Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ප්‍රබන්ධ සත්‍යයක් බවට පත් කළ ‘කතා කරන බිම්මල්’

බිම්මල්, නැතිනම් හතු වශයෙන් අප හඳුන්වන ජීවී කොට්ඨාසය විද්‍යාත්මක ව කාණ්ඩ ගත කළ හොත්, ඒවා වැටෙන්නේ දිලීර රාජධානියට යි. මේවා ඉතා සුවිශේෂී ගති ලක්ෂණ සහිත ජීවීන් පිරිසක් වන අතර, නිරතුරුව ම ඒ සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කරන්නට විද්‍යාඥයන් පියවර ගන්නවා.

එලෙස පසුගිය දා සිදු කළ පර්යේෂණ මාලාවකින් හෙළි වී ඇත්තේ හතු වර්ග සිය සෛල අතර මෙන් ම එකිනෙකා අතරත් ඉතා යුහුසුළු ව සන්නිවේදනය සිදු කරන බව යි. විද්‍යුත් ආවේග යොදා ගෙන ඔවුන් මෙලෙස සන්නිවේදනය කරන අතර, ඔවුන්ගේ ‘භාෂාවෙහි’ එකිනෙකට වෙන් වූ ප්‍රතිචාර 50 ක් පමණ ඇති බවත් සොයා ගෙන තිබෙනවා.

 දිලීර වර්ග රාශියක් ලොව පවතිනවා- wikipedia.org

 

ප්‍රබන්ධ සත්‍යයක් බවට පත් කරන බිම්මල්

‘කතා කරන බිම්මල්’ පිළිබඳ ළමා කාලයේ ඔබ කියැවූ පත පොතෙහි සඳහන් ව තිබුණා ඔබට මතක ඇති. විශේෂයෙන් ලුවිස් කැරොල් 19 වන සියවසේ දී රචනා කළ ‘ඇලිස් ඉන් වොන්ඩර්ලෑන්ඩ්’ කෘතියේ එවැන්නක් සනිටුහන් ව තිබුණා. මෙය ළමා මනසට තෘප්තියක් ගෙන එන්නට ගෙතූ හුදු ප්‍රබන්ධයක් බැව් කාටත් වැටහෙන මුත්, වර්තමානය වන විට විද්‍යාඥයන් සොයා ගෙන ඇති අන්දමට, එක්තරා ආකාරයකින් එහි සත්‍යයග් ගැබ් ව තිබුණේ ‍යැයි කෙනකුට තර්ක කිරීමේ හැකියාව ලැබී තිබෙනවා.

ඒ නවත ම පර්යේෂණවලට අනුව එක් බිම්මල් වර්ගයක් තම වර්ගයා හා සන්නිවේදනය කරන්නට, එකිනෙක වෙනස් වූ  හා ප්‍රතිචාර 50 ක් පමණ යොදා ගන්නා බවට තහවුරු වීමත් සමඟ යි. මේවා සාමාන්‍ය කථන භාෂාවකට අනුරූපව ‘වචන’වලට සමාන වන අතර, අනතුරක් හෝ අවදානමක් පිළිබඳ ව සන්නිවේදනය කර ගැනීමට, ආහාර ප්‍රභවයක් පිළිබඳ ව සන්නිවේදනය කර ගැනීමට වැනි කර්තව්‍යයනට යොදා ගන්නා බවට විද්‍යාඥයන් අනුමාන කරනවා.

 ඇන්ඩෲ ඇඩමට්ස්කි- blogs.uwe.ac.uk

 

ජර්නලයේ පළ කළ අධ්‍යයන වාර්තාවකට අනුව බිම්මල් ඇනිමාලියා රාජධානියෙන් පරිබාහිර ව වැඩිම පණිවිඩ සම්ප්‍රේෂණය කර ගන්නා ජීවී විශේෂය ලෙස දක්වා තිබෙනවා. මේ පිළිබඳ අධ්‍යයනය කරන, එංගලන්තයේ මහාචාර්ය ඇන්ඩෲ ඇඩමට්ස්කි පවසන්නේ මෙම අධ්‍යයනය දිලීර විශේෂ  4 ක් යොදා ගෙන සිදු කළ බව යි. මෙම අධ්‍යයනය සිදු කරද්දී ඔහුට ප්‍රත්‍යක්ෂ වී තිබුණේ විවිධ අවස්ථවලට හා වාතාවරණ වලට මුහුණ දීමේදී මේවා වෙතින් ඇති වන විද්‍යුත් සංඥාවල පැහැදිලි වැඩි වීමක් නිරීක්ෂණය වූ බව යි.

