ඔබ සිනමා රසිකයෙක් නම් ඔබට මතක ඇති 1998 දී තිරගත වූ ආමගෙඩන් (Armageddon) සිනමාපටය. ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගත් මෙම සිනමා පටයේ තේමාව වූයේ පෘථිවිය හා ගැටීමට නියමිත ව ඇති මාරක ඇස්ටෙරොයිඩයක්, න්‍යෂ්ටික බෝම්බයක් යොදා ගෙන පුපුරුවා හැරීමට කරන මාරාන්තික සටනක්. එම සිනමා පටයේ තාත්වික ලෝකය අතිශයෝක්තියට නඟා තිබුණත් විද්‍යාත්මක ප්‍රජාව, ග්‍රහකවලින් පෘථිවිය ආරක්ෂා කර ගැනීමට යොදා ගත හැකි උපක්‍රම පිළිබඳ ව තම අවධානය යොමු කර තිබුණේ අද ඊයේ නොවෙයි.
පෘථිවිය හා ගැටුම් මඟක ඇති ග්රහකයක් ඉන් ඉවත් කිරීමට විද්‍යාඥයන් ක්‍රම ගණනාවක් න්‍යායාත්මක ව යෝජනා කරන නමුත් ඔවුන්ගේ වැඩි ම අවධානය යොමුව ඇත්තේ, චාලක ශක්ති අවියක් ලෙස (Kinetic Energy Weapon) යොදා ගෙන සිදුකරන ඝට්ටනයක් මඟින් ජනිත වන ආවේගයෙන්, ග්රහකයක ගමන් මඟ වෙනස් කිරීමට යි. මෙවැනි ආකාරයේ පරීක්ෂණ පරිගණක ආකෘති මගින් ප්‍රතිනිර්මාණය කළ හැකි නමුදු, ඒවායේ වලංගුභාවය පිළිබඳ ව සෑහීමට පත්වීමට නොහැකිවී ඇත්තේ, ග්රහකවල භෞතික ස්වභාවය පිළිබඳ ව කල් තියා නිර්ණය කළ නොහැකිවීම නිසා යි.
උදාහරණයක් වශයෙන් 101955 Bennu නම් කාබන් සහිත (Carbonaceous) ග්රහකය දැක්විය හැකි යි. මෙම ඇස්ටෙරොයිඩයෙන් 2020 ඔක්තෝම්බර් මාසයේදී සාම්පලයක් ලබා ගත් OSIRIS-Rex නම් නියමුවන් රහිත අභ්‍යවකාශ යානය (space probe) එයට ගිලා නොබැස බේරී තිබුණේ අනූනවයෙන්. මෙයට හේතු වී ඇත්තේ එම ඇස්ටෙරොයිඩය ගුරුත්වාකර්ෂණය හේතුවෙන් දුර්වල ව බැඳී තිබුණු ග්රහක සුන්බුන් ගොඩක් වීම නිසා යි.
මෙම හේතුව නිසා පරිඝණක ආකෘතිවල වලංගුභාවය ප්‍රායෝගික දත්ත මඟින් තහවුරු කිරීම අත්‍යවශ්‍ය වී තිබෙනවා. එවැනි උත්සාහයක ප්‍රතිඵලයක් අමෙරිකාවේ නාසා ආයතනය සහ ජෝන්ස් හොප්කින්ස් ව්‍යවහාරික භෞතිකවිද්‍යා පර්යේෂණාගාරය (Jones Hopkins Applied Physics Laboratory) පසුගිය දිනෙක මල් පල ගැන්වූවා. ඒ 2021 නොවැම්බර් 24 දින ෆැල්කන් 9 (falcon 9) රොකට්ටුවක් ආධාරයෙන් අභ්‍යවකාශ ගත කළ ඩාට් (DART) අභ්‍යවකාශ යානය සමඟින්.
