රෝගීන් සුවපත් කරන වෛද්‍යවරුන් පිළිබඳ ව ජනතාව තුළ ඇත්තේ අප්‍රමාණ ගෞරවයකි. ඒ නිසා ම වෛද්‍යවරුන් දෙවියන් හා සමාන යැයි කියනු අපට බොහෝ විට අසන්නට ලැබේ. ඒ ඔවුන් දහස් ගණන් රෝගීන් සුවපත් කරන නිසාවෙනි. කෙසේ වෙතත් නිසි සුදුසුකම් සපුරා වෛද්‍ය වෘත්තියට පිවිසෙන අය මෙන්ම ව්‍යාජ සුදුසුකම් සකස් කරගෙන ජනතාව නොමඟ යවමින් වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින පුද්ගලයන් පිළිබඳව ද නිතර අසන්නට ලැබේ.
මෙම ලිපිය, මීට දශක කිහිපයකට පෙර අමෙරිකා එක්සත් ජනපදයේ, වොෂින්ටන් හි ඔලල්ලා නගරයේ ජිවත් වූ, රෝගීන් රැසක් කුසගින්නේ තබා මරණයට පත් කර, ඔවුන්ගේ දේපළ කොල්ල කෑ, ව්‍යාජ වෛද්‍යවරියක් පිළිබඳව යි.
ඔලල්ලා නගර වැසියයෝ වෛද්‍ය විද්‍යාවේ නාමයෙන් මිනිසුන් රැසක් මරාදැමූ මේ වෛද්‍යවරියක යැයි කියාගත් කාන්තාව නිසා 20 වැනි සියවසේ මුල් භාගයේ දී කම්පනයට පත් වූහ. ලින්ඩා ලෝරා බර්ෆීල්ඩ් හැසාඩ් නම් වූ ඇයට වෛද්‍යවරියක වීමට අවශ්‍ය වුවත් ඒ සඳහා අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට නොහැකි විය. කෙසේ වෙතත් අස්ථි පිළිබඳ හෙදියක් ලෙස සුළු පුහුණුවක් ලැබූ ඇය විකල්ප වෛද්‍ය ක්ෂේත්‍රයේ එවකට පැවති සුළු හිඩැසක් යොදා ගෙන වෛද්‍යවරියක ලෙස සේවය කිරීමට ව්‍යාජ බලපත්‍රයක් ලබා ගත්තා ය. එතැන් පටන් ඇයගේ වෛද්‍ය උපදෙස් ලබා ගත් පුද්ගලයන් ගණනාවකට සිදු වූයේ අකාලයේ මරණය වැලඳ ගැනීමට ය.
මුල් කාලය
සුසානා නීල් සහ මොන්ට්ගෝමරී බර්ෆීල්ඩ් යුවළට දා ව, අමෙරිකා එක්සත් ජනපදයේ දී 1867 දෙසැම්බර් 18 දිනඋපත ලින්ඩා සෑම විට ම කෙසේ හෝ සිය බලාපොරොත්තු ඉටු කර ගැනීමට උත්සහ කළ දැරියකි. වයස අවුරුදු 18 දී පළමු වරට විවාහ වූ ඇයට දරුවන් දෙදෙනකු ලැබුණු අතර 1898 වසරේ දී ඇය සිය පළමු සැමියාගෙන් වෙන් වූවා ය. ඉන් අනතුරුව ඇය, උපවාසය (ආහාර ගැනීමෙන් වැලකීම) පිළිබඳ ව මතධාරියෙක් වූ එඩ්වඩ් හුකර් යටතේ විකල්ප වෛද්‍ය විද්‍යාව හැදෑරුවා ය. මේ කාලය තුළ අස්ථි රෝග පිළිබඳ හෙදියක ලෙස සුළු පුහුණුවක් ලබා ගත් ඇය වෛද්‍යවරියක ලෙස ප්‍රතිකාර කිරීම ආරම්භ කළා ය. ඇගෙන් ප්‍රතිකාර ලබා ගත් රෝගියෙක් කුසගින්නේ සිටීම නිසා මිය ගොස් ඇති බව මේ කාලය තුළ වාර්තා වුවත් ලින්ඩා බලපත්‍රලාභී වෛද්‍යවරියක නොවූ බැවින් ඇයට විරුද්ධ ව නීතිමය පියවර ගැනීමේ හැකියාවක් නොවී ය.
