අඳුරු මහද්වීපය ලෙසින් හඳුන්වන අප්‍රිකා මහද්වීපය තුළ ඉතියෝපියාව පිහිටා තිබෙනවා. වර්ග කිලෝ මීටර් ලක්ෂ 11ක පමණ භූමි ප්‍රදේශයකින් යුත් ඉතියෝපියාව තුළ විවිධ ගෝත්‍ර 86ක් පමණ ජීවත්වෙනවා. ඒ අතරින් ඉතියෝපියාවේ වැඩියෙන් ම සිටින්නේ ඔරොමෝ සහ අම්හාරා යන ගෝත්‍රයන්ට අයත් වන ජනතාව යි. ඉන් ඔරෝමෝ ගෝත්‍රික ප්‍රතිශතය 34.6%ක් ලෙසින් සටහන් වෙද්දී අම්හාරා ගෝත්‍රික ප්‍රතිශතය 27.1% ලෙසින් දැක්වෙනවා.
එලෙස ගෝත්‍රික ජනතාව බහුලව ජීවත් වන ඉතියෝපියාව දුප්පත්, අසුන්දර රටක් ලෙසින් හංවඩු ගැසීමට බොහෝ දෙනකු පුරුදු ව සිටිනවා. දිගු ඉතිහාසයක් තිබෙන ඉතියෝපියාව ආශ්‍රිත ව සුන්දර ස්ථාන රාශියක් පිහිටා තිබෙනවා. මෙතැන් සිට ඔබට කියන්න යන්නේ ඉතියෝපියාවට යන සංචාරකයකුට දැක බලා ගන්නට පුළුවන් අපූරු ස්ථාන පිළිබඳ තොරතුරු යි.
1) ලලිබෙලා පැරණි නගරය
1187 වසරේ දී මුස්ලිම්වරුන් ජෙරුසලම අල්ලා ගැනීම නිසා කිතුනුවන්ට ශුද්ධ භූමිය වන්දනා කිරීමට ඉඩක් ලැබුණේ නැහැ. එනිසා ලලිබෙලා නම් රජතුමා ජෙරුසෙලමට සමාන අයුරින් ඉතියෝපියාවේ ජෝර්දාන් නදිය අසබඩ “ලලිබෙලා” නම් භූගත නගරය ඉදි කළා. එය ලස්ටා කඳුකරයේ මීටර් 2600ක පමණ උසකින් පිහිටා තිබෙනවා. ලලිබෙලා නගරය සම්පූර්ණයෙන් ම ඉදිකර අවසන් කිරීම සඳහා වසර 24ක් පමණ ගතවුණු බව පැවසෙනවා. ඒ අනුව 13 වන සියවසේ දී මෙම නගරයේ වැඩ නිමා කරන්නට ඇති බව අනුමාන කරනවා.
අඩි 100ක් පමණ ගැඹුරින් ඉදිකර තිබෙන නගරය තුළ පල්ලි කිහිපයක් දක්නට ලැබෙනවා. එම අලංකාර පල්ලි සෑදීම සඳහා ගිනිකඳු පාෂාණ භාවිත කොට තිබෙනවා. එසේම නගරය තුළ භූගත මාර්ග පද්ධතියක් සහ සැඟවුණු ගුහා ද දක්නට ලැබෙනවා. එම යුගයේ පූජකවරුන් සහ පල්ලිවල සේවය කළ උදවිය දිගට ම භූගත පල්ලිවල ජීවත් වුණා. එකල සැලකිය යුතු බැතිමතුන් ප්‍රමාණයක් ආගමික කටයුතු සඳහා දිනපතා ම පල්ලිවලට පැමිණියා. එනිසා එම යුගයේ දී ලලිබෙලා නගරය බැතිමතුන්ගෙන් පිරී පවතින්නට ඇති බව අනුමාන කරනවා.
ඒ අයුරින් බොහෝ කාලයක් බැතිමතුන්ගේ වන්දනාමානයට ලක්වුණු ලලිබෙලා නගරයේ ගල් පල්ලි පසු ව ජනශූන්‍ය වුණා. නමුත් ලලිබෙලා නගරයේ ඓතිහාසික වැදගත්කම පිළිබඳ ව වටහාගත් ඉතියෝපියානු රජය එය සංරක්ෂණය කිරීමට කටයුතු කළා. එනිසා අද වන විට ලලිබෙලා නගරය සංචාරක පුරවරයක් බවට පත්ව තිබෙනවා. යුනෙස්කෝ සංවිධානය 1978 වසරේ දී මුල්ම වරට නම් කරන ලද ලෝක උරුමයන් 12 අතරට ලලිබෙලා භූගත නගරය ද ඇතුළත් කළා.
2) සිමියන් ජාතික උද්‍යානය
1969 වසරේ දී ආරම්භ කෙරුණු සිමියන් ජාතික උද්‍යානය, උතුරු ඉතියෝපියාවේ අම්හාරා ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. මුහුදු මට්ටමේ සිට මීටර් 3600ක පමණ උසකින් පිහිටා තිබෙන මෙම උද්‍යානයේ වාලියා අයිබෙක්ස් එළුවන්, ඉතියෝපියානු වෘකයන්, ජෙලඩා බැබුන් වැනි දුර්ලභ සත්ත්ව විශේෂයයන් දැකගන්නට පුළුවන්.
එසේම මෙම උද්‍යානය තුළ දී එරිකා, ලොබෙලියා වැනි අලංකාර ශාක විශේෂත්, ඉතියෝපියාවට ආවේණික තෘණ විශේෂත් දැකගන්නට පුළුවන්.
මෙම වනෝද්‍යානයේ සුන්දරත්වය තවත් වැඩිවී තිබෙන්නේ එහි පිහිටි සිමියන් කඳුවැටිය නිසා යි. එම කඳුවැටියේ උස ම කඳු මුදුන වන රාස් ඩෂෙන් මීටර් 4553ක උසකින් යුක්ත යි.
සුන්දර ස්ථාන රැසක් පිහිටා තිබෙන මෙම ජාතික උද්‍යානය තුළ දුර්ලභ සතුන් සහ ශාක ද දක්නට ලැබෙන නිසා ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යුනෙස්කෝ සංවිධානය තීරණය කළා.
3) නිල් නයිල් දිය ඇල්ල
ලොව දිගම ගංගාව වශයෙන් සැලකෙන නයිල් අප්‍රිකානු මහද්වීපයේ පිහිටා තිබෙනවා. සුදු නයිල් සහ නිල් නයිල් යන ගංගා දෙකේ එකතුවෙන් සෑදෙන නයිල් ගංගාව කි.මී 6,650ක් දුරට රටවල් 11ක් හරහා ගලා බසිනවා. නයිල් ගඟ පෝෂණය කරන නිල් නයිල් ගංගාව ඉතියෝපියාවේ ටානා විලෙන් ආරම්භ වනවා.
එම ගංගාවට සුදු නයිල් ගංගාව හමුවන්නේ සුඩානයේ කාර්ටුම් නගරය අසල දී යි. එලෙස ටානා විලේ සිට කාර්ටුම් දක්වා ගලා බසින නිල් නයිල් ගංගාවෙන් අපූරු දිය ඇලි නිර්මාණය වී තිබෙනවා. ඒ අතුරින් වඩාත් ප්‍රසිද්ධ දිය ඇල්ල වන්නේ නිල් නයිල් ඇල්ල යි.
ටානා විලේ සිට කිලෝ මීටර් 30ක පමණ දුරකින් පිහිටා තිබෙන නිල් නයිල් දිය ඇල්ල ඉතියෝපියාවේ තිබෙන වඩාත් සුන්දර ස්ථානවලින් එකක්. මීටර් 42ක උසකින් යුත් මෙම දිය ඇල්ල වඩාත් සුන්දර අයුරින් දිස්වන්නේ හොඳින් වර්ෂාව ලැබෙන කාලයට යි. වර්ෂා කාලයට ඇල්ලේ ජල ප්‍රමාණය වැඩි වීමත් සමඟ ම ඇල්ලෙන් පහළට ජලය වැටෙද්දී විශාල දුරකට වතුර විසිරී යාම නිසා දුමාරයක් ඇති වනවා.
එනිසා එරට ස්වදේශික ජනතාව මෙම දිය ඇල්ල මහා දුමාරය යන නමින් හඳුන්වනවා. නිල් නයිල් ඇල්ලට පහළින් පිහිටා තිබෙන ගල් පාලම සංචාරක ආකර්ෂණය දිනාගෙන තවත් ස්ථානයක්. 1626 වසරේ දී සුසිනියොස් අධිරාජ්‍යයාගේ අණ පරිදි ඉදිකළ එම පාලම ඉතියෝපියාවේ පැරණිත ම ගල් පාලම ලෙසින් සැලකෙනවා.