ඩාට් යනු කිලෝග්‍රෑම් 610 ක ස්කන්ධයක් ඇති කුඩා ප්‍රමාණයේ අභ්‍යවකාශ යානයක්. එය මෙවැනි ආකාරයේ පරීක්ෂණයක් සඳහා, එනම් ග්රහකයක් මත ඕනෑකමින් ගැටීමට සැලැස්වීමට යොදා ගන්නා පළමුවන යානය වීම විශේෂත්වයක්. මෙම යානයේ ප්‍රචාලක මාධ්‍යය වන සෙනෝන් අයන එන්ජිම (xenon ion engine) සඳහා බලය සපයා ගන්නේ එකක් මීටර 8.5 ක් දිගැති සූර්යය පැනල යුගළයක් මඟින්. ඩාට් සතු එක ම කැමරාව වන DRACO (Didymos Reconnaisance and Asteroid Camera for Optical Navigation), පික්සල 2,560×2,160 ක වර්ණ ඡායාරූප ගතහැකි එකක්. එය නම් කර ඇති පරිදි ග්රහකය ඡයාරූපගත කිරීම සහ මෙහෙයුමේ අවසන් අදියරේ දී ස්වයංක්‍රීය දෘෂ්‍ය මඟපෙන්වීම (autonomous optical navigation) සඳහා යොදා ගන්නවා.
මෙයට අමතර ව ඩාට් සමඟ LICIACube (Light Italian Cubesat of Imaging of Asteroids) නම් කිලෝග්‍රෑම් 14 ක ස්කන්ධයක් ඇති දුහිතෘ යානයක් අභ්‍යවකාශගත කෙරුණා.
එය 2022 සැප්තැම්බර් 12 වැනි දින මව් යානයෙන් වෙන් වූ අතර ඩාට්, ග්රහකය සමඟ ගැටීමෙන් මිනිත්තු 3 කට පමණ පසු එය පසුකර යමින් අභ්‍යවකාශයට නික්මෙන දුහුවිලි වලාව සහ ගැටුම් ආවාටය ඡායාරූප ගත කර පෘථිවියට සම්ප්‍රේෂණය කිරීමට සූදානම්න් සිටිනවා.
ගමනාන්තය
ඩාට් මෙහෙයුම සඳහා විද්‍යාඥයන් තෝරා ගත් ග්රහකය හරි අපූරු එකක්. එය ඇත්තෙන් ම ඩිඩිමස් (Didymos) සහ ඩයිමෝෆස් (Dimorphos) යන ග්රහක යුගළයෙන් සැදුම් ලත් ද්විත්ව ග්රහක පද්ධතියක්. ඒ කියන්නේ මේ දෙදෙනාගෙන් විශාල ග්රහකය වන ඩිඩිමස් (විෂ්කම්භය මීටර 780) වටා කුඩා ග්රහකය වන ඩයිමෝෆස් (විෂ්කම්භය මීටර 160), කිලෝමීටර 1 ක පමණ ඈතින් පිහිටි කක්ෂයක සිට පරිභ්‍රමණය වෙනවා.
ඩිඩිමස් – ඩයිමෝෆස් පද්ධතිය සූර්යය කේන්ද්‍රීය කක්ෂයක (heliocentric orbit) පරිභ්‍රමණය වන අතර එයට සූර්යයා වටා සම්පූර්ණ වටයක් යාමට දින 770 ක් යනවා. ඩයිමෝෆස් සෑම පැය 11 යි මිනිත්තු 55 කට වරක් තම මව් ග්රහකය වටා වටයක් සම්පූර්ණ කරනවා.
ඩාට් මෙහෙයුම සඳහා තනිකඩ ග්රහකයක් වෙනුවට ඩිඩිමස් – ඩයිමෝෆස් වැනි ද්විත්ව පද්ධතියක් තෝරා ගැනීමට හේතු වී ඇත්තේ, කුඩා ප්‍රමාණයේ ගැටුමකින්, ග්රහකයක කක්ෂයක සිදුවන වෙනස්වීමක් පෘථිවියේ ඇති දූරේක්ෂ මඟින් නිරීක්ෂණය කිරීම ඉතා අපහසු වීම යි. ද්විත්ව ග්රහක පද්ධතියක පරිවාර ග්රහකය මත සිදුවන ගැටුමකින් කක්ෂයේ සිදුවන වෙනස්වීම, එහි ප්‍රධාන ග්රහකය වටා පරිභ්‍රමණ ආවර්ථ කාලයේ සිදුවන වෙනස්වීම මඟින් සාපේක්ෂව පහසුවන් මිණිය හැකි යි.
