වනාන්තර කපා දැමීම් වගේ ම සතුන් දඩයම් කිරීම නිසාත් රටේ සිදුවන පරිසර විනාශය ගැන නිතර ම කතාබහ කරනවා. නමුත් එම විනාශයට යටින් කාටත් නොදැනීම මහා සංහාරයක් අපේ පරිසර පද්ධතියට සිදුවන බව දන්නවාද? එය සිදු කරන්නේ මිනිසුන් නම් නොවෙයි. ඒ මිනිසුන්ගේ නොසැලකිල්ල නිසා අපේ පරිසරයට බෝවුණු වෙනත් රටවල ආගන්තුක සතුන්ගෙන් සහ ශාකවලින්. මේ ලිපිය අපේ ජෛව විවිධත්වය අවදානමට ලක්කරන ආගන්තුක සතුන් කිහිපදෙනකු ගැනයි.
ජෛව විවිධත්වයෙන් පොහොසත් රටක්
ශ්‍රී ලංකාව ලොව ජෛව විවිධත්වයෙන් උණුසුම් ම ස්ථාන 34 අතරින් එකක්. එවැනි රටක වටිනා ස්වභාවික පරිසරයේ දේශීය විශේෂ ඉවත් කරමින් පරිසර පද්ධතිය වෙනස් කිරීමකට ලක්කිරීමට ආගන්තුක විශේෂවලට හැකියාව තිබෙනවා. මොවුන්ගේ බලපෑම අතිවිශාල බව හෙළි වී ඇති අතර, මෙම විශේෂ මඟින් පරිසර හානිය, මානව සෞඛ්‍ය පරිහානිය මෙන් ම මිනිසාගේ ජීවනෝපායන්ට සහ ආර්ථිකයට ද බලපෑම් එල්ල වන බව හෙළිදරව් වෙලා. පසුගිය අවුරුදු 400 තිස්සේ ඒ නිසා දේශීය සත්ව විශේෂ සියයට 39ක් වඳවී ගිහින් බවයි පැවසෙන්නේ.
ආක්‍රමණශීලී සතුන්ගේ උවදුර නිසා අපට ආවේණික දුලබ සත්ව විශේෂ අසරණ ව සිටිනවා. පරිසරවේදී ආචාර්ය ආර්.එම්.සී. බණ්ඩාර පසුගියදා සඳහන් කළේ මෙරටට පරිසරයට හඳුන්වා දුන් සත්ව විශේෂ 58ක් අතරින් සත්ව විශේෂ 8ක් දැඩි ආක්‍රමණශීලී විශේෂ බවට පත්ව ඇති බවයි. ඒ අතර ම ඉදිරියේදී ආක්‍රමණශීලී සත්ව විශේෂ බවට පත්වීමේ අවදානමක් සහිත සත්ව විශේෂ 12ක් ද හඳුනා ගෙන ලැයිස්තු ගත කර තිබෙනවා. මෙම ආගන්තුකයන් දේශීය සතුන්ට තර්ජනයක් වෙමින් උන් විනාශ කිරීම ද ආහාර සඳහා උපරිම ලෙස තරග කිරීම ද සිදුවෙනවා.
ජාත්‍යන්තර ආක්‍රමණශීලී ලැයිස්තුව
ජාත්‍යන්තර ආක්‍රමණශීලී විශේෂ ලැයිස්තුවට අනුව ශ්‍රී ලංකාවේ හමුවන ශාක සහ සත්ව විශේෂ සංඛ්‍යාව 82ක්. ඒ අතර සිටින සත්ව විශේෂ සංඛ්‍යාව 20ක්. සතුන් කාණ්ඩයට මිරිදිය මසුන්, උරගයන් සහ ගොළුබෙල්ලන් ද අයත් වෙනවා. අපේ සතුන්ට මෙන් ම පරිසරයට ද හානි පමුණුවන සත්ව විශේෂ අතරින් ඉහළින් ම සිටින්නේ රතු කන් ඉබ්බා, යෝධ අප්‍රිකානු ගොළුබෙල්ලා සහ ඇපල් ගොළුබෙල්ලායි. ටැංකි සුද්දා විශේෂ දෙකක්, දේදුනු ට්‍රවුට් සහ පුල්ලි මගුරාත් ඒ අතර සිටිනවා.
