සතුටින් ජීවත්වෙන්න අපි හැමෝම කැමතියි. නමුත් පුද්ගලයාගෙන් පුද්ගලයාට, ඔවුන්ගේ සතුටට බලපාන කාරණා වෙනස් වෙනවා. ඇතැමෙක් ජීවිතයේ සතුට තිබෙන්නේ සියලු අවශ්‍යතා සපුරාගත හැකි සුඛෝපභෝගී ජීවිතයක් ඇතුළේ කියලා හිතන අතරේ, තවත් සමහරක් ජීවිතයේ අවශ්‍යතා අඩුවීම මඟින් සතුටින් ජීවත්විය හැකි බව විශ්වාස කරනවා. මේ වගේ එකිනෙකාට අනන්‍ය වූ ජීවිත දර්ශනයක් ඔස්සේ තමන්ගේ ජීවිතයේ සතුට හොයන මිනිසුන් අප අතරේ ඉන්නවා. කොහොම නමුත් අනෙකාගේ නිදහසට බාධා නොවන අයුරින්, මිනිසුන් තමන්ගේ සතුට හොයාගන්නා මාර්ග දෙස මැදහත් සිතින් බැලීමට පුරුදුවීම යහපත් සමාජයක පවතින ලක්ෂණයක් ලෙස හඳුන්වන්න පුළුවන්.
නමුත් අද ලෝකයේ බොහෝමයක් සමාජ ක්රමයන් තරගකාරී වෙලා. සමාජයක් ලෙස ඉදිරියට යාමට හා පවතින ගැටළු සඳහා නව විසඳුම් සොයාගැනීමට මේ තරගකාරී පරිසරය අවශ්‍ය වෙනවා. නමුත් මෙහි අහිතකර පැතිකඩකුත් තියෙනවා. තරගකාරී සමාජ වටපිටාවක වෙසෙන මිනිසුන්ගේ මානසික සෞඛ්‍යය මේ වනවිට ලෝකය පුරා ගැටළුකාරී තත්ත්වයක් බවට පත්ව තිබෙනවා. මානසික ආතතිය, විශාදය, කාංසාව සහ නිතර අනෙකා සමග තමාව සංසන්දනය කර ගැනීම වගේ ගැටළුකාරී මානසික තත්ත්වයන් මේ තරගකාරීත්වය හරහා ඇති වෙන්න පුළුවන්.
ඔබ මීට පෙර ලෝකයේ සතුට මනින දර්ශකයන් ගැන අසා තිබෙනවා ද? ඒ දර්ශකයන් නිරීක්ෂණය කළහොත්, අපට දැකගත හැකි පොදු කාරණාවක් වන්නේ ඒවායේ පළමු ස්ථාන දහය තුළ ස්කැන්ඩිනේවියානු කලාපයේ රටවල් සියල්ලම පාහේ ඇතුළත්ව තිබෙන බව යි. මෙම රටවල් වන්නේ අයිස්ලන්තය, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ස්වීඩනය, සහ නෝර්වේ යන රාජ්‍යයන් කිහිපය යි. පැහැදිලිවම ඔවුන් සියලු ආර්ථික මිනුම් දඬුවලින් ඉහළින්ම සිටින රාජ්‍යයන් වුවත්, එවැනි සාර්ථකත්වයක් අත්කර ගැනීම පිටුපස ඔවුන්ගේ සංස්කෘතීන්වල ආභාෂය ලත් ජීවන දර්ශනයනුත් බලපාලා තියෙනවා. ඒ වගේම එම වටිනාකම් ඔවුන් නවීන සමාජයට බද්ධ කර ගෙන තිබෙනවා. තරගකාරී වටපිටාවක් මැද ඉදිරිගාමී ගමනක යෙදෙන අතරේ, තම මානසික සෞඛ්‍යය යහපත් ලෙස කළමණාකරණය කරගත හැකි වටපිටාවකුත් ඔවුන් මේ හරහා නිර්මාණය කරගෙන තිබෙනවා. ඉතින් මේ ලිපියෙන් ස්කැන්ඩිනේවියානු සංස්කෘතීන්වලට ආවේණික වූ එවැනි ජීවන දර්ශනයන් කිහිපයක් ඔබ හමුවට ගෙන එනවා.
