Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මහ සයුරේ පාවෙන රත්‍රන් හෙවත් “තල්මස් වමනය”

නාරිස් සුවන්නසැන්ග් කියන්නේ තායිලන්ත ජාතික ධීවරයෙක්. ඔහු දිනක් වෙරළ තීරය දිගේ ඇවිද යන විට විශාල පාෂාණයක් වැනි වස්තුවක් දුටුවා. නාරිස් ඥාතීන්ගේ උපකාරයත් ලබාගෙන මේ පාෂාණ වස්තුව සහ එම වස්තුවේම අවශේෂ කැබලි කිහිපයක් ගෙදර ගෙන ආවා. ඔහුට හමුවෙලා තිබුණේ පාෂාණයක් නොවෙයි. එය තල්මසෙකුගෙන් පිටවූ අපද්‍රව්‍යයක්. නමුත් ආකර්ෂණීයම කරුණ වන්නේ මෙම ධීවරයා සොයාගත් තල්මස් අපද්‍රව්‍යයෙන් සැදුම්ලත් කුට්ටිය, ඇමරිකානු ඩොලර් මිලියන තුනකටත් වඩා වටිනා එකක් වීම යි.

ලෝකයේ වටිනා කියන ද්‍රව්‍යයන් ඕනෑ තරම් තිබෙනවා. රන්, රිදී, මුතු, මැණික් පමණක් නොවෙයි, ඇතැම් විකිරණශීලි මූලද්‍රව්‍ය පවා ඉතා ඉහළ වටිනාකමක් ඇති ස්වභාවික ද්‍රව්‍ය. නමුත් සත්ත්වයෙකුගේ අපද්‍රව්‍යයකට මෙතරම් වටිනාකමක් හිමිවීම එක අතකින් විශ්මය දනවන කාරණාවක්.

වරෙක තායි ජාතික ධීවරයෙකුට ඩොලර් මිලියන තුනකට වඩා වටින ඇම්බ(ර්)ග්‍රීස් කුට්ටියක් හමුවුණා/dailystar.co.uk/

මෙම තායිලන්ත ජාතික ධීවරයා සොයාගත්තේ පොදු ව්‍යවහාරයේ දී “තල්මස් වමනය” ලෙස හඳුන්වන, මහ සයුරේ ඉතා කලාතුරකින් දැකීමට ලැබෙන දෙයක්. මොනවද මේ තල්මස් වමනය කියන්නේ? ඇතැම් විට රත්‍රන්වලටත් වඩා ඒවා වටින්නේ ඇයි ? මෙවැනි ගැටලුවලට පිළිතුරු මෙන්ම අනෙකුත් පසුබිම් කරුණු කිහිපයක් මෙම ලිපිය හරහා ඔබට ඉදිරිපත් කරනවා. 

තල්මස් වමනය නොහොත් ඇම්බ(ර්)ග්‍රීස්

තල්මස් වමනය ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේ හැඳිවූවත්, සැබවින්ම මෙම ද්‍රව්‍යය හඳුන්වන්නේ “ඇම්බ(ර්)ග්‍රීස්” නමින්. ඇම්බ(ර්)ග්‍රීස් බොහෝවිට අළුපැහැ, ඝන වූ ඉටි වැනි ස්වභාවයකින් යුක්ත යි. මේවා “ස්පර්ම් තල්මසා” නම් තල්මස් විශේෂයේ ආහාර ජීර්ණ පද්ධතිය තුළ හටගනු ලබනවා. ඇම්බ(ර්)ග්‍රීස් ස්පර්ම් තල්මසුන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය හරහා ගමන් කරමින් මලද්‍රව්‍ය සමග පිටවන බව ඇතැම් විද්‍යාඥයින් විශ්වාස කළත්, ඒවා දකින්නට ලැබෙන්නේ විශාල කුට්ටි ලෙස නිසා ඒවා මලද්‍රව්‍ය සමග පිටතට නොපැමිණ, මුඛය හරහා පිටවන බව ඇතැම් සමුද්‍ර ජීව විද්‍යාඥයින් විශ්වාස කරනවා. 

