Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව ප්‍රථම වඳුරු ක්ලෝනය චීනයෙන්

චීනයේ ෂැංහයි නුවර පිහිටි ස්නා‍යු විද්‍යාව සඳහා වූ තාක්ෂණික ඇකඩමියේ විද්‍යාඥයින් පිරිසක් වඳුරෙකු සාර්ථක ව ක්ලෝනකරණය කරන්නට පසුගිය දා සමත් වුණා. මොවුන් මේ වික්‍රමය සිදුකොට ඇත්තේ මීට දශක දෙකකට පෙර ඩොලී නම් බැටළුවා ක්ලෝනකරණය කළ Somatic cell nuclear transfer (SCNT) තාක්ෂණය ම අනුගමනය කරමිනුයි.

මිනිසාට සමීප බන්ධුතාවයක් දක්වන වඳුරන් මිනිසා මෙන්ම ප්‍රයිමේටාවුන් වෙනවා. මේ ප්‍රයිමේටාවෙකු සාර්ථක ව ක්ලෝනකරණය කළ පළමු අවස්ථාව වන අතර, නුදුරු අනාගතයේ දී මිනිස් ක්ලෝනයක් වුව ද සාර්ථක ව නිපදවීමට හැකියාව මිනිස් ප්‍රජාවට ලැබෙනු ඇතැ යි එනයින් අනුමාන කළ හැකි වෙනවා.

ෂොං ෂොං හා හුආ හුආ

ෂොං ෂොං හා හුආ හුආ- YouTube

වඳුරකුගෙන් ගත් අලිංගික සෛලයක න්‍යෂ්ටියක් වෙන් කරගෙන, එය එම විශේෂයට ම අයත් වෙනත් සත්ත්වයෙකුගේ ඩිම්බයක න්‍යෂ්ටිය ඉවත් කොට එහි ප්‍රතිස්ථාපනය කර ෂොං ෂොං හා හුආ හුආ නම් සර්වසම වඳුරු පැටවුන් දෙදෙනෙකු ප්‍රතිඵල කරගන්නට මේ විද්‍යාඥයින් සමත් වී තිබෙනවා. මොවුන් දෙදෙනාගේ වයස් පරතරය සති දෙකක් වෙනවා. මෙය සිදුකළ විද්‍යාඥයින්ට අනුව මෙහි අරමුණ සර්වසම වඳුරු ගහනයක් ඇතිකොට උන් යොදාගෙන මිනිසාට බලපවත්වන රෝගාබාධවලට පිළියම් සෙවීම යි. ක්ලෝනකරණයෙන් ප්‍රතිඵල වන වඳුරන් සියලුදෙනා සර්වසම නිසා ඔවුන් නියැදියක් ලෙස යොදාගැනීම වඩා සාර්ථක බව විද්‍යාඥයින් පවසනවා.

මිනිස් ක්ලෝනයකට ඇති බාධාව ඉවත් වේ

චීනය තමන් ලබාගත් ජෛව විද්‍යාත්මක ජයග්‍රහණය ලොවට දැනුම්දීමත් සමග තැන තැන විවිධ කසුකුසු ඇති වුණා. කෙසේ නමුත් එම වෛද්‍ය කණ්ඩායමට අනුයුක්ත මමින්ග් පූ මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ තමන් කිසිදු ලෙසක මානව ක්ලෝනකරණයක් සිදුකිරීමට උත්සාහ නොකරන බව යි.

මමින්ග් පූ -neuroeconomics2014.squarespace.com

‘මෙම වඳුරන් මෙන්ම මිනිසුන් ද අයත් වන්නේ ප්‍රයිමේටා කුලයට යි. එම නිසා මෙම සාර්ථක වඳුරු ක්ලෝන කිරීමත් සමග මිනිස් ක්ලෝනයක් සිදුකිරීමට විද්‍යාත්මක අතින් ඇති බාධා රාශියක් ඉවත් කරගැනීමට අපි සමත් වූ බව සැබෑ යි. කෙසේ නමුත් මෙහි මුඛ්‍ය අරමුණ විවිධ ඖෂධ වර්ග අත්හදා බැලීමට මිනිසුන්ට ආසන්න ‘සර්වසම’ නිදර්ශක උත්පාදනය කරගැනීම’ යැයි පූ තවදුරටත් අදහස් දක්වා තිබෙනවා.