4) ගොන්ඩාර් රාජකීය නගරය
සියවස් ගණනාවක් පුරා විවිධ රජවරුන් සහ රැජනන් යටතේ පාලනය වුණු ඉතියෝපියාව තුළ තවමත් රාජකීය යුගවලට අයත් නටබුන් ඉතිරි ව තිබෙනවා. උතුරු ඉතියෝපියානු උස්බිම්වල පිහිටා තිබෙන පැරණි ගොන්ඩාර් නගරය ඒ වගේ ස්ථානයක්. 17 වන සියවසේ දී ඉතියෝපියාව පාලනය කළ ෆාසිල් නම් රජතුමා 1636 වසරේ දී ගොන්ඩාර් එරට ස්ථීර අගනුවර ලෙසින් ප්‍රකාශයට පත් කළා. ඉන් අනතුරුව මෙම නගරය ආශ්‍රිතව රාජකීය මාලිගා රැසක් නිර්මාණය වුණා.
එහි උසස් ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම භාවිත කරමින් දේවස්ථාන සහ ගොඩනැඟිලි නිර්මාණය වුණා. ඒ විදිහට නිර්මාණය වුණු දේවස්ථාන අතුරින් වඩාත් ප්‍රසිද්ධියට පත්වුණේ ඩෙබ්‍රේ බිර්හාන් සෙලාසි නම් දේවස්ථානය යි. එදා ඉතියෝපියානු රාජකීයයන් ජීවත් වුණු ගොන්ඩාර් රාජකීය නගරයේ නටබුන් අදටත් ඉතිරි ව තිබෙනවා. මෙම අපූරු නගරයේ තිබෙන වටිනාකම පිළිබඳව තේරුම් ගත් යුනෙස්කෝ සංවිධානය 1979 වසරේ දී එය සංස්කෘතික ලෝක උරුමයක් ලෙසින් ප්‍රකාශයට පත් කළා. එදා සිට යුනෙස්කෝ සංවිධානය යටතේ නඩත්තු වන මෙම ඓතිහාසික නගරය සංචාරකයන් අතර වඩාත් ජනප්‍රිය ස්ථානයක් බවට පත්ව තිබෙනවා.
5) යබෙලෝ ජාතික වනෝද්‍යානය
ඉතියෝපියාවට යන සංචාරකයකුට පක්ෂීන් නැරඹීමට තිබෙන හොඳ ම ස්ථානය වන්නේ යබෙලෝ ජාතික වනෝද්‍යානය යි. දකුණු ඉතියෝපියාවේ ඔරොමියා ප්‍රදේශයේ ආරක්ෂිත කලාපයක පිහිටා තිබෙන එම ජාතික වනෝද්‍යානය මුහුදු මට්ටමේ සිට මීටර් 1700ක පමණ උසකින් පිහිටා තිබෙනවා.
මෙම වනෝද්‍යානය තුළ දී විශේෂ කාබනික රතු පස් විශේෂයක් දැකගන්නට පුළුවන්. සැවානා ශාක පද්ධතියක් දක්නට ලැබෙන මෙහි අතරින් පතර දැවමය වටිනාකමකින් යුත් ශාක දක්නට ලැබෙනවා. ඉතියෝපියාවේ තිබෙන ප්‍රධානත ම ජාතික වනෝද්‍යානයක් වන මෙහි පක්ෂීන් ඇතුළු සත්ත්ව විශේෂ රැසක් ජීවත් වනවා.
වර්තමානය වන විට මෙම වනෝද්‍යානයෙන් කුරුළු විශේෂ 210ක් පමණ හමු වී තිබෙනවා. ඉන් වර්ග 62ක් සෝමාලි-මසායි කුරුළු විශේෂ ලෙසින් හඳුනා ගෙන තිබෙනවා. ඒ අනුව ඉතියෝපියානු බුෂ් කපුටා, ග්‍රෝස්බික් කැනරි, ටයිටා ෆැල්කන්, වුල්ටුරින් ගිනි කුරුල්ලා, සෝමාලි ගේ කුරුල්ලා, පැස්බරා වැනි පක්ෂි විශේෂ මෙහි වාසය කරනවා.
ඊට අමතරව සීබ්‍රා, කුඩු, ගැසල් සහ ඩික් ඩික් ඇතුළු ක්ෂීරපායි සත්ත්ව විශේෂ 25ක් පමණ මෙහි දී දැකගන්නට පුළුවන්. එනිසා සෑම වසරක ම වාගේ සැලකිය යුතු තරම් සංචාරකයන් පිරිසක් යබෙලෝ ජාතික වනෝද්‍යානය නැරඹීම සඳහා පැමිණෙනවා.