ගාමිණී ෆොන්සේකාගේ “පරසතු මල්” චිත්‍රපටිය බැලුවනම් එහි බොනී මහත්නයා වාසය කරන ගම්භීර මන්දිරය කවදාවත් ඔබට අමතක වෙන්න විදිහක් නැහැ. පරසතුමල් චිත්‍රපටියේ රූගත කිරීම් කළේ මේ වලව්ව තුළ දී. ඒ වගේම ගම්පහ ප්‍රදේශයේ වාසය කරන කවුරුත් ආණ්ඩුවේ රාජකාරි ඉටුකර ගන්න යන්නෙ මේ වලව්වට. එයට හේතුව ගම්පහ කච්චේරිය පිහිටා ඇත්තේ එහි වීම නිස යි.
අග්‍රා වලව්ව
ගම්පහ නගරයේ සිට කොළඹ පාරේ කිලෝ මීටර් 2ක් පමණ දුරින් පොල් වත්තක් මැද පිහිටි තේජවන්ත දෙමහල් මන්දිරය අග්‍රා වලව්ව යි. දැන් එම පොල් වත්තේ විවිධ කාර්යාල ඉදි කර ඇති නිසා කලකට පෙර තිබූ නිස්කලංක වටපිටාව නම් දැකගැනීමට අපහසු යි. දැන් මේ භූමිය පවතින්නේ ආණ්ඩුවේ දේපළක් ලෙස යි. මේ මැදුරේ හිමිකරුවන් ලෙස විරාජමාන ව දිවි ගෙවූ පරම්පරාව අද ඔවුන්ගේ එම උරුම බිමේ දැක ගැනීමට නැහැ. අතීතයේදී මෙම මැදුරට අයිතිව පොල් වත්තට අමත රව විශාල රබර් වත්තක් ද පැවති බව පැවසෙනවා.
මීට වසර සියයකට පමණ ඉහතදී මෙය ඉදිකර ඇත්තේ ඩී. ඩේවිඩ් කරුණාරත්න නමැති ව්‍යාපාරිකයාගේ නිවස ලෙස යි. ප්‍රකට වැවිලිකරුවකු වූ ඔහු තම ව්‍යාපාරික නාමය සමාජයේ රඳවා ගැනීමට යහපත් කටයුතු කිරීමට කැමැත්තක් දැක්වූවා. ඔහු ඉදිකරවූ මෙම දෙමහල් මන්දිරය පළාතේ ම කතාබහට ලක්වනවා. ඒ කාලේ මෙය ඉක්මවා යන මන්දිරයක් ගම්පහ අවට තිබී නැහැ. ඩේවිඩ් කරුණාරත්න මෙරටට නිදහස ලැබීමෙන් පසු පාර්ලිමේන්තුවේ ගම්පහ නියෝජනය කළ ප්‍රථම මන්ත්‍රීවරයා යි.
ගම්පහ මූලික රෝහල පිහිටුවීමට මෙන්ම රත්නාවලී බාලිකා විද්‍යාලය ඉදිකිරීමටත් ඔහු ධනය පරිත්‍යාග කර තිබෙනවා. මන්දිරය ඉදි කොට ඇත්තේ ඉන්දියානු හා යුරෝපීය ගෘහ නිර්මාණ හා කැටයම් ශිල්පයට අනුව ඉන්දියානු ශිල්පීන් විසින් බවයි පැවසෙන්නේ. කරුණාරත්න ඉන්දියාවේ කළ සංචාරයකදී දුටු කැටයම් කලාව ගැන ලොකු ඇල්මක් ඔහු තුළ හට ගන්නවා. ඉන්පසු ඉන්දියානු කැටයම් ශිල්පීන් හා ගෘහ නිර්මාණ ශිල්පීන් පිරිසක් මෙරටට ගෙන්වා මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම අරඹා තිබෙනවා
1920 දශකයේ අවසානයේ ඉදිකිරීම් ආරම්භ කළ මේ ගොඩනැගිල්ල 1930 දශකයේදී මුල දී ඉදිකිරීම් අවසන් කොට ඇති බව පැවසෙනවා. කරුණාරත්න සහ ගනේමුල්ලේ ජයකොඩි වලව්වේ හිමිකරු වූ ගේබ්‍රියෙල් ජයකොඩි සමඟ නිවෙස් ඉදිකිරීම් සම්බන්ධව අප්‍රකාශිත තරගයක් පැවති බව පැවසෙනවා. දෙදෙනා ම එකම කාලයේ වලව් දෙකක් තැනීම ආරම්භ කරනවා. ඉන්දියානු ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රම යොදාගෙන තමයි මේ වලව් දෙක ම තනන්නේ. අවසානයේ “අග්‍රා”ට ජය හිමිවූ බව තමයි අපට පෙනෙන්නේ.