මෙම විශේෂ 12 අතරින් 10 දෙනකු කොඳුඇට පෙළ සහිත සතුන් වන අතර, ( හතක් මිරිදිය මසුන්, දෙකක් මූසිකයන්) එක් විශේෂයක් ක්ෂීරපායියෙක්. විශේෂ දෙකක් ගොලුබෙල්ලන් අයත් මොලුස්කාවන්. ටැංකි සුද්දා, මොසැම්බික් තිලාපියා, මන්නයා, නැව් මීයා, ඇපල් ගොළුබෙල්ලා, ගප්පියා, පුල්ලි මගුරා, ෆෙරාල් මීහරකා, ගේ මීයා, බස්නාහිර මදුරු මාළුවා, කාප් මාළුවා, යෝධ අප්‍රිකානු ගොළුබෙල්ලා, දේදුනු ට්‍රවුට් මාළුවා ඒ සතුන් අතර සිටිනවා.
රතු කන් ඉබ්බා/ ටැංකි ඉබ්බා (Red eared slider)
රතු කන් ඉබ්බා ඒ නමින් හඳුන්වන්නේ හිස දෙපස පිහිටා ඇති රතු කහ පුල්ලි නිසායි. මේ අංග ලක්ෂණය නිසා ඌ පහසුවෙන් හඳුනාගත හැකියි. මධ්‍යම ප්‍රමාණයේ මිරිදිය ඉබ්බකු වන උගේ උඩු කබොල ඔලිව් කළු වර්ණයෙන් යුක්තයි. උඩුකබොලේ කහ පැහැති ඉරි හෝ තිත් පිහිටා තිබෙනවා. ඌ මධ්‍යම ප්‍රමාණයේ මිරිදිය ඉබ්බෙක්.
90 දශකයේ මුල් භාගයේදී රතු කන් ඉබ්බන් සැලකිය යුතු ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ආනයනය කර තිබෙන්නේ සුරතල් සතුන් ලෙසයි. අදත් උන් ලොව බොහෝ රවටල ටැංකිවල අලංකාරයට ඇති කරනවා. සුරතල් සතුන් වශයෙන් සිටිය දී මොවුන්ගෙන් සමහරක් ගෙවතුවලින් පලාගොස් හෝ ගහණය වැඩිවීමෙන් අයිතිකරුවන් ස්වාභාවික පරිසරයට මුදාහැරීමෙන් පසුව තමයි අපගේ පරිසරයට තර්ජනයක් ලෙස බෝවන්නට පටන්ගෙන තිබෙන්නේ. කොළඹ අවටින් සහ පහතරට තෙත් කලාපයේ ස්ථාන කිහිපයකින් මේ ඉබ්බා වාර්තා වෙනවා.
ශ්‍රී ලංකාව තුළ දේශීය ජලජ සතුන්ට මේ ඉබ්බා ගෙන් වන බලපෑම තවමත් අධ්‍යයනය කර නැතිවුණත් ලෝකයේ ඉතා නරක ආක්රමණික විශේෂ 100 අතර ලේඛනගත වී සිටින සතෙක්. ටැංකි ඉබ්බා දකුණු සහ නැගෙනහිර එක්සත් ජනපදය හා එයට යාබද මැක්සිකෝවේ සමහර පෙදෙස් ද නිජබිම් කොට ගෙන සිටින සතෙක්. ලෝක ස්වභාව ආරක්ෂණ සංගමයේ දත්තවලට අනුව රටවල් 70කට ආසන්න ප්‍රමාණයකින් මේ ඉබ්බා වාර්තා වෙනවා. සුරතල් සතකු ලෙස ඇතිකරන විට උගේ ආයු කාලය අවුරුදු 20ක් බවයි සඳහන් වන්නේ.
යෝධ අප්‍රිකානු ගොළුබෙල්ලා (Giant African Snail)
අප්‍රිකාවේ නැගෙනහිර වෙරළබඩ කලාපයේ ජීවත්වන යෝධ අප්‍රිකානු ගොළුබෙල්ලා දිගු ඉතිහාසයක් සහිත ආක්‍රමණිකයෙක්. ඌ ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත්තේ සුද්දන්ගේ කාලේ 1840 දීයි. බ්‍රිතාන්‍ය වැවිලිකරුවකුගේ නොසැලකිල්ල නිසා අප්‍රිකානු ගොළුබෙල්ලා අප රටට පැමිණ තිබෙන බවයි පැවසෙන්නේ. ශ්‍රී ලංකාව පුරාම ව්‍යාප්ත වී සිටින අතර කෘෂිකාර්මික පලිබෝධකයෙක් ලෙස සැලකෙනවා. විශාල වශයෙන් බෝවෙමින් වගාකරන බෝග වර්ග කා දැමීමට උන් දක්ෂයි. දුඹුරු වර්ණයට හුරු කවචයක් සහිතයි.
