2022 ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පසුගිය අගෝස්තු 27 වැනි දින ආරම්භ වුණා. තරගාවලියේ මූලික වටයේ දී ඉහළ දස්කම් දැක්වූ ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය යන කණ්ඩායම් සුපිරි කණ්ඩායම් 4 තරග වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා.
ඉතාමත් තරගකාරී ස්වභාවයක් ගත් සුපිරි කණ්ඩායම් 4 තරග වටයේ දී ඉහළ දස්කම් දැක්වූ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය එළඹෙන සැප්තැම්බර් 11 වැනිදා පැවැත්වෙන අවසන් තරගය සඳහා සුදුසුකම් සැපිරුවා.
එසේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ආසියා කුසලාන අවසන් තරගයකට සුදුසුකම් ලබා ගත්තේ 2014 වසරෙන් පසුව යි. එනිසා මෙම කණ්ඩායම් ද්විත්වය ම මෙවර ආසියා කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා මාන බලමින් සිටිනවා.
වර්තමාන 20/20 පිටියේ සිටින වඩාත් සමබර කණ්ඩායම් 2ක් වන ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අවසන් තරගයේ දී ප්‍රබල සටනක නිරත වනු ඇති බවට දැනටමත් ක්‍රිකට් විස්තර විචාරකයන් අනාවැකි පළ කර තිබෙනවා. එවැනි වටපිටාවක මෙවර ආසියා කුසලාන අවසන් තරගයේ වාසිය කුමන කණ්ඩායම සතුව තිබේද යන වග කතා කිරීමට අප කල්පනා කළා.
කණ්ඩායම් දෙක අවසන් තරගය දක්වා පැමිණි ගමන් මඟ
2022 ආසියා කුසලාන තරගාවලියේ මූලික තරග වටයේ දී B කාණ්ඩය ඔස්සේ තරග බිමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය සමඟින් තරග වැදුණා. එහි දී ඔවුන් ඇෆ්ගනිස්තානය හමුවේ කඩුලු 8ක පරාජයක් ලැබුවත්, බංග්ලාදේශය හමුවේ ලබාගත් කඩුලු 2ක ජයග්‍රහණය නිසා සුපිරි කණ්ඩායම් 4 තරග වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා.
එම තරග වටයේ දී පිළිවෙළින් ඇෆ්ගනිස්තානය හමුවේ කඩුලු 4ක ජයක් ද, ඉන්දියාව හමුවේ කඩුලු 6ක ජයක් ද වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පහසුවෙන් ම අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා.
මෙවර ආසියා කුසලාන තරගාවලියේ මූලික තරග වටයේ දී A කාණ්ඩයෙන් තරග වැදුණු පාකිස්තානය මුල් ම තරගයේ දී ඉන්දියාව හමුවේ කඩුලු 5ක පරාජයක් ලැබුවා. හොංකොං කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙන් ලකුණු 155ක ජයක් ලබා ගත් පාකිස්තානය සුපිරි කණ්ඩායම් 4 තරග වටය සඳහා සුදුස්සන් වුණා.
ඉන් පසුව පැවති සුපිරි කණ්ඩායම් 4 තරග වටයේ දී ඉන්දියාව හමුවේ කඩුලු 5ක ජයක් ලබා ගත් පාකිස්තාන කණ්ඩායම ඇෆ්ගනිස්තාන තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් ලබා ගනිමින් අවසන් තරගය සඳහා සුදුසුකම් සපුරා ගත්තා.
තරගාවලි ඉතිහාසයේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවට
ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භය සනිටුහන් වුණේ 1984 දී යි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර පැවති එම තරගාවලිය ආරම්භ කරමින් තරග කළේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය යන කණ්ඩායම් යුගළය යි. එම තරගයෙන් කඩුලු 5ක ජයක් හිමි වුණේ ශ්‍රී ලංකාවට යි. එදා සිට අද දක්වා ආසියා කුසලාන තරග 15කදී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය උරෙනුර ගැටුණා.
එයින් තරග 10ක ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු වෙද්දී පාකිස්තානයට ජයගැනීමට හැකි වුණේ තරග 5ක් පමණ යි. ඒ අනුව ආසියා කුසලාන ඉතිහාසය තුළ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවති තරගවල දී වැඩි ගෞරව හිමි වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට යි.
අවසන් තරග 3ක දී උරෙනුර ගැටුණා
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ආසියා කුසලාන අවසන් තරග 3ක දී උරෙනුර ගැටී තිබෙනවා. ඒ 1986, 2000 සහ 2014 යන වසරවල දී යි. එහි දී 1986 සහ 2014 අවසන් තරග ද්විත්වය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරද්දී 2000 අවසන් තරගය ජයග්‍රහණය කළේ පාකිස්තාන කණ්ඩායම යි.
ඒ අනුව ආසියා කුසලාන අවසන් තරගවල දී පාකිස්තාන අභිබවා යාමට ශ්‍රී ලංකාවට හැකි වුණා.
මෙවර අවසන් තරගයට පෙර සිදු වන දෙපිලේ හමුවීම
2022 ආසියා කුසලාන තරගාවලියේ අවසන් තරගය ඩුබාහි හිදී සැප්තැම්බර් 11 වැනිදා පැවැත්වීමට නියමිත යි. එම තරගයට පෙර ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගයක් පැවත්වෙනවා. ඒ සුපිරි කණ්ඩායම් 4 වටය යටතේ යි. එම තරගය ද අවසන් තරගය පැවැත්වෙන ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීම විශේෂත්වයක්. එනිසා එම තරගයේ දී කණ්ඩායම් දෙකටම යම් උපක්‍රම ක්‍රියාත්මක කළ හැකි යි.
එම තරගයේ දී ක්‍රියාත්මක කළ හැකි උපක්‍රම
අවසන් තරගය පැවැත්වෙන ඩුබායි ක්‍රීඩාංගණයේ දී දෙවන වර පන්දුවට පහරදෙන කණ්ඩායම් වැඩි වශයෙන් තරග ජයග්‍රහණය කරනවා. එනිසා සෑම කණ්ඩායමක් ම ඩුබායි පිටියේ පැවැත්වෙන තරගවල දී කාසියේ වාසිය දිනා ගෙන පන්දුවට මුලින් ම පහර දෙනවා. නමුත් සෑම විට ම කාසියේ වාසිය ජයග්‍රහණය කිරීම අපහසු යි.
එනිසා කාසියේ වාසිය පරාජය වී මුලින් ම පන්දුවට පහර දීමට සිදුවුණොත් ඇති වන තත්ත්වයන් සඳහා සූදානම් වීමට කණ්ඩායම් දෙකට ම මෙය හොඳ ම අවස්ථාවක්. ශ්‍රී ලංකා- පාකිස්තාන සිකුරාදා තරගයේ දී කාසියේ වාසිය දිනා ගන්නා කණ්ඩායමට මුලින්ම පන්දුවට පහරදිය හැකි යි. ශ්‍රී ලංකාව 2008 ආසියා කුසලානයේ දී ඉන්දියාවට එරෙහි ව මෙම උපක්‍රමය අනුගමනය කරමින් සාර්ථක වුණා.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය 2019 වසරෙන් පසුව සීමිත පන්දුවාර තරගවල දී එකිනෙකා හමු වී නැහැ. එහි වැඩි වාසිය ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට යි. ඒ, මහීෂ් තීක්ෂණ සහ දිල්ෂාන් මදුසංක වැනි පන්දු යවන්නන් සුදු පන්දුවෙන් පන්දු යවන ආකාරය පිළිබඳ ව පාකිස්තාන පිතිකරුවන්ට නිසි අවබෝධයක් නොමැති නිසා යි.
විශේෂයෙන්ම මෙවර ආසියා කුසලාන තරගාවලියේ දී පාකිස්තාන පිතිකරුවන් වමත් වේගපන්දු යවන්නන් හමුවේ අසාර්ථක වුණා. ඒ අනුව මෙවර ආසියා කුසලාන අවසන් තරගයේ දී පාකිස්තාන පිතිකරුවන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කළ හැකි ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතර දිල්ෂාන් ඉදිරියෙන් ම සිටිනවා.
ඒ වාගේම මහීෂ් තීක්ෂණගෙන් ද පාකිස්තාන පිතිකරුවන්ට තර්ජනයක් එල්ල වීමට වැඩි ඉඩකඩක් පවතිනවා.
එවැනි තත්ත්වයක් යටතේ සිකුරාදා ශ්‍රී ලංකා-පාකිස්තාන තරගයේ දී දිල්ෂාන් මදුසංක සහ මහීෂ් තීක්ෂණ යන පන්දු යවන්නන් යුගළය විවේක ගැන්වූයේනම් එය ඉතාමත් හොඳ උපක්‍රමයක්. 2008 ආසියා කුසලානයේ දීත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවැනි උපක්‍රමයක් ක්‍රියාත්මක කළා.
ඒ අවසන් තරගයට පෙර ඉන්දියාව හමු වුණු අවස්ථාවේ අජන්ත මෙන්ඩිස් විවේක ගැන්වීම යි. එදා ශ්‍රී ලංකා කණ්ඩායම අනුගමනය කළ එම උපක්‍රමය සාර්ථක වුණා. එවර ආසියා කුසලාන අවසන් තරගයේ දී ඉන්දීය පිතිකරුවන් අන්දමන්ද කළ අජන්ත කඩුලු 6ක් දවා ගනිමින් සුපිරි දස්කම් දැක්වීමට සමත් වුණා.