ස්පර්ම් තල්මසුන් දිනකට ගන්නා අති විශාල ආහාර ප්‍රමාණය තුළ දැල්ලන්, ඉස්සන් වැනි සතුන් සැළකිය යුතු ප්‍රමාණයක් අන්තර්ගත යි. නමුත් දැල්ලන්ගේ දැලි පොතු සහ ඉස්සන්ගේ ඇතැම් කොටස් තල්මසුන්ට ජීර්ණය කරගන්නට බැහැ. මෙයට පිළියමක් ලෙස ස්පර්ම් තල්මසුන් “ඇම්බ්‍රීන්” නම් රසායනික ද්‍රව්‍යය නිපදවා, ජීරණය නොවූ ආහාර කොටස් එමඟින් එකට එකතු කොට ඇම්බ(ර්)ග්‍රීස් ලෙස ශරීරයෙන් බැහැර කරනවා.

තල්මස් වමනය හෙවත් ඇම්බ(ර්)ග්‍රීස් කැබැල්ලක්/the-sun.com/

ලෝකයේ විවිධ ජීවීන් ඔවුන්ටම අනන්‍ය වූ රසායනික ද්‍රව්‍ය නිපදනවා. ඒ නිසා එම ජීවින්ගෙන් ලබා ගන්නා නිෂ්පාදනවල ලාක්ෂණික ගතිගුණ තිබෙනවා. උදාහරණයක් ලෙස කෝපි, කොකෝවා වැනි ශාකවල තිබෙන කැෆේන් රසායනිකය දැක්විය හැකියි. ස්පර්ම් තල්මසුන් තුළ නිපදවෙන, ආවේණික වූ ඇම්බ්‍රීන් රසායනිකය නිසා ඇම්බ(ර්)ග්‍රීස්වලටත් යම් යම් ලාක්ෂණික ලක්ෂණ ලැබී තිබෙනවා. එම නිසා ඒවා විවිධ කර්මාන්ත සඳහා යොදා ගැනෙනවා. තල්මසුන්ගේ වමනය ලෙස හඳුන්වන මෙම අපද්‍රව්‍යයට ඩොලර් මිලියන ගණනක පවා වටිනාකම් නියම වෙන්නේ ඒවායේ සම්භවයේ සුවිශේෂත්වය සහ දුර්ලභකම නිසා යි.

ඇම්බ(ර්)ග්‍රීස් නිපදවන එකම තල්මසුන් විශේෂය ස්පර්ම් තල්මසුන් බව සඳහන් වෙනවා. ඔවුන් ජීවත්වන සමුද්‍රීය කලාපයේ විශාලත්වය නිසා ඇම්බ(ර්)ග්‍රීස් බොහෝ රටවල  වෙරළ තීරයන්වලින් හමුවෙන්න පුළුවන්. නමුත් නිවර්තන හා උපනිවර්තන සමුද්‍රීය කලාපවල තමයි ඔවුන් වැඩිපුරම දකින්න ලැබෙන්නේ.

මහ සයුරේ පාවෙන රත්‍රන්

ඇම්බ(ර්)ග්‍රීස්, ස්පර්ම් තල්මසුන්ගේ ශරීරයෙන් පිටවූ අලුත මල ද්‍රව්‍යයන්ගෙන් හමන ආකාරයේ ඉතා අප්‍රසන්න දුර්ගන්ධයකින් යුක්ත යි. නමුත් කාලයත් සමග සූර්යාලෝකය, වැලි, වාතය, ජලය, ඛනිජ ලවණ, සහ තවත් මූලද්‍රව්‍ය අවශෝෂණය වීමෙන් සහ ඔක්සිකරණය නම්වූ රසායනික ක්‍රියාවලිය නිසා ඇම්බ(ර්)ග්‍රීස් මිහිරි සුවඳක් නිකුත් කිරීමට පටන් ගන්නවා.