වැඩිත් නැති අඩුත් නැති මැදුම් පිළිවෙත
මේ ජීවන සංකල්පය අපිට හමුවෙන්නේ ස්වීඩන රාජ්‍යයෙන්. ස්වීඩන ජාතිකයින් මෙම ජීවන රටාව හඳුන්වන්නේ ලාර්-ගෝහ්ම් නමිනු යි. මෙහි අරුත “පමණට වඩා අඩුත් නැති, පමණට වඩා වැඩිත් නැති” යන්න යි. මෙම තනි වචනය සමස්ත ස්වීඩනයේ ප්රජාතන්ත්රවාදී සහ සමාජීය ජීවන දර්ශනයම පැහැදිලි කරන තැනක් කියලා අර්ථ නිරූපණය කරන්න පුළුවන්. මෙම සංකල්පය මඟින් මිනිසෙකුගේ මුළු ජීවිත කාලයම සමතුලිතතාවයට මුල්තැන දෙමින් ගතවිය යුතු බව කියැවෙනවා. එනම් සියලු දෙනාටම සියලු දේ තිබිය යුතු බවත්, නමුත් අවශ්‍ය තරමට වඩා තබා නොගැනීමට පුරුදුවිය යුතු බවත්, මෙම සංකල්පයෙන් ස්වීඩන ඔවුන්ට උගන්වනවා. උදාහරණයක් ලෙස, අපගේ වෘත්තීය ජීවිතය සහ පෞද්ගලික ජීවිතය අතර තිබෙන සමබරතාවය මෙම ලාර්-ගෝහ්ම් සංකල්පය ඔස්සේ පවත්වාගෙන යන්න පුළුවන්කම තිබෙනවා. ශ්‍රී ලංකාව වගේ රටක නම් එය සිදුකරන්න පුළුවන් වෙන්නේ තමාගේම උත්සාහයෙන්.
මීට අමතරව අරපිරිමැස්ම, ආතතිය අඩු කිරීම, පාරිසරික අවශ්‍යතා සහ තිරසරබව කෙරෙහි අවධානය යොමු කිරීම ලාර්-ගෝහ්ම්හි අනෙකුත් අංග වෙනවා.
අද දවස තමයි හොඳම දවස
මෙම සංකල්පය හඳුන්වන්නේ Hygge ලෙසට යි. නමුත් උච්චාරණය කිරීමේ දී මෙය “හූ-ගහ්” ලෙස හැඳින්වෙනවා. ඩෙන්මාර්ක් සහ නෝවේර්ජියානු භාෂාවන්ට අනුව “ධෛර්යය ලබාදෙන්න, සතුට සහ සැපවත්බව ලබාදෙන්න” වැනි අර්ථයක් මෙම “හූ-ගහ්” සංකල්පය තුළ තිබෙනවා. ඩෙන්මාර්කයේ දී නම් මෙම සංකල්පය හුදු වචනයක් නොව, ඔවුන්ගේ සංස්කෘතිය තුළ තිබෙන මූලික හරයක් ද වෙනවා. සරලවම මෙම සංකල්පය මඟින් තම සමීපතමයන් සමග සතුටු වෙමින් ජීවිතය විඳින ලෙසටත්, සුළු අවස්ථාව හෝ සැමරීම ඉතා වැදගත් බවත්, ජීවිතයේ ඊළඟ පියවරට කඩිමුඩියේ නොදුවා මේ මොහොත තුළ ජීවත්වීමේ වැදගත්කමත් ඔවුන්ට කියා දෙනවා. අනාගතය ගැන සිහින දැකීම, අරමුණක් වෙනුවෙන් වැඩ කිරීම ඉතා වැදගත් වුණත්, නොඑළඹුණු කාලයක් වෙනුවෙන් මුළු වර්තමානයම කැපකිරීම නිෂ්ඵල ක්‍රියාවක් බව ඩෙන්මාර්ක් වැසියන් ලෝකයට කියලා දෙනවා. සතුටින්, තෘප්තියෙන් හා තමා සමගම සමාදානයෙන් සිටීමට මෙම සංකල්පය තුළින් මිනිසෙක් පුරුදු වෙනවා. එවිට අනවශ්‍ය කරදර අපේ ජීවිතවලින් ඉවත්ව යන්නේ ඉබේටම යි.
ඔවුන් මේ සංකල්පය නිවසට පමණක් සිමා නොකොට බාහිර සමාජයටත් ගෙනයනවා. එවිට කාටවත් හිතෙන්නේ නැහැ තමන් තනි වෙලා කියලා. අවසාන ප්‍රතිඵලය වන්නේ තම නිවසේ හතර මායිම පමණක් නොව අවට මුළු සමාජයම ආරක්ෂිත ස්ථානයක් ලෙස තමාට දැනීම යි.
