Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අසාර්ථක පිතිහරඹයකින් කෙළවර වූ රිකී පොන්ටින් ගේ සමු ගැනීම

රිකී පොන්ටින් යනු ඕස්ට්‍රේලියාව බිහි කළ සුපිරිත ම නායකයා යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. ඔහුගේ නායකත්වය යටතේ ඕස්ට්‍රේලියාව ජයග්‍රහණ ගණනාවක් ම අත්කර ගත්තා. නායකයකුට අමතර ව ඕස්ට්‍රේලියාව බිහි කළ සුපිරිත ම පිතිකරුවන් ලැයිස්තුවේ වාර්තා අතර ඉහළින් ම රැඳී සිටීමට ද රිකී පොන්ටින් සමත් වුණා. ටෙස්ට් තරග 168 ක දී ඉනිමක සාමාන්‍ය 51.85 ක ඉහළ අගයක පවත්වා ගෙන පොන්ටින් ලබාගත් සමස්ත ලකුණු සංඛ්‍යාව 13,378 ක්.

ඔහු ටෙස්ට් ලකුණු ලාභීන් අතර ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩි ම සහ ක්‍රිකට් ඉතිහාසයේ දෙවැනියට සිටින වැඩි ම ලකුණු ලාභියා ද වනවා. පොන්ටින් ටෙස්ට් ලකුණු අතින් දෙවැනි වන්නේ සචින් තෙන්දුල්කාර්ට පමණ යි. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩි ම එක්දින ලකුණු ලාභියා යන වාර්තාව ද හිමි ඔහු, එක්දින තරග 375 කදී ලකුණු 13 704 ක් වාර්තා කළා. එක්දින ඉතිහාසයේ වැඩි ම ලකුණු ලාභීන් අතර රිකී පොන්ටින්ට තෙවන ස්ථානය හිමි ව තිබෙනවා.

පොන්ටින් තම නායකත්වය යටතේ ජයග්‍රහණය කළ ලෝක කුසලාන ද්විත්වය සමග – www.icccricket.com

මේ ආකාරයෙන් වාර්තා ගණනාවක් පිහිටවූ ඕස්ට්‍රේලියා ක්‍රිකට් පුරාවෘත්තයට සොඳුරු ක්‍රිකට් අවසානයක් හිමි වූයේ නෑ. පොන්ටින් ටෙස්ට් ක්‍රිකට්වලට ප්‍රථමයෙන් එක්දින සහ විස්සයි විස්ස ආකෘති යේ තරගවලින් සමු ගැනීම ප්‍රකාශ කළා. ඔහු තරග කළ අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය බවට 2012 දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඕස්ට්‍රේලියා සංචාරය නම් කළ හැකි යි. මේ තරගාවලියට ටෙස්ට් තරග 3 ක් ඇතුළත් ව තිබුණා.

පළමු ටෙස්ට් තරගය

2012 නොවැම්බර් මස 09 වනදා ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකානු නායක ග්‍රැහැම් ස්මිත් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ යටතේ පිටියට පිවිසි දකුණු අප්‍රිකාවට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට අවස්ථාව උදා වූයේ නෑ. නායක ග්‍රැහැම් ස්මිත් ලකුණු 10 කට දැවී ගියා. හෂීම් අම්ලා සහ ඇල්විරෝ පීටර්සන් දෙවන කඩුල්ලට ලකුණු 90 ක අගනා සම්බන්ධයක් ගොඩනැඟුවා. එහිදී පීටර්සන් ලකුණු 64ක් ලබා ගත්තා.

