Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කවුරුත් දන්න ජ’පුර ගැන ඇතැමුන් නොදන්න කතා

මෙරට උසස් අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ට දැනුම ලබාදෙන විශ්වවිද්‍යාල අතර විද්‍යෝදය විශ්වවිද්‍යාලය, එනම් දැන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මෙරට බිහි වූ දෙවැනි විශ්වවිද්‍යාලයත්, නිදහසින් පසු බිහි වූ පළමු විශ්වවිද්‍යාලයත් ලෙස හඳුන්වා දිය හැකි ය. දෙස් විදෙස් ප්‍රසිද්ධියට පත් මෙම විශ්වවිද්‍යාලය මුලින් ම මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙන් භූමියේ ආරම්භ වූ අතර පසුකාලීන ව එම ස්ථානයේ ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවූ බැවින් එය වර්තමානයේ පිහිටි ගංගොඩවිල ප්‍රදේශයට රැගෙනවිත් ඇත. මෙම ලිපිය ලියැවෙන්නේ එම සිදුවීම සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය හා සම්බන්ධ තවත් සුවිශේෂී සිදුවීම් කිහිපයක් පිළිබඳව යි.

වර්තමානයේ විශ්වවිද්‍යාලය පිහිටි ගංගොඩවිල භූමියේ ඉතිහාසය

වර්ෂ 1959 දී මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙන් භූමියේ නව විශ්වවිද්‍යාලයක් ආරම්භ වූ අතර කල් යත් ම එහි ඉඩ කඩ ප්‍රමාණවත් නොවන බව වටහා ගත් විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ වැලිවිටියේ සෝරත නාහිමියන් ඒ සඳහා කොළඹ 7 නිදහස් චතුරස්‍රය ආසන්නයේ පිහිටි රජයේ ඉඩමක් ඉල්ලා සිටිය ද එම ඉල්ලීම ඉටු වූයේ නැත. කෙසේ නමුත් විශ්වවිද්‍යාලය වෙනත් භූමිභාගයකට රැගෙන යාමේ අදහස අත් නොහළ උන්වහන්සේ ඒ සඳහා සුදුසු ඉඩමක් කොළඹ අවටින් සෙවූහ.

වැලිවිටියේ සෝරත හිමි –  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය වෘතාන්තය – මහාචාර්ය සුනිල් ආරියරත්න

ඒ අනුව ටික කලක් ගත වන විට කොළඹ නගරයට එතරම් දුර නොවූ, ශීඝ්‍රයෙන් දියුණු වෙමින් පැවති නුගේගොඩ ගං‌ගොඩවිල ප්‍රදේශයේ පිහිටි එක්තරා භූමිභාගයක් මේ සදහා  සුදුසු යැයි උන්වහන්සේ තීරණය කළහ. පසුව එම භූමිය පිළිබඳ ව තොරතුරු සෙවීමේ දී අනාවරණය වූයේ එහි භාරකාරීත්වය ඇත්තේ අන් කිසිවකුටවත් නොව ඒ වන විට තරුණ අවධියේ පසු වූ මෙම විශ්වවිද්‍යාලයේ ම ශිෂ්‍යයකු වූ පැපිලියාන සුනේත්‍රාදේවි රාජමහා විහාරාධිපති මැදගොඩ සුමනතිස්ස හිමියන්ට බව ය. සුමනතිස්ස හිමියන්ට වයස අවුරුදු 17 දී පමණ ගුරු හිමියන් අපවත් වූ බැවින් සුනේත්‍රාදේවි රාජමහා විහාරය ඇතුළු එම විහාරස්ථානයට පරිත්‍යාග වශයෙන් ලැබී තිබූ ඉඩකඩම් විශාල සංඛ්‍යාවක භාරකරු වශයෙන් උන්වහන්සේ කටයුතු කළහ.

පිරිවෙන සරසවියක් කළ විශ්වකර්ම හාමුදුරුවෝ- වැලිවිටියේ සෝරත හිමි 

සෝරත හිමියන් විශ්වවිද්‍යාලය තැනීමට සුදුසු බවට තෝරා ගත් මෙම භූමිය ඓතිහාසික වටිනාකමකින් ද යුක්ත විය. කෝට්ටේ යුගයේ දී සිදු වූ සාහිත්‍ය පුනරුදයේ ප්‍රතිපලයක් ලෙස පුස්කොළ පොත් රචනා කිරීම සදහා අවශ්‍ය තල් පත්‍ර සපයා ගැනීම සඳහා සයවැනි පරාක්‍රමබාහු රජු  සුනේත්‍රාදේවි රජමහා විහාරයට ඒ අවට භූමි භාගයක් වෙන් කොට පූජා කළ අතර සෝරත හිමියන්  විශ්වවිද්‍යාලය සඳහා තෝරා ගත් භූමිය එය විය.

