Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බ්‍රිතාන්‍යය පාලනය යටතේ හොං-කොං

වර්තමානයේ දී හොං-කොං යනු චීනයේ විශේෂ පරිපාලන ඒකකයක් වනවා. 1842 සිට හොං කොං පැවතියේ බ්‍රිතාන්‍ය පාලනය යටතේ යි. යටත් විජිත සමයේ දී හොං කොං හි භූමි ප්‍රදේශය පියවර තුනකින් විශාල වුණා.

චීනය සහ බ්‍රිතාන්‍යය අතර පළමු අබිං යුද්ධය අතරතුර හොං කොං දූපත බ්‍රිතාන්‍යය විසින් අල්ලා ගත්තා. 1842 අගෝස්තුවේ අත්සන් කරන ලද නැන්කිං ගිවිසුම මඟින් හොං කොං දූපත කාලසීමා රහිතව බ්‍රිතාන්‍යයට පවරා දෙනු ලැබුණා. 1860 දී දෙවන අබිං යුද්ධය අවසානයේ දී අත්සන් කරන ලද පීකිං ප්‍රඥප්තිය අනුව හොං කොං දූපත අසල වූ කොව්ලූන් ප්‍රදේශය ද බ්‍රිතාන්‍යයට පවරා දීමට චීනයට සිදු වුණා. 1898 දී දෙවන පීකිං ප්‍රඥප්තියෙන් නව භූමි ප්‍රදේශය (New Territories) නම් වූ කොටස චීනය විසින් බ්‍රිතාන්‍යය වෙත 99 අවුරුද්දක් සඳහා බදු දෙනු ලැබුණා.

හොං කොං ජනතාව

හොං කොං දූපත මුල්කාලීනව චීනය ආශ්‍රිත බ්‍රිතාන්‍ය වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස වර්ධනය වුණා. ඒ අනුව බ්‍රිතාන්‍ය වෙළෙඳුන් මෙන්ම යටත් විජිත නිලධාරීන් ද එහි පැමිණියා. මුල්කාලයේ පටන් තරුණ බ්‍රිතාන්‍යයන් සහ දේශීය කාන්තාවන් අතර ඇති වූ සබඳතා හේතුවෙන් පසුකාලීනව යුරේසියානු ප්‍රජාවක් ද එහි වර්ධනය වුණා.

හොං කොං හි වූ බ්‍රිතාන්‍ය සේනාංක අතර ඉන්දියානු බල ඇණි ද වුණා. මෙම හමුදා බල ඇණි ප්‍රදේශය බාහිර බලපෑමෙන් ආරක්ෂා වීමට වැදගත් වුණා. මේ අතර බ්‍රිතාන්‍යය හොං කොං හි නීතියේ ආධිපත්‍යය පිළිබඳව ද විශාල අවධානයක් යොමු කළා. වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස එහි දියුණුවට එය අත්‍යවශ්‍ය වුණා. මේ අනුව 1844 දී හොං කොං පොලිස් සේවය ස්ථාපනය කරන ලද​ අතර ඊට යුරෝපීය නිලධාරීන්ට අමතරව ඉන්දියානුවන් බඳවා ගැනුණා.

හොං කොං (ජෝන් තොම්සන් විසින් 1868-1872 සමය අතරතුර ගත් ඡායාරූපයක්)

කල්යත්ම වෙනත් ජාතීන්ට අයත් වෙළෙඳුන් ද හොං කොං වෙත පැමිණියා. මේ අතර පාර්සිවරුන් සුවිශේෂී වුණා. හොං කොං විශ්ව විද්‍යාලය පිහිටුවීම සඳහා ධනයෙන් ආධාර කළ සර් හෝර්මුස්ජී මෝදි එවැන්නෙක්. ස්ටාර් ෆෙරී බෝට්ටු සේවයේ ආරම්භකයා වූ දොරබ්ජී මතියවාලා තවත් ප්‍රකට පාර්සි ව්‍යාපාරිකයෙකු වුණා.

යටත් විජිතයෙහි අගනගරය ලෙස වර්ධනය වූයේ වික්ටෝරියා නගරය යි. එවක බ්‍රිතාන්‍ය රැජිණගේ නමින් නම් කෙරුණ මෙම නගරය සහ ඒ ආශ්‍රිත වරාය ක්‍රියාකාරී වෙළෙඳ මධ්‍යස්ථානයක් වුණා. එමෙන්ම යටත් විජිත ගෘහනිර්මාණ ශිල්පය හේතුවෙන් නගරය ඉතා අලංකාර ලෙස දිස් වුණා.

හොං කොං විශ්ව විද්‍යාලය 1911 දී පමණ (South China Morning Post)

හොං කොං යනු සම්පූර්ණයෙන්ම ධනවතුන්ගේ ජනාවාසයක් වූයේ නැහැ. විශේෂයෙන්ම රැකියා සොයා පැමිණි චීන ජාතිකයන් මුඩුක්කු වැනි වූ ප්‍රදේශයන්හි පදිංචි වුණා. යුරෝපීයයන් ඇතුළු වඩා ධනවත් වූවන් පදිංචිව සිටියේ හොං කොං දූපතේ කඳු ගැටයෙහි වූ මන්දිරවල යි. මේ අතර කඳු මුදුන නිවාඩු ගත කරන්නන් සඳහා මනා ස්ථානයක් වුණා. එය යුරෝපීයයන්ට පමණක් සීමා කරනු ලැබුණා.

මේ අතර චීන ජාතිකයන් අතරින් ද ඉහළ පැලැන්තියක් මතු වුණා. ඒ වෙළෙඳ බලය සමග යි. ධනවත් චීන ජාතිකයන් හොං කොං හි චීන ජනසමාජයේ ප්‍රධානීන් බවට පත් වුණා. චීන ධනවත් පවුල්වල සහ යුරේසියානු පවුල්වල දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා ක්වීන්ස් විද්‍යාලය පිහිටුවනු ලැබුණා. එමෙන්ම ඉංග්‍රීසි දැනුම හේතුවෙන් විදේශීය සමාගම්වල දේශීය නියෝජිතයන් ලෙස ද මෙම පිරිස අතුරින් පුද්ගලයින් තෝරා ගනු ලැබුණා. ඔවුන් කොම්ප්‍රදෝර්වරුන් ලෙස හැඳින්වුණා. කොම්ප්‍රදෝර්වරයකු වීම විශාල ධනයක් උපයා ගැනීමට ක්‍රමයක් වුණා.

හොං කොං හි භූමි ප්‍රදේශය විශාල වූ අයුරු. තද නිල් පැහැයෙන් 1842 දී ලබාගත් ප්‍රදේශය ද​, දම් පාටින් 1860 දී ලබාගත් ප්‍රදේශය ද වේ. ඉතිරිය 1898 දී බද්දට ගත් ප්‍රදේශය යි. (Wikimedia Commons)

1898 දී බ්‍රිතාන්‍යය විසින් නව භූමි ප්‍රදේශය 99 වසරක බද්දකට ලබාගත්තේ හොං කොං හි ව්‍යාප්තිය එහි වූ කුඩා බිම් ප්‍රදේශයට දරාගත නොහැකි වූ විට යි. එහෙත් මෙම නව ප්‍රදේශයන්හි පාරම්පරික චීන පවුල් වාසය කළා. ඔවුන් මෙම නව බදු ගිවිසුමට විරුද්ධ වුණත් ප්‍රබල බ්‍රිතාන්‍ය හමුදා බලය හමුවේ ඔවුනට කළ හැක්කක් වූයේ නැහැ.

ජපන් ආක්‍රමණය​

හොං කොං හි ආර්ථික සමෘද්ධියට ලෝක 1929 දී ඇරඹුණ ලෝක ආර්ථික අර්බුදය ද මරු පහරක් වුණා. ඇතැම් ධනවතුන් ඉතා කෙටි කලෙකින් ම සම්පූර්ණයෙන් බංකොලොත් වුණා. කෙසේ නමුත් වසර කිහිපයක දී එම තත්ත්වය ආපසු හැරෙන්නට වූ අතර, ගුවන් ගමන් දියුණුවත් සමග හොං කොං වෙත සංචාරකයන් ද පැමිණෙන්නට වුණා.

නමුත් 1930 දශකයේ අවසන වන විට යුධ බිය හොං කොං වෙත දැනෙන්නට පටන් ගත්තා. 1937 දී ජපානය සහ චීනය අතර යුද්ධය ඇරඹීමත් සමග ෂැංහයි ආදී ප්‍රදේශයන්ට ජපන් ප්‍රහාර එල්ල වුණා. මෙහි ප්‍රතිඵලයක් ලෙස හොං කොං වෙත සරණාගතයින් ළඟා වුණා.