දිනය නිමා වන තෙක් ම පිටියේ රැඳී සිටි හෂීම් අම්ලා නොදැවී ලකුණු 90 ක් සහ ජාක් කාලිස් නොදැවී ලකුණු 84 ක් ලබා සිටියා. දකුණු අප්‍රිකාව පළමු දිනය කඩුලු 2 ක් දැවී ලකුණු 255 ක් ලබා නිමා කළේ ප්‍රබල තත්ත්වයක පසු වෙමින්. කෙසේ වුවත් බ්‍රිස්බේන්වලට ඇද වැටුණු අධික වර්ෂාව නිසා තරගයේ දෙවන දිනය ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණේ නෑ. තෙවන දිනය ආරම්භ කොට සුළු මොහොතකින් අම්ලා සහ කාලිස් දෙපළ ම තම ශතක සම්පූර්ණ කළා.

හෂීම් අම්ලා සහ ජාක් කාලිස් දෙපළ ම ශතක වාර්තා කළා – www.espncricinfo.com

හෂීම් අම්ලා පන්දු 244ක දී හතරේ පහර 7 ක් සහ එක් හයේ පහරක් ද සමග ලකුණු 104 ක් ද, ජාක් කාලිස් පන්දු 274 කදී හතරේ පහර 14 ක් සහ හයේ පහරක් ද සමග ලකුණු 147 ක් ද ලබා ගත්තා. දකුණු අප්‍රිකාව පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 450 ක් ලබා ගනිද්දී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ ජේම්ස් පැටින්සන් ලකුණු 93 කට කඩුලු 3 ක් දවා ගත්තා. ඕස්ට්‍රේලියා පළමු ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 40 ක දී බිඳ වැටුණා. රිකී පොන්ටින් ලකුණු ලබා ගැනීමටත් පෙර දවා ගැනීමට මෝනේ මෝකල් සමත් වුණා.

මයිකල් ක්ලාක් ගේ නායකත්වයේ ඉනිම

තරගයේ තෙවන දිනය අවසන් වන විට කඩුලු 3ක් දැවී ලකුණු 111 ක් දක්වා ඕස්ට්‍රේලියා ඉනිම ඔසවා තැබීමට නායක මයිකල් ක්ලාක් සහ ආරම්භක පිතිකරු එඩ් කවන් සමත් වී සිටියා. ඉන් අනතුරු ව සිව්වන දිනයේ දී තම වගකීම මනාව වටහා ගත් ඔවුන් දෙදෙනා සිව්වන කඩුල්ලට සුපිරි සම්බන්ධතාවක් ගොඩ නැඟුවා. අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට ගොදුරු වන විට එඩ් කවන් පන්දු 257 කදී හතරේ පහර 17 ක් ද සමග ලකුණු 136 ක් රැස් කර තිබුණා. එය ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ මංගල ශතකය වීම ද විශේෂත්වයක්.

එඩ් කවන් සහ මයිකල් ක්ලාක් සිව්වන කඩුල්ලට ලකුණු 259 ක් එක් කොට තිබුණා. ඕස්ට්‍රේලියා නායක මයිකල් ක්ලාක් සිව්වන දිනයේ දී තම ශතකය මෙන් ම ද්විත්ව ශතකය ද සම්පුර්ණ කළේ නායකත්වයේ වගකීම මනාව විදහා දක්වමින්. පිටියේ ස්ථාවර වූ මයික් හසී ද නොදැවී ලබා සිටි ලකුණු 86 නිසා සිවු වන දිනය අවසන් වන විට ඕස්ට්‍රේලියාව කඩුලු 4 ක් දැවී ලකුණු 487 ක් ලබා අතිශය ප්‍රබල තත්ත්වයක පසු වුණා. ඒ වන විටත් ඔවුන් දකුණු අප්‍රිකා පළමු ඉනිමට වඩා ලකුණු 37 ක් ඉදිරියෙන් සිටියා.