කාසියේ වාසිය තීරණාත්මක සාධකයක්
මෙවර ආසියා කුසලාන අවසන් තරගය පැවැත්වෙන්නේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී බව මෙම ලිපියේ ඉහත දී සඳහන් කළා. මෙම ක්‍රීඩාංගණයේ දී අවසන් වරට පැවති 20/20 තරග 10න් 8ක් ම කාසියේ වාසිය දිනා ගෙන මුලින් ම පන්දු යැවූ කණ්ඩායම ජයග්‍රහණය කර තිබීම විශේෂත්වයක්. එනිසා මෙවර ආසියා කුසලාන අවසන් තරගයේ දී කාසියේ වාසිය තීරණාත්මක සාධකයක්.
මෙය ආසියානු තණතීරුවල දක්නට ලැබෙන සාමාන්‍ය දෙයක්. මෙතෙක් පැවති ආසියා කුසලාන අවසන් තරග 13 අතුරින් තරග 9ක් කාසියේ වාසිය දිනා ගත් කණ්ඩායම ජයග්‍රහණය කර තිබීමෙන් එය ඔප්පු වෙනවා. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ අවස්ථා 3ක දී කාසියේ වාසිය පරාජය වී ආසියා කුසලානය දිනා ගෙන තිබීම ද විශේෂත්වයක්. ඔවුන් එම දස්කම දැක්වීමට සමත් වුණේ 1997, 2008 සහ 2014 යන ආසියා කුසලාන අවසන් තරගවල දී යි.
දෙපිලේ ම පිතිකරණ ශක්තිය ඉහළ යි
වර්තමාන 20/20 පිතිකරණ ශ්‍රේණිගතකිරීම්වල අංක 1 සහ 2 ස්ථානයේ පසු වන මොහොමඩ් රිස්වාන් සහ බාබර් අසාම් පාකිස්තානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කිරීම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එල්ල වන දැවැන්ත අභියෝගයක්. මෙවර තරගාවලියේ දී අසාම් දැඩි ලෙස අසාර්ථක වෙමින් ඉනිම් 4ක් තුළ ලබා ගත්තේ ලකුණු 33ක් පමණ යි. එය ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට තරමක අස්වැසිල්ලක්.
ඔවුන් දෙදෙනා හැරුණු විට ෆකර් සමාන්, මොහොමඩ් නවාස්, අසීෆ් අලී වැනි පිතිකරුවන් පාකිස්තාන පිතිකරු ලැයිස්තුව ශක්තිමත් කරනවා. මෙවර ආසියා කුසලාන තරගාවලියේ දී පාකිස්තාන කණ්ඩායම වැඩිපුර යැපුණේ මොහොමඩ් රිස්වාන්ගේ පිත්ත මත යි. එහි දී ඔහු ඉනිම් 4ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 212ක් ලබා ගත්තා. එනිසා රිස්වාන්ගේ කඩුල්ල ඉක්මනින් දවාගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත්.
පාකිස්තාන පිතිකරු ලැයිස්තුවට නොදෙවෙනි පිතිකරු ලැයිස්තුවක් ශ්‍රී ලංකා කණ්ඩායම සතු ව සිටිනවා. ඔවුන් අතුරින් මේ දිනවල හොඳින් ම ලකුණු අතර සිටින්නේ කුසල් මෙන්ඩිස් නම් පිතිකරුවා යි.
ඔහු මේ වන විට තරග 4කට සහභාගි වී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 155ක් ලබා ගෙන සිටිනවා. ඔහුට අමතර ව දසුන් ශානක, භානුක රාජපක්ෂ සහ පැතුම් නිස්සංක යන පිතිකරුවන් හොඳින් ලකුණු අතර සිටිනවා.
එහි දී කුසල් සහ පැතුම් අවසන් වරට පැවති තරග දෙකේ දී ආරම්භක කඩුල්ල වෙනුවෙන් පිළිවෙළින් ලකුණු 62ක සහ 97ක සබඳතා ගොඩනැඟීමට සමත් වුණා. අවසන් තරගයේ දීත් ඔවුන් දෙපළට එවැනි ආරම්භයක් ලබාදීමට හැකිවුණොත් භානුක සහ දසුන් වැනි ප්‍රවේගකාරී පිතිකරුවන්ට නිදහසේ සිය ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතිනවා. එසේ වුණොත් පාකිස්තාන පන්දු යවන්නන්ට ප්‍රබල පීඩනයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට හැකිවනු ඇති.
පන්දු යැවීම අතින් ශ්‍රී ලංකාව ඉදිරියෙන්
ශ්‍රී ලංකා සහ පාකිස්තාන කණ්ඩායම්වල පන්දු යැවීම සංසන්දනය කරද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් සිටින බව පැහැදිලිව ම පෙනෙන්නට තිබෙන කරුණක්. 20/20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගතකිරීම්වල මුල් 10 දෙනා අතර සිටින වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ ශ්‍රී ලංකා පන්දු බළඇණිය ශක්තිමත් කරනවා.
ඔවුන් දෙදෙනාට වමත් වේගපන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මදුසංක එකතු වී සිටීම නිසා ශ්‍රී ලංකා පන්දු බළඇණියේ ශක්තිය තවත් වැඩි වී තිබෙනවා. නව පන්දුව හොඳින් හැසිරවීම දිල්ෂාන් සතු ව පවතින විශේෂ දක්ෂතාවක්.
ඔහු එය උපයෝගී කරගෙන පාකිස්තාන ආරම්භක පිතිකරු යුගළය ඉක්මනින් ම දවා ගතහොත් ශ්‍රී ලංකාවට තරගයේ වැඩි වාසි අත්පත් කරගන්නට පුළුවන්.
මෙවර තරගාවලියේ පාකිස්තාන වේග පන්දු යවන්නන්ට සාපේක්ෂ ව දඟපන්දු යවන්නන් දස්කම් දක්වා තිබීම විශේෂත්වයක්. එහි දී මොහොමඩ් නවාස් පන්දුවාර 14.4ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 86කට කඩුලු 8ක් බිඳ දමද්දී, ෂඩාබ් ඛාන් පන්දුවාර 14.4ක් යවමින් ලකුණු 84ක් ප්‍රතිවාදීන්ට ලබා දී කඩුලු 7ක් දවා ගත්තා.
එයින් පැහැදිලි වන්නේ මෙවර ආසියා කුසලාන අවසන් තරගයේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් පාකිස්තාන දඟපන්දු යවන ක්‍රිඩක යුගළයෙන් පරෙස්සම් විය යුතු බව යි.
කුසලානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවට වැඩි අවස්ථාවක්
මෙම කණ්ඩායම් යුගළය ම මෙවර ආසියා කුසලාන තරගාවලියේ දී මුල් තරගය පරාජයට පත් වී ඉන් පසුව ක්‍රීඩා කළ තරග 3 ජයග්‍රහණය කළා. එහි දී ශ්‍රී ලංකාව එම තරග ත්‍රිත්වයේ දී ම ලකුණු 173කට වැඩි ඉලක්ක හඹා ගොස් තරග ජයග්‍රහණය කිරීම විශේෂත්වයක්.
මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත් ඉහළ මානසික තත්ත්වයක පසුවෙනවා. ඒ අනුව පාකිස්තානයට සාපේක්ෂව ශ්‍රී ලංකාව පෙන්වූ දස්කම් ඉහළ යි.
මෙම ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ඔවුන්ගේ පිතිකරු ලැයිස්තුවේ තිබෙන සමබර බව යි.
එනිසා අසීරු තත්ත්වයට පත්ව සිටින ඕනෑම අවස්ථාවක යළි නැඟිටීමේ හැකියාව ශ්‍රී ලංකා කණ්ඩායම සතු ව පවතිනවා. පසුගිය තරග තුනේ දී ම ශ්‍රී ලංකා පිතිකරුවන් එය ඔප්පු කර පෙන්නුවා.
පාකිස්තාන කණ්ඩායම ඊට සාපේක්ෂ ව බොහෝ වෙනස්. ඔවුන්ගේ පිතිකරණ ලැයිස්තුව ශක්තිමත් කරන්නේ මුල් පිතිකරුවන් කිහිපදෙනා යි. ඒ අතුරින් මොහොමඩ් රිස්වාන් විශේෂ යි. ඔවුන්ගේ මුල් කඩුලු කිහිපයක් ඉක්මනින් දැවී ගියොත් පාකිස්තාන කණ්ඩායම දැඩි පීඩනයකට හසු කර ගන්නට පුළුවන්.
පසුගිය පාකිස්තාන-ඇෆ්ගනිස්තාන් තරගයේ දී එය පැහැදිලිව ම දක්නට ලැබුණා. එනිසා ශ්‍රී ලංකා පන්දු යවන්නන් කළ යුත්තේ පළමු පන්දුවාර කිහිපය තුළ පාකිස්තාන කඩුලු කිහිපයක් දවා ගැනීම යි.
මෙම කරුණු කාරණා පිළිබඳව මැදිහත් සිතින් විමසා බලද්දී අවසන් තරගයේ වැඩි වාසිය ශ්‍රී ලංකාව සතුව පවතින බව පැහැදිලියි. පාකිස්තානය ද සුළුවෙන් තකන්නට පුළුවන් කණ්ඩායමක් නොවෙයි. එනිසා මෙවර ආසියා කුසලාන තරගාවලියේ අවසන් තරගයේ දී මෙම කණ්ඩායම් දෙක අතර කරට කර සටනක් පවතිනු ඇති බවට සැකයක් නැහැ.