මෙම මන්දිරය මුල් කාලයේදී හඳුන්වා ඇත්තේ කරුණාරත්න වලව්ව කියා යි. නමුත් මන්දිරයට තබා තිබුණේ අග්‍රා යන නම යි. එය අද හැඳින්වෙන්නේත් ‘අග්‍රා මන්දිරය’නමින්. එයට අග්‍රා යනුවෙන් නම් තැබූ හේතුව ගැන නම් විස්තර සොයාගැනීමට අපහසු යි. සමහරුන් පවසන්නේ මැදුර තැනීමට ශිල්පීය තාක්ෂණය ලබා ගත්තේ ඉන්දියාවේ අග්‍රා ප්‍රදේශයේ ශිල්පීන්ගෙන් නිසා ඒ නම යොදා ගත් බව යි. අග්‍රා මන්දිරය ඉදිකිරීම පිණිස මෙරටට පැමිණි ඉන්දියානු කැටයම් ශිල්පීන් හා ගෘහනිර්මාණ ශිල්පීන්, කොළඹ විශ්වවිද්‍යාලයට අයත් කොලේජ් හවුස් ගොඩනැගිල්ල හා කොළඹ ශ්‍රාවස්ති මන්දිරය ද තනා ඇති බව කියවෙනවා.
පසුගිය කාලයේ කිහිප වරක් මෙහි අද්භූත කාන්තා රූපයක් සැරිසැරූ බව කච්චේරියේ සේවකයන් පවසනවා. නමුත් ඒ කුමක් ද යන්න ගැන නම් කවුරුත් නිශ්චිත අදහසක් පළ කරන්නේ නැහැ.
දානපති ඩී. ඩී. කරුණාරත්න
ගම්පහ ජිවත්වූ ඩී.ඩී කරුණාරත්න හෙවත් මෙනේරිපිටිය අප්පුහාමිලාගේ දොන් ඩේවිඩ් කරුණාරත්න පොල් මෙන්ම රබර් වතු හිමි ධනවතෙක් වුණා. ව්‍යාපාරික කරුණාරත්න රබර් හා පොල් ඉඩම් විශාල ප්‍රමාණයක් හිමි වැවිලිකරුවකුත් වූණා. එවකට තිබූ ප්‍රකට ගම්පහ බැන්ඩියමුල්ල පොල්මෝලේ හිමිකරුවා ද ඔහු යි. කීර්තිමත් සමාජ සේවකයකු හා දානපතියකු වූ ඔහු ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය පිහිටුවීමටත්, ගම්පහ දිස්ත්‍රික් රෝහල පිහිටුවීමටත් මුල් වී තිබෙනවා. 1945 දී රත්නාවලී බාලිකාවේ මුල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල තබා ඇත්තේ ද ඔහු යි.
ඔහු වර්ෂ 1946 සැප්තැම්බර් මස 06 වන දින පිහිටවූ එක්සත් ජාතික පක්ෂයේ ආරම්භක සාමාජිකයකු වුණා. 1947 දී පැවැත්වූ ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ගම්පහ ආසනයට තගර කර වලංගු ඡන්ද 11786 ක් ලබාගෙන ඔහු පාර්ලිමේන්තුවට තේරි පත් වෙනවා. ඔහුට චන්ද්‍රා චාලට් සහ ඊඩීත් නම්වු දියණියන් දෙදෙනකු සිටියා. ඒ දෙදෙනාගෙන් චන්ද්‍රා දිවුලපිටිය ජයකොඩි පවුලේ සාමාජිකයකු මෙන් ම හිටපු ශ්‍රීලනිප අමාත්‍ය ලක්ෂ්මන් ජයකොඩිගේ ඥාතියකු වූ ද පර්සි චන්ද්‍රසෝම ජයකොඩි සමඟ විවාහ වුණා. ඔහු 1960 දී එක්සත් ජාතික පක්ෂයෙන් දිවුලපිටිය ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියා. ඊඩීත් විවාහවූයේ එවකට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයකු වූ කොළඹ 07 හෝර්ටන් පෙදෙසේ පදිංචිව සිටි ඒ.ඊ .සී.ඩී එස් ගුණසේකර සමඟ යි. ඔහු මියයන්නේ 1971 දි යි. දියණියන් දෙදෙනාගෙන් ඊඩීත් පළමු වද චන්ද්‍රා ජයකොඩි වර්ෂ 2006 දී ද මියගිය අතර පිරිමි දරුවකු නොමැති කරුණාරත්න පරපුර ඒ සමඟ අභාවයට ගොස් තිබෙනවා.
ගම්පහ නගරයට සමීපව සණස ගොඩනැගිල්ල ඉදිවන තැන ඩී. ඩී. කරුණාරත්නගේ සොහොන් කොත දක්නට ලැබෙනවා. කළුගලින් කළ කුඩා ගොඩනැගිල්ලක් වැනි එය දේශීය වාස්තු විද්‍යාත්මක ලක්ෂණ අනුව තනා තිබෙනවා. කොරවල් ගල්, සඳකඩ පහණ ආදී කැටයම් එහි දැකගත හැකියි.
