Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඊජිප්තුවට සෞභාග්‍යය ගෙනා යෝධ අස්වාන් වේල්ල

නයිල් ගඟේ ජලය ශතවර්ෂ ගණනාවක් පුරාවට ඔහේ ගලාගොස් මුහුදට එකතු විය. වාර්ෂිකව සිදුවන ගඟ පිටාර දැමීම නිසා නයිල් මිටියාවතේ  විශාල ගංවතුරක් ගලන අතර, හැමදාමත් දේපල සහ මිනිස් ජීවිත මෙන්ම විශාල ජල පරිමාවක් ද අපතේ ගියේ ය. දශක ගණනාවක් තිස්සේ ඊජිප්තුවාසීන් ගංගාව මත යැපීම අවමකර ගැනීමට විකල්ප ක්‍රම සොයමින් සිටියහ. මිලියන ගණනක ග්‍රාමීය ඊජිප්තුවරුන්ගේ ජීවනෝපාය වූ ගොවිතැන පවත්වා ගැනීමට නොහැකි තරම් විනාශකාරී ගංවතුර, හා වසර ගණනාවක් පවතින වියළි නියඟයන් පැමිණියේ ය. විකල්පය වූයේ දැවැන්ත වේල්ලක් ඉදිකර නයිල් ගඟේ ජලය රඳවාගැනීම යි.

වර්ෂ 1898 දී ශ්‍රීමත් විලියම් විල්කොක්ස්ගේ මඟපෙන්වීම යටතේ අස්වාන් ලෝ වේල්ල හෙවත් පහළ අස්වාන් වේල්ල ඉදිකරන ලද්දේ එයට ප්‍රතිකර්මයක් විදියට ය. අස්වාන් වේල්ල ගංවතුර – නියං ව්‍යසන චක්‍රයෙන් මිදීමට මාර්ගයක් සැපයුවේ ය. ගංවතුර පාලනය කිරීමත්, කෘෂිකාර්මික අස්වැන්න වැඩිදියුනු කිරීමට ජලය සපයාගැනීමත් මෙය තැනීමේ අරමුණ විය. 

පහළ අස්වාන් වේල්ල 1902 දී නිම කරන ලද අතර, වර්ධනය වෙමින් තිබුනු ඊජිප්තු කපු කර්මාන්තය සහ එහි ජල අවශ්‍යතාවය වැඩිවීම නිසා 1910 සිට 1933 දක්වා කාලය තුළ අස්වාන් පහත් වේල්ල දෙවරක් ඉහළට ඔසවන ලදී. කෙසේ වෙතත්, වාර්ෂික ගංවතුර පාලනය කිරීම සඳහා පහළ අස්වාන් වේල්ල පමණක් ප්‍රමාණවත් නොවූ බව මූලාශ්‍රයයන් සඳහන් කරයි. එසේම, වේල්ල තවත් උස් කිරීමට නොහැකි වූ නිසා, ඊට වඩා විශාල වේල්ලක අවශ්‍යතාව පැනනැගුණි.

පහළ අස්වාන් වේල්ල මිනිස් ශ්‍රමයෙන් ඉදිකරමින්/pinterest.com/pin/570549846532291655/

අස්වාන්හි දෙවන අදියර

පහළ අස්වාන් වේල්ලට නයිල් ගඟේ වාර්ෂික දැවැන්ත ගංවතුර වළක්වා ගත නොහැකි බව ඉහත සඳහන් කළෙමු. ඒ නිසා 1950 දශකයේ දී ඊජිප්තු නායක ගමාල් අබ්දුල් නසාර් නයිල් ගඟ හරහා නව වේල්ලක් ඉදිකිරීමට අදහස් කළේ ය. එය ගංවතුර අවසන් කිරීමට සහ ඊජිප්තුවේ සෑම අස්සක් මුල්ලක් නෑරම විදුලි බලය ගෙන ඒමට තරම් විශාල එකක් විය. ඔහු එක්සත් ජනපදය හා බ්‍රිතාන්‍යයේ මූල්‍ය අනුග්‍රහය දිනාගත් නමුත්, 1956 ජූලි මාසයේ දී සෝවියට් සංගමය සමග සිදුකරන ලද ඊජිප්තු ආයුධ ගනුදෙනුවකින් පසු දෙරටම එම යෝජනාව අවලංගු කරන ලදී. 

