ෆවුසියා ආමිනී වෘත්තීයෙන් විනිසුරුවරියකි. ඇයට පසිඳලීමට ලැබුණේ ඇෆ්ගනිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගැනුණු කාන්තා හිංසනය හා සම්බන්ධ නඩු ය. කාන්තාවන්ට එරෙහි පීඩා පැමිණවීම්, ළමා විවාහ, ලිංගික අපයෝජන ගැන කඳුළු කතා රැසක් සිය වෘත්තීය ජීවිතයේ දී ඇයට අසන්නට ලැබී තිබේ. පසුගිය වසරේ අගෝස්තුවේ දී ඇෆ්ගනිස්තානය යළිත් වරක් තාලිබාන් පාලනයට නතුවීමත් සමඟ ඒ සියල්ල වෙනස්වීමට ගතවුණේ නිමේෂයකි.
ආමිනී විනිශ්චයාසනය හෙබ වූ, කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීම උදෙසා වූ අධිකරණය තාලිබාන්වරුන් විසුරුවා හැරියේ එහි සේවය කළ විනිසුරුවරියන් ඔවුන්ගේ ධූරවලින් ද නෙරපා හරිමිනි. ඊට සමගාමී ව එරට ප්‍රධාන පෙළේ බන්ධනාගාරවල සිරගත කොට සිටි රැඳවියන් දහස් ගණනක් ද මුදා හැරිණි. ඔවුන් අතර ආමිනී ම සිර දණ්ඩනයට ලක් කළ අය රැසක් ද සිටියෝ ය. ජීවිතයේ පළමුවරට ආමිනීට මරණ බිය දැනෙන්නට ගත්තේ මෙවිට ය.
තමන්ගේ මෙන් ම තම පවුලේ සාමාජිකයන්ගේ ද ජීවිතාරක්ෂාව හා අනාගත සුරක්ෂිතතාව ගැන හට ගත් වික්ෂිප්ත බවින් විපිළිසර වූ ආමිනී තීරණය කළේ රැකවරණය පතා වෙනත් රටකට පලා යන්නට ය. ඒ ගමන අවසානයේ ඇය නතරවූණේ බටහිර දිග ලන්ඩනයේ ය. කවර රටකට පලා ගිය ද, ඇය එක් තීරණයකට පැමිණ සිටියා ය. ඒ කොහේ යතත් සිය නීතිඥ වෘත්තීයේ සුදුසුකම් ඔප්පු කරන නීතිවේදි උපාධි සහතිකය තමා සතු ව තබා ගත යුතු බව ය.
උපාධි සහතිකය ඇඳ සිටි ඇඳුමේ ඇතුළත
ලන්ඩනයට පලා යාමට ප්‍රථම හතළිස් අට හැවිරිදි ආමිනී සිය උපාධි සහතිකය ඇඳ සිටි ඇඳුමේ ඇතුළු පැත්තට තබා මසා ගත්තා ය. ඇගේ නීතිවේදි උපාධිය ඇය සතු වූ වටිනා ම උරුමය විය. ආමිනීට එසේ වුව ද ඇෆ්ගනිස්තානයේ සිරවූ ආමිනී වැනි සෙසු විනිසුරුවරියන්ට තවදුරටත් ඔවුන්ගේ උපාධි සහතිකවලින් ගත හැකි ප්‍රයෝජනයක් තිබුණේ නැත. ආමිනී මෙන් ම කාන්තා හිංසනය කේන්ද්‍ර කර ගත් නඩු පසිඳලූ අධිකරණයේ ම සේවය කළ ආමිනීගේ මිතුරියක වන සමීරා කියන්නේ තමා වැනි විනිසුරුවරියන් අසූදෙනකු පමණ ඇෆ්ගනිස්තානයේ තවදුරටත් සිර වී සිටින බව ය.