ඇම්බ(ර්)ග්‍රීස් නිපදවන ස්පර්ම් තල්මසා/naturalworldsafaris.com/

ඓතිහාසිකව ගත්කල, මිනිසා බොහෝ කාරණා උදෙසා ඇම්බ(ර්)ග්‍රීස් භාවිතාකොට තිබෙනවා. සුවඳ දුම් ලෙස භාවිත කිරීම, සුරුට්ටුවලින් හමන ගන්ධය වැඩි දියුණු කිරීම සඳහා අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා කිරීම, හිසරදය, සෙම්ප්‍රතිෂ්‍යාව සහ අනෙකුත් ලෙඩ රෝග සඳහා ඖෂධයක් ලෙස භාවිත කිරීම, සහ කාමෝද්දීපන ද්‍රව්‍යයක් ලෙසත් ඇම්බ(ර්)ග්‍රීස් අතීතයේ සිටම ප්‍රයෝජනයට ගෙන ඇති බව පැවසෙනවා. එමෙන්ම ඇම්බ(ර්)ග්‍රීස්වල ගන්ධය මඟින් වසංගත රෝග පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිරීම ද වළක්වාලන බවට වූ විශ්වාසයක් අතීතයේ පැවතී තිබෙනවා.  

වර්තමානය වන විට ඇම්බ(ර්)ග්‍රීස් මඟින් වසංගත රෝග වැළැක්වීමට ඇති හැකියාව වැනි මිත්‍යා මත මිනිසාගෙන් දුරස්ථ වී තිබුණත්, අතීතයේ දී මිනිසුන්ගේ ජීවිත ශාරීරිකව සහ මානසිකව වැඩි දියුණු කිරීමෙහිලා ඇම්බ(ර්)ග්‍රීස් යම් කාර්යභාරයක් ඉටුකර තිබෙන බව පෙනී යනවා. නමුත් වර්තමාන ලෝකය තුළ තල්මස් වමනය හෝ ඇම්බ(ර්)ග්‍රීස් වඩාත් ජනප්‍රිය වී තිබෙන්නේ සුවඳ විලවුන් කර්මාන්තය තුළ යි.

සුවඳ විලවුන්වල සුවඳ වැඩි දියුණු කිරීම සඳහා ඇම්බ(ර්)ග්‍රීස් යොදා ගැනෙන අතර, ඒවා යොදාගත් සුවඳ විලවුන් කස්තුරි වැනි සුවඳක් හෝ ඇතැම් විට වචනයෙන් පවා විස්තර කිරීමට අපහසු ලාක්ෂණික සුගන්ධයකින් යුක්ත යි. එමෙන්ම මේවා භාවිතයෙන් තනනු ලබන සුවඳ විලවුන්, ඉසීමෙන් පසු දින ගණනාවක් තිස්සේ ද කිසිදු වෙනසක් නොමැතිව සුවඳ විහිදුවන බව පැවසෙනවා. එහෙයින් මෙම සුවඳ විලවුන් මිලෙන් අධික යි.

ඇම්බ(ර්)ග්‍රීස් නිපදවීමට මුල් වෙන ඇම්බ්‍රීන් රසායනිකයේ අණුක සැකැස්ම/acs.org/

ඇම්බ(ර්)ග්‍රීස්වල තිබෙන සුවිශේෂී සහ ආවේණික සංඝටක මෙන්ම ඒවායේ තිබෙන දුර්ලභත්වය නිසා ඇම්බර්ග්‍රීස් ග්‍රෑම් කිහිපයක පවා වටිනාකම ඩොලර් දහස් ගණනක් විය හැකි යි. කොතරම් මිල අධික වුණත්, බොහෝ සුවඳ විලවුන් නිෂ්පාදකයන් මෙම ද්‍රව්‍ය මිල දී ගැනීමට දැඩි උනන්දුවක් දක්වනවා. එම නිසා මහ සයුර සමග ඔට්ටු වෙන ධීවරයන්, මෙම තල්මස් වමනය “පාවෙන රත්‍රන්” ලෙසත් හැඳින්වීම පුදුමයට කරුණක් නොවේ. බොහෝවිට මේවා සැබෑ රත්‍රන්වලටත් වඩා මිල අධික යි.