1940 ජූලි මාසයේ දී යුරෝපීය කාන්තාවන් සහ ළමුන් පිලිපීනයට සහ ඔස්ට්‍රේලියාවට පිටත් කරනු ලැබුණා. ඒ වනවිටත් යුරෝපයේ යුද්ධය ඇරඹී තිබුණ අතර ජපානය කුමන පියවරක් ගනී ද යන සැකය පැවතුණා. එහෙයින් බ්‍රිතාන්‍ය, කැනේඩියානු, ඉන්දියානු හමුදා ද, දේශීය ස්වෙච්ඡා භටයන් ද ආක්‍රමණයකට සූදානම් වුණා.

හොං කොං හි ජපන් සේනාංක (Hong Kong History Museum)

1941 දෙසැම්බර් 8 වන දා ජපන් ආක්‍රමණය සිදු වූ අවස්ථාවේ එයට මුහුණදීමට තරම් හොං කොං හි වූ හමුදා ශක්තිමත් වූයේ නැහැ. දින 18ක දී ජපනුන් හොං කොං අල්ලාගත්තා. එහි වූ බ්‍රිතාන්‍ය හමුදා යටත් වුණේ 1941 නත්තල් දිනයේ දී යි.

1945 දී ජපානය යටත් වූ අතර හොං කොං නැවත බ්‍රිතාන්‍ය පාලනයට පත් වුණා. ඉන්පසුව එළඹියේ අවිනිශ්චිත සමයක්.

කලබල සමය

මෙම කාලය තුළ චීනයේ ජාතිකවාදී සහ කොමියුනිස්ට්වාදී කඳවුරු අතර සටන් සිදු වුණා. 1949 දී කොමියුනිස්ට්වාදීන් චීනයේ බලය අල්ලාගත්තා. බියට පත් චීන ජාතිකයන් විශාල පිරිසක් හොං කොං කරා පැමිණියා. මෙයින් ජනගහනය විශාල ලෙස වර්ධනය වුණ අතර ඔවුනට නිවාස සපයා ගැනීම විශාල ගැටලුවක් වුණා. මෙහි ප්‍රතිඵලය වූයේ අනවසර පදිංචිකරුවන් ලෙස ඔවුන් කුඩා පැල්පත්වල පදිංචි වීම යි. මේවායේ කිසිදු පොදු පහසුකමක් වූයේ නැතැ යි කිව හැකියි.

1953 නත්තල් දා ඇති වූ ගින්නකින් මෙම ජනතාවගෙන් 50,000කට පමණ සිය නිවෙස් අහිමිව ගියා. එයින් පසුව රජය මැදිහත් වී නිවාස යෝජනා ක්‍රම ඉදිකරනු ලැබුණා.

චීන ජාතික දේශපාලනය හොං කොං වෙතත් විශාල බලපෑමක් ඇති කළා. 1950 දශකය තුළ ජාතිකවාදී සහ කොමියුනිස්ට් කඳවුරු දෙකට සහාය දෙන පිරිස් අතර නිරන්තරයෙන් උණුසුම් තත්ත්වයන් ඇති වුණා. 1956 ඔක්තෝබරයේ දී 1911 චීන විප්ලවය සැමරීම සඳහා එල්ලන ලද ජාතිකවාදී ධජ ඉවත් කරන ලෙස පොලීසිය විසින් කළ නියෝගයක් හේතුවෙන් විශාල කෝලාහලයක් ඇති වුණා.

1960 දශකයට එළඹෙන විට ද හොං කොං හි තත්ත්වය ඉතා අවිනිශ්චිත වුණා. වරෙක බැංකු කඩා වැටෙතැ යි වූ කටකතාවක් මත විශාල මූල්‍ය අස්ථාවරත්වයක් ඇති වුණා. මේ අතර කොමියුනිස්ට්වාදීන්ගේ බලපෑම මත කෝලාහල ද සිදු වුණා. චීනයේ සංස්කෘතික විප්ලවයට සමගාමීව 1967 දී ඇතිවූ කෝලාහල මාස ගණනක් පුරා පැවතුණා.

