Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බලංගොඩ මානවයා ජීවත් වූ ලෙන්

මානව විද්‍යාඥ ආචාර්ය පී. ඊ. පී. දැරණියගලට අප රටේ ආදිතම මානවයාගේ අස්ථි කොටස් සහ ගල්ආයුධ මුලින්ම හමුවුණේ රත්නපුර හා බලංගොඩ අවට මැණික් පතල්වලින්. මේ නිසා ඔහු අප රටේ මධ්‍ය ශිලා යුගයට (මොසොලිතික) අයත් මානවයා නම් කළේ බලංගොඩ මානවයා ලෙස යි. පසු ව රටේ විවිධ ස්ථානවලින් මධ්‍ය ශිලා යුග මානව ජනාවාස හමුවුණා. පසුගිය දශක හත තුළ අප රටේ පුරාවිද්‍යාඥයින් විසින් ගල්ගුහා සහ විවෘත මානව ජනාවාසවල සිදුකරන ලද කැණීම්වලින් ලද සත්ත්ව අවශේෂ බොහෝ වැදගත් වනුයේ ඒවා අදින් වසර 38,000ක පමණ සිට අවුරුදු 6,000ක් දක්වා කාලයකට අයත් වන බැවින්. එලෙස පැරණි ම සාධක සහ අස්ථි ශේෂ හමුවන්නේ බුලත්සිංහල පාහියන් ගුහාවෙන්. ඊට අමතර ව කිතුළ්ගල බෙලිලෙන, කුරුවිට බටදොඹ ලෙන, අත්තනගල්ල අලවල පොත්ගුල් ලෙන වැනි ලෙන්වලින් වගේ ම විවෘත භුමි කිහිපයකිනුත් බලංගොඩ මානව ජනාවාස හමුවුණා. අප මේ ලෙන් ගැන ලියූ ලිපියක් මෙම ලින්කුව හරහා ඔබට කියවිය හැකියි.  

මධ්‍ය ශිලා යුග මානවයා ජීවත් වූ අප්‍රකට ලෙන් කිහිපයක් ගැන ඔත්තුවක් ලබාදීමට යි මේ ලිපිය ලියන්නේ.

සීගිරියේ පොතාන ගුහාව

පොතාන ගුහාවේ දසුනක්- archaeology.lk

සීගිරිය පර්වතයට නුදුරින් ලෙන් අතර පිහිටි මේ ගුහාව වියළි කලාපීය පරිසරයක පිහිටා තිබෙන්නක්. අදින් වසර 6,000කට පමණ කාලනීර්ණය වූ මධ්‍ය ශිලා යුගයට අයත් මානව වාසස්ථානයක්. 1991 දී කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මඟින් මෙම ගුහාව පර්යේෂණ කැණීමකට භාජනය කළා. බලංගොