ඔලිම්පික් යනු ලොව මහද්වීප පහම එක් කරනු ලබන ලොව විශාලතම ක්‍රීඩා සැණෙකෙළියයි. ඔලිම්පික් උළෙලේ ප්‍රධාන පරමාර්ථය වන්නේ ලෝක සාමය හා ජාතීන් අතර එකමුතුකම වර්ධනය කිරීමයි. නමුත් අවස්ථා කිහිපයකදීම ඔලිම්පික් උළෙලවල් කිහිපයක් ප්‍රබල ලෙස ත්‍රස්ත ක්‍රියාවන්ට ලක්වී ඉතිහාස ගත වී තිබෙනවා.
ත්‍රස්තවාදය ඔලිම්පික් සඳහා බලපෑ ප්‍රධානතම සිදුවීම 1972 වසරේ දී මියුනික් ඔලිම්පික් උළෙලේදී වාර්තා වෙනවා. 1996 වසරේ ඔලිම්පික් සියවස සැමරුණු ඇට්ලන්ටා ඔලිම්පික් උළෙලේදී ගම්මානයේ පුපුරා යන බෝම්බය හේතුවෙන් දෙදෙනකු මරුදකින අතර 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් මාස පහකට පසු ඇමරිකාවේ සෝල්ට් ලේක් නගරයේ පැවති ශීත ඔලිම්පික් උළෙලට එතෙක් ඔලිම්පික් උළෙලකට ලබා නොදුන් අන්දමේ දැඩි ආරක්ෂාවක් ලබා දෙන්නේ ත්රස්තයන්ගේ අනතුරු හැඟවීම් හේතුවෙන්.
ඉතින් අද ලිපියෙන් ගෙන එන්නට බලාපොරොත්තු වන්නේ මියුනික් ඔලිම්පික් උළෙල ශෝකාන්තයක් කරමින් බිහිසුණු ත්‍රස්තවාදය තම ලේ පිපාසය සංසිදුවාගත් ආකාරය පිළිබඳවයි. ලෝක සාමය අගය කරන ලෝකවාසි සියළු ජනතාවගේ සිත්සතන් තුළ මෙම ඛේදවාචකය ඔලිම්පික් අදුරු පැල්ලමක් ලෙස සදා මතකයේ පැවතෙනු නොඅනුමානයි.
ඊශ්‍රායල ක්‍රීඩා කණ්ඩායමට සැපයෙන ආරක්ෂාව පිළිබඳ මතභේද
1972 සැප්තැම්බර් පස් වනදා උදෑසන වන තුරු ජර්මනියේ මියුනික් නුවර පැවැත්වුණු 20 වන ඔලිම්පික් උළෙල පසුගිය ක්‍රීඩා වාර්තාද බිඳිමින් ඉතා සාර්ථකව පැවතිණි. ලෝක දේශපාලනික අර්බුද අමතක කරමින් නැගෙනහිර ජර්මනිය යම් කිසි ජයග්‍රහණයක් ලබා ගත්විට නැගෙනහිර මෙන්ම බටහිර ජර්මානුවන්ද එක ලෙස ඔල්වරසන් නගමින් ප්රීතිවිය. ක්‍රීඩකයන් හා නිලධාරීන් 120000ක් පමණ සහභාගී වී සිටි අතර ආරක්ෂක විධිවිධාන පනවා තිබුනත් ඒවා ඉතා දැඩි වුණේ නෑ,
ආරම්භයේ සිටම ඊශ්‍රායල් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට අරාබි ත්‍රස්ත කණ්ඩායම් වල තර්ජන පැවතුනු බව ජර්මනිය මෙන්ම ඊශ්‍රායල් ඔත්තු සේවාවන්ටද දැන ගන්නට ලැබෙනවා. ඔලිම්පික් උළෙලට ප්‍රථම මියුනික් පොලිස් නිලධාරීන් මුණ ගැසෙන ඊශ්‍රායල් නියෝජිතයන් මේ පිළිබඳව සාකච්ජා කර තම ක්‍රීඩකයන්ට ආරක්ෂාව උපරිමයෙන් සැලසීමට ක්‍රියා කරන ලෙස දන්වනවා. නමුත් එකඟ වූ තරමේ ආරක්ෂාවක් ඔවුන් වෙත සපයා නොතිබූ බවත් ඒ පිළිබඳව මතභේද හටගෙන තිබූ බවත් සදහන්.