වලව්වේ ලී කැටයම් අලංකරණ
මන්දිරය ඉදිරිපස ඇත්තේ අලංකාර වතුර මලක්. එය දේවදූත ප්‍රතිමාවක් සහිත යි. වලව්වේ උඩුමහලට නගින පියටගැට පෙළේ සහ එහි දැව භාණ්ඩවල ඉතා අලංකාර දැව කැටයම් දකින්න පුළුවන්. එහි අත්වැට ද අලංකාර කැටයමින් සරසා තිබෙනවා. පියගැට පෙළ දෙපස බිත්තිවල සියුම් කැටයමින් යුත් රාමු සහිත කණ්නාඩි සවිකර තිබෙනවා. මෙහි ඇති කුලුනු කරවිල, වැටකොළු, දඹල වැනි එළවළු වර්ග සහිත කැටයම්වලින් නිමවා ඇති අතර සෑම කාමරයක ම වහලයෙහි සිවිලිම ද අලංකාර කැටයම්වලින් සරසා තිබෙනවා.
අගනා කැටයම් සහිත ගෘහ භාණ්ඩ ද තවමත් වලව්වේ දකින්න පුළුවන්. මෙහි කණ්ණාඩි මේස හා අල්මාරිවල ඇති කැටයම් ජනතාව අතර ප්‍රචලිත කතා පුවත් නිරූපණය කරනවා. කුඩා දරුවකු නාන බේසම අසලට එන නාගයකුට මුගටියකු පහරදීම, නරියා සහ මිදිවැල මෙන්ම, කපුටා සහ කේජු කැබැල්ල ආදී කතා පුවත් ඒවායේ දකින්න පුළුවන්.
මේ කැටයම්වල දේශීය ආභාෂයක් නම් නැහැ. යුරෝපීය බලපෑම තමයි පෙනෙන්නේ. ගොඩනැගිල්ලේ සිවිලිම ද අලංකාර කර ඇත්තේ විවිධ මල්කම් කැටයම්වලින් සහ මිදිවැල් මෝස්තරවලින්. උඩුමහලට නඟින පියගැටපෙළහි බිත්ති කැටයම්වල අලංකාර වීදුරු කණ්ණාඩි රාශියක් ම එක්කර තිබෙනවා.
මෙහි දැව නිර්මාණවලට බහුල ව යොදා ගෙන ඇත්තේ රැංගුන් තේක්ක හා බුරුම තේක්ක වැනි පිටරටින් ගෙන්වූ වටිනා දැව වර්ග යි. ගෙබිම සරසා තිබෙන්නේ අලංකාර මෝස්තරවල පිඟන්ගඩොල්වලින්.
මෙහි අයිතිය සඳහා අධීකරණ කටයුතු පැවති අතර පසුව එය ආණ්ඩුවට පවරාගෙන තිබෙනවා. එසේ පවරා ගන්නා විට එහි අගනා ලී කැටයම්, ගෘහ භාණ්ඩ ආදියත් තිබුණා. 1978 දී සිට ගම්පහ කච්චේරිය හෙවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලෙසින් එය භාවිත කරනවා.
පරසතු මල්
ලංකාවේ සිනමා ඉතිහාසයේ විශිෂ්ටත ම සිනමා පටයක් පරසතුමල් තිරගත වුණේ වර්ෂ 1966දී යි. චිත්‍රා බාලසූරිය නිෂ්පාදනය කොට ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කර ප්‍රධාන චරිතය රඟපෑ “පරසතු මල්” චිත්‍රපටයේ බොහෝ ජවනිකා රූපගත කර ඇත්තේ අග්‍රා වලව්වෙ යි. එහි පිටගැට පෙළ බැස එන බොනී මහත්තයාගේ රූප රාමුව සිංහල චිත්‍රපට ඉතිහාසයේ විශිෂ්ට සලකුණක් සේ සැලකෙනවා. මේ චිත්‍රපටයේ තවත් දර්ශන ගනේමුල්ලේ ජයකොඩි වලව්වේ ද රූගත කොට තිබෙනවා.
අනාගතයේ කටුගෙයක්
වර්තමානයෙහි මෙම මන්දිරය ගම්පහ කච්චේරියේ විවිධ අංශවල කාර්යාල ලෙස සකස් කිරීමට විවිධ වෙනස්කම්වලට ලක් කොට තිබෙනවා. නමුත් මෙහි ඉපැරණි බව රැකගැනීමට මේ දක්වා සිටි රාජ්‍ය නිලධාරින් දැක්වූ උනන්දුව නිසා එහි පෞරාණික බව සුරැකී තිබෙන බව පේනවා.
දැනට ගම්පහ කච්චේරියට සඳහා මහල් ගොඩනැගිල්ලක් අග්‍රා මන්දිරයට යාබදව ඉදි වී තිබෙනවා. එහි කටයුතු සම්පූර්ණයෙන් නිම වූ විට කාර්යාල ගොඩනැගිලි සියල්ල නව පාරිපාලන සංකීර්ණයට රැගෙන යාමට නියමිත යි. ඉන් පසු මෙම මන්දිරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මඟපෙන්වීම යටතේ ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයෙහි පූර්ණ අධීක්ෂණය මත, කෞතුකාගාරයක්, ලෙස සංරක්ෂණය කිරීමට සැලසුම් කොට ඇති බව ප්‍රාදේශීය මහ ලේකම් සුනිල් ජයලත් පසුගිය වසරේ ප්‍රකාශ කර සිටියා.