Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රහස් සඟවා ගත් ඓතිහාසික ස්මාරක: පළමු දිගහැරුම

අදින් වසර දහස් ගණනකට පෙර ජීවත් වූ මිනිසුන් ලෝකයේ විවිධ ස්ථානවල මනස්කාන්ත ගොඩනැගිලි නිර්මාණය කළ බව රහසක් නෙමෙයි. මෙසේ ගොඩ නංවන ලද ඇතැම් නිර්මාණයන් කොතරම් විශිෂ්ට සහ විස්තීර්ණ ද කියනවා නම් ඒවා ගොඩ නැංවූයේ කවුද, කවදා ද, කුමන අරමුණකින් ද යනාදී ගැටලුවලට වගේම එ් සියල්ලටම වඩා වැදගත් කාරණයක් ලෙස එ්වා නිර්මාණය කළේ කෙසේ ද යන පැනයටත් පිළිතුරු ලබා ගැනීම සඳහා විද්‍යාඥයන් සියවස් ගණනක් තිස්සේ නොනවතින උත්සාහයකට යෙදී සිටිනවා.

(fairport.org)

සාමාන්‍ය පුද්ගලයන් ද මේ සම්බන්ධයෙන් විවිධ අදහස් ඉදිරිපත් කර ඇති අතර එයින් ඇතැම් සිද්ධාන්තයන් ඉතාමත් ප්‍රායෝගික ඒවා යි. අනෙක් න්‍යායන්ට අනුව එම ගොඩනැගිලි ඉදි කිරීම සඳහා පෘථිවිවාසීන්ට අවැසි තාක්ෂණය හිමි වී ඇත්තේ වෙනත් ග්‍රහලෝකයන්ගෙන්. සියවස් ගණනක් තිස්සේ පිළිතුරු නොලද, රහස් සඟවාගෙන සිටින ඓතිහාසික ස්මාරක කිහිපයක් ගැන තොරතුරු යි මේ.

ස්ටෝන්හෙන්ජ් – එංගලන්තය

(forteanlondon.blogspot.com)

එංගලන්තයේ විල්ෂයර් ප්‍රාන්තයේ පිහිටා ඇති සෝල්ස්බරි නම් නගරයේ උතුරු දෙසට වන්නට තැනිතලා බිමක් මත ගොඩ නංවා ඇති දැවැන්ත ශෛලමය ස්මාරක සමූහයක් ස්ටෝන්හෙන්ජ් යනුවෙන් හඳුන්වනවා. පුරාවෘත්තයන් හි සඳහන් වන ආකාරයට එය ගොඩ නංවා ඇත්තේ මායාකාරයෙකු වූ මර්ලින් විසින්. නමුත් විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු වී ඇති ආකාරයට ස්ටෝන්හෙන්ජ් ගොඩ නංවා ඇත්තේ ආතර් රජුගේ රාජ්‍ය සමයටත් බොහෝ කලකට පෙර යි.

කවයක ආකාරයෙන් පිහිටා ඇති ස්ටෝන්හෙන්ජ් ගල් කුළුණු අඩි 13 ක පමණ උසකින් සහ අඩි 7 ක පමණ පළලකින් යුතු වන අතර ටොන් 25 ක් පමණ බරකින් යුතු වන බව පැවසෙනවා. එසේ ම එය ගොඩ නැංවීම අදියර තුනක් යටතේ සිදු කර ඇති අතර දැවයෙන් නිර්මිත මුල් කවය ගොඩ නංවා ඇත්තේ ක්‍රිස්තු පූර්ව 3,000 ට පෙර යි. පසු ව ක්‍රිස්තු පූර්ව 2,600 දී පමණ දෙවැනි අදියර නිර්මාණය සඳහා ගල් පර්වත යොදාගෙන තිබෙනවා. තුන් වැනි අදියර ක්‍රිස්තු පූර්ව 2,000 පමණ ගොඩ නංවන්නට ඇති බව විද්‍යාඥයින් විශ්වාස කරනවා.

(science.nationalgeographic.com)

එක්සත් රාජධානියේ ඇති ජනප්‍රිය ම මංසලකුණක් ලෙස සැලකෙන ස්ටෝන්හෙන්ජ් ගල් කුළුණු බ්‍රිතාන්‍යයේ සංස්කෘතික සංකේතයක්. එහි සම්පූර්ණ අයිතිය රැජින සතු වන අතර එය නඩත්තු කිරීම සිදු කෙරෙන්නේ ඉංග්‍රීසි උරුමයන්ගේ භාරය මගින්. බ්‍රිතාන්‍ය ආණ්ඩුව මගින් එය 1882 වසරේ දී ජාතික උරුමයක් ලෙස සලකා නෛතික වශයෙන් ආරක්ෂාව සපයන ලද අතර යුනෙස්කෝ සංවිධානය මගින් එය ලෝක උරුමයක් ලෙස නම් කරන ලද්දේ 1986 දී යි.

බාල්බෙක් – ලෙබනනය

(en.wikipedia.org)

බාල්බෙක් යනුවෙන් හැඳින්වන්නේ ඇන්ටි-ලෙබනන් කඳු වැටිය පාමුල ලිටානි ගංගාවේ නැගෙනහිර දෙසට වන්නට ඇති බෙකා නම් නිම්න භූමියේ පිහිටා ඇති, ෆිනීෂියානුවන් විසින් ගොඩ නංවන ලද ඉපැරණි නගරයක්. අදින් වසර 8,000 පමණ පෙර නිර්මාණය කරන්නට ඇතැයි සැලකෙන එය හෙලනිස්තික යුගයේ (මහා ඇලෙක්සාන්ඩර් අධිරාජ්‍යයාගේ මරණයෙන් පසු ව එළැඹි කාල වකවානුව) දී ‘හෙලියෝපොලිස්’ යනුවෙන් හඳුන්වා ඇති අතර එය සම්පූර්ණයෙන් ම පාහේ දේවතාවියන් වෙනුවෙන් කැප කළ දෙවොල් සඳහා වෙන් වී තිබුණා.

(arounddeglobe.com)

බාල්බෙක් නගරය සැලකෙන්නේ පුරාණ රෝම අධිරාජ්‍යයේ පැවති ගෘහනිර්මාණ ශිල්පයේ විශිෂ්ටත්වය පෙන්නුම් කිරීම සඳහා ඇති හොඳ ම නිදර්ශනයක් ලෙස යි. එහි පවතින 2 වැනි සියවස අග දී ගොඩ නංවා අවසන් කරන ලද බකස් දෙවිඳුන්ගේ දෙවොල ගොඩ නැංවීම සඳහා යොදාගෙන ඇති ඇතැම් ගල් කුට්ටි ටොන් 1,000 ක් පමණ බරකින් (ගීසා හි පිරමීඩ ගොඩ නැංවීමේ දී යොදා ගෙන ඇති එක් ගල් කුට්ටියක බර ටොන් 90 ක් පමණ යි) යුක්ත වන අතර එකල මිනිසුන් එවැනි ගල් කුට්ටි ප්‍රවාහනය කළේ කෙසේ ද යන්න අදටත් නොවිසඳුණු ගැටලුවක්.

නිව්ග්‍රේන්ජ් – අයර්ලන්තය

(en.wikipedia.org)

නව ශිලා යුගයේ දී (එනම් ක්‍රිස්තු පූර්ව 3,200 දී පමණ) අයර්ලන්තයේ බොයින් ගංගාවට උතුරු දෙසින් ඇති නිම්න භූමියේ පිහිටා ඇති නිව්ග්‍රේන්ජ් ස්මාරකය, ස්ටෝන්හෙන්ජ් ගල් කුළුණු සහ ගීසා හි මහා පිරමීඩයටත් වඩා පැරණි යි. මීටර් 85 ක විෂ්කම්භයකින් යුතු, මීටර් 13.5 ක් උස දැවැන්ත වෘත්තාකාර ගොඩැල්ලක් වන එහි ඇතුළත ඇති කුඩා කුටිවලට පිවිසීම සඳහා මීටර් 19 ක ශෛලමය මංපෙතක් පවතිනවා. නිව්ග්‍රේන්ජ් ගොඩැල්ල වට කිරීම සඳහා වේදිකා ගැටිගල් 97 ක් යොදාගෙන ඇති අතර එයින් සමහරක් මත මහා ශිලා යුගයට අයත් සංකේතයන් කැටයම් කර තිබෙනවා.

(elhalflashbacks.blogspot.com)

අතීතයේ දී එය කුමන අරමුණක් සඳහා යොදා ගත්තා ද යන්න පිළිබඳ ව තවමත් නිශ්චිත පිළිතුරක් නොමැති අතර පුරාවිද්‍යාඥයින් පවසන්නේ එය ආගමික වශයෙන් වැදගත් ස්ථානයක් හෝ මිය ගිය තැනැත්තන් වන්දනාමාන කිරීම සඳහා යොදා ගන්නට ඇති ස්ථානයක් බව යි. 1993 වසරේ දී යුනෙස්කෝ සංවිධානය මගින් එය ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙනවා.

උතුරු කොකේසස් හි අාදිකල්පික සුසාන කුටි – රුසියාව

(kp.by)

කොකේසස් කඳු වැටිය ආශ්‍රිත ප්‍රදේශයේ පිහිටා ඇති, ක්‍රිස්තු පූර්ව සිව් වැනි සහස්‍රවර්ෂයේ අග සහ ක්‍රිස්තු පූර්ව දෙවැනි සහස්‍රවර්ෂයේ මුල අතර කාලයේ දී ගොඩ නංවන්නට ඇතැයි සැලකෙන නව ශිලා යුගයට අයත සුසාන කුටි සහ ශෛලමය වංකගිරියක්, උතුරු කොකේසස් හි අාදිකල්පික සුසාන කුටි යනුවෙන් හැඳින්වෙනවා. මෙම සුසාන කුටි බොහෝමයක් ඍජුකෝණාස්‍රාකාර හැඩයෙන් යුක්ත ශෛලමය ඒවා වන අතර ඒවායේ මුහුණත සිදුරක් කපා ඇති අයුරු දැක ගත හැකි යි.

ආදිකල්පික ගෘහනිර්මාණ ශිල්පයට අනුව ගොඩ නංවා ඇති මේවා නිර්මාණය සඳහා නිශ්චිත ප්‍රමාණයන්ගෙන් යුතු ගල් කුට්ටි (උදාහරණයක් ලෙස සුසාන කුටියේ කෙළවරට යොදා ගැනීම සඳහා අංශක 90 ක කෝණයක් නිර්මාණය වන ලෙස කපා ඇති ගල් කුට්ටි) යොදාගෙන තිබෙනවා. උතුරු කොකේසස් හි අාදිකල්පික සුසාන කුටි තරමක් දුරට යුරෝපයේ ඇති ස්මාරකවලට සමානකමක් දැක්වුව ද ඒවා ගොඩ නැංවූයේ කවුද යන්න තවමත් සොයාගෙන නැහැ.

ටිකල් – ග්වාතමාලාව

(en.wikipedia.org)

අතීතයේ දී යැක්ස් ම්‍යුටල් යනුවෙන් හඳුන්වන්නට ඇතැයි සැලකෙන, ග්වාතමාලාවේ වැසි වනාත්තරයක් තුළින් හමු වී ඇති නටඹුන් වී ගිය ඉපැරණි නගරයක්, ටිකල් යනුවෙන් නම් කර තිබෙනවා. 1853 වසරේ දී සොයා ගැනීමෙන් අනතුරු ව මේ පිළිබඳ ව ප්‍රථම වරට තොරතුරු ඇතුළත් වී තිබුණේ බර්ලින් විද්‍යා පීඨය මගින් ප්‍රකාශයට පත් කෙරුණු විද්‍යා සඟරාවක යි. කොළොම්බියානු මායා ශිෂ්ටාචාරයට පෙර කාලයේ ගොඩ නංවන්නට ඇතැයි සැලකෙන මෙය යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් ලෙස නම් කරන ලද්දේ 1979 දී යි.

(uncoveredhistory.com)

ඉපැරණි කොළොම්බියානු මායා ශිෂ්ටාචාරයේ බලවත් ම නගරයක් ලෙස පවතින්නට ඇතැයි සැලකෙන මෙහි ඇති ඇතැම් ගොඩනැගිලි ක්‍රිස්තු පූර්ව 4 වැනි සියවසේ දී පමණ නිර්මාණය කරන ලද ඒවා යි. ටිකල් නගරයේ පිහිටා ඇති වැදගත් ම ස්මාරක ලෙස මහා ජගුවරයාගේ දෙවොල (Temple of the Great Jaguar) සැලකෙනවා. එයට හේතුව දෙවොල මත වා කවුළුවක් තුළ පිහිටා ඇති සිංහාසනය, ජගුවර් සත්ත්වයෙකුගේ හැඩයෙන් යුතු වීම යි. පුද පූජාවන් පැවැත්වීමට අමතර ව මෙම දෙවොල රාජකීයයන්ගේ දේහයන් තැන්පත් කිරීමට ද භාවිත කර තිබෙනවා.

කවරයේ පින්තූරය: (hdwallpaper.nu)

මූලාශ්‍ර:

  1. brightside.me
  2. en.wikipedia.org
  3. livescience.com
  4. whc.unesco.org
  5. newgrange.com
  6. ancient-origins.net

Related Articles