ඇපල් ගොළුබෙල්ලා/ දිය ගොළු බෙල්ලා (Apple snail)
අපට තවත් හිසරදයක් වූ ඇපල් ගොළුබෙල්ලා හඳුන්වාදී ඇත්තේ 1980දීයි. ගෝලාකාර කවචයක් ඇති මධ්‍යම ප්‍රමාණයේ ගොළුබෙල්ලෙක්. කවචයේ වර්ණය සාමාන්‍යයෙන් දුඹුරු හෝ රන්වන් දුඹුරු හෝ කහ පැහැයක් ගන්නවා. ශරීරයේ වර්ණයත් කහ හෝ කහ පැහැයට හුරු සුදු පැහැයට හුරුයි.
ඇපල් ගොළුබෙල්ලාගේ නිජබිම දකුණු අමෙරිකාවේ ඇමේසන් නිම්නයයි. හඳුන්වා දුන් ඇපල් ගොළුබෙල්ලන් ඉන්දියාවේ සිට ගිනිකොනදිග එක්සත් ජනපදය දක්වා රටවල පැතිර සිටිනවා. මින්මැදුරුවල අලංකාරයට රටින් ගෙනා මේ ගොළුබෙල්ලා ස්වභාවික පරිසරයට පැමිණීම නිසා ආක්‍රමණශීලී විශේෂයක් ලෙස වර්ධනය වී තිබෙනවා. මුලින් ම මේ සතුන් නිරීක්ෂණය වූයේ 1980 දශකයේ මුල කොළඹ සහ ගාල්ල අවට ජලාශවලින් පමණයි. පසුව කළුතර, මහනුවර, රත්නපුර, ගම්පහ, මාතර දිස්ත්රික්ලට ද ඌ ව්‍යාප්ත වී තිබෙනවා.
මේ ගොළුබෙල්ලාගෙන් දේශීය සත්ව විශේෂවලට සහ ස්වාභාවික වාසස්ථානවලට ඇති වන බලපෑම් ගැන වාර්තා සකස් වී නැහැ. ඉන්දියාවෙන් ලැබෙන වාර්තාවකට අනුව ඇපල් ගොළුබෙල්ලා විශාල ශාකවලට අමතරව සත්ත්ව මළකුණු ද, සජීවී පණුවන් සහ වෙනත් ගොළුබෙලි විශේෂයන් ගේ බිත්තර ද ආහාරයට ගන්නවා. එම නිසා මොවුන්ගෙන් ජලජ ශාකවලට මෙන් ම දේශීය ගොළුබෙල්ලන්ට ද ඍජු බලපෑමක් ඇතිවිය හැකියි.
ටැංකි සුද්දා (Tank Cleaner)
සුරතල් මසුන් ඇතිකරන අයට නම් ටැංකි සුද්දා අමුත්තෙක් නෙවෙයි. ඒ ටැංකිවල වීදුරුවල බැඳී ඇති දියසෙවල උන් ආහාරයට ගනිමින් ටැංකි සුද්ද කරන නිසයි. සුරතල් මසුන්ගේ ටැංකිවල පිරිසුදුබව පවත්වා ගැනීමට ආධාරකයක් ලෙස ඇති කළ මේ මාළුවා සුරතල් මසුන් ඇතිකරන්නන් ම ස්වභාවික පරිසරයට මුදා හැර තිබෙනවා. මේ නිසා ඔවුන් ආක්‍රමණශීලි විශේෂයක් බවට පත්වුණා. මුලින් ම මේ මත්සයා නිරීක්ෂණය කළේ 1992 දී බෙල්ලන්විල අත්තිඩිය අභය භූමියේ ඇළ මාර්ගවලයි. ඊට පසු බස්නාහිර, වයඹ, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල ජලාශවලින් ද ටැංකි සුද්දා හමු වුණා. දේශීය හා ආවේණික මසුන්ගේ පැවැත්මට ටැංකි සුද්දා තර්ජනයක් බව හෙළි වී තිබෙනවා.