මයිකල් ක්ලාක් ගේ ඉනිමේ අවස්ථාවක් – www.espncricinfo.com

තරගයේ 5 වන සහ අවසන් දිනයේ දී ඕස්ට්‍රේලියාව වේගවත් ගියරයකට මාරු වී ලකුණු රැස් කරන ආකාරය දකින්නට ලැබුණා. මයික් හසී පන්දු 129 කින් ලකුණු 100 ක් ලබා සිටිය දී දැවී ගියා. ඕස්ට්‍රේලියාව දිවා ආහාරයට ප්‍රථමයෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 565 ක් ලබා සිටිය දී ඉනිම අත්හිටුවීමට තීරණය කළා. ඒ වන විට නායක මයිකල් ක්ලාක් පන්දු 398 කට මුහුණ දී හතරේ පහර 26 ක් ද සමඟින් නොදැවී ලකුණු 259 ක් ලබා සිටියා. මෝනේ මෝකල් ලකුණු 127 කට කඩුලු 3 ක් දවා ගත් අතර දකුණු අප්‍රිකාව පසුපසින් සිටි ලකුණු සංඛ්‍යාව 115 ක්.

ඕස්ට්‍රේලියා බලාපොරොත්තු

තරගයේ තවත් ඉතිරි ව තිබූ පන්දුවාර 68 ක දී දකුණු අප්‍රිකාව දවා ගැනීම ඕස්ට්‍රේලියා බලාපොරොත්තුව වී තිබුණා. ජේම්ස් පැටින්සන්, පීටර් සිඩ්ල් සහ නේතන් ලයන් ගේ පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකාවට ලකුණු ලබා ගැනීම පහසු වූයේ නෑ. කෙසේ වුවත් පස්වන දිනය අවසන් වන විට ඔවුන් කඩුලු 5 ක් දැවී ලකුණු 166 ක් ලබා තරගය ජය පරාජයෙන් තොර ව නිමා කර ගැනීමට සමත් වුණා. ඉනිමේ වැඩි ම ලකුණු ලාභියා බවට පත් වූ ජාක් කාලිස් ලකුණු 49 ක් රැස් කළා.

දකුණු අප්‍රිකා දෙවන ඉනිමේ කඩුල්ලක් දවා ගැනීමේ ප්‍රීතිය සමරන ඕස්ට්‍රේලියා ක්‍රීඩකයෝ – www.espncricinfo.com

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ජේම්ස් පැටින්සන් සහ නේතන් ලයන් කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුණා. එලෙස පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොර ව අවසන් වෙද්දී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියා නායක මයිකල් ක්ලාක්ට තරගයේ වීරයා සම්මානය හිමි වුණා.

දෙවන ටෙස්ට් තරගය

දෙවන තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ මයිකල් ක්ලාක් ගේ තීරණයෙන් ඕස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසියා. එහිදී ඔවුන් ගේ පළමු කඩුලු 3 ලකුණු 55 ක දී බිඳ වැටුණා. පොන්ටින් රැස් කළේ ලකුණු 4 ක් පමණ යි.

එවර ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් සහ මයිකල් ක්ලාක් දෙපළ දකුණු අප්‍රිකානු පන්දු යැවීමට එරෙහි ව වේගවත් පිතිහරඹයක නිරත වුණා. වෝනර් පන්දු 112 ක දී හතරේ පහර 16 ක් සහ හයේ පහර 4 ක් ද සමඟින් වේගවත් ලකුණු 119 ක් ලබා ගත්තා.

දිනය නිමාවන විට නායක මයිකල් ක්ලාක් නොදැවී ලකුණු 224 ක් ලබා සිටියා – www.espncricinfo.com

නැවත ක්‍රියාත්මක වූ මයිකල් ක්ලාක් දිනයේ සුපිරි ම ඉනිම ක්‍රීඩා කරමින් පන්දු 257ක දී හතරේ පහර 40 ක් සහ හයේ පහරක් ද සමඟ ලකුණු 230 ක් රැස් කළා. මයික් හසී ද පන්දු 130 කින් ලකුණු 103 ක් ලැබූ අතර ඕස්ට්‍රේලියාව පළමු දිනයේ පමණක් ලැබූ වාර්තාගත ලකුණු සංඛ්‍යාව 482 ක්. ඔවුන් පළමු ඉනිමට සියල්ලන් දැවී දැවැන්ත ලකුණු 550 ක් නිර්මාණය කරද්දී මෝනේ මෝකල් ලකුණු 146 කට කඩුලු 5 ක් දවා ගත්තා.