පලස්තීන “කළු සැප්තැම්බර්” සාමාජිකයන් ඔලිම්පික් ගම්මානයට
ඊශ්‍රායල් ඔත්තු සේවාවේ ඇසට වැලි ගසමින් “කළු සැප්තැම්බර්” නම් පලස්තීන ත්රස්තවාදීන් ඔලිම්පික් උළෙලට සතියකට පෙර මියුනික් නුවරට පැමිණෙනවා. නමුත් ඊශ්‍රායල් හා ජර්මානු ඔත්තු සේවාවන්ට ලැබුණු තොරතුරු වලින් පවසන්නේ සියළුම සැලසුම් ක්‍රියාත්මක වන්නේ සිරියාවේ බවයි. ඔලිම්පික් ගම්මානයේ ව්‍යුහය පිළිබඳව මනා දැනුමක් ත්රස්තයන්ට තිබීමට හේතුව ඔවුන්ගේ ඔත්තුකරුවන් ඔලිම්පික් ගම්මානය ඉදිකිරීමට සහභාගී වූ කම්කරුවන් වීම හේතුවෙන්.
සැප්තැම්බර් 5 වනදා පාන්දර හතරට පමණ “කලෂ්නිකොව්” නම් රුසියාවේ නිෂ්පාදිත මැෂින් තුවක්කු සඟවාගෙන ක්‍රීඩා ඇදුම් වලින් සැරසුන ත්රස්තවාදීන් ඔලිම්පික් ගම්මානයේ තාප්පය පැන ඊට ඇතුල් වෙනවා. මේ දර්ශනය එහි කම්කරුවන් විසින් දුටුවද ඒ පිළිබඳව සැලකිලිමත් නොවන්නේ රාත්‍රියේ කණ්ඩායම් පිටින් එලියට යන ක්‍රීඩකයන් කා බී විනෝද වී නැවතත් පාන්දර පැමිණ තාප්පයෙන් පැන ගම්මානයට ඇතුල් වන බැවින්.
ඇතුල් වන ත්රස්තයන් මුහුණු ආවරණය කරගෙන ගිනිඅවි අමෝරාගෙන කෙලින්ම ගමන් කරන්නේ ඊශ්‍රායල් කණ්ඩායම රැදී සිටි ගොඩනැගිල්ල වෙතයි.
නිරායුධව සටන් කළ ඊශ්‍රායල් ක්‍රීඩකයන්
ඊශ්‍රායල් ක්‍රීඩකයන් නැවතී සිටියේ තෙමහල් ගොඩනැගිල්ලකයි. මුල් කාමරයට තට්ටු කර මෙය ඊශ්‍රායල් ක්‍රීඩකයන්ගේ නවාතැනදැයි ප්‍රශ්ණ කරනවා. මල්ලවපොර පුහුණුකරුවෙකු වූ මොෂේ වෙයින්බර්ග් දොර විවෘත කර සැනින් නැවත දොර වසන්නේ සන්නද්ධ පිරිස දැකීමෙන්. වහා කාමරයෙන් පැන ගන්නට යැයි අනෙක් ක්‍රීඩකයන්ට පවසන ඔහු සියළු වෙර යොදා දොර තදකරගෙන සිටින්නේ ත්රස්තවාදීන්ට ඇතුල් වීමට නොදෙමින්. නමුත් ඒ සමඟම ඔහුගේ සිරුර වෙඩි උණ්ඩ වලින් සිදුරු වී යනවා.