මෙම භූමිය විශ්වවිද්‍යාලය සඳහා ලබා දීමට සුමනතිස්ස හිමියන්  කැමැත්ත පළ කිරීමෙන් අනතුරු ව සෝරත හිමියන් 1960 ජනවාරි 18 දින මෙම භූමියේ ගොඩනැගිලි ඉදි කිරීම සඳහා මුල් ගල් තබා ඇත.  

මහා පඬිවරයකු ලෙස කීර්තියක් දිනා සිටි වැලිවිටියේ සෝරත නාහිමියන් නිල නොලත් මට්ටමේ ඉංජිනේරුවරයකු බව පැවසුවහොත් ඔබ පුදුමයට පත් වනු ඇත. ගංගොඩවිල පිහිටි විද්‍යෝදය විශ්වවිද්‍යාල භූමියේ ‌ඉදි කෙරුණු සියලු ගොඩනැගිලිවල සැලසුම් ශිල්පියා උන්වහන්සේ විය. ඒ අනුව ඉදි කළ සියලු ම ගොඩනැගිලි මෙරට දේශගුණ තත්ත්වයට ගැළපෙන ලෙසත්, ස්වභාවික වාතය හා ආලෝකය හොඳින් ලැබෙන ලෙසත්, කැටයම් ආදියෙන් තොර ව ඉතා චාම් ලෙසත් නිම කරන ලෙස උන්වහන්සේ ඉදිකිරීම් ශිල්පීන්ට උපදෙස් දුන්හ. 

ඒ අනුව මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන් භූමියේ ආරම්භ කළ විද්‍යෝදය විශ්වවිද්‍යාලය වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ, එනම් 1961 වසරේ නොවැම්බර් 23 වැනිදා ගංගොඩවිල භූමියට ගෙන ආ අතර සුනේත්‍රාදේවි රාජමහා විහාරස්ථානයෙන් ලබා දුන් අක්කර 25ට අමතර ව තවත් අක්කර නවයක් පමණ විශ්වවිද්‍යාල භූමියට එක් කිරීමට සෝරත හිමියන්ට හැකි විය. එදවස ඉදි කළ සුමංගල මන්දිරය, ඥානේශ්වර- රතනසාර මන්දිර, බණ්ඩාරණායක ශාලාව ආදී ගොඩනැගිලි ඉන් හැට වසරකට පසුවත් විශ්වවිද්‍යාලය තුළ අද ද නිරුපද්‍රිත ව පවතී.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ගංගොඩවිල විශ්වවිද්‍යාලය විවෘත කළ අයුරු – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය වෘතාන්තය- මහාචාර්ය සුනිල් ආරියරත්න

ඉදි නොවූ විහාර මන්දිරය

සෝරත හිමියන් විශ්වවිද්‍යාලයේ අනිකුත් ගොඩනැගිලි සඳහා මුල්ගල් තබන අවස්ථාවේ දී චෛත්‍යයක් ද සහිත විහාර මන්දිරයකට ද මුල් ගල් තැබූ නමුත් අධ්‍යාපන කටයුතුවලට වැඩි අවධානයක් යොමු කිරීම නිසා එය ඉදි කිරීමට නොහැකි විය.

උන්වහන්සේගේ අපවත් වීමෙන් අනතුරුව විශ්වවිද්‍යාලයේ උපකුලපති ධූරයට පත්  පලන්නෝරුවේ විමලධම්ම හිමියන් එම කටයුත්ත ඉටු කිරීමට වෙහෙස වු අතර, හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයකු වන  සෙනරත් පරණවිතානයන්ගේ උපදේශකත්වයෙන් අනුරාධපුර විජයාරාම නම් ආරාමික චෛත්‍යයට අනුව එම විහාර මන්දිරය ඉදි කිරීමට සැලසුම් කර තිබිණි.

පසුව නේවාසික භික්ෂූන් වහන්සේලාට භාවනා කිරීමට ද සුදුසු ආකාරයෙන් එම විහාර මන්දිරය සැකිණි. මෙම විහාර මන්දිරයට යාබද ව ඉදි කිරීමට සැලසුම් කළ චෛත්‍යයෙහි තැන්පත් කිරීමට ධාතූන් වහන්සේ නමක් පරිත්‍යාගය කිරීමට සියම් රජ පවුල ඉදිරිපත් වූ නමුත් චෛත්‍යය ඉදි වූයේ නැත.

දුර්ලභ ග්‍රන්ථවලින් සමන්විත පුස්තකාලය

වැලිවිටියේ සෝරත හිමියන් සුමංගල මන්දිරයේ ආරම්භ කළ විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ පුස්තකාලයට උන්වහන්සේ සතු වූ සියලු වටිනා ග්‍රන්ථ පරිත්‍යාගය කළහ. ඊට අමතර ව ලොව ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක මැතිනිය ගේ මව වූ රොස්මන්ඩ් හිල්ඩා කොන්ස්ටන්ටයින් කුමාරිහාමි ඇගේ පියාණන් වූ සැමුවෙල් ඩේවිඩ් මහවලතැන්න දිසාපතිතුමා සතු ව තිබූ දුර්ලභ ග්‍රන්ථවලින් සමන්විත වූ පුස්තකාලය විශ්වවිද්‍යාලයට සම්පූර්ණයෙන් ම පරිත්‍යාගය කළා ය. වර්තමානයේ මෙරට සුරක්ෂිතව ඇති දුර්ලභ ග්‍රන්ථ හා ලේඛන එකතුවක් විශ්වවිද්‍යාලයීය පුස්තකාලය සතු ව ඇති අතර එය ‘ලංකා එකතුව’ නම් වේ.

නව විෂයයන් හදුන්වා දීම 

විද්‍යෝදය විශ්වවිද්‍යාලය හෙවත් වර්තමාන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මෙරට විශ්විද්‍යාල ක්ෂේත්‍රයට නව විෂයයන් ගණනාවක් හඳුන්වා දීමට පුරෝගාමී විය.

විශේෂයෙන්ම එතෙක් පැවැති ලංකා විශ්වවිද්‍යාලයේ (වර්තමාන කොළඹ විශ්වවිද්‍යාලය) සියලු ම ඉගැන්වීම් කටයුතු ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් සිදු කළ අතර මෙරට සිංහල භාෂාවෙන් ඉගැන්වීම් කටයුතු ආරම්භ කළ ප්‍රථම විශ්වවිද්‍යාලය බවට විද්‍යෝදය විශ්වවිද්‍යාලය පත් විය.

වැලිවිටියේ සෝරත හිමියන් විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපාධිය සදහා පුරාවිද්‍යාව විෂයයක් ලෙස හඳුන්වා දෙන අවස්ථාව වන විට ලෝකයේ වෙනත් කිසිදු විශ්වවිද්‍යාලයක පුරාවිද්‍යාව ප්‍රථම උපාධිය සදහා ඉගැන්වීම ආරම්භ කර නොතිබිණි.

 මෙරට විශ්විද්‍යාලයක පළමු වරට ආයුර්වේදය හා ජොතිෂ්‍යය යන විෂයයන් ඉගැන්වීම ආරම්භ කළේ ද මෙම විශ්වවිද්‍යාලය යි. මහාචාර්ය විමල් ජී. බලගල්ලේ “නූතන සිංහල” නමින් නව විෂයයක් ද හඳුන්වා දුන්නේ ය. ඊට අමතර ව ආචාර්ය පී.ඊ.පී. දැරණියගලයන්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹුණු සමාජ විද්‍යාව විෂයය ඉගැන්වීම ආරම්භ කළ මෙරට ප්‍රථම විශ්වවිද්‍යාලය වන්නේ ද විද්‍යෝදය විශ්වවිද්‍යාලය යි.

ජ.වි.පෙ. නිර්මාතෘ රෝහණ විජේවීර විද්‍යෝදය විශ්වවිද්‍යාලයට පැමිණි අවස්ථාවක් – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය වෘතාන්තය- මහාචාර්ය සුනිල් ආරියරත්න

එතෙක් ලංකාවේ පැවති වාණිජ යන විෂයය වෙනුවට කළමනාකරණ පාඨමාලාවක් මෙරට ප්‍රථමයෙන් ඇති කිරීමේ ගෞරවයත් සෝරත හිමියන්ට හිමි විය යුතු ය. සෝරත හිමියන් ආරම්භ කළ ඒ ක්‍රියාදාමය පසු ව මෙරට පළමු කළමනාකාර පශ්චාත් උපාධි අධ්‍යාපන ආයතනය බිහි වීම දක්වා පුළුල් විය. වන විද්‍යාව හා ධීවර විද්‍යාව ඉගැන්වීම ද විද්‍යෝදය විශ්වවිද්‍යාලය විසින් ප්‍රථමයෙන් ම සිදු කළ අතර වර්තමානය වන විට අපරාධ විද්‍යාව නම් විෂය‍ය උගන්වන එකම විශ්වවිද්‍යාලය ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයි.

71 කැරැල්ලේ මූලස්ථානය බවට පත් වීම

විද්‍යෝදය විශ්වවිද්‍යාලය තුළ විවිධ ශිෂ්‍ය සංගම් ඔස්සේ යම් යම් දේශපාලන පක්ෂවලට සම්බන්ධ ක්‍රියාකාරකම් සිදුවීම සාමාන්‍ය කාරණයක්‌ වුවත්, 1970 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණ විශ්වවිද්‍යාලයට  පැමිණීම හා වසරක් වැනි කෙටි කාලයක් තුළ සමස්ත විශ්වවිද්‍යාලය සිසාරා එහි බලය ව්‍යාප්ත වීම එක්කරා ආකාරකට විශ්වවිද්‍යාලයීය ඉතිහාසය වෙනස් අතකට රැගෙන යාමක් විය.