නීතිමය තත්ත්වය

ඇම්බ(ර්)ග්‍රීස් තවමත් ලෝකයේ අලෙවි කළ හැකි මට්ටමේ ද්‍රව්‍යයක් වුණත්, ඒවා එකතු කිරීම සඳහා ස්පර්ම් තල්මසුන් දඩයම් කිරීම හෝ ලුහුබැඳීම නීති විරෝධී ක්‍රියාවක්. ඇත්ත වශයෙන්ම ස්පර්ම් තල්මසුන් කියන්නේ වඳවීමේ තර්ජනයට ලක්වූ සත්ත්ව විශේෂයක්. ඒ නිසා ලෝකයේ බොහෝ රටවල් මෙම සත්ත්වයා ආරක්ෂිත සත්ත්වයෙක් ලෙස නම්කර තිබෙනවා. කිසිවෙකු මේ වටිනා ද්‍රව්‍යය අරඹයා මෙම සතුන්ට හානි පමුණුවන්න උත්සහ කළහොත්, ඉන්පසු ගන්නා නීතිමය පියවර ඉතා දැඩි යි. කලකට ඉහත ස්පර්ම් තල්මසුන් විවිධ වාණිජ අරමුණු තකා මහා පරිමාණයෙන් දඩයම් කළ කාලයක් තිබුණා. නමුත් දැන් ඔවුන් ස්වභාවික පරිසරය තුළ බොහෝ දුරට ආරක්ෂිත වී තිබෙනවා. එහෙත් ඔවුන්ගේ ගහණය තවමත් සැලකිය යුතු ආකාරයෙන් වර්ධනය වී නැහැ.

සුවඳ විලවුන් කර්මාන්තය තුළ ඇම්බ(ර්)ග්‍රීස් කියන්නේ බොහොම වටිනා අමුද්‍රව්‍යයක්/ambergris.co.nz/

සියලුම තල්මසුන් සහ ඩොල්ෆින් විශේෂ යුරෝපා සංගම් නීතිය යටතේ දැඩි ලෙස ආරක්ෂා කර ඇති අතර, තල්මසුන් හා සම්බන්ධ නිෂ්පාදන ජාත්‍යන්තරව වෙළඳාම් කිරීම තහනම් කර තිබෙනවා. කෙසේ නමුත්, සතෙකුගේ මළ මූත්‍ර මෙන් නිපදවෙන අතුරු නිෂ්පාදනයක් වන නිසා එක්සත් රාජධානිය හා යුරෝපා සංගමයට අයත් රටවල ඇම්බ(ර්)ග්‍රීස් සැලකෙන්නේ වෙනස් ආකාරයකට යි. ඒ අනුව වඳවීමේ තර්ජනයට ලක්වූ විශේෂවල ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධයෙන් වූ සම්මුතිය යටතට ඇම්බ(ර්)ග්‍රීස් ගැනෙන්නේ නැහැ. එම නිසා මෙම කලාපය තුළ ජීවත්වන්නෙකුට ස්වභාවික අන්දමින් ඇම්බ(ර්)ග්‍රීස් කුට්ටියක් ලැබුණහොත්, එයට‍ අයිතිය කියා පෑමේ අවස්ථාව තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි රටවල දී මෙම තත්ත්වය වෙනස්. 