තවත් කාමරයක සිටි බර උසුලන ක්‍රීඩක යූසෙප් රොමානෝ පැනයාම පසෙක තබා පිහියක් අතැතිව ත්රස්තයන් සමඟ සටන් කළත් ඔහුට බරපතල තුවාල සිදු වී මරණයට පත් වෙනවා. යෝසෙෆ් නම් විනිසුරුකරුද දොර තදින් වසාගෙන අනෙක් ක්‍රීඩකයන්ට පැන යන්නට අවස්ථාව සලසා දෙනවා.
ඊශ්‍රායල් කණ්ඩායමෙන් මේ වන විට දෙදෙනෙක් ඔලිම්පික් ගම්මානයේ නොසිටි අතර 9 දෙනෙක් පැන ගන්නට සමත් වෙනවා. මොෂේ වෙයින්බර්ග්ගේ හා ජෝසෙප් රේමානොගේ නිසල සිරුරු පඩිපෙලක තිබූ අතර තව 9 දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් බවට පත් වෙනවා.
ත්රස්තවාදීන්ගේ ඉල්ලීම් හා ඊශ්‍රායලයේ ප්‍රතිචාර
ඊට පැයකට පමණ පසු මියුනික් පොලිසියට යවන පණිවුඩයකින් කළු සැප්තැම්බර් සාමාජිකයන් නියෝග කරන්නේ ඊශ්‍රායල් බන්ධනාගාර වල සිටින අරාබි සිරකරුවන් 234 දෙනා උදෑසන 9 වීමට ප්‍රථම නිදහස් කරන ලෙසයි. එසේ නොකළහොත් සෑම මිනිත්තු තිහකටම වරක් එක් ප්‍රාණ ඇපකරුවෙකු ඝාතනය කරන බවයි. අනෙක් කොන්දේසිය වන්නේ ප්‍රාණ ඇපකරුවන් සමඟ තමන් කැමති අරාබි රටකට යෑමට ගුවන් යානයක් සැපයිය යුතු වීමයි.
වහා ක්‍රියාත්මක වන මියුනික් පොලීසියේ නිලධාරීන් භටයින් 600ක් හා යුධ ටැංකි යොදාගෙන ත්රස්තවාදීන් සිටින ගොඩනැගිල්ල වට කරනු ලබනවා. මියුනික් පොලිස් ප්‍රධානි මැන්ෆ්රේඩ්ගේ බලවත් ඉල්ලීම මත ඔහුට ප්‍රාණ ඇපකරුවන් දැක ගැනීමටත් ත්රස්තයන් හමුවීමටත් අවස්ථාව ලැබෙනවා.
ආරංචිය සැලවීමත් සමඟම ඊශ්‍රායල් අගමැතිනි ගෝල්ඩා මෙයර් ප්රමුඛ ඊශ්‍රායල් කැබිනෙට්ටුව තීරණයක් ගන්නට එතරම් කාලයක් වැය කරන්නේ නෑ. ඔවුන් එක එල්ලේ පවසා සිටින්නේ ත්රස්තවාදීන්ගේ ඉල්ලීම් කිසිලෙසකත් සලකා නොලබන අතර ප්‍රාණ ඇපකරුවන්ගේ ජීවිත සම්බන්ධයෙන් සම්පුර්ණ වගකීම ජර්මනිය සතු වන බවයි.