ගමනක නිමාව
ගැටුමට පැය 4 කට පමණ පෙර සිට අවසන් ප්‍රවේශය සඳහා ස්වයංක්‍රීය ව යානය පාලනය කිරීමේ වගකීම එය සතු පරිගණක වෙත පැවරෙනු ඇති. මේ සඳහා DRACO කැමරාවෙන් ලැබෙන ඡායාරූපවල ඩිඩිමස් සහ ඩයිමෝෆස් ගේ ඡායාවන් ලුහුබැඳීම (tracking) සිදු කරනවා.
මේ අනුව සියල්ල සැලසුම්කළ පරිදි සිදුවුවහොත් 2022 සැප්තැම්බර් 27 දින ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 4.44 ට පමණ ඩාට් පර්යේෂණ යානය (ගැටෙන මොහොතේ, ඉන්ධන වැයවීම නිසා නව ස්කන්ධය කිලෝග්‍රෑම් 570 කි) ඩයිමෝෆස්ට සාපේක්ෂව තත්පරයට කිලෝමීටර 6.1 ක ප්‍රවේගයකින් ඩයිමෝෆස් උප ග්රහකය මත මුහුණට මුහුණ ගැටෙනු ඇති. එමඟින් එහි කක්ෂයේ කාලාවර්ථය සියයට එකකින් පමණ දිගුවනු ඇතිබව නාසා හි විද්‍යාඥයන් විස්වාසය පළ කරනවා.
අවසන් ප්‍රතිඵලය
නාසා ආයතනය කළ අධ්‍යයනයන්ට අනුව, ගැටුමෙන් පසු ප්රක්ශේපණය වන ග්රහක කැබලි ස්කන්ධයෙන් වැඩි ප්‍රමාණයක් ගුරුත්වය නිසා ග්රහක පද්ධතිය වෙත නැවත ඇදවැටෙන අතර සුළු ප්‍රමාණයක් වියෝග ප්‍රවේගය ඉක්මවා යමින් නව කක්ෂවල ස්ථාවර වීමට බොහෝ දුරට හැකියාව පවතිනවා.
මෙම අධ්‍යයන මඟින් ගොඩ නඟා ගත් ආකෘති, මේ ග්රහකය පාෂාණ සහ ලෝහමය ද්‍රව්‍යවල එකතුවකින් සෑදුණු එකක් බව උපකල්පනය කරනවා. ග්‍රහකයේ අභ්‍යන්තර සැකැස්ම පිළිබඳ සැලකිය යුතු අවිනිශ්චිතතාවක් පවතිනවා. ගැටුමේ අවසන් ප්‍රතිඵලය කුමක් වුවත් ග්රහක යුගළය පෘථිවියට කිසිදු තර්ජනයක් ඇති නොකරන බව ද නාසා ආයතනය පවසනවා.
අනාගතයට
ඈත අභ්‍යවකාශයේ ස්වභාවික ග්රහවස්තුවක ගමන්මඟ වෙනස් කිරීමට මිනිසුන් මෙයට පෙර කිසිදු දිනෙක උත්සාහ දරා නැහැ. එබැවින් මෙම අත්හදාබැලීම මිනිසාගේ තාක්ෂණික දියුණුවේ තවත් එක් සංධිස්ථානයක් ලෙස සැලකිය හැකි යි. එසේ ම මෙය අනාගතයේ ග්රහක මඟින් පෘථිවියට එල්ලවිය හැකි තර්ජන වලක්වාගැනීම සඳහා වන ක්‍රමෝපායය උපදවා ගැනීමේ ප්පළමු පියවරයි. වර්තමානයේ, පෘථිවිය හා ගැටීමට ඉහළ සම්භාවිතාවක් ඇති ග්රහක මේවනතෙක් සොයාගෙන නැතත් අනාගතයේ එවැන්නක් සොයා නොගනී යයි කිසිවකුටත් පුරෝකතනය කළ නොහැකි යි. එබැවින් මෙම අත්හදාබැලීම අනාගතය සදහා පෙර සූදානමක් ලෙස සැලකිය හැකි යි.