දකුණු අප්‍රිකානුවන් අවදානමේ

පිළිතුරු ඉනිම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා ගත් දකුණු අප්‍රිකාව දෙවන දිනය අවසන් වන විට කඩුලු 2 ක් පමණක් දැවී ලකුණු 217 ක් ලබා සිටියා. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ග්‍රැහැම් ස්මිත් පන්දු 244 කට මුහුණ දෙමින් හතරේ පහර 14 ක් ද සමඟ ලකුණු 122 ක් රැස් කළා. ඇල්විරෝ පීටර්සන් ලකුණු 54 යි. දකුණු අප්‍රිකා මැද පෙළ බිඳ වැටී ගිය අතර ම විටෙක ලකුණු 250කට කඩුලු 7 ක් බිඳ වැටී ඔවුන් දැඩි අවදානමකට ගොදුරු වී සිටියා.

තම පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කළ ෆෆ් ඩු ප්ලෙසිස් සහ ආබාධයක් නිසා පසුපෙළ පිතිකරුවෙක් බවට පත් වූ ජාක් කාලිස් දෙපළ දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 388 ක් දක්වා ඔසවා තැබුවා. ජාක් කාලිස් ලකුණු 58 ක් සහ ඩු ප්ලෙසිස් වටිනා ලකුණු 78 ක් ලබා ගත්තා. බෙන් හිල්ෆන්හවුන්ස් ලකුණු 49 කට කඩුලු 3ක් දවා ගනිද්දී පීටර් සිඩ්ල් සහ නේතන් ලයන් කඩුලු 2 බැගින් බිඳ හෙළුවා.

දකුණු අප්‍රිකා පළමු ඉනිමේ ජාක් කලිස් දැවී ගිය අවස්ථාව – www.espncricinfo.com

දකුණු අප්‍රිකාවට වඩා ලකුණු 162 ක් ඉදිරියෙන් සිටි ඕස්ට්‍රේලියාව සිවු වන දිනයේ තේ පානයට ප්‍රථමයෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 267 ක් ලබා සිටින විට ඉනිම අත්හිටුවීමට තීරණය කළා. ඕස්ට්‍රේලියා දෙවන ඉනිම වෙනුවෙන් සාර්ථක වූ මයික් හසී ලකුණු 54 ක් සහ ඩේවිඩ් වෝනර් ලකුණු 41 ක් ලබා ගත්තා.

සමස්ත තරගයේ ම කඩුලු 8 ක් දවා ගැනීමට සමත් වෙමින් මෝනේ මෝකල් දෙවන ඉනිමේ දී ලකුණු 50 කට කඩුලු 3ක් බිඳ හෙළුවා. දකුණු අප්‍රිකාවට ජයග්‍රහණය වෙනුවෙන් හිමි වූ දැවැන්ත ඉලක්කය ලකුණු 430 ක්.

සිව්වන දිනය අවසන් වීමටත් මත්තෙන් හෂීම් අම්ලා ඇතුළු ප්‍රභල පිතිකරුවන් සිව් දෙනෙක් ම දැවී ගියා – www.espncricinfo.com

ෆෆ් ඩු ප්ලෙසිස්!

පීටර් සිඩ්ල් සහ නේතන් ලයන් ගේ පන්දු යැවීම හමුවේ අසරණ වී ගිය දකුණු අප්‍රිකානු මුල් පෙළ කඩුලු එක පිට එක දැවී ගියා. සිවු වන දිනය අවසන් වන විට ඔවුන් ලකුණු 77 කට කඩුලු 4 ක් දැවී අසීරුතාවට පත් වී සිටියා. තම මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කරන ෆෆ් ඩු ප්ලෙසිස් සහ ඒ.බී.ඩිවිලියර්ස් යන දෙපළ පස්වන දිනයේ දී හිස බිමට නමා ගෙන ක්‍රීඩා කළා.