ලෝකයේ හොඳම ලූ-ක්හා නගරය, කෝපන්හේගන්
ලූ-ක්හා (උච්චාරණය එලෙස වුවත් ඉංග්‍රීසියෙන් එය දක්වන්නේ Lykke වශයෙනි) යන ඩැනිෂ් වචනයේ සරල අර්ථය වන්නේ “සතුට” යන්න යි. ඒ අනුව ලෝකයේ හොඳම ලූ-ක්හා නගරය ලෙස ඩෙන්මාර්කයේ අගනුවර වන කෝපන්හේගන් හැඳින්වෙනවා.
ඩෙන්මාර්ක් වැසියන් ඕනෑම කාර්යයක් උදෙසා නිශ්චිත වේලාවක් අනිවාර්යයෙන් වෙන්කරනවා. උදාහරණයක් ලෙස ඔවුන් හරියටම සවස පහ වෙද්දී රැකියාවේ සියලු රාජකාරි අවසන්කොට පා පැදියෙන් තම නිවෙස් බලා පිටත්වෙනවා. කවුරුවත් අමතර වේලාවක් තම වෘත්තීය ජීවිතය වෙනුවෙන් වැයකරන්නේ නැහැ. අනතුරුව ඔවුන් පැය දෙකක පමණ කාලයක් තම දරුවන් සමග නිර්මාණශීලි ක්‍රීඩාවක නිරතවීමට උත්සුක වෙනවා. උදව් අවැසි අමුත්තෙකු හෝ තම අසල්වැසියා උදෙසා වේලාවක් වෙන්කර ගැනීමට ඔවුන් උනන්දු වෙනවා. දවසේ අවසාන භාගය තුළ ස්කැන්ඩිනේවියානු නවකතාවක් මඳ ආලෝකය මැද රස විඳීමට ඔවුන් ආශා කරනවා. මේ හැමදේකම අරමුණ වන්නේ වෘත්තීය ජීවිතය ද ඇතුළුව, එදිනෙදා කටයුතු සතුටුදායක මට්ටමින් අවසන්කර ගැනීම යි. සරලවම සතුට යනු ගමනාන්තයක් නොව, එය හැමදාම අප හමුවට එන පුරුද්දක් බව මෙම සංකල්පය මඟින් ඩෙන්මාර්ක් වැසියන් ඉගෙනගන්නවා.
ඔබේ ජීවිතයේ භාරකාරත්වය ඇති එකම පුද්ගලයා ඔබ බව සිහිතබා ගැනීම ඉතා වැදගත්. එම ජීවිතය මුළුමනින්ම කාර්යාල මේසය මත හෝ පරිගණක තිරය ඉදිරිපිට හෝ පෞද්ගලික වාහනයේ, බස් රථයේ ගතවීම හිතනවාට වඩා අනර්ථකාරී දෙයක් බව සිතිය යුතු යි. තමන්ගේ ජීවිතය ගමන් කරන මාර්ගය තෝරාගත්තේ තමන්යැ යි නොහැඟේ නම්, කිසිදා යමෙකුට සතුටුවෙන්න බැරි බව ලූ-ක්හා වැනි සංකල්පයන් තුළින් ස්කැන්ඩිනේවියානු ජනතාව ලෝකයට ආදර්ශ සපයනවා.
