Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කළුගල් තලාවක මැවුණු බුදු සිරිතේ අසිරිය : පොළොන්නරු ගල් විහාරය

හෙළ කලා කරුවා, ජන හදවත් තුළ පහන් සංවේගය ඇති කිරීම සඳහා බුදු පිළිම නෙලීමේදී විශේෂ දක්ෂතාවයක් දක්වා ඇති බව රහසක් නෙමෙයි. ලංකාව පුරා විසිරි ඇති ඉපැරණි පිළිම, ප්‍රතිමා ආදිය නිරීක්ෂණය කිරීමේදී අපට එය පැහැදිලි වෙනවා. විශේෂයෙන්ම අනුරාධපුර, පොලොන්නරු යුගයේ නිර්මාණ අප පමණක් නොව විදේශිකයන් පවා විස්මයට පත් කර ඇති ආකාරය නොයෙක් වාර්තා හා පොත් පත් වල සඳහන් වෙනවා.

බෞද්ධ කලා ශිල්ප ගැන කතා කරනකොට පොළොන්නරු යුගය අපට අමතක කරන බැහැ. මේ යුගයේදී වෙහෙර විහාර බහුලව ඉඳි වුනේ නැතත්, ඉතා වැදගත් ඓතිහාසික ස්ථාන රැසකම තියෙනවා. ක්‍රි. ව. 1017 සිට ක්‍රි. ව. 1236 පමණ දක්වා වූ වසර 219 ක කාලය තුළ පොලොන්නරුව පාලනය කල රජවරුන් 21 ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා. සොළීන් මුල් කාලයේ පොළොන්නරුවේ රජකම් කලත්, ඔවුනගෙන් රට මුදාගෙන සශ්‍රික රාජ්‍යයක් බවට පොලොන්නරූව පත් කරන්න සිංහල රජ දරුවන්ට හැකිවී තිබෙනවා.

මේ කාලයේදී හෙළ පාලකයින් ඇති පොළොන්නරුවේ ඉඳි කෙරුණු වෙහෙර විහාර, අතර ගල් විහාරයට සුවිශේෂී වැදගත් කමක් හිමි වෙනවා.

ගල් විහාරයේ ඓතිහාසික පසුබිම

(sismus.org)

(sismus.org)

ඓතිහාසික මූලාශ්‍ර වලට අනුව ගල් විහාරය නිර්මාණය කරන්නේ මහා පරාක්‍රමබාහු රජතුමා. ඒ 12 වන සියවසේදී. පොලොන්නරුව, අග නුවර ලෙස ගොඩ නැගීමේදී ආගමික පුනරුදයට මූලිකත්වය දීමේ අරමුණින් මේ විහාර සංකීර්ණය ගොඩ නගන්නට ඇතැයි කියලයි ඉතිහාසඥයින් සඳහන් කරන්නේ.

සොබාදහම සුරකිමින්, කුඩා ගල් පර්වතයක එහි පිහිටීම ඇසුරු කර ගනිමින් ගල්විහාරයේ ප්‍රතිමා නිර්මාණය කර තිබෙනවා. මැටි හෝ බදාම භාවිතා නොකර තනි කළු ගලක හෝ   ගල් පර්වත වල බුද්ධ ප්‍රතිමා නෙලීම මේ යුගයේ ඉතා ජනප්‍රියව පැවතුන බව ඓතිහාසික සාධක වලින් තහවුරු වෙනවා.

ගල් විහාරයේ සැලැස්ම

ගල් විහාරය

ගල් විහාරය

ගල් විහාරය මනාව සැලසුම් කොට නිර්මාණය කල විහාර සංකීර්ණයක්  බව එය විමර්ශනය කිරීමේදී පැහැදිලි වෙනවා. තනි කළු ගල් පර්වතය කොටස් තුනක් වශයෙන් වෙන්කර, පිළිම හතරක් නිර්මාණය කර තිබෙනවා. මේ ගුහා තුන; විජ්ජාධර ගුහාව, නිසින්න පටිමා ලෙන, නිපන්න පටිමා ලෙන  වශයෙන් නම් කර තිබුනද,  ඒවා නිශ්චිත වශයෙන් හඳුනා ගැනීම දුශ්කරය.

මෙම ගුහා තුල ප්‍රතිමා හතරක් දක්නට ඇත. ඒවා,

  1. වැඩ හිඳිනා ලොකු සමාධි පිළිමය
  2. වැඩ හිඳිනා කුඩා සමාධි පිළිමය
  3. හිටි පිළිමය
  4. සැතපෙන හෙවත් පරිනිර්වාණ පිළිමය වශයෙනි.

වැඩ හිඳිනා ලොකු සමාධි පිළිමය

ලොකු සමාධි පිළිමය.

ලොකු සමාධි පිළිමය.