ඔවුන් දෙපළ දිවා ආහාරය තෙක් ම කඩුල්ලක් ලබා නොදී ක්‍රීඩා කළා. ඩිවිලියර්ස් සහ ඩු ප්ලෙසිස් දෙපළ පන්දුවාර 68 ක් ක්‍රීඩා කරමින් 5 වන කඩුල්ලට ලකුණු 91 ක සබඳතාවයක් පිහිටුවීමට සමත් වුණා. ඩිවිලියර්ස් පන්දු 220 කට මුහුණ දෙමින් ලකුණු 33 ක් ලබා ගත්තා.

ඩිවිලියර්ස් ගේ දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසි ජාක් කාලිස් ද පන්දු 110 ක් ක්‍රීඩා කරමින් ලකුණු 46 ක් ලබා ගැනීමට සමත් වුණා. එතැන් පටන් කඩුලු දැවී යන විටත් සටන අත නොහැරි ෆෆ් ඩු ප්ලෙසිස් මැරතන් ඉනිමක් ක්‍රීඩා කළා. මංගල ටෙස්ට් තරගයේ දී ම මංගල ශතකය ද ලැබූ ඩු ප්ලෙසිස් තරගය නිමා වන තුරු ම නොදැවී ක්‍රීඩා කළා. ඔහු පන්දු 376 කට මුහුණ දෙමින් හතරේ පහර 14 ක් ද සමග නොදැවී ලැබූ ලකුණු සංඛ්‍යාව 110 ක්.

ඩු ප්ලෙසිස් ගේ මැරතන් ඉනිමේ අවස්ථාවක් – www.espncricinfo.com

පස්වන දිනය අවසන් වෙද්දී දකුණු අප්‍රිකාව කඩුලු 8 ක් දැවී ලකුණු 248 ක් ලබා තරගය ජය පරාජයෙන් තොර ව නිමා කර ගැනීමට සමත් වුණා. ඔවුන් සිටි අසීරුතාව අනුව එය ලැබූ ජයග්‍රහණයක් ලෙසින් නම් කිරීම ද නිවැරැදි යි. මංගල ටෙස්ට් තරගයේ දී ම අමතක නොවන දස්කම් දැක්වූ ෆෆ් ඩු ප්ලෙසිස් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා. මෙම තරගයෙන් පසුව රිකී පොන්ටින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙන බවට ද නිවේදනය කළා.

පොන්ටින් ගේ අවසන් තරගය

පර්ත් හි දී ආරම්භ වූ තරගාවලියේ තෙවන සහ අවසන් ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ගේ පළමු කඩුලු 6 ලකුණු 75 ක දී බිඳ වැටුණා. නැවතත් ක්‍රියාත්මක වූ ෆෆ් ඩු ප්ලෙසිස් ඉනිමේ වගකීම කරට ගනිමින් පන්දු 142 කදී හතරේ පහර 12 ක් ද සමඟින් ලකුණු 78 ක් රැස් කළා.

පසුපෙළ ක්‍රීඩකයන් වූ වර්නන් පිලැන්ඩර් සහ රොබින් පීටර්සන් පිළිවෙළින් ලකුණු 30 ක් සහ 31 ක් ලැබූ නිසා දකුණු අප්‍රිකාව පළමු ඉනිමට ලකුණු 225 ක් ලබා ගත්තා.