ඔබේ ඇතුළාන්තය ඔබ හිතනවාට වඩා වැදගත්
ඊළඟට අපි හැරෙන්නේ ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමයක් ඇතැයි සැලකෙන ෆින්ලන්ත රාජ්‍යය දෙසට යි. ඔවුන්ගේ සංස්කෘතියේත් බොහොම අපූරු සංකල්පයක් තිබෙනවා. මෙම සංකල්පය “සී-සූ (Sisu) ලෙස හඳුන්වනවා. මෙය ස්ථීරභාවය සහ අධිෂ්ඨානය පිළිබඳ ආකල්ප අනුගමනය කිරීම සම්බන්ධයෙන් ගොඩනැඟී ඇති සංකල්පයක්. නමුත් සී-සූ නම් වදන සම්පූර්ණයෙන්ම අර්ථ නිරූපණය කළ නොහැකි වන්නේ, මෙම සංකල්පය ෆින්ලන්ත වැසියෙකුගේ අනන්‍යතාවයක් බවට පත්වී තිබෙන නිසා යි. තමන්ට විඳින්න වෙන පාඩුව, වියදම ගැන නොසිතා, ඒ මොහොතේ දී කළ යුතු දේ කළ යුතුම බව සී-සූ සංකල්පයෙන් ෆින්ලන්ත ජනයා තේරුම්ගන්නවා. තවත් අයුරකින් බැලුවහොත්, නොපසුබස්නා අධිෂ්ඨානයකින් යුතුව ජයග්‍රහණය වෙනුවෙන් නොනවතින ගමනක යෙදීමට අවශ්‍ය ඉගැන්වීම් මෙම සංකල්පය තුළින් ෆින්ලන්ත ජනයා උකහාගන්නවා. වර්තමානයේ බොහොම සුවපහසු ජිවන ක්‍රමයක් ෆින්ලන්තයේ තිබුණත්, ඉතිහාසය දෙස හැරී බැලීමේ දී ඔවුන් මෙතනට පැමිණ තිබෙන්නේ බොහොම දුෂ්කරතා මධ්‍යයේ යි. ඉතින් ඔවුන්ගේම සංස්කෘතිය තුළින් එන මේ සංකල්ප ඒ අතීතයේත් සාමකාමී දිවිපෙවතක් උදෙසා ඉවහල් වෙන්නට ඇති.
අප දෙසට මොහොතක් හැරී බලමු
සමහරවිට මේ සංකල්ප දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ වන විටත් අපි අපේ ජීවිත තුළ පිළිපදිමින් සිටිනවා විය හැකියි. නමුත් මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කාරණාවක් තිබෙනවා. ඒ තමයි ස්කැන්ඩිනේවියානු ජීවන සංකල්පයන් සාර්ථක ලෙස සමාජය තුළ පවත්වා ගෙනයාමට එම කලාපයේ රජයන් තම රටවැසියාට දක්වන සහයෝගය. ස්කැන්ඩිනේවියානු රටවල ජනයා තම ආදායමට සාපේක්ෂව අධික බදු ගෙවුවත්, එම බදු මුදල් ඉතා විනිවිදභාවයකින් යුතුව සහ ඵලදායී ලෙස නැවත පුරවැසියාගේම සුබසෙත වෙනුවෙන් යොදවන නිසා මූලික මිනිස් අවශ්‍යතා එම රාජ්‍යයන් තුළ නිරායාසයෙන්ම සාධනීය මට්ටමකින් පවතිනවා.
නමුත් ඇතැම් රටවල මිනිසුන්ට තම මූලික අවශ්‍යතා සපුරාගැනීම යන කාරණාව හමුවේ පවා විශාල අරගලයක් කිරීමට සිදුවී තිබෙනවා. පහළ මට්ටමේ සිට ඉහළ මට්ටම දක්වා තනතුරු දරන්නන් අතර තිබෙන දූෂණ සහ වංචා, අපරාධ, ජාතීවාදී ආගම්වාදී ආකල්ප, සහ අක්‍රමවත් පාලන තන්ත්රයන් සමග නිරන්තරයෙන් ගැටෙන්නට සිදුවන දකුණු ආසියාතික, අප්‍රිකානු රාජ්‍යයන්වල මිනිසුන්ට තම මානසික සතුට තරමක පරිශ්‍රමයකින් ළඟාකර ගත යුතු දෙයක් බවට පත්වෙලා. මෙම අක්‍රමිකතා කෙළින්ම බලපාන්නේ රටක දළ දේශීය නිෂ්පාදිතය, සමාජ සහයෝගීතාවය, සෞඛ්‍යය සේවාවේ කාර්යක්ෂම බව, ජීවිතය පිළිබඳ තීරණ ගැනීමේ නිදහස, විනිවිදභාවය වැනි යහපත් සමාජීය වටපිටාවක් ගොඩනැඟීමට උරදෙන සාධකවලට යි. කොහොම නමුත් හැකි ලෙස ඉහත ස්කැන්ඩිනේවියානු ජීවන දර්ශනයන් අපට ගැලපෙන ලෙස භාවිතාවට ගැනීම එතරම් අපහසු දෙයක් නොවෙයි. මෙම ජීවන සංකල්පයන් විශේෂිත නම් යටතේ නොවුණත්, අපගේ සංස්කෘතීන් තුළත් ගැබ්වී තිබෙනවා විය හැකියි.