ආර්ථික වර්ධනය​

නමුත් මෙම කලබලවලින් පසු සමය හොං කොං වෙත විශාල ආර්ථික සමෘද්ධියක් ඇති කළා. 1978 දී චීනය සිය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නගන විට එහි වාසිය ද හොං කොං වෙත ලැබුණා. චීනයේ විශේෂ ආර්ථික කලාප මුලින්ම මතු වූයේ ද හොං කොං ආශ්‍රිතව යි. එමෙන්ම හොං කොං ව්‍යාපාරිකයන් චීනයේ ආයෝජනය කරන්නට වුණා.

මීට සමගාමීව හොං කොං හි කර්මාන්ත දියුණු වෙමින් පැවතුණා. ඉලෙක්ට්‍රොනික උපාංග කර්මාන්‍තය මෙහි දී කැපී පෙනුණා. එහි ප්‍රතිඵලයක් ලෙස හොං කොං වරාය ද දියුණුවට පත් වුණා. එය කෙටි කලක් තුළ ලොව විශාලම කන්ටේනර් වරාය පවට පත් වුණා. (වර්තමානයේ දී එම ස්ථානය ෂැංහයි වෙත ලැබී තිබෙනවා).

1997 දී පමණ හොං කොං (CNN)

මෙම නව දියුණුවත් සමග චීනයෙන් බද්දට ගත් නව භූමි ප්‍රදේශයේ ගොඩනැගිලි සහ කන්ටේනර් අංගන ඉදිවුණා. එහි වූ ජනතාවගේ සාම්ප්‍රදායික ජීවන රටා සම්පූර්ණයෙන්ම වෙනස් වුණ අතර කෘෂි ආර්ථිකය නැත්තටම නැති වුණා. එහෙත් මෙසේ නව භූමි ප්‍රදේශය හොං කොං ආර්ථිකයට අත්‍යවශ්‍ය ස්ථානයක් වීමෙන් වෙනත් ප්‍රතිඵලයක් ද ළඟා වුණා.

1982 දී බ්‍රිතාන්‍ය අගමැතිනි මාග්‍රට් තැචර් චීනයේ සංචාරය කළේ හොං කොං හි නව භූමි ප්‍රදේශවල බදු කාලය අවසන් වූ පසු කුමක් සිදුවන්නේ ද යන්න සාකච්ඡා කිරීමට යි. චීනය එම බද්ද අලුත් කිරීමට කැමැත්තක් දැක්වූයේ නැහැ. බ්‍රිතාන්‍යයන්ට අවශ්‍ය නම් හොං කොං දූපත සහ කොව්ලූන් ප්‍රදේශ දිගටම පාලනය කළ හැකිව තිබුණා. නමුත් මේ වනවිට නව භූමි ප්‍රදේශය හොං කොං හි ආර්ථිකයට අත්‍යවශ්‍ය ප්‍රදේශයක් වුණා. මේ අනුව එම ප්‍රදේශය බාරදීමෙන් පසු හොං කොං සහ කොව්ලූන් පමණක් පාලනය කිරීම ඵලක් නොමැති වුණා.

1997 ජූනි 30 මධ්‍යම රාත්‍රියෙන් පසු හොං කොං ප්‍රදේශය චීනයට පවරා දෙනු ලැබුණා. (South China Morning Post)

මෙහි ප්‍රතිඵලය වුණේ 1984 දී හොං කොං හි පාලනය චීනයට පවරා දීමට එකඟත්වයක් ඇති වීම යි. ඒ අනුව 1997 ජූලි 1 වන දා සිට හොං කොං ප්‍රදේශය චීනයට අයත් වූ අතර ගිවිසුම් ප්‍රකාරව එහි ආර්ථික ක්‍රමය වසර 50ක් ගත වන තුරු ආරක්ෂා කරන බවට චීනය ප්‍රතිඥා දුන්නා. මෙම ප්‍රතිපත්තිය “එක රටක්, ක්‍රම දෙකක්” වශයෙන් හැඳින්වුණා.

කවරයේ සේයාරුව: බ්‍රිතාන්‍ය පාලනය අවසන් වූ බව සනිටුහන් කරමින් චීන මහජන විමුක්ති හමුදා සාමාජිකයන් මහජන චීනයේ ධජය​ ඔසවන්නට සැරසෙන අවස්ථාව (Reuters)

මූලාශ්‍රයයන්:

  • 1. The Hong Kong Story (History of Hong Kong 1841 to 1997) – Documentary by The Film Business Ltd.
  • Restless Empire by Odd Arne Westad

Related Articles