දෙවැනි විවාහය
ලින්ඩා සිය පළමු සැමියා ගෙන් වෙන් වූ කාලයේ දී ඇයට සැමුවෙල් ක්‍රිස්මන් හැසාඩ් හමු විය. ඔහු මත්පැන් පානයට දැඩි ලෙස ඇබ්බැහි වූ අයෙක් විය. ඔහු හමුදා අරමුදලකින් මුදල් වංචා කිරීම නිසා හමුදාවේ රැකියාව ද අහිමි කර ගත් අයෙකි. ඊට පෙර ද කාන්තාවන් දෙදෙනකු සමග විවාහ වී සිටි ඔහුට ලින්ඩා විවාහ කර ගැනීමට පෙර එම කාන්තාවන් දෙදෙනාගෙන් නීත්‍යානුකුලව වෙන් වන්නට නොහැකි විය. ඒ නිසා වසර දෙකක් සිරභාරයේ සිටි ඔහු 1906 වසරේ දී නිදහස් විය. අනතුරුව ලින්ඩා සහ සැමුවෙල් වොෂින්ටන් වෙත සංක්‍රමණය වූහ.
මාරාන්තික වෛද්‍ය ප්‍රතිකාර
වොෂින්ටන්හි ඔලල්ලා නගරයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ආරම්භ කරන ලින්ඩා එතැන් පටන් ආහාර ගැනීමෙන් වැලකීම හරහා රෝග සුව කළ හැකි බව ඇය වෙතට පැමිණෙන රෝගීන්ට පැවසුවා ය. ඇය පැවැසුවේ ආහාර නොගැනීම තුළින් ශරීරයේ අසමතුලිතතාවන්ට හේතු වන විෂ ද්‍රව්‍ය ශරීරයෙන් පිටවන බව යි. එම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නේවාසික ප්‍රතිකාර ලැබූ රෝගීන් මාස ගණන් කුසගින්නේ තැබීමට ඇය කටයුතු කළා ය.
එම රෝගීන්ගෙන් කිහිප දෙනෙක් දිවි ගලවා ගෙන ඇගේ දැඩි ආධාරකරුවන් බවට පත් වූහ. කෙසේ වෙතත් ඒ ආකාරයෙන් කුසගින්නේ තැබූ රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණයක් අධික කුසගින්න නිසා මරණයට පත් වූහ. එහි නේවාසික ප්‍රතිකාර ලැබූ රෝගීන් අවස්ථා ගණනාවක දී ඉන් පිටතට පැමිණ ආහාර ඉල්ලා හඬා වැටුණු බව ද කියැවේ.
වින්දිතයෝ
ලින්ඩා ගේ මාරාන්තික ප්‍රතිකාර ලබා ගැනීම නිසා මරණයට පත් වූ පළමු පුද්ගලයා එවකට 38 හැවිරිදි ඩේසි මෝඩ් නම් නෝර්වීජියානු කාන්තාවක් වේ. ලින්ඩා ගේ උපදෙස් මත දින පනහක කාලයක් ආහාර නොගෙන සිටි ඇය 1908 පෙබරවාරි 26 දින ජීවිතක්ෂයට පත් වූවාය. 1908 දී ලෙනෝරා විල්කොක්ස් සහ ඉඩා විල්කොක්ස් නම් දෙදෙනෙක් ද ලින්ඩාගේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වූහ.