ඇෆ්ගනිස්තාන විනිසුරුවරියන් මුහුණ දී සිටින ඉරණම දශක දෙකක් පුරාවට දුක සේ දිනා ගත් කාන්තා අයිතීන් මුළුමනින්ම අහෝසි කර දැමීමේ තාලිබාන් ක්රියාදාමයේ දරුණුකම කියා පාන්නකි. ඇෆ්ගනිස්තානය තාලිබාන් පාලනයකට අවසන් වරට යටත් ව තිබූ 2001 වසරේ දී කාන්තාවන්ගේ නෛතික ආරක්ෂාව තහවුරු කරනු වස්, තරුණ විනිසුරුවරියන්, අභිචෝදකවරියන් හා නීතිඥවරියන් පුහුණු කෙරුණේ ජාත්‍යන්තරයේ ද මැදිහත්වීම ඇතිව ය.
කාන්තා හිංසනය පිටුදැකීම සඳහා නීතියක්
ඉන්පසු 2009 දී එවකට ඇෆ්ගනිස්තාන ජනපති හමීඩ් කර්සායි කාන්තා හිංසනය පිටුදැකීම සඳහා නීතියක් හඳුන්වා දුන්නේ ය. ඒ ස්ත්‍රී දූෂණ, බලහත්කාරයෙන් සිදුකරන ළමා විවාහ හා ගැහැනු ළමයින්ගේ පාසල් අධ්‍යාපනයට වැට බැඳීම වැනි කාරණා දඬුවම් ලැබිය හැකි බරපතළ වැරදි ගනයෙහි ලා සලකමිනි. එකී නීතිය කඩ කරන්නවුන් නීතිය හමුවට පමුණුවීම සඳහා පළාත් පහළොවක අධිකරණ ද 2018 වසරේ සිට පිහිටැවිණි. කාන්තා අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා ගත් මෙබඳු සුබවාදී තීරණ හා ක්‍රියාමාර්ගවලට වැඩි ආයුෂ තිබුණේ නැත.
ඇෆ්ගනිස්තානය තාලිබාන් අණසකට ඉකුත් වසරේදී යළිත් නතුවීමත් සමඟ ගැහැනු ළමයින්ට පාසැල තහනම් කලාපයක් වෙද්දී, කාන්තාවන් රැකියාවල නියැළීමට එරෙහිව ද වාරණ පැනවිණි. සැතපුම් හතළිස්පහකට වඩා වැඩි දුර ගමන් තනි ව යාම කාන්තාවන්ට තහනම් කෙරිණි. රූපවාහිනි නාට්‍ය හා වැඩසටහන් ඔස්සේ කාන්තාවන් ප්‍රදර්ශනය තහනම් කිරීමට ද පියවර ගැනිණි.
පුරුෂාධිපත්‍යයට නතු වූ පාලන ක්‍රමයක්
ප්රවෘත්ති නිවේදිකාවන්ට හිස ආවරණය කිරීම අනිවාර්ය කෙරිණි. නවත ම තාලිබාන් නීති රීතිවලට අනුව ප්‍රසිද්ධ ස්ථානවල දී කාන්තාවන්ට බුර්කාව අනිවාර්ය වී තිබේ. ඒ සියල්ල මධ්‍යෙය් කාන්තා විනිසුරුවරියන් නීති පද්ධතියෙන් ඉවත් කිරීම මඟින් මෙබඳු හිංසනවලට එරෙහි ව එරට කාන්තාවන්ට හිමි ව තිබූ එකම පිළිසරණ ද තාලිබාන්වරුන් අහිමිකොට තිබේ. ආමිනී පෙන්වා දෙන්නේ පුරුෂාධිපත්‍යයට නතු වූ පාලන ක්‍රමයක් තුළ කාන්තාවන්ට කිසිදු රැකවරණයක් තවදුරටත් ඉතිරි ව නොමැති බව ය.