බිම්මලකින් නිකුත් කෙරෙන විද්‍යුත් ආවේග

සාමාන්‍යයෙන් බිම්මල් ගොන්නක් එක ම මයිසීලියමක් පාදක කොටගෙන ඇති වෙනවා. මයිසීලියමක් යනු එක් දිලීර දේහයක පවතින කෙඳිති වැනි ජාලයක් වෙනවා. මෙය මානව ශරීරයේ ස්නායු පද්ධතියේ නියුරෝන සැකසී ඇති අන්දමට ආසන්න වශයෙන් සමාන කළ හැකි යි. බිම්මලකින් නිකුත් කෙරෙන විද්‍යුත් ආවේග මයිසීලියම තුළින්, එම දිලීර දේහයට අදාළ අනෙකුත් බිම්මල් වෙත ගමන් කරන බැව් මේ වන විට සොයා ගෙන තිබෙනවා. මෙම සොයා ගැනීම  ඉතාමත් වැදගත් මෙන් ම අපූර් ව සොයා ගැනීමක් වන අතර ඉන් පියවරක් ඉදිරියට යමින්, ඇඩමට්ස්කි ඒවාට අනන්‍ය ‘භාෂාවක්’ හෙවත් අවස්ථානුකූල විද්‍යුත් ආවේග කිහිපයක් ම ඇති බැව් සොයා ගැනීම, ඒවායේ අපූර්වත්වය තවත් වර්ධනය කරන්නට සමත් වී තිබෙනවා.

දිලීරවලට අනන්‍ය වූ ‘භාෂාවක්’ ඇති බවට තහවුරු වනවා – unsplash.com/ Ed van duijn

 

වචන 50 කින් යුක්ත භාෂාවක්

ඇඩමට්ස්කි සිදු කළ අධ්‍යයනයන්ට අනුව, ඔහුගේ පරීක්ෂාවට භාජනය වුණු දිලීර වර්ග 4 තුළ ම මේ පණිවිඩ සම්ප්‍රේෂණය සිදු ව ඇති අතර, එලෙස නිකුත් කළ විද්‍යුත් ආවේගවල බලවත්කම සහ වේලාව අනුව, මාදිළි 50 ක පමණ පණිවිඩ හඳුනා ගැනීමට ඔහු සමත් ව තිබෙනවා. ඔහුට අනුව මේවා මිනිස් භාෂාවක ලක්ෂණ පෙන්නුම් කරන අතර, බහුල ව භාවිතා වන ‘වචන’ හෙවත් විද්‍යුත් ආවේග 20 ක් පමණත්, එතරම් බහුල ව භාවිතා නොවන ආවේග 30 ක් පමණත් ඔහු හඳුනා ගෙන තිබෙනවා.

ඇඩමට්ස්කි පර්යේෂණ සඳහා භාවිතා කළ දිලීර වර්ග 4 හි ම ආසන්න වශයෙන් සමාන විද්‍යුත් ආවේග ඇති වී තිබෙන අතර, අවස්ථානුකූලව, ඒවා යම් වාතාවරණයකට හෝ සිද්ධියකට මුහුණ දුන් විට, ඒවායේ ඇති වන ආවේගවල වෙනසක් ඇති වීමත්, වෙනත් වාතාවරණවලට බඳුන් කර, නැවතත් පෙර වාතාවරණයට නිරාවරණය කළ විට, නැවතත් පෙර ආකාරයෙන් ම ‘වචන’ හෙවත් විද්‍යුත් ආවේග එම දිලීර මඟින් ඇති කිරීමත් නිසා, මෙලෙස දිලීරවලට අනන්‍ය වූ ‘භාෂාවක්’ ඇති බවට තහවුරු වන බැව් ඔහු ප්‍රකාශ කර සිටිනවා.

 ගිල් හතු- centraltexasmycology.org

පර්යේෂණ පැවැත්වූ ආකාරය

පර්යේෂණය ආරම්භයේ දී ඇඩමට්ස්කි ඒ ඒ දිලීර වර්ධනය වන උපස්ථරවලට ඉලෙක්ට්‍රෝඩ ඇතුළු කළ අතර, එමඟින්, විවිධ අවස්ථාවන්හී දී එම දිලීර නිකුත් කරන විද්‍යුත් ආවේග ග්‍රහණය කොට ගෙන, ඒවා වල ප්‍රබලතාව, පවත්නා කාලය වැනි දේ අධ්‍යයනය කරන්නට ක්‍රියා කළා. ඔහු පර්යේෂණය සඳහා යොදාගත් දිලීර අතරින්, ගිල් නම් හතු විශේෂය ඉතාමත් හොඳ ප්‍රතිඵල ලබා දී තිබුණා.

ගිල් හතු සිය පෝෂණ අවශ්‍යතා සපුරා ගන්නේ දැව වර්ග ජීර්ණය කරගැනීමෙනු යි. මෙම හතුවල මයිසීලියම වර්ධනය වන විට ඒවා දිරාපත් වන දැව කබැල්ලක ගැටුණු විට, ඉතාමත් තීව්‍ර විද්‍යුත් ආවේගයක් නිකුත් කරනවා. මෙම ආවේගය එම හතු විශේෂයට අදාළ මයිසීලියම ඔස්සේ එහි දේහය පුරාවට ගමන් කරන අතර, ඒ එම ලී කැබැල්ල භක්ෂණය කර ගන්නට එන්සයිම නිකුත් කිරීම, ව්‍යුහාත්මක වර්ධනය වැනි දේ සකසා ගන්නා බවට අනුමානිත යි.

 

විද්‍යුත් ආවේග ජනනය සහ සම්ප්‍රේෂණය

මේ විද්‍යුත් ආවේග ජනනය සහ සම්ප්‍රේෂණය මිනිස් කථන විලාසය සමඟ සමපාත වන බවට තවමත් නිසියාකාර ව කිව නොහැකි බැව් ඇඩමට්ස්කි පවසන අතර, එය සත්ත්ව ලෝකයේ වෙනත් පණිවිඩ සම්ප්‍රේෂණ ක්‍රම සමඟත් සංසන්දනය කරමින් සිටින බවටත් ඔහු කරුණු හෙළි කර තිබුණා.

දිලීරවල මේ හැසිරීම ඇඩමට්ස්කි සමාන කරන්නේ වෘකයන්ගේ කෑගැසීමට යි. ගොදුරක් ලැබුණු බවට, අනතුරක් ළඟ බවට මෙන් ම අභිජනන අවශ්‍යතා වැනි කරුණු ගණනාවක් වෙනුවෙන් වෘකයන් විවිධ අන්දමට කෑ ගැසීම සිදු කරනවා. ඒ අනුව නිවැරදි පණිවිඩය සිය කණ්ඩායම වෙත සම්ප්‍රේෂණය කිරීමට ඔවුන් සමත්.

විද්‍යුත් ආවේග ජනනය සහ සම්ප්‍රේෂණය මිනිස් කථන විලාසය සමඟ සමපාත වනවා – unsplash.com/Dorothea OLDANI

ඉංග්‍රීසි භාෂාවට අනුරූප බිම්මල් ‘භාෂාව’

දිලීරවලින් නිකුත් වූ විද්‍යුත් ආවේග එක් විශේෂ ක්‍රමවේදයකට, පොකුරු වශයෙන් නිකුත් කෙරෙනු අත්දුටු ඇඩමට්ස්කි ඒවාවල ස්වභාවය අධ්‍යයනය කරන්නට පටන් ගත්තා. ඒවා ගුණාත්මක මෙන් ම පරිමාණාත්මක ව ද අධ්‍යයනය කරද්දී ඔහුට පෙනී ගියේ, එම දිලීර නිකුත් කරන ආවේග, එකිනෙකට වෙනස් පණිවිඩ 50 ක් පමණ දරණ බැව් පමණක් නොවේ, එම ආවේග පවතින කාල රාමු සහ, එක ළඟ නිකුත් වන ආවේග කට්ටලවල ස්වභාවය ඉංග්‍රීසි වචන භාවිතයේ දී ගත වන කාල රාමු සහ වචනයකට ඇති අකුරු ප්‍රමාණය සමඟ ආසන්න ව සැසඳෙන බව යි.

ඇඩමට්ස්කිට අනුව මෙම දිලීර ‘භාෂාවේ’ එක් වචනයක ආවේග හෙවත් අකුරු, සාමන්‍යයක් ලෙස 5.97 ක් පවතිනවා. ඉංග්‍රීසි භාෂාවේ වචනයකට සාමාන්‍යයෙන් අකුරු 4-8 ත් අතර ගණනක් තිබෙනවා. එනයින් මේ කුලක ද්විත්වයේ සමානකමක් ආසන්න වශයෙන් තිබුණ ද, එය තහවුරු කර ගන්නට තවත් බොහෝ පර්යේෂණ සිදු කළ යුතු බැව් ඇඩමට්ස්කිගේ මතය යි.

විවිධ මත

ඇඩමට්ස්කිගේ මෙම සොයාගැනීම ගැන ලොව විද්වතුන් විවිධ මත පළ කරනවා. මේ වන විටත් ඉන් බහුතරය මෙය ඇඩමට්ස්කිගේ හුදු මනඃකල්පිතයක් බැව් පවසමින් එය බැහැර කරනවා. කෙසේ නමුත් සුළුතරයක් ඇඩමට්ස්කිගේ අදහස් සමඟ එකඟ වී ඇති අතර, ඔහුගේ ඉදිරි අධ්‍යයන පිළිබඳ විමසිල්ලෙන් පසු වෙනවා.

කවරයේ ඡායාරූපය - Wikimedia Commons 

මූලාශ්‍ර:

Npr.org

Allthatsinteresting.com

Theguardian.com

Related Articles