1909 වසරේ දී තවත් දෙදෙනෙක් ලින්ඩා ගේ උපදෙස් මත කුසගින්නේ සිටීමේ ප්‍රතිපලයක් ලෙස මරණයට පත් වූහ. එම වසරේ ම හිසට එල්ල වූ වෙඩි ප්‍රහාරයක් නිසා මිය ගිය ඉයුජින් ස්ටැන්ලි නම් පුද්ගලයකුගේ සිරුරක් ලින්ඩාගේ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ තිබී හමුවීම තවත් විශේෂ සිදුවීමක් විය. 1910 වසරේ දී අර්ල් එඩ්වඩ් එඩ්මන්ඩ් නම් සිවිල් ඉංජිනේරුවෙක් ඇතුළු පුද්ගලයන් තිදෙනෙක් ලින්ඩා ගේ වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම නිසා මරණයට පත් වූහ.
ලින්ඩා ගේ ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් වැඩි වන්නට වූ බැවින් ඒ පිළිබඳ ව මහජන අවධානය යොමු විය. ඒ පිළිබඳ ව පුවත්පත් වාර්තා පවා පළ වූ නමුත් ඇගේ ප්‍රතිකාර සඳහා යොමු වන පුද්ගලයන් ගණනෙහි අඩුවක් නොවී ය. ඒ නිසාම ලින්ඩා ගේ ප්‍රතිකාර නිසා මිය යන පුද්ගලයන් ගණන ද දිනෙන් දින වැඩි වූ අතර ඔවුන්ට අයත් වටිනා බඩු භාණ්ඩ ඇය අත්පත් කරගත් බව කියැවේ.
ප්‍රතිකාර ක්‍රම
ලින්ඩා ගේ ප්‍රතිකාර නිසා මියගිය එඩ්වඩ් එඩ්මන්ඩ් නම් සිවිල් ඉන්ජිනේරුවරයාගේ දිනපොත ඔහුගේ මරණයෙන් පසු ව සොයා ගත් අතර එහි ලින්ඩා ගේ ප්‍රතිකාර ක්‍රම පිළිබඳ ව සවිස්තරාත්මක ව සඳහන් විය. එහි සඳහන් වූයේ ලින්ඩා රෝගීන් උග්‍ර ආහාර පාලනයකට යොමු කළ බව යි. ඔවුන්ට දොඩම් සහ ඇස්පරගස් යුෂ ස්වල්පයක් හෝ තක්කාලි ස්වල්පයක් පමණක් ආහාර ලෙස ලබා දුන් බව එහි සඳහන් වේ. එමෙන්ම ලින්ඩා, සිය මිට මොළවා රෝගීන්ගේ නළලට සහ පසුපස ප්‍රදේශයට පහර දෙමින් ඉතා වේදනාකාරී සම්බාහන ප්‍රතිකාරයක් සිදු කළ බව ද එහි සඳහන් වේ.
අත්අඩංගුවට ගැනීම
ලින්ඩාගේ වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිකාර ලබා ශාරීරික වශයෙන් ඉතා දුර්වල වූ ඩොරති විලියම්සන් නම් තරුණියක් ලින්ඩාට විරුද්ධව නීතිමය පියවර ගත් අතර එහි ප්‍රතිපලයක් වශයෙන් 1911 අගෝස්තු මාසයේ දී ලින්ඩා අත්අඩංගුවට ගැනිණි. අධිකරණ ක්‍රියාදාමයන් අතරතුර ඇය සඳහන් කළේ සිය සාර්ථක ප්‍රතිකාර ක්‍රම පිළිබඳ ව ඊර්ෂ්‍යාවෙන් පසු වූ අනිකුත් වෛද්‍යවරුන් ඇගේ ප්‍රතිකාර මධ්‍යස්ථානය වසා දැමීමේ අරමුණින් මෙවැනි දේ කරන බවයි.