දේදුනු ට්‍රවුට් මත්ස්‍යයා (Rainbow trout )
යටත් විජිත කාලෙ සුද්දන්ට විනෝදයට මාළු බෑම සඳහා තමයි ට්‍රවුට් මාළුවා කඳුකර ජල මාර්ගවලට මුදාහැර තිබෙන්නේ. මෙම මාළුවා මුලින් ම හඳුන්වාදී ඇත්තේ ඉහළ මධ්‍යම කඳුකරයේ ජලාශවලටයි. ඒ 1889 තරම් ඈත කාලයකදියි. හෝටන් තැන්න හා නුවරඑළිය ප්‍රදේශයට තමයි උන් හඳුන්වා දී තිබෙන්නේ.
ඌ නැගෙනහිර සයිබීරියාව, එක්සත් ජනපදය සහ කැනඩාව වාස භූමිය කරගත් මාළුවෙක්. අතීතයේ නුවරඑළියේ පිහිටා තිබු ට්‍රවුට් මසුන් බෝකරන ස්ථානයකින් උන් බාහිර පරිසරයට මුදා හැර තිබෙනවා. මෙම මධ්‍යස්ථානය පසුව වසා දමා තිබෙනවා. අද උන් අපගේ දේශීය මත්සයන්ට තර්ජනයක් වෙමින් පැතිරෙමින් සිටිනවා.
පුල්ලි මගුරා (Marble Cat Fish)
පුල්ලි මගුරා 1994 දී ශ්‍රී ලංකාවට හඳුන්වාදුන් මත්ස්‍යයෙක්. ඌ අප රටට ආවේණික මගුරා මත්ස්‍යයාට ස්වරූපයෙන් සමානයි. මේ මත්ස්‍යයා ද මින් මැදුරුවලින් ස්වභාවික පරිසරයට මුදා හැර ඇති බව තමයි වාර්තා වෙන්නේ. උගේ නිජබිම ඉන්දුනීසියාවේ ජාවා දුපත්. දැනට අප රටේ බස්නාහිර සහ වයඹ පළාත්වල ඇළ දොළ ආශ්‍රිතව පැතිරෙමින් සිටිනවා.
මන්නයා- Clown knife fish / Knife fish
තරමක් විශාල ව වැඩෙන මිරිදිය මාළුවකු වන මන්නයා දිගින් සෙ.මී. 100ක් තරම් වෙනවා. මත්ස්‍යයෙක් කිලෝ 5ක් පමණ බරයි. ලංකාවේ විවිධ වර්ණ රූපීය ලක්ෂණ සහිත මන්නයා මසුන් වාර්තා වී තිබෙනවා.මෙම මත්ස්‍යයාත් මින් මැදුරුවල සිට අහම්බෙන් ස්වාභාවික වාසස්ථානවලට නිදහස් වූ මාළුවෙක්.
1992 ජූනි මාසයේදී ඇති වූ දරුණු ගංවතුරෙන් පසු මෙම මත්ස්‍යයා කොළඹ අවට ජලාශවලින් වාර්තා වුණා. දියවන්නා ඔයෙන් තමයි පළමුවෙන් ම වාර්තා වී තිබෙන්නේ. මොවුන්ගේ නිජබිම් කලාපය වන්නේ නිවර්තන ආසියාවේ ඉන්දු චීනයේ මීකොං සහ චාඕ මිටියාවත්, තායිලන්තය සහ ලාඕසයයි. අප රටේ බණ්ඩාරගම බොල්ගොඩ ජලාශය සහ දොඩංගොඩ මතුගම ප්‍රදේශයේ ගංගා, ජලාශ සහ වගුරු බිම්වලින් මේ වන විට මන්නයා හමුවෙනවා.
සතුන් ගෙන්වීමේ නීතිය
අප රටේ තිබෙන නීතිය අනුව සතුන් ගෙන්වීමේ දී සෞඛ්‍ය තත්ත්ව සහතිකයක් ලබාගැනීම අනිවාර්ය වෙනවා. මෙයට අදාළ වන්නේ ‘සත්ව නිරෝධායන පනත’ යි. මෙය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ සිදුවෙන කාර්යයක්. ගෘහාශ්‍රිත සතුන් හැර අනෙක් සතුන් ගෙන්වනවා නම ‘වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ලබාගත යුතුයි. ගෘහාශ්‍රිත සතුන්ට නම් ‘සුරතල් සතුන්’ නාමාවලිය යටතේ වෙනම අවසර පත්‍රයක් ලබාගත යුතු වෙනවා. මේ ගැන පරීක්ෂාවට ගුවන් තොටුපළේ ශාක නිරෝධායන මෙන් ම සත්ව නිරෝධායන ඒකකයේ නිලධාරීන් ද සිටිනවා.