ගල්විහාර පුදබිමට ඇතුළු වන විට මුලින් දක්නට ලැබෙන මෙය ඉඳි පිළිමයකි. වැඩ සිටින ආසනයේ වජ්‍රයක සලකුණක් දක්නට ලැබෙනවා. මෙය පද්මාසනය වශයෙන්ද ඇතැම් දෙනා හඳුන්වනවා. ප්‍රතිමාව දෙපස සිංහ රූප ද යොදා අලංකාර කර ඇති අයුරු දක්නට හැකියි. ක්‍රි.ව. 8 වන සියවසේ තාන්ත්‍රික බුදු දහමේ බලපෑම මේ පිළිමයට ලැබෙන්නට ඇතැයි  පුරාවිද්‍යාඥයින්ගේ අදහසයි.  

පිළිමයේ උස අඩි 15 යි අඟල් 2 ½ කි. පිරිනිවන් පෑමට සූදානම් වූ බුදුන් වහන්සේ, ඊට පෙර සමාධි සුවයෙන් වැඩ හිඳී අවස්ථාවක් මෙයින් නිරූපණය වන බවයි විද්වතුන් සඳහන් කරන්නේ. වීරාසන ක්‍රමයෙන් යුතුව වැඩ සිටින සමාධි බුදු පිළිමයක් වන මෙහි පිටුපස මකර තොරණකි. එහි ඇති විමානවල කුඩා ප්‍රමාණයේ බුදු පිළිම දකින්න පුළුවන්.

වැඩ හිඳිනා කුඩා සමාධි පිළිමය

කුඩා සමාධි පිළිමය. srilankaview.com)

කුඩා සමාධි පිළිමය. (srilankaview.com)

දෙවැනි ප්‍රතිමාව වන මෙය  පිහිටි ගලෙන්ම ගුහාවක් තුළම නිර්මාණය කර තිබීම විශේෂයෙන් සඳහන් කල යුතු කරුණක්.  මෙම පිළිමය පිහිටි ගුහාව, විජ්ජාධර ගුහාව නමින් ද හැඳින්වෙනවා. මේ පිළිමයේ උස අඩි 4 යි අඟල් 7 ක් වන අතර ප්‍රභා මණ්ඩලය අඩි 1 යි අඟල් 9 1/2 කි . මේ පිළිමයට පිටු පසින් ද අලංකාර කැටයමින් යුතු තොරණක් දක්නට ලැබෙනවා. දෙවිවරුන් ලෙස දැක්වෙන ප්‍රතිමා දෙකක් දෙපසින් ඇති අතර, එයින් දැක්වෙන්නේචාමර සලන අකාරයකි.

මේ පිළිමයට ඉහලින් මහා බ්‍රහ්ම රූප හා විෂ්ණු රූප නෙලා ඇත. මෙම විද්‍යාධර ගුහාව බිතුසිතුවමින් අලංකාර කර තිබී ඇති බව, එහි දැනට ශේෂවී ඇති සිතුවම් කොටස් වලින් පැහැදිලි වෙනවා. පොළොන්නරු යුගයට අයත් මෙම බිතුසිතුවම් අනුරාධපුර යුගයේ සිතුවම් වල කලා ලක‍ෂණ ද විදහා දක්වයි. දුඹුරු පැහැයට හුරු වර්ණ භාවිතාකර තිඛෙනු දැකිය හැකි අතර තිවංක පිළිමගෙයි බිතුසිතුවම් හා සමාන  බවක් පෙනෙන්නට තිබෙනවා.

ගුහාව තුළ දක්නට ඇති එක් බිතු සිතුවමක් ශක්‍රයාගේ විය හැකි බව විද්වතුන්ගේ අදහසයි. මේ අනුව මේ පිළිමයෙන් නිරූපණය කෙරෙන්නේ, බුදුන් වහන්සේ තව්තිසා දෙව් ලොව මාතෘ දිව්‍ය රාජයා ඇතුළු පිරිසට අභිධර්මය දෙසූ අවස්ථාව  බව පැහැදිලිවෙනවා.

හිටි පිළිමය

හිටි පිළිමය.

හිටි පිළිමය.

ගල් විහාරයේ දක්නට ලැබෙන ආකර්ශනීයම පිළිමය මෙයයි. අඩි 22 යි අඟල් 9 උස වූ මෙම පිළිමය ද්විභංග ඉරියව්වෙන් නිමවා තිබෙනවා. මෙහි ඇති සුවිශේෂී ලක්ෂණය වන්නේ, වෙනත් කිසිම තැනක, කිසිම පිළිමයක දක්නට නොලැබෙන මුද්‍රාවක් මෙහි දක්නට ලැබීමයි. පිළිමය පිළිබඳව විවිධ මත තිබුණද, වැදගත් ලක්ෂණ කිහිපයක් නිසා මෙය බුදුන් වහන්සේගේ එක්තරා අවස්ථාවක් නිරූපණය කරන පිල්මයක් බව අද පිළිගැනේ.