සර්වසම නියැදි යොදාගැනීමේ වාසි

යම් නියැදියක් සඳහා යොදාගන්නා නිදර්ශක සර්වසම වීමෙන් වාසි රැසක් සැලසෙනවා. ඒ යම් සාධකයක් කෙරෙහි ඒවා දක්වන ප්‍රතිචාරය එක හා සමාන වීම යි. විශේෂයෙන් ජීවීන් වැනි සංකීර්ණ ‘නිදර්ශක’ සහිත නියැදිවල එකිනෙකට සර්වසම නිදර්ශක දෙකක් හමුවන්නේ නැති තරම්. එබැවින් කෙතරම් සර්වසම ලෙස පරීක්ෂාකර බැලිය යුතු ‘සාධක’ ඔවුනට ලබාදුන්නත්, ඒවාට ඒ එකිනෙකා දක්වන ප්‍රතිචාරවල සුළු හෝ ගුණාත්මක වෙනස්කම් දකින්නට ලැබෙනවා. ක්ලෝනකරණයෙන් සර්වසම ජනිතයින් රාශියක් බිහිකර ගතහොත් ඒ සියල්ල නියැදියක් වශයෙන් යොදාගත් විට පිටතින් ලබාදෙන සාධකවලට එකම ආකාරයෙන් ප්‍රතිචාර දැක්වීම නිසා එම සාධකය ගැන නිගමනයකට පැමිණීමට වඩා පහසු වෙනවා.

කෙසේ නමුත් මේ අදහසට විරුද්ධ මත දරන අයවලුන් පවසන්නේ හදිසියේ හෝ මෙලෙස ක්ලෝන ලබාගැනීමට භාවිතා කරන මව් සෛලය යම් සාධකයක් කෙරෙහි තම වර්ගයාගේ බොහෝ ජීවීන් නොදරන ‘විශේෂිත’ ප්‍රතිචාරයක් දක්වන අයෙකු වූවොත් කුමක් සිදුවන්නේ ද යන්න යි.

SCNT ක්‍රියාවලිය- neuroeconomics2014.squarespace.com

ක්ලෝනකරණයෙන් උපන් වඳුරන්ගේ සෞඛ්‍ය තත්ත්වය

ක්ලෝනකරනයෙන් ජනිත වූ වඳුරු පැටවුන් දෙදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව විද්‍යාඥයින් පවසනවා. ඔවුනට බෝතලයක් ආධාරයෙන් කිරි ලබාදීම සිදුකරන අතර, වැඩීමෙහි ද අසාමාන්‍යතාවක් නැතැ යි වාර්තා වෙනවා. මොවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය වැඩිදුරටත් අධ්‍යයනය කර ඉක්මනින් ම නැවතත් වඳුරු ක්ලෝන කිහිපයක්ම කිරීමට ඔවුන් සැලසුම් කර තිබෙනවා.

සත්ත්ව ක්ලෝනකරණයේ ඉතිහාසය

ක්ලෝනකරණයේ ප්‍රතිඵලයක් ලෙස ‘ඩොලී’ නම් බැටළු පැටවා ස්කොට්ලන්තයේ දී උප්පත්තිය ලැබුවේ 1996 දී යි. ඉන් අනතුරුව අද වන තුරු සත්ත්ව විශේෂ 20ක් පමණ සාර්ථක ව ක්ලෝනකරණය කොට තිබෙනවා. ගවයින්, ඌරන්, බල්ලන්, හාවුන්, හා මූසිකයින් ඒ අතර වෙනවා.

තත්ත්වය එසේ වූවත් මෑතක් වන තුරු ම ප්‍රයිමේටාවුන් ක්ලෝනකරණය කිරීමට සිදුකළ සියලු උත්සාහයන් අසාර්ථක වූවා. මේ නිසා ඒ පිළිබඳ ව පර්යේෂණ සිදුකළ බහුතරයකගේ මතය වූයේ ප්‍රයිමේටාවුන් මේ ක්‍රියාවලියට ප්‍රතිරෝධයක් දක්වන බව යි. කෙසේ නමුත් මෙම වඳුරන් දෙදෙනා සාර්ථක ව ක්ලෝන කිරීමත් සමග ඒ සියල්ල වෙනස් වී තිබෙනවා.