දකුණු අප්‍රිකා මුල් පෙළ කඩුලු නැවතත් ඉක්මනින් දැවී ගියා – www.espncricinfo.com

පන්දු යැවීමේ දී සාර්ථක වූ නේතන් ලයින් ලකුණු 41 කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා. මිචෙල් ස්ටාක් සහ මිචෙල් ජොන්සන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා. පර්ත් තණතීරුවේ ඇති වේගය උකහා ගත් දකුණු අප්‍රිකා පන්දු යැවීම හමුවේ ක්‍රීඩා කිරීම ඕස්ට්‍රේලියාවට සිතූ තරම් පහසු වුණේ නෑ. තම අවසන් ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ රිකී පොන්ටින් ලකුණු 4 කට හරවා යැවීමට වර්නන් පිලැන්ඩර් සමටත් වුණා. ඕස්ට්‍රේලියාවේ කඩුලු 6 ක් ලකුණු 45 කට බිඳ වැටුණා.

ඉනිමේ වැඩි ම ලකුණු ලාභියා බවට පත් වූ කඩුලු රකින ක්‍රීඩක මැතිව් වේඩ් පන්දු 102 කට මුහුණ දෙමින් ලැබූ ලකුණු 68 ත්, අවසන් භාගයේ දී ජෝන් හෙස්ටින් ලැබූ ලකුණු 32 ත් නිසා ඕස්ට්‍රේලියා පළමු ඉනිම ලකුණු 163 ක් දක්වා ගමන් කළා. දකුණු අප්‍රිකාව වෙනුවෙන් ඩේල් ස්ටේන් ලකුණු 40 කට කඩුලු 4 ක් සහ රොබින් පීටර්සන් ලකුණු 44 කට කඩුලු 3ක් බිඳ හෙළුවා. ඕස්ට්‍රේලියාවට වඩා පළමු ඉනිමේ ලකුණු 62 ක් ඉදිරියෙන් සිටිමින් දකුණු අප්‍රිකාව තම දෙවන ඉනිම ආරම්භ කළා.

පළමු ඉනිමේ රිකී පොන්ටින් දැවී ගිය අවස්ථාව – www.espncricinfo.com

අම්ලා සහ ඩිවිලියර්ස් දකුණු අප්‍රිකාව ඔසවයි

පළමු ඉනිමේ දී මෙන් ව්‍යාකූල නොවූ දකුණු අප්‍රිකානු පිතිකරුවන් මෙවර ඉතා ප්‍රවේශමෙන් ක්‍රීඩා කළා. නායක ග්‍රැහැම් ස්මිත් හතරේ පහර 13 ක් ද සමඟින් ලකුණු 84 ක් ලබා සාර්ථක ආරම්භයක් ලබා දුන්නා.

පෙර තරගවලට වඩා වේගවත් පිතිකරණයක් පෙන්වූ දකුණු අප්‍රිකානු පිතිකරුවන් ඕස්ට්‍රේලියා පන්දු යවන්නන්ට වාසියක් ලබා ගැනීමට ඉඩ ලබා දුන්නේ නෑ. ඉනිමේ නැංගුරම බවට පත් වූ හෂීම් අම්ලා පන්දු 221 ක දී හතරේ පහර 21 ක් ද සමඟින් ලකුණු 196 ක විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළා.

හෂීම් අම්ලා තවත් ශතකයක් වාර්තා කළා – www.espncricinfo.com

තවදුරටත් වේගවත් ව ක්‍රීඩා කළ ඒ.බී.ඩිවිලියර්ස් පන්දු 184 කදී හතරේ පහර 21 ක් සහ හයේ පහර 3 ක් ද සමඟින් ලැබූ ලකුණු ගණන 169 ක්. මේ ඉනිම් හේතුවෙන් දකුණු අප්‍රිකාව දෙවන ඉනිමට සියල්ලන් දැවී ලකුණු 569 ක් රැස් කළා. මිචෙල් ස්ටාක් ලකුණු 154 කට කඩුලු 6 ක් සහ මිචෙල් ජොන්සන් ලකුණු 110 කට කඩුලු 4 ක් දවා ගෙන ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දු යැවීමේ දී දස්කම් දැක්වූවා. ඕස්ට්‍රේලියාවට ජයග්‍රහණය වෙනුවෙන් දැවැන්ත ලකුණු 632 ක ඉලක්කයක් හිමි වුණා.