ත්රස්තවාදීන් හමුවේ ජර්මනිය
සියළුම වගකීම ජර්මනිය විසින් දැරිය යුතු බවට ඊශ්‍රායලය ප්‍රකාශ කිරීමත් සමඟම ක්‍රියාත්මක වුනු බටහිර ජර්මන් අභ්‍යන්තර කටයුතු ඇමති හෑන්ස් ඩයට්‍රිච් පෞද්ගලිකව ත්රස්තවාදීන් සමඟ කතා කර ඔවුන් ඉල්ලන ඕනෑම මුදලක් ගෙවීමටත්, ඊශ්‍රායල් ක්‍රීඩකයන් වෙනුවට තම නිලධාරීන් පිරිසක් ස්වෙච්ජාවෙන්ම ඒ සඳහා ඉදිරිපත් වීමට කැමති බවත් පවසනවා. ඊශ්‍රායලයේ තීරණය කිසිවිටෙකවත් ත්රස්තයන්ට දැනගැනීමට ඉඩනොතැබූ ජර්මානු අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා ත්රස්තවාදීන්ට පවසන්නේ ඊශ්‍රායලය නිදහස් කළ යුතු සිරකරුවන්ගේ නම් ලැයිස්තුව අධ්‍යනය කරමින් සිටින බවයි. එබැවින් කාලය තවදුරත් දීර්ඝ කර ගන්නට ඔහු සමත් වෙනවා.
ජර්මනිය සියළු උත්සාහන් යොදා ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමට මේ වන විට සැලසුම් සකස් කරන්නට පටන් ගන්නවා. විශේෂ කැබිනට් හමුවක් කැඳවූ චාන්සලර් විලී බ්‍රාන්ට් පෞද්ගලිකව සිද්ධියට මැදිහත් වීමට මියුනික් නුවරට පැමිණෙනවා.
මේ අතර වාරයේ ඊශ්‍රායලය සදහන් කරන්නේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන්නට ත්රස්තයන් කැමතිනම් ඔවුන් කැමති රටකට ප්‍රාණ ඇපකරුවන් රැගෙන යෑමට ගුවන් යානයක් ජර්මන් රජය විසින් ලබා දීමට විරුද්ධත්වයක් නොමැති බවයි.
ගොඩනැගිල්ල වටකර ක්‍රීඩා ඇදුම් ඇදගත් ස්නයිපර් වෙඩික්කරුවන් යොදවා සිටි අතර හෙලිකොප්ටර් යානා කිහිපයක් සෑම විටම අහසේ පියාසර කරමින් තිබුණි. පොලිස් සයිරන් නලා හා ගිලන් රථ නිසා ප්‍රදේශයම කලබලකාරී ස්වරූපයකින් යුක්ත විය.රුපවාහිනී පුවත් ඇසූ දහස් ගණන් යුදෙව්වන් ඒ අසළට රැස් වී ඔවුන්ගේ ජාතික ගීය ගායනා කරමින් “අපි ඔබ සමඟයි” යැයි මහහඩින් පවසනවා.
බොහෝ අරාබි රටවල් ජර්මනියට සහය පල කළ අතර අරාබි ලීගයේ සාමාජිකයෙක් ත්රස්තයන් හා සාකච්ජාවට පැමිණියත් ත්රස්තවාදීන් විසින් එය ප්‍රතික්ෂේප කරනවා. ජර්මනිය මේ සඳහා ඊජිප්තුවේ සහය ඉල්ලා සිටියත් තමන්ට මෙයට මැදිහත් වීමට නොහැකි බව ඊජිප්තු අගමැති අයිස් සද්කි ප්‍රකාශ කරනවා. මේ අතරවාරයේ ත්රස්තයන් පවසන්නේ 6 වනදා උදෑසන නවයට ප්‍රථම සිරකරුවන් මුදා හැරීම නොකළහොත් ප්‍රාණ ඇපකරුවන් ඝාතනය ආරම්භ කරන බවයි.
අසාර්ථක වූ අවසන් මෙහෙයුම
අවසානයේදී ජර්මනිය විසින් ත්රස්තයන් ඉදිරිපත් කළ සැලසුමට එකඟ වෙනවා. ඒ මියුනික් නුවර ගුවන්තොටුපළකට යෑමට අවසර ලබා දීම හා එතැනින් ගුවන් යානයක් රැගෙන තමන්ට කැමති ඕනෑම රටකට ප්‍රාණ ඇපකරුවන් සමඟ ගමන් කිරීමට ඉඩ සළසා දීමයි.