‘ඩොලී’- The Roslin Institute, Creative Commons 2.0

ක්ලෝනකරණය සිදුකළ විද්‍යාඥයින් කණ්ඩායමට අනුව ඇත්තෙන් ම ප්‍රයිමේටා ක්ලෝන මෙතක් කාලයක් අසාර්ථක වී තිබුණේ වෙනත් හේතුවක් නිසා යි. ප්‍රයිමෙටා ජාන කිටුවේ කලල විකසනය වළක්වන සමහර ජාන තිබෙන බව ඔවුන් සොයාගෙන ඇති අතර, ඒවා එකිනෙක ක්‍රියා විරහිතකොට කිහිපවරක් උත්සාහ කිරීමෙන් අනතුරුව මේ සාර්ථකත්වය ළඟා කරගැනීමට ඔවුන් සමත් වී තිබෙනවා. කෙසේ නමුත් ඉන් අනතුරුවත් මෙම ක්‍රමයේ සාර්ථකත්වය ඉතා අඩු තත්ත්වයක පැවතී තිබෙනවා. මෙය වඩා සාර්ථක වී තිබෙන්නේ වැඩිහිටි මව් සෛලයක් වෙනුවට භ්‍රණයක සෛලයක න්‍යෂ්ටික ද්‍රව්‍ය යොදාගත් විට යි. ඉන් අනතුරුවත් ඩිම්බ 127කින් සාර්ථකත්වයට පත්ව තිබෙන්නේ 2ක් පමණයි.

වඳුරන් ක්ලෝන කිරීමත් සමග දැල්වුණු රතු එළි

ප්‍රයිමේටාවෙකු සාර්ථක ව ක්ලෝන කිරීම සිදුකළායැ යි සැලවීමත් සමග ලොව පුරා සමහර විද්වතුන් මේ නිසා අනාගතයේ මිනිස් ප්‍රජාවට අත්විය හැකි දරුණු අවාසි පිළිබඳ ව කරුණු දක්වමින් සිටිනවා. ප්‍රයිමේටාවුන් ක්ලෝන කිරීම සාර්ථක ව සිදුකළ හැකි වටපිටාවක න්‍යායාත්මක ව මිනිස් ක්ලෝනයක් ද බිහිකරගත නොහැකි නොවන බව ඔවුන් පවසනවා. මෙම ක්ලෝන කිරීම සිදුකළ විද්‍යාඥයින් හට කිසිසේත් ම මිනිස් ක්ලෝනයක් අත්හදා බැලීමට වුවමනාවක් නැති බැව් ප්‍රකාශ වුව ද ඔවුන් තර්ක කරන්නේ මෙම තාක්ෂණය වෙනත් පුද්ගලයෙකු අතට පත් වුවහොත් සිදුවන්නේ කුමක්ද යන්න යි.

මානව ක්ලෝනකරනයේ බලවත් අවාසි තිබෙනවා- fallinginlovewithbollywood.com

මානව ක්ලෝනකරණය අතීතයේ පටන් දැඩි විවාදවලට ලක් වූ මතභේදාත්මක මාතෘකාවක්. බොහෝදෙනා පවසන්නේ එය කිසිසේත් ම සදාචාරාත්මක නොවන බව යි. එමෙන්ම ලෝක ආරක්ෂාවට ඉන් දැඩි තර්ජනයක් එල්ලවන බව ඔවුන් පවසනවා. කෙසේ නමුත් කාලයාගේ ඇවෑමෙන් ‘නීත්‍යනුකූල’ ලෙස මානව ක්ලෝන නිපදවන දිනයක් උදාවීමට ඉඩකඩක් නැත්තේයැ යි කිසිවෙකුට පැවසිය නොහැකි යි.

කවරයේ පින්තූරය -thenational.ae

 

Related Articles