පිළිමය නෙලා ඇත්තේ පද්මයක් මත සිටගෙන සිටින පරිද්දෙනි. එසේම දෙතිස්මහා පුරුෂ ලක්ෂණයක් වූ ඌර්ණ රෝම ධාතුව මෙහි මනාව දක්නට පුළුවන්. එපමණක් නොව, පිළිම වහන්සේ නැගී සිටින තේජාන්විත විලාශයත්, ශාන්ත ස්වභාවයත් මෙය බුදුන් වහන්සේ නිරූපිත පිළිමයක් බව සනාථ කරනවා.

මේ පිළිමයේ නෙත් සිත් පහර ගන්නා තවත් විශේෂ ලක්ෂණ දෙකක් තිබෙනවා. ඒ, ප්‍රතිමාවේ දෙතොල් අතරින් නැගෙන සියුම් මදහස සහ, දෙඅත් තබාගෙන සිටින විලාශයයි. බුදුන් වහන්සේ පරිනිර්වාණයට පෙර, මොහොතකට නැගී සිට, තමන් කලයුතු සියල්ල නිසි පරිදි සිදු කර ඇත්දැයි ධ්‍යාන සමාපත්තියෙන් විමසා බලන අවස්තාවක් ලෙස  පුරාවිද්‍යාඥයින් හා ඉතිහාසඥයින් දක්වනවා.

හිටි පිළිමය ()

හිටි පිළිමය (axiotravels.com)

දෙඅත පපුව මත බැඳ සිටින ඉරියව්වෙන්  දැක්වෙන්නේ  “පරදුඃඛ දුඃඛිත ඉරියව්ව”,  “අනිමිසලෝචන පූජාව”,  “පරදුඃඛ විජාණන”,  “බුදුරජාණන් වහන්සේ ගේ මහා කරුණා ගුණය” බවයි ජනප්‍රවාදයේ දැක්වෙන්නේ. තමන්ගේ කාර්යය පිළිබඳව තෘප්තිමත්ව නැගෙන මන්දස්මිතයක් ලෙස දෙතොල් අතරින් නැගෙන මදහසින් සංකේතවත් වෙන බවයි විද්වතින්ගේ අදහස.

සැතපෙන හෙවත් පරිනිර්වාණ පිළිමය

පරිනිර්වාණ පිළිමය.

පරිනිර්වාණ පිළිමය.

දිගින් අඩි 46ක් හා අඟල් 11 ක් වන මෙමගින් දැක්වෙන්නේ  බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයයි. ඉදිරියට නෙරා ඇති උදර ප්‍රදේශය හා අප්‍රාණිකව සිරුර දිගේ දිගහැර ඇති වමත, එකකට වඩා කෙටි වූ අනෙක් පාදයේ පතුල මෙම අදහස සනාථ කරනවා. සිංහ සෙයියාවෙන් සැතපී සිටින මෙම පිළිමයෙහි දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණ කිහිපයක් ඇත. පහත වූ කන්, උදර ප්‍රදේශයෙන් නැගී එන රේඛා තුන, පියවි ගිය දැස්, මෙට්ටය ගිලා බැස ඇති ආකාරය, ප්‍රාණය නිරුද්ධ වීමේදී හිස පිටුපසට ගොස් ඇති ආකාරය ආදී ලක්ෂණ වෙනත් පරිනිර්වාණ පිළිම වල දක්නට ලැබෙන්නේ නැහැ.

එසේම පරිනිර්වානයේදී  බුදුන් වහන්සේගේ සිරස් පත අතුරුදහන් වීම, දෙපතුල් වල නෙලුම් සටහන පමණක් ඉතුරුවිම,  සිවුර පසුව පොරවා ඇති අකාරය දැක්වීම, ආදී ලක්ෂණ වලින් තථාගතයන් වහන්සේ මෙලොව ජිවිතයෙන් පමණක් නොව, සංසාර ගමනින්ද සමුගත් ආකාරය නිරූපණය කෙරෙන බවයි විද්වතුන් සඳහන් කරන්නේ.

(travelphotogallery.net)

(travelphotogallery.net)

පොළොන්නරු ගල්විහාර පිළිම වල දක්නට ඇති විශේෂ ලක‍ෂණයක් වන්නේ සිවුරේ රැළි දැක්වීම සඳහා සමාන්තර යුගල රේඛා යොදා තිබීමයි.

බුදුන් වහන්සේගේ ජිවන චරිතයේ වැදගත් අවස්ථා තුලින් ශ්‍රද්ධා භක්තියත්, අනිත්‍ය පිලිබඳ අදහසත්, බොදු සිත් තුළ ඇති කිරීමට පොළොන්නරු යුගයේ හෙළ කලා කරුවා ගෙන ඇති උත්සාහය අපගේ ගෞරවාදරයට නිතැතින්ම යොමු විය යුතු නෙවේද?

 

Related Articles