පස්වනදා රාත්‍රී 10 පසු වී විනාඩි කිහිපයකට පසුව ත්රස්තයන් හා ප්‍රාණ ඇපකරුවන් රැගත් හමුදා බස් රථයක් අසළ පිහිටි ගුවන් හමුදා කදවුරට ගමන් කරනවා. පසුව හෙලිකොප්ටරයකට ගොඩවෙන මෙම පිරිස ගමන් කරන්නේ මියුනික් ගුවන් තොටුපොළටයි.
ගුවන්තොටුපළ ධාවන පථය වටා භටයන් 500ක් පමණ යොදවා සිටි අතර සැලසුම්සහගත බවේ දෝෂයන් හේතුවෙන් ත්රස්තයන් 8ක් බිම හෙලීම සඳහා ධාවන පථයේ හා පාලන කුලුනේ සැඟවී සිටින්නේ ස්නයිපර් වෙඩික්කරුවන් 5ස් දෙනෙක් පමණයි.
ත්රස්තයන් දෙදෙනෙක් හෙලිකොප්ටරයෙන් බැස ඔවුන්ට ගමන් කිරීමට සුදානම්ව තිබූ 727 ජෙට් යානය පරික්ෂා කරන්නට ඇතුල් වීමේදී ඔවුන් දෙදෙනාට ක්ෂණිකව වෙඩි තැබීමට ස්නයිපර්කරුවන්ට හැකිවෙනවා. ඉන් ඇරඹුන සටන පැයකට වැඩි කාලයක් පැවතුනු අතර නායකයා ඇතුළු ත්රස්තවාදීන් 5ස් දෙනෙකු මරණයට පත් වූ අතර තවත් 3ක් අත්අඩංගුවට ගැනෙනවා. ත්රස්තයන් විසින් ප්‍රාණ ඇපකරුවන් සිටි හෙලිකොප්ටරයට වෙඩිතබා එයට බෝම්බයක් දමා ගැසීම හේතුවෙන් සියළුම ප්‍රාණ ඇපකරුවන් තුවාල ලබා පණපිටින් පිළිස්සී මරණයට පත්වෙනවා. වෙඩි හුවමාරුව අතර තුර පොලිස් භටයෙක් මරණයට පත්වන අතර ගුවන් නියමුවෙක් තුවාල ලබනවා.
ප්‍රාණ ඇපකරුවන් මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගියේ ඊශ්‍රායලය නිවැරදි තීරණයක් නොගැනීම හේතුවෙන් යැයි පිරිසක් පවසන අතර තවත් අය පවසන්නේ සැලසුම සහගත ප්‍රහාරයක් එල්ල නොකිරීම ප්‍රාණ ඇපකරුවන්ගේ මරණයට හේතු වූ බවයි. ඊට උදාහරණ ලෙස පෙන්වා දෙන්නේ ප්‍රාණ ඇපකරුවන් 8ක් සඳහා ස්නයිපර්වරුන් 5ස් දෙනෙක් පමණක් යෙදවීමයි.
මෙම සිදුවීමෙන් අනතුරුව සාමය අගය කරන සියළු රටවල් සිය කණගාටුව පළ කරන අතර මෙවැනි ක්‍රියා නැවත සිදුනොවීමට කටයුතු කිරීම සඳහා නොයෙකුත් ක්‍රියාමාර්ග වලට එළඹෙනවා. එසේ වුවත් ඊට පසුද මේ හා සමාන ආකාරයට ලෝක ත්‍රස්තවාදය වරින් වර ඉස්මතු වූ බවට ඉතිහාසය අධ්‍යනය කිරීමේදී අපට පෙනී යනවා. එවැනි සිදුවීම් කිහිපයක් ගැන විස්තර ලිපි පෙලකින් ඔබ වෙත ගෙන එන්නට අප සුදානම්.