ආමිනී සිය පවුල සමඟ රටින් පලා යාමට පෙලැඹවූයේ කාන්තාවන් මැදි ව සිටින එම බිහිසුණු ඉරණම ය. කාබුල් නුවර සිට මසාර්-ඉ-ෂාරීෆ් ගුවන් තොටුපළට හොර රහසේ ම ඉකුත් සැප්තැම්බරයේදී පලා ගිය ආමිනී ඇතුළු දරු පවුලට ලන්ඩනය බලා යාමට වාසනාව ලැබුණේ හෙලේනා කෙනඩි බැරන්වරියට පින්සිදු වන්නට ය. ආමිනී වැනි ඉරණමකට මුහුණ දුන් ඇෆ්ගනිස්තාන විනිසුරුවරියන් වෙනුවෙන් ම ගුවන් යානයක් වෙන්වූයේ ද කෙනඩිගේ මැදිහත්වීමෙනි.
ඇෆ්ගනිස්තානයේ නීතිඥ සංගමය
බ්රිතන්යෙය් සිටින වඩාත් ම ප්‍රකට නීතිඥවරියක සේ ම පාර්ලිමේන්තු මන්ත්‍රණ සභා සාමාජිකාවක ද වන කෙනඩිට, ඇෆ්ගනිස්තාන විනිසුරුවරියන් සමඟ ඇත්තේ අතිශය සමීප සම්බන්ධතාවකි. ඇෆ්ගනිස්තානයේ නීතිඥ සංගමයක් පිහිටුවීමේහි ලා පුරෝගාමි වූ ඇගේ එම අප්‍රතිහත ක්රියාදාමයේ දී ඇය දැන හඳුනා ගත් ඇෆ්ගනිස්තාන විනිසුරුවරියන් බොහෝ දෙනෙකි.
“ මගේ අයිෆෝන් එකට පණිවිඩ ගලා ගෙන එන්න පටන් ගත්තා. ඒවා හැම එකක් ම වගේ බියෙන් හා වේදනාවෙන් කරපු ඉල්ලීම්. ‘අනේ මට උදව් කරන්න, කරුණාකරලා. මං මගේ ගෙදර බිම් මහලේ හැංගිලා ඉන්නේ‘. ඔන්න ඔය වගේ දේවල් කියලා පණිවිඩ හුඟක් ආවා ඇෆ්ගනිස්තාන විනිසුරුවරියන්ගෙන්. දැනටමත් මං තාලිබාන්වරුන්ගේ ඉලක්කයක් වෙලා ඉවරයි“ කෙනඩි පවසන්නී ය.
විනිසුරුවරියන් මුදා ගන්නට ගුවන් යානා තුනක්
එම ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් හැකිතාක් ඇෆ්ගනිස්තාන විනිසුරුවරියන් ඇෆ්ගනිස්තානයෙන් පිටමං කිරීම සඳහා ඇය අරමුදල් රැස්කළේ පරිත්‍යාගශීලීන්ගෙන් ද උදව් ලබා ගනිමිනි. එහි ප්‍රතිඵලයක් ලෙස සති තුනක් ඇතුළත දී විනිසුරුවරියන් ඇතුළු කාන්තාවන් එකසිය තුන්දෙනකු හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද ඇෆ්ගනිස්තානයෙන් මුදා ගන්නට ගුවන් යානා තුනක් යෙදවීමට කෙනඩිට හැකි විය. එලෙස ගලවා ගත් කාන්තාවන් බහුතරයක් මේ වන විට බටහිර යුරෝපා කලාපයේ විසිර සිටින්නේ එහි ස්ථිර පුරවැසිභාවය ලබාගැනීමේ ද බලාපොරොත්තු ඇති ව ය.