ස්තූතියි රිකී පොන්ටින්

ඕස්ට්‍රේලියානුවන්ට දිගු සබඳතා පවත්වමින් තරගයේ වාසිය ලබා ගැනීම ට දකුණු අප්‍රිකාව ඉඩ ලබා දුන්නේ නෑ. ලකුණු 81 කට කඩුලු 2ක් දැවී ගිය විට රිකී පොන්ටින් තම අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් ඉනිම ක්‍රීඩා කිරීම වෙනුවෙන් පිටියට පිවිසියා.

ඔහුට ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 8 ක් පමණ යි. රොබින් පීටර්සන් ගේ පන්දුවකට ජාක් කාලිස් අතට උඩ පන්දුවක් ලබා දෙමින් රිකී පොන්ටින් තම ඉනිම නිමා කළා.

අවසන් ජාත්‍යන්තර ඉනිම නිමා කළ පොන්ටින් ක්‍රීඩාගාරය වෙතට පියමනින ආයුරු – www.espncricinfo.com

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් අවසන් කඩුල්ලට සටන්කාමී ලකුණු 87 ක් එක් කිරීමට මිචෙල් ස්ටාක් සහ නේතන් ලයන් සමත් වුණා. ඉනිමේ වැඩි ම ලකුණු ලාභියා ද වූ ස්ටාක් පන්දු 43 කින් ලැබූ වේගවත් ලකුණු 68 ඕස්ට්‍රේලියා ජයග්‍රහණය වෙනුවෙන් කිසිසේත් ම ප්‍රමාණවත් වූයේ නෑ. ඩේල් ස්ටේන් සහ රොබින් පීටර්සන් කඩුලු 3 බැගින් බිඳ හෙළද්දී ඕස්ට්‍රේලියා ඉනිම ලකුණු 322කට සීමා වුණා. තෙවන සහ අවසන් ටෙස්ට් තරගයෙන් ලකුණු 309 ක දැවැන්ත ජයක් ලැබූ දකුණු අප්‍රිකාව තරගාවලිය ද 1-0 ක් ලෙසින් ජයග්‍රහණය කළා.

තරගාවලිය පුරාවට ඉනිම 5 ක් ක්‍රීඩා කළ රිකී පොන්ටින් එහිදී පිළිවෙළින් ලැබූයේ ලකුණු 0, 4, 16, 4 සහ 8 පමණයි. තරගාවලියේ ම සමස්ත ලකුණු 32 ක් පමණක් ලබා ඉනිමක සාමාන්‍යය 6.4 ක් තරම් අවම අගයක් ගැනීම නිසා පොන්ටින් අතිශය අසාර්ථක වූ තරගාවලියක් ලෙසින් මෙය නම් කළ හැකි යි.

පළමු තරග ද්විත්වය තමන්ට අවාසි වන විටත් ජය පරාජයෙන් තොර ව නිමා කර ගැනීමට සටන් කළ දකුණු අප්‍රිකානුවන් අවස්ථාව එළඹි විට සුපිරි ජයග්‍රහණයකින් තරගාවලියේ ජයග්‍රහණය සටහන් කළා. මේ නිසා අසාර්ථක පිතිහරඹයක් සහ අසාර්ථක ප්‍රතිඵලයක් ද ලැබූ තරගාවලියකින් තම සුවිශේෂී ක්‍රිකට් දිවිය නිමා කිරීමට රිකී පොන්ටින්ට සිදු වුණා.

කවරයේ ඡායාරූපය - තම අවසන් ටෙස්ට් ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණෙන රිකී පොන්ටින් ව පිළිගන්නා දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ - www.themirror.com
මූලාශ්‍ර -
www.espncricinfo.com
www.cricbuzz.com

Related Articles