වර්ෂ 1970 දී වනජීවී ආරක්ෂණ පනත යටතේ ඉන්දියාව ස්පර්ම් තල්මසුන් ආරක්ෂිත සත්ත්වයෙක් ලෙස නම්කර ඇති නිසා එම නීතිමය ආවරණය ඇම්බ(ර්)ග්‍රීස්වලට ද ලැබී තිබෙනවා. ඒ අනුව ඉන්දියාව තුළ ඇම්බ(ර්)ග්‍රීස් වෙළඳාම් කිරීම තහනම් ක්‍රියාවක්. ශ්‍රී ලංකාව තුළත් ස්වභාවික වශයෙන් හමුවූ ඇම්බ(ර්)ග්‍රීස් පවා වෙළඳාම් කිරීම නීතිමය වශයෙන් ගැටලුවලට මුහුණ දීමට සිදුවිය හැකි ක්‍රියාවක්. කලකට ඉහත පුත්තලම ප්‍රදේශයේ සින්නපාඩුවට ආසන්න මුහුදේ සිටි ධීවරයන් පිරිසකට හමුවූ අති විශාල ඇම්බ(ර්)ග්‍රීස් කුට්ටියක් රාජසන්තක වීමේ පුවත රටේ යම් අවධානයකට ලක් වුණා. අදාළ සිදුවීමට බඳුන් වූ ඇම්බ(ර්)ග්‍රීස් තොගය කිලෝග්‍රෑම් 32-33 අතර බරකින් යුක්ත වූ අතර එහි වටිනාකම දළ වශයෙන් රුපියල් කෝටි 50ක් පමණ වූ බවත් කියවෙනවා.

තවත් පුවතකට අනුව මෑත කාලයේ දී කල්පිටිය වෙරළ තීරයට මාසයකට ආසන්න කාලයක් ඇතුළත මියගිය තල්මසුන් සිව් දෙනෙකුගේ සිරුරු ගොඩ ගැසීම වනජීවි නිළධාරීන්ට මහත් ගැටලුවක් වූ කාරණාවක් වුණා. ඔවුන් එකම ආකාරයෙන් මිය ගොස් තිබූ අතර සිරුරු දැඩි ලෙස නරක් වී තිබුණ නිසා ස්ත්‍රී පුරුෂ භාවය සහ කුමන විශේෂයක තල්මසුන් ද යන්න වග හඳුනා ගැනීම අසීරු වුණා. ඔවුන් ඇම්බ(ර්)ග්‍රීස් ලබා ගැනීම සඳහා මරා දැමුණු සතුන්යැ යි මුල දී සැක කළත්, පසුව කළ මරණ පරීක්ෂණවල දී එම තල්මසුන් ඇම්බ(ර්)ග්‍රීස් නිෂ්පාදනය නොකරන වර්ගයක් බව හඳුනා ගත්තා.

ඇම්බ(ර්)ග්‍රීස් මුලදී අප්‍රසන්න දුර්ගන්ධයකින් යුක්ත වුවත්, කාලයත් සමග ඉතා සුගන්ධවත් ද්‍රව්‍යයක් බවට හැරෙනවා/deccanchronicle.com/

ඒ අනුව ඔවුන් ස්වභාවික හේතූන් මත මිය ගිය අයවලුන් බවට නිගමනය කළ හැකි වුවත්, තල්මසුන් සම්බන්ධව නිසි අවබෝධයක් නොමැතිවීම නිසා ඇතැම් මිනිසුන් ඇම්බ(ර්)ග්‍රීස් නිෂ්පාදනය නොකරන තල්මසුන් ද මරණයට පත් කරන බවට තොරතුරු වාර්තා වී තිබෙන බව සඳහන්. මෙය අතිශය කනගාටුදායක තත්ත්වයක්. ඒ නිසාම ස්වභාවිකව හමුවන ඇම්බ(ර්)ග්‍රීස් පවා නීතිමය භාරයට ගැනීම මඟින් මෙම දුලබ ද්‍රව්‍ය පසුපස හඹා යෑමේ උනන්දුව මිනිසුන්ගෙන් ඈත් වීමක් සිදුවිය හැකි යි. එමඟින් මහ සයුරේ විරාජමානව සිටින තල්මස් විශේෂ රැසකගේ ජීවිතය වක්‍රාකාරයෙන් හෝ රැකීම සිදු වෙනවා.

Cover photo: nbcnews.com/

මූලාශ්‍රයයන්: whalefacts.org/

theconversation.com/

indiatimes.com/

divaina.com/

සිළුමිණ පත්‍රයේ පළවූ "මහ මුහුදෙන් මතු වූ වාසනාවේ අවාසනාව" ලිපිය 

Related Articles