ඇෆ්ගනිස්තානයෙන් පිට වීමෙන් පසු එක්සත් රාජධානියේ තාවකාලික ව පදිංචි වීම සඳහා අවශ්‍ය ලියකියවිලි ලබා ගැනීමට ආමිනීට මසකට වඩා වැඩි කාලයක් ගත වී තිබේ. මේ වන විට ඇය වසරකට වැඩි කාලයක් බටහිර ලන්ඩනයේ හෝටලයක ජීවත් වී තිබේ. තවමත් ඇයට ස්ථිර පදිංචි ස්ථානයක් නොමැත. ආමිනී මෙන් ම එංගලන්තයට රැකවරණය පතා පැමිණි ඇෆ්ගනිස්තාන සරණාගතයන් දස දහසකට අධික පිරිසක් තවමත් සිටින්නේ එවැනි තාවකාලික නැවතුම් පොළවල ය. ඒ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය විවේචනයට ලක් ව තිබෙන්නේ වරක් දෙවරක් නොවේ.
“ ඇත්තටම මේ වගේ තත්වයක් උද්ගත වෙයි කියලා මං හිතුවේ නැහැ. අපි මුදා ගත්ත ධෛර්ය සම්පන්න කාන්තාවන් පිළිගන්න ඕනෑතරම් සෙනෙහසේ දෑත් දිගු වේවි කියලයි මං හිතුවේ. නමුත් ඒක එහෙම නොවුණු නිසා මේ කාන්තාවන්ට ස්ථීර පදිංචි ස්ථාන ලබා දීම අපිට ගැටලුවක් වෙලා තියෙනවා.“කෙනඩි පවසන්නී ය.
කලක දී කාන්තාවන් උදෙසා පමණක් නොව සැවො ම උදෙසා සමානාත්මතාවයෙන් යුතු සමාජයක් බිහිකිරීමට ඇෆ්ගනිස්තානය තුළ පුරෝගාමි මෙහෙයක් කළ ආමිනීට මෙන් ම සමීරාට ද හැඟෙන්නේ ඔවුන් පැතූ ඒ නව ලෝකය තම දෙපා අසල ම බිඳී ගොස් ඇති බව ය.
“අපිට අලුත් ඇෆ්ගනිස්තානයක් ගැන ලොකු බලාපොරොත්තුවක් තිබුණා. අපේ ජීවිත වෙනස් කර ගන්න අපිට ඕනෑ වුණා. ජීවිත විතරක් නෙවෙයි හැමදෙයක් ම……තවදුරටත් අපිට අපේ රට ගැන බලාපොරොත්තුවක් නැහැ. හැමදෙයක් ම ඇන හිටලා. “
එලෙස කියන ආමිනීගේ පරමාර්ථය වී තිබෙන්නේ ඉංග්‍රීසී ඉගෙන නීතිඥවරියක ලෙස එංගලන්තයේ සිය වෘත්තීය ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට ය. ඇෆ්ගනිස්තානයේ දී අහිමිවූ අධ්‍යාපනය එංගලන්තයේ දී හෝ සිය දරු දෙදෙනාට ලබා දීමට තරම් ඇය වාසනාවන්ත වී තිබේ. අනෙක් අතට සමීරාට නම් ඇෆ්ගනිස්තානයෙන් මිදී පලායාමක් පිළිබඳ බලාපොරොත්තුවක සේයාවක් හෝ දැක ගැනීමට හැකිවේ ද යන්නට ඇත්තේ අවිනිශ්චිතතාවකි. ඇයට තිබෙන ලොකු ම බිය සිය දියණිය ගැනය.
“තාලිබාන්ලා යටතේ එයාගේ අනාගතය කොහොම වේවි ද කියලා මට ලොකු බයක් තියෙනවා. මං කොහොමද එයාව ගලවා ගන්නේ? ඇෆ්ගනිස්තානයේ දැන් මේ ගෙවෙන ජීවිතය හරිම බියකරු යි, දුෂ්කරයි. අපි ඉතාම සෙමෙන් මරණය කරා යමිනුයි ඉන්නේ …….“