ඊට ප්‍රතිචාර වශයෙන් ජනාධිපති නසාර් සිදුකළේ, එතෙක් බ්‍රිතාන්‍යයේ හා ප්‍රංශයේ වෙළඳ සමාගම්වල පාලනය යටතේ තිබූ සූවස් ඇළ ජනසතු කිරීම යි. එමඟින් ඉහළ අස්වාන් වේල්ල ව්‍යාපෘතිය සඳහා වන වියදම් පියවා ගැනීමට ඔහු අදහස් කළේ ය. මෙමඟින් 1956 දී සූවස් ඇල අර්බුදය ඇති විය. ඉන් පෙර ද සූවස් ඇල සම්බන්ධයෙන් ගැටලු පැනනැගී ඇති නමුත් බරපතලම ගැටලුව ඇතිවූයේ මෙසේ යි. ඊශ්‍රායලය, බ්‍රිතාන්‍යය, සහ ප්‍රංශය ඒකාබද්ධ හමුදාමය යුධ මෙහෙයුමකින් සූවස් ඇළ අත්පත්කර ගන්නට උත්සාහ කළ නමුත්, ලෝක දේශපාලන බලපෑම් මත 1957 දී සූවස් ඇළ ඊජිප්තුවටම අයත් විය.

කෙසේ නමුත් ඊජිප්තුවට අහිමි වූ ඇමරිකන් ආධාර වෙනුවට, වේල්ල තැනීමට උපකාර කිරීමට සෝවියට් රුසියාව ඉදිරිපත් විය. වේල්ල තැනුනේ සෝවියට් රුසියාවේ මුදල් හා සම්පත් ආධාර මත ය. 1960 දී තැනීම ඇරඹි එය 1970 දී අවසන් විය.

(මේ සිදුවීම ගැන වැඩිදුර කියවන්න: බලවත් ජාතීන් තුනකට යන-එන මං නැති වූ සූවස් ඇළ අර්බුදය)

මහා නසාර් විල/Flickr

 

නසාර් විල

නසාර් විල යනු 1960 දශකයේ අස්වාන් වේල්ල ඉදිකිරීම මඟින් ඉහළ ඊජිප්තුවේ නිර්මාණය කරන ලද මහා ජලාශය යි. මෙම විල උතුරු සුඩානය තුළට ද විහිදී ඇති අතර, විලේ සුඩාන කොටස “නූබියා විල” ලෙස හැඳින්වේ. එය නියඟ කාලවල දී කෙත්වතුවලට සහ අනෙකුත් මානව අවශ්‍යතාවලට ජලය සැපයීමට මහත් සේ උපකාරී වන සුවිසල් ජලාශයකි. 

මෙම යෝධ ජලාශය සැතපුම් 300ක් දිග සහ සැතපුම් 10ක් පළල ය. මෙහි වපසරිය අක්කර අඩි 136,927,000 කි. මේ සඳහා මූලිකව කටයුතු කළ එවකට සිටි ඊජිප්තු ජනාධිපති ජමාල් අබ්දෙල් නසාර්ට ගෞරවය පිණිස “නසාර් විල” ලෙස ජලාශය නම් කරන ලදී. ජලය එක්රැස්කොට තැබීම සඳහා මිනිසා විසින් සාදන ලද ලෝකයේ විශාලතම ජලාශවලින් එකක් ලෙස නසාර් විල හැඳින්වේ. මේ විල නිසා නයිල් ගඟේ විනාශකාරී ගංවතුර තර්ජනය අවසානයකට ගෙන ඒම, සහ තවත් අක්කර 100,000ක පමණ ඉඩම් වගා කිරීමට හැකි වූ අතර, අක්කර 800,000ක අතුරු භෝග වගකරන්නට ද හැකි විය.

ඉහළ අස්වාන් වේල්ල ඉදිකිරීම

ඊජිප්තුව සහ සුඩානය අතර මායිමේ අස්වාන් වේල්ල ගොඩනැගෙන නිසා එය පෝෂණය වන්නේ දෙරටේම සම්පතක් වන නයිල් ගඟෙනි. මේ සඳහා අසල්වැසි රාජ්‍යයක් වන සුඩානය සමග කොන්දේසි සහිත සාකච්ඡා ගිවිසුමක් ඇතිකරගැනීමට ජනාධිපති ගමාල් අබ්දෙල් නසර් කටයුතු කළේ ය. ඊජිප්තුව සහ සුඩානය 1959 දී එකඟතාවකට පැමිණියේ සුඩානයට ජලය ඝන කිලෝමීටර් 18.5ක් වෙන් කිරීමෙනි. ඉහළ අස්වාන් වේල්ල තැනීමේ දී එක් සැලසුමක් වී ඇත්තේ පහළ අස්වාන් වේල්ලේ ප්‍රයෝජන තවත් පහළින් පිහිටි ප්‍රදේශවලට ලබාදීම ය. පහළ වේල්ලේ දිග මීටර් 1,950ක් වූ අතර මීටර් 22ක් උස විය. එම අවධියේ දී පහළ අස්වාන් වේල්ල ලොව විශාලතම මේසනරි වර්ගයේ වේල්ල වූ අතර එය දේශීයව සොයාගන්නා අස්වාන් ග්‍රැනයිට්වලින් නිමවා ඇත.