එහි ප්‍රතිපලයක් ලෙස 71 ජනතා විමුක්ති පෙරමුණු කැරැල්ලේ කේන්ද්‍රස්ථානය වුයේ විද්‍යෝදය විශ්වවිද්‍යාලය යි. කැරැල්ලේ අවසාන තීරණාත්මක සාකච්ඡාව විශ්වවිද්‍යාලයීය සංඝාරාමයේ දී 1970 වසරේ අප්‍රේල් මස 2 වැනි දින පැවැත්විණි. කැරැල්ලට සහභාගී වූ තරුණ තරුණියන්ට ඇඳුම් මැසුවේ ද එවක එහි සාමාජික විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝම ය. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර  විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ මේ ශිෂ්‍ය සාමාජික පිරිස රතු බළකාය නම් විශේෂ නමකින් හැඳින්විය. 71 කැරැල්ල මෙහෙයවීමේ දී විශේෂ රාජකාරි ගණනාවක් ඔවුන්ට පවරා තිබිණි. කැරැල්ල අසාර්ථක වීමත් සමඟ විශ්වවිද්‍යාලය රැඳවුම් මධ්‍යස්ථානයක් බවට පත් විය.

විශ්වවිද්‍යාලය රැඳවුම් මධ්‍යස්ථානයක් ව තිබූ අවධිය –  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය වෘතාන්තය- මහාචාර්ය සුනිල් ආරියරත්න

රැඳවුම් මධ්‍යස්ථානයක් වූ විශ්වවිද්‍යාලය

අසාර්ථක කැරැල්ලෙන් අනතුරු ව එයට සම්බන්ධ වූ විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් ඇතුළු දහස් ගණනක් රඳවා තබා ගන්නා ලද්දේ විශ්වවිද්‍යාලය ම රැඳවුම් මධ්‍යස්ථානයක් බවට පත් කරමිනි. කටු කම්බි ගසා විශ්වවිද්‍යාලය කොටස් තුනකට ‌‌බෙදා වෙන් කළ අතර සුමංගල මන්දිරය හමුදා සහ බන්නාධගාර  නිලධාරීන්ගේ මධ්‍යස්ථානය විය. දින 550ක් පුරාවට අවම පහසුකම් යටතේ පවත්වා ගෙන ගිය මේ රැඳවුම් මධ්‍යස්ථානය නිසා එහි රඳවා සිටි තරුණ පිරිස පීඩා විදිමින් ජීවත් විය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය බවට පත් වීම

පසුව විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයන්ගේ උද්ඝෝෂණ නිසාවිශ්වවිද්‍යාල පරිශ්‍රය අධ්‍යයන කටයුතු සඳහා නැවත භාර දීමට සිදු වූ අතර විශ්වවිද්‍යාලයේ ඇතැම් ගොඩනැගිලිවල කැරැල්ලට සම්බන්ධ වූ පිරිස් සටහන් කළ කුරුටු ගී ද දක්නට ලැබිණි.

විශවිශ්වවිද්‍යාලයේ වත්මන් තත්ත්වය/ Japura Flames

මෙම යුගයේ දී ලංකාවේ සියලු විශ්වවිද්‍යාල එක් විශ්වවිද්‍යාලයක් බවට පත් කළ අතර ඒ අනුව විද්‍යෝදය විශ්වවිද්‍යාලය එහි විද්‍යෝදය මණ්ඩපය විය. කෙසේ නමුත් 1977 වසරේ බලයට පත් නව රජය 1979 දී නව විශ්වවිද්‍යාල පනතක් ගෙන ආ අතර ඒ අනුව එතෙක් ලංකාවේ විශ්වවිද්‍යාල හැඳින් වූ නම් වෙනුවට ඒ ඒ විශ්වවිද්‍යාල පිහිටි ප්‍රදේශ අනුව ඒවා නම් කළ යුතු බව යෝජනා කෙරිණි. ඒ අනුව විද්‍යෝදය විශ්වවිද්‍යාලය එතැන් පටන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය බවට පත් විය.

කවරයේ පින්තූරය- විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පිවිසුම - sjp.ac.lk

මූලාශ්‍ර:

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය වෘත්තාන්තය - මහාචාර්ය සුනිල් ආරියරත්න

විද්‍යොදය වංසය - ආචාර්ය අබයරත්න අදිකාරි, රංජිත් අමරකිර්ති පලිහපිටිය

 sundayobserver.lk

 sjp.ac.lk

www.facebook.com/ ජ'පුර සහෘදයෝ

Related Articles