බල්ගේරියානු ජාතික ජෝර්ජි මාර්කොව් සිය මව් රටේ ප්‍රසිද්ධ කතුවරයෙක් සහ නාට්‍ය රචකයෙක්. ඔහු සිය නිර්මාණයන් හරහා බල්ගේරියානු රජය විවේචනය කළ නිසා ඒවා බොහෝවිට තහනමට ලක්වුණා. මාර්කොව්, රජයෙන් සිය ජීවිතයට එල්ල වූ තර්ජන හමුවේ 1969 දී බටහිරට පලා ආවා. ලන්ඩනය වාසස්ථානය කරගත් ඔහු ඉන්පසු BBC ලෝක සේවයටත්, ජර්මනියේ ඩෝචෙ වෙල (DW) මාධ්‍ය ආයතනයටත්, පසු ව CIA සංවිධානය විසින් ක්‍රියාත්මක කෙරුණු Radio Free Europe නම් ගුවන්විදුලි මධ්‍යස්ථානයටත් සේවය කළා.
මාර්කොව් සිය ගුවන්විදුලි වැඩසටහන් හරහා බල්ගේරියානු රජයේ පාලනයත්, එහි නිලධාරීන්වත් නිතර විවේචනය කළා. ඔහුගේ මෙම වැඩසටහන් බල්ගේරියානු ජනතාව අතර ද බොහෝ ප්‍රසිද්ධ වුණා. බල්ගේරියානු රජයට හිසරදයක් වුණු මේ රේඩියෝ වැඩසටහන් නවතා දැමීමේ එක ම පිළිවෙල වුණේ මාර්කොව් ඝාතනය කිරීම පමණ යි. එකල බල්ගේරියානු නායකයා වූ තොදෝර් ශිව්කොෆ් මාර්කොව්ව මරා දමන ලෙස ඔවුන්ගේ විදේශ බුද්ධි අංශයට අණ දුන්නා.
රජයේ මේ තීරණයත් සමග බල්ගේරියානු බුද්ධි අංශයන් මාර්කොව් ඝාතනයට ප්‍රයත්නයන් තුනක් සිදුකළා. ඉන් එකක් ජර්මනියේ මියුනිච්හි දීත්, දෙවැන්න සාර්ඩිනියා දූපතේ දීත් ක්‍රියාවට නැංවුණත්, ඒවා අසාර්ථක වුණා. එනිසා තෙවැනි ප්‍රයත්නයක් සැලසුම් කෙරුණා.
තෙවන ප්‍රයත්නය
මාර්කොව් 1978 සැප්තැම්බර් 7 වන දා ලන්ඩනයේ වෝටර්ලූ පාලම අසල බස් නැවතුමේ පෝලිමේ රැඳී සිටියේ රැකියාවට යෑමට බස් රථයකට නැගීමේ අරමුණෙන්. සිය දකුණු පයේ කලව ආසන්නයෙන් තියුණු වේදනාවක් දැනීම නිසා හැරී බැලූ මාර්කොව්ට දැකගන්නට ලැබුණේ බිම පතිත වූ කුඩයක් අහුලමින් සිටි තැනැත්තෙක්. ඔහුගේ කුඩය මාර්කොව්ගේ කකුලේ වැදී බිම පතිත ව තිබුණා. මාර්කොව්ගෙන් සමාව ඉල්ලූ මේ තැනැත්තා ඉන්පසු කලබලයෙන් මෙන් කුලී රියක නැගී එතැනින් පිටව ගොස් තිබුණා. මේ සිදුවීම නොතැකූ ඔහු බස්රිය පැමිණි විට එයට ගොඩ වී සුපුරුදු පරිදි BBC කාර්යාලය වෙත පිටත්වුණා.
කාර්යාලයට පැමිණ මඳ වේලාවකින් සිය කකුලේ කුඩය ඇනුණු තැන රතු වී, ඉදිමී තිබුණු අයුරු මාර්කොව් නිරීක්ෂණය කර තිබුණා. එදින සවස් වෙද්දී තදින් උණ ගැනී රෝගාතුර වූ ඔහු සාන්ත ජේම්ස් රෝහල වෙත ගෙනයනු ලැබුවා. තද උණ, උදරයේ වේදනාව, වමනය, පාචනය, සහ ඉතා ඉහළ සුදු රුධිර සෛල මට්ටම ඔහුගේ රෝග ලක්ෂණයන් වුණා. වෛද්‍යවරුන් වහා ප්‍රතිකාර ඇරඹුවත්, මාර්කොව් ඒවාට ප්‍රතිචාර දැක්වූයේ නැහැ.
පසුදින වන විට රෝග තත්ත්වය උග්‍ර වීම නිසා මාර්කොව් කම්පන තත්ත්වයකට පත්වුණා. ඉන් දින තුනකින් ඔහුගේ මරණය සිදු වූ අතර ඒ වන විට රෝග විනිශ්චය වූයේ පූතිරක්තතාව යි. මියයන විට මාර්කොව්ගේ වයස අවුරුදු 49ක් වුණා.
බුද්ධි අංශ සහ විෂ
1970 ගණන්වල රුසියානු KGBය විෂ යොදා ඝාතනය කිරීමේ ක්‍රම 3ක් පමණ අනුගමනය කළා. ආහාර හරහා, සම මත තවරා, සහ කුඩා මූණිස්සමක් හරහා විෂ ශරීරගත කිරීම ඒවා වුණා. මේ සඳහා බහුල ව භාවිතා කළ විෂ වර්ගයන් වූයේ තැලියම්, පොලෝනියම් 210, නොවිචොක් ස්නායු විෂ, සහ රයිසින්.
රයිසින් උග්‍ර ශාක විෂක්. Ricinus communis (එඬරු කුලයේ පැළෑටියක්) ශාකයේ බීජවල අන්තර්ගත මෙය සංකීර්ණ ක්‍රමයක් හරහා නිස්සරණය කරගන්නට පුළුවන්. මෙහි මිලිග්‍රෑම් කීපයක් පවා ශරීරගත වීම (එන්නත්, ආහාර, හෝ ශ්වසනය මඟින්) මරණය කැඳවන්නක්. රයිසින් විෂ වූ විට සිරුරේ අත්‍යවශ්‍ය ප්‍රෝටීන නිපදවීම අඩාල වන අතර මධ්‍යම ස්නායු පද්ධතිය, වකුගඩු, අක්මාව, සහ අනෙකුත් පද්ධතීන් අකර්මණ්‍ය වෙනවා. එයින් හෝ, හෘදයාබාධයක් හරහා හෝ ශරීරගත වීමෙන් දින කීපයක් තුළ රයිසින් මරණය සිදුකරනවා.
රයිසින් නාග විෂටත් වඩා මාරාන්තික යි. ශ්වසනය හරහා ශරීරගත වුවහොත් සිරුරු බරෙන් කිලෝග්‍රෑමයට මයික්‍රොග්‍රෑම් 3 – 5 අතර ප්‍රමාණයක් පවා මරණය කැඳවන්නට පුළුවන්
ඝාතනයක් සඳහා රයිසින් යොදාගැනීමේ වාසි කීපයක් තිබෙනවා. එයින් මූලික ම වාසියක් තමයි ශරීරගත වීමෙන් පසු විෂවීමේ ලක්ෂණ පෙන්වන්නට පැය කීපයක් ගතවීම. එසේම එහි විෂවීමේ ලක්ෂණ වන තද උණ, උදරයේ වේදනාව, වමනය, පාචනය, විජලනය, සුදු රුධිරානු මට්ටම ඉහළ යෑම, සහ රුධිර පීඩනය පහත වැටීම විෂවීමක් නොව, සාමාන්‍ය රෝගයක රෝග ලක්ෂණ ලෙස හඳුනාගැනීමට ඇති සම්භාවිතාව ඉහළ යි.