එවකට ඊජිප්තු ජනාධිපති ජමාල් අබ්දුල් නසාර්/jrbenjamin.com/

සෝවියට් දේශයේ ණය ආධාර සහ සූවස් ඇළ මාර්ගයෙන් ලැබෙන ආදායම, 1960 දී නසාර්ට අස්වාන් මහා වේල්ලේ වැඩ ආරම්භ කිරීමට ප්‍රවේශය ලබා දුන්නේ ය. වේල්ල ඉදිකිරීම සඳහා ඝන මීටර් මිලියන 57ක් පමණ පස් සහ පාෂාණය භාවිතා කරන ලදී. 1958 දී සෝවියට් සංගමය මේ සඳහා අරමුදල් ලබා දුන්නේ ය. වේල්ල ඉදිකිරීම සඳහා වූ මුළු ආයෝජනය ඩොලර් බිලියන 1 දක්වා ළඟාවිය. 

අස්වාන් මහා වේල්ල නයිල් ගඟ හරහා මීටර් 3,830 (අඩි 12,570ක්) විහිදෙන අතර, උසින් මීටර් 111 (අඩි 364ක්) වේ. 

ඉහළ අස්වාන් වේල්ලේ ප්‍රතිලාභ

අස්වාන් වේල්ල තැනීමෙන් පසු නයිල් ගඟ හරහා සංචාරක කටයුතු සහ ප්‍රවාහනය වැඩිදියුණු කෙරුණු අතර ධීවර කර්මාන්තයට ද වාසි සැලසිනි. ඊජිප්තුවේ බලශක්ති ඉල්ලුමෙන් අඩක් සපයන විදුලි ටර්බයින 12ක් පෝෂණය කිරීම සඳහා ද වේල්ලේ ජලය භාවිතා විය. එම යෝධ සෝවියට් ටර්බයින වාර්ෂිකව කිලෝවොට් පැය බිලියන 10ක පමණ විදුලිය නිපදවන අතර එය ඊජිප්තු ආර්ථිකයට ඉමහත් රුකුලක් විය. ඊජිප්තුවේ බොහෝ ගම්මානවලට විදුලිය ලබාදුන්නේ එමඟිනි.

ඝන අඩි ට්‍රිලියන ගණනක් වන නසාර් විලෙහි ජලය ඊජිප්තුව සහ සුඩානය විසින් බෙදාගෙන ඇති අතර 1984 සිට 1988 දක්වා අප්‍රිකානු නියඟ කාලවල දී එය තීරණාත්මක සාධකයක් විය. ගංවතුර හා නියඟය පිළිබඳ ශතවර්ෂ ගණනාවක් පැරණි ගැටලුව විසඳීම මඟින් නයිල් ගඟේ වේල්ල ඊජිප්තු කෘෂිකර්මාන්තයට විශාල ශක්තියක් ලබා දුන්නේ ය. වේල්ලේ පිරිසිදු, තිරසාර හා පරිසර හිතකාමී බලය නිසා සංචාරක කර්මාන්තය වැඩි දියුණු වී ඇති අතර, අපනයන භෝග සඳහා මංපෙත් විවර කර ඇත. ධීවර නිෂ්පාදනය වැඩි කර ඇති අතර මධ්‍යධරණි මුහුදට නයිල් ජලය අපතේ ගලා යාමෙන් බේරී ඇත.

අබ්දුල් නසාර් සහ සෝවියට් නායක කෘෂෙව්/Wall Street Journal

 

1970 ජූලි 21 වන දින වේල්ල ව්‍යාපෘතිය නිම කරන ලදී. එහෙත් 1971 දී වේල්ල නිල වශයෙන් විවෘත කිරීමට පෙර, 1970 සැප්තැම්බර් මාසයේ දී ජනාධිපති නසාර් හෘදයාබාධයකින් මියගියේ ය. 1971 ජනවාරි 15 වන දින වේල්ල නිල වශයෙන් විවෘත කිරීම සඳහා පීත්ත පටිය කැපීමේ උත්සවයක දී ඊජිප්තුවේ සහ සෝවියට් සංගමයේ ධජ අභිමානවත් ලෙස උඩු ගුවනේ පියාසර කරන ලදී. සමාරම්භක උළෙලට සෝවියට් රාජ්‍ය නායක නිකොලායි පොඩ්ගෝර්නි සහ ඊජිප්තුවේ එවකට ජනාධිපති අන්වර් සදාත් සහභාගී වූහ.

මූලාශ්‍රයයන්:

vikingrivercruises.com

history.com

rfi.fr

water-technology.net

theconversation.com

ice.org.uk

කවරයේ ඡායාරූපය: rfi.fr

Related Articles