ගැන හින්දු ආගමේ සඳහන් වෙන්නේ මෙන්න මෙහෙම:
දවසක් ශිව දෙවියෝ ඔහුගේ බිරිඳ වූ පාර්වතී එක්ක වාදයකට පැටලුණා. භෞතික ලෝකයේ සියල්ල මායාවක් විතර යි කියලා ශිව වාද කළා. ආහාරත් ඒ වගේම යි කියලා ඔහු කිව්වා. භෞතික ලෝකයට අධිපති පාර්වතිය මේ නිසා කෝපයට පත්වුණා. ශිවට සහ ලෝකයට ඇගේ වැදගත්කම පෙන්වීමේ අරමුණින් ඇය අතුරුදහන් වුණා.
පාර්වතීයගේ තුරුදහන් වීමත් එක්ක ලෝකයට ආහාර අහිමි වෙලා සාගතයක් ඇතිවුණා. මිනිසුන්ට පමණක් නොව දෙවිවරුන්ට පවා ආහාර නැති වෙනවා. ශිව භක්තිකයින් ආහාර ඉල්ලා ශිවට කන්නලව් කරනවා. කොහොම නමුත්, ආහාර සහිත එකම එක මුළුතැන්ගෙයක් වරනාසි නගරයේ ඇති බව ආරංචි වෙන නිසා ශිව එහි යනවා. ඒ මුළුතැන්ගෙයි පාර්වතී දේවතාවිය අන්නපූර්ණා දේවියගේ ස්වරූපයෙන් වැඩ සිටියා. ඇය සිංහාසනයක ඉඳගෙන, කුසගින්නෙන් පෙළෙන දෙවිවරුන්ට සහ මිනිස්සුන්ට ආහාර බෙදමින් හිටියා. ශිව දෙවියන් පරාජය බාරගන්නවා.
ශ්‍රී ලංකාව
ලංකාවේත් කෘෂිකර්මයට අධිපතිව පුද ලබන දෙවිවරු ඕනෑ තරම් ඉන්නවා. ඒ ඇදහිල්ල අද වෙද්දී ඒ තරම් ජනප්‍රිය නැති නිසා බොහෝ දෙනෙකු මේ දෙවිවරුන් ගැන අසා නැහැ.
මේ දෙවියන් අතර ප්‍රධාන වෙන්නේ මහසෙන් රජ්ජුරුවෝ. ඔහු මින්නේරි වැව ඉදිකළ නිසා ගොවි ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වෙලා තියෙනවා. රජු ප්‍රතිමාවලත් නිරූපණය කර තිබෙන්නේ එක් අතක වී කරල් මිටියක් දරාගෙන ඉන්න ආකාරයට යි. අස්වැන්න නෙලූ පසු මහසෙන් දෙවියන් වෙනුවෙන් පූජා පැවැත්වීම සාමාන්‍ය සිරිතක්.
මාතලේ, දඹුල්ල, ලග්ගල වැනි ප්‍රදේශවල, අලුත් අස්වැන්නෙන් පුද ලබන දෙවිවරුන් පස්දෙනෙකු ගැන සදහන් වෙනවා. ‘මාතලේ දෙවි පස් කට්ටුව’ කියලා හඳුන්වන මේ අය තමයි මින්නේරි දෙවියන්, දේවතා බණ්ඩාර දෙවියන්, බණ්ඩාර දෙවියන්, මංගර දෙවියන්, හා කන්දේ දෙවියන්.
මේ දෙවිවරුන් හැරුනම මින්නේරි දෙවියන්ගේ සේනාවේ ‘අඩුක්කු ගන්න උන්නැහේ’ නම් දෙවියෙකු ගැනත් සඳහන් වෙනවා. මින්නේරි දෙවියන්ට කරන යාතිකාවලත් ඔහු ගැන සඳහන් කෙරෙනවා. ගොවි ජනතාව අස්වැන්න කපා පාගාගත් පසු, කමතේ ඇති පොල්ච ගෙඩියෙන් කිරි ගෙන උතුරවා, ඔහු වෙනුවෙන් අඩුක්කු පූජා කිරීම සිදු කරනවා.