ප්‍රාථමික අධ්‍යාපනය ලබන කාල සීමාවේ පාසල් යහළු යෙහෙළියන් සමග කොළඹ 7, මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි ග්‍රහලෝකාගාරය නරඹන්න විනෝද චාරිකාවක් නොගිය අයෙක් නොමැති තරම්. තරු රටා සහ ග්‍රහලෝක වැනි පියවි ඇසට හුරුපුරුදු දසුන් අතරින් නරඹන්නන් ව කැඳවාගෙන යමින් නිමක් නොමැති විශ්වයේ සුන්දරත්වය අත් විඳින්න ඉඩ සලසා දෙන ග්‍රහලෝකාගාර බිහි වුණේ කෙසේ දැයි ඔබ කවදා හෝ සිතා තිබෙනවා ද?
ක්‍රිස්තු පූර්ව 2 වැනි සියවස තරම් ඈත කාලයේ දී ග්‍රහලෝකාගාරයක් යැයි කිව හැකි උපකරණයක් මුල් ම වරට නිර්මාණය කර ඇත්තේ ග්‍රීක බහුශාස්ත්‍රඥයෙකු වූ ආකිමීඩීස් විසින්. ඔහු විසින් නිපද වන ලද ප්‍රාථමික ග්‍රහලෝකාගාරය භාවිතා කර ඇත්තේ හිරු, සඳු සහ අනෙකුත් ග්‍රහලෝකයන් හි චලනය සිදු වන ආකාරය ගැන අනාවැකි පළ කිරීම සඳහා යි. පසු කාලීන ව සූර්යග්‍රහණ සහ තාරකාවන් හි පිහිටීම ගැන පූර්වේක්ෂණ ඉදිරිපත් කළ ඇන්ටිකෙතාරා යාන්ත්‍රණය නිර්මාණය කිරීම සඳහා පදනම සපයන්නට ඇත්තේ ආකිමීඩීස්ගේ ග්‍රහලෝකාගාරය විය හැකි යි.
කෙසේ හෝ ආකිමීඩීස්ගෙන් පසු ව නැවත වරක් ග්‍රහලෝකාගාරයක් නිර්මාණය කළ බවට සාක්ෂි ඇත්තේ 13 වැනි සියවසේ දී යි. ක්‍රිස්තු වර්ෂ 1261 – 1264 අතර කාලයේ දී ඉතාලි ජාතික තාරකා විද්‍යාඥයෙකු වූ නොවාරා හි කැම්පනුස් විසින් ප්‍රකාශයට පත් කළ ‘Theorica Planetarum’ නම් ග්‍රන්ථයේ ග්‍රහලෝකාගාර පිළිබඳ ව සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සහ එහි සරල අනුරුවක් නිර්මාණය කර ගන්නා ආකාරය පිළිබඳ ව උපදෙස් ඇතුළත් වෙනවා. ඔහුගේ උපදෙස් අනුව යමින් පසු කාලීන තාරකා විද්‍යාඥයින් ග්‍රහලෝකාගාර නිර්මාණය කරන්නට ඇති නමුත් ඒ කිසිවක් අද විට වන දැක ගැනීමට ලැබෙන්නේ නැහැ.
වර්තමානයේ දී දැක ගැනීමට ලැබෙන තවමත් ක්‍රියාකාරී තත්ත්වයේ පවතින පැරණි ම ග්‍රහලෝකාගාරය නිර්මාණය කර ඇත්තේ ෆ්‍රීසියානු ජාතික ආධුනික තාරකා විද්‍යාඥයෙකු වූ අයිසෙ අයිසින්ගා (Eise Eisinga) විසින්. නෙදර්ලන්තයේ ෆ්‍රැනකර් නුවර පිහිටා ඇති එය ‘අයිසෙ අයිසින්ගා රාජකීය ග්‍රහලෝකාගාරය’ ලෙස හඳුන්වනු ලබනවා. අයිසෙ අයිසින්ගා විසින් ඔහුගේ නිවසේ විසිත්ත කාමරය ග්‍රහලෝකාගාරයක් බවට පත් කර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1774 – 1781 අතර කාලයේ දී යි.
තාරකා විද්‍යාවට ඇළුම් කළ ගණිතඥයා
ක්‍රිස්තු වර්ෂ 1744 පෙබරවාරි 21 වැනි දින අයිසෙ අයිසින්ගා උපත ලබන්නේ ඩ්‍රොන්රිප් නම් ගම්මානයේ දී යි. ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහුගේ සවස් වරුව පියාගේ ලොම් රෙදි තේරීමේ වැඩපොළේ කටයුතු සඳහා උපකාර කිරීම වෙනුවෙන් වැය වී තිබෙනවා. මූලාශ්‍රයන් හි සඳහන් වන්නේ තාරකා විද්‍යාව සහ ගණිතය සඳහා අයිසෙ අයිසින්ගා දැක් වූ උනන්දුව ඔහුගේ පියාගෙන් උරුම වූවක් බව යි. කෙසේ හෝ සෑම සතියක ම ෆ්‍රැනකර් නුවර බලා ගිය අයිසෙ අයිසින්ගාට එහි දී ජ්‍යාමිතිය පිළිබඳ ව ලියැවුණු යුක්ලිඩ්ගේ ගණිත පොත් සංග්‍රහය අධ්‍යයනය කිරීමට අවස්ථාවක් හිමි වී තිබෙනවා.
විවාහයෙන් පසු ව ෆ්‍රැනකර් නුවර පදිංචි වූ අයිසෙ අයිසින්ගාට ග්‍රහලෝකාගාරයක් නිර්මාණය කිරීම පිළිබඳ ව අදහසක් ඇති වී ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1774 දී ඇති වූ සිදුවීමක් හේතුවෙන්. වසර ආරම්භයේ දී ලන්දේසි ජාතික ධර්මදේශකයෙකු සහ ආධුනික තාරකා විද්‍යාඥයෙකු වූ එල්කෝ ඕල්ටා ප්‍රකාශයක් නිකුත් කරමින් හෙළිදරව් කර සිටියේ මැයි 8 වැනි දින ඇති වන අසාමාන්‍ය ග්‍රහ පිහිටීමක් මත පෘථිවිය විනාශ වන බව යි. අහස නිරීක්ෂණය කිරීම සඳහා තාක්ෂණික වශයෙන් දියුණු උපකරණ නොතිබුණු යුගයක දී එල්කෝ ඕල්ටා විසින් සිදු කරන ලද ප්‍රකාශය සමාජය තුළ මහත් කැලඹීමක් ඇති කළ බවට සැකයක් නැහැ.
ලෝක විනාශය නරඹන්න මැදිරියක්
එවකට 30 හැවිරිදි වියේ පසු වූ තරුණ අයිසෙ අයිසින්ගාට මැයි 8 වැනි දින සිදු වන ග්‍රහ පිහිටීම සහ ලෝක විනාශය නැරඹීමට ඇති වූ කුතුහලයේ අවසන් ප්‍රතිඵලය වුණේ ඔහුගේ නිවසේ විසිත්ත කාමරය ක්‍රමයෙන් ග්‍රහලෝකාගාරයක් බවට පත් වීම යි. ඕක් දැව යොදාගෙන නිර්මාණය කරන ලද ග්‍රහලෝකාගාරයේ වැඩ අවසන් කිරීම සඳහා ඔහුට වසර හතක කාලයක් ගත වී තිබෙනවා. අදටත් ක්‍රියාකාරී තත්ත්වයේ පවතින එය ලෝහ කූරු මත රඳවන ලද දැව ගෝල යොදාගෙන නිර්මාණය කළ සූර්යයා සහ තවත් ග්‍රහලෝක හයකින් සමන්විත යි. අයිසෙ අයිසින්ගාගේ ග්‍රහලෝකාගාරය සතු සුවිශේෂී ම ලක්ෂණය වන්නේ දැවමය ග්‍රහලෝක පරිභ්‍රමණය සඳහා සත්‍ය පරිභ්‍රමණ කාලය ම ගත වීම යි. උදාහරණයක් ලෙස බුධගේ පරිභ්‍රමණය සඳහා දින 88 ක් ද සෙනසුරුගේ පරිභ්‍රමණය සඳහා වසර 29 දින 164 ක් ද ගත වෙනවා.
සත්‍ය වශයෙන් ම සිදු වන ආකාරයට ඉතාමත් නිවැරදි ව චලනය වන අයිසෙ අයිසින්ගාගේ ග්‍රහලෝකාගාරය නිර්මාණය කර ඇත්තේ එක් මිලිමීටරයකින් කිලෝමීටර් මිලියනයක් දැක්වෙන ලෙස යි. ග්‍රහලෝකයන් හි චලනයට අමතර ව වඩදිය සහ බාදිය ඇති වන වේලාවන් නිවැරදි ව දැක්වීමට ද අයිසෙ අයිසින්ගා රාජකීය ග්‍රහලෝකාගාරය සමත්. සංස්කෘතිකමය වශයෙන් එහි ඇති වැදගත්කම සැලකිල්ලට ගෙන 2011 වර්ෂයේ දී එය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙනවා. වර්තමානයේ දී එය කෞතුකාගාරයක් ලෙස මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත ව පවතිනවා.
කවරයේ පින්තූරය : © Jac Hendrix