ඇගේ ප්‍රතිකාර ක්‍රම නිසා මියගිය පළමු පුද්ගලයා වූ ඩේසි මෝඩ් නම් කාන්තාවගේ සැමියා පවා තමන්ට (ලින්ඩා) වාසිදායක වන ආකාරයෙන් අධිකරණය හමුවේ සාක්ෂි ලබා දීම සඳහා පෙලඹවීමට ඇය කටයුතු කළා ය. ඔහු අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පැවැසුවේ සිය බිරිය මිය ගිය නමුත් ලින්ඩා ගේ ප්‍රතිකාර ඉතා සාර්ථක බව යි. ඒ නිසා සිය දරුවා ද ඇගේ ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙන බව ඔහු පැවැසුවේ ය.
සිර දඬුවම් ලැබීම
ලින්ඩා සහ ඩේසිගේ සැමියා කුමක් පැවැසුවත් ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ මියගිය පුද්ගලයන් ගණනාවකට අයත් වටිනා බඩු භාණ්ඩ ලින්ඩා පරිහරණය කළ නිසා ඇය අපරාධකාරියක බව අධිකරණය තීරණය කළ අතර ඇයට වසර විස්සක සිරදඬුවමක් නියම විය. කෙසේ වෙතත් 1915 දෙසැම්බර් 25 දින ඇය නිදහස ලැබුවා ය. 1916 වසරේ දී ඇයට සම්පුර්ණ සමාවක් ලබා දීමට වොෂින්ටන් හි ආණ්ඩුකාරවරයා තීරණය කළේ ය.
නවසීලන්තයට සංක්‍රමණය වීම සහ අවසාන කාලය
1920 දී සිය සැමියා සමඟ නවසීලන්තයට සංක්‍රමණය වූ ලින්ඩා එහිදී ද සිය මාරාන්තික ප්‍රතිකාර සිදු කළා ය. එම ප්‍රතිකාර ක්‍රමය පිළිබඳ ව පොතක් ද ලියා මුද්‍රණය කළ ඇය එම පොත අලෙවියෙන් විශාල මුදලක් උපයාගත්තා ය. ඒ මුදලින් නැවැතත් ඔලල්ලා නගරයට ගොස් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ආරම්භ කළා ය. කෙසේ නමුත් ඇය ලබා ගෙන තිබු ව්‍යාජ වෛද්‍ය බලපත්‍රය ඒ වන විට අවලංගු කර තිබූ බැවින් ඇයට එය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස හැඳින්වීමට හැකියාවක් නොතිබිණි.
ඒ නිසා ම ලින්ඩා සිය නව ප්‍රතිකාර මධ්‍යස්ථානය ‘සෞඛ්‍ය පාසලක්’ ලෙස ජනතාව අතර ප්‍රචලිත කළා ය. සිය ප්‍රතිකාර සුපුරුදු පරිදි කරගෙන ගිය ඇය ඉතා විචක්ෂණශීලී ව කටයුතු කළ බැවින් රෝගීන් මරණයට පත් වුයේ නැත. කෙසේ වෙතත් 1935 දී ඇති වූ ගින්නක් හේතුවෙන් ඇගේ සෞඛ්‍ය පාසල විනාශ විය.
මේ කාලය තුළ ඇය පොත් තුනක් ලියා මුද්‍රණය කළ අතර ඒවා ආහාර නොගැනීම නිසා රෝග සුව කරන ආකාරය පදනම් කරගත් ඒවා විය. එම පොත් වර්තමානයේ දී පවා සමහර පොත්හල්වල මිලදී ගැනීමට තිබේ.
1938 වසරේ දී ලින්ඩා රෝගී වූ අතර සිය ප්‍රතිකාර ක්‍රමය පිළිබඳ ව සැකයක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බව ජනතාවට ඒත්තු ගැන්වීමේ අරමුණින් ඇය ද ආහාර නොගෙන සිටියා ය. කෙසේ නමුත් අධික කුසගින්නේ සිටීම නිසා රෝගී තත්ත්වය උත්සන්න වූ බැවින් ලින්ඩා 1938 ජුනි මස 24 දින මිය ගියා ය.