මාර්කොව්ගේ මරණ පරීක්ෂණය
මාර්කොව් මියගියේ පූතිරක්තතාවයෙන් බවට නිගමනය කළත්, ඔහුගේ හදිසි මරණය සැක සහිත වුණා. එනිසා බ්‍රිතාන්‍ය බුද්ධි අංශය විසින් මාර්කොව්ගේ සිරුර මරණ පරීක්ෂණයකට බඳුන් කරන්නට අණ කෙරුණා. පුළුල් පරීක්ෂණවලින් අනතුරුව අධිකරණ වෛද්‍ය විශේෂඥයින්ට මාර්කොව්ගේ දකුණු කලවය තුළ තිබී ඉතා කුඩා ලෝහ ගුලියක් හමුවුණා. ප්‍රමාණයෙන් මිලිමීටර 1.7ක් පමණ වූ මෙය පෝර්ටන් ඩවුන්හි ආරක්ෂක අමාත්‍යංශයේ විද්‍යාගාර තුළ දී පරීක්ෂාවට ලක්කිරීම සඳහා යැවුණා.
මේ මිලිමීටර එකහමාරේ මූණිස්සම තුළ උග්‍ර විෂක් අන්තර්ගත ව තිබී ඇති බව සොයාගැනුණේ එවිට යි.
ශරීර උෂ්ණත්වයේ දී දියවන හානි රහිත රසායනික ද්‍රව්‍යයකින් ආවරණය කළ රයිසින් ගුලියක්, සිදුරු දෙකක් සහිත මේ කුඩා මූණිස්සම තුළට දමා තිබී ඇති බවට ඔවුන් හෙළිකර ගත්තා. එදා බස් නැවතුමේ දී අත්වැරදීමකින් මෙන් කුඩය බිම අතහැරගත් තැනැත්තා, එම කුඩය අග උල හරහා මාර්කොව්ගේ කකුලට විෂ මූණිස්සම විද තිබුණා. මාර්කොව්ගේ සිරුර තුළ දී ශරීර උෂ්ණත්වයෙන් ආරක්ෂක රසායන ද්‍රව්‍යය දිය වීමෙන් රයිසින් විෂ ඔහුගේ රුධිරයට එක්ව මරණය සිදු ව තිබුණා.
1989 දී බල්ගේරියානු කොමියුනිස්ට් රෙජීමය බිඳවැටීමෙන් පසු අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය සතු ව තිබී විශේෂ ක්‍රමයකට සකස් කරන ලද කුඩ තොගයක් සොයාගැනුණා. මාර්කොව් ඝාතනය සඳහා යොදාගැනෙන්නට ඇත්තේත් එවැනි කුඩයක් බවට අනුමාන කෙරෙනවා.
1992 ජුනි මාසයේ දී බල්ගේරියාවේ හිටපු බුද්ධි අංශ ප්‍රධානී ජෙනරල් ව්ලැදිමීර් තොදොරොව්, මාර්කොව් ඝාතනයට අදාළ ලිපිගොනු 10ක් විනාශ කළ බවට වන චෝදනාව යටතේ 16 මසකට බන්ධනාගාරගත කෙරුණා. එහි දෙවැනි සැකකරු වූ හිටපු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජෙනරල් ස්තොයන් සොවෝෆ් නඩු විභාගයන්ට මුහුණදීමෙන් ගැලවීමට සියදිවි නසාගත්තා.
2000 දී බල්ගේරියානු රජය ඔහුගෙන් එරට සාහිත්‍යයට වූ සේවය අගයනු වස් බල්ගේරියාවේ ඉහළ ම සම්මානය වූ Stara Planina ජෝර්ජි මාර්කොව්ට ප්‍රදානය කළා. එය ඔහුගේ දියණිය විසින් ලබාගැනුණා.
මූලාශ්‍රයයන්:
Shpiro, S. (2008) ‘Poisoned Chalice: Intelligence Use of Chemical and Biological Weapons’ International Journal of Intelligence and CounterIntelligence 22 (1), 1 – 30
Papaloucas, M., Papaloucas, C., Stergioulas, A. (2008) ‘Ricin and the Assassination of Georgi Markov’ Pakistan Journal of Biological Sciences 11 (19), 2370 – 2371
CNN
TIME
Telegraph
කවරයේ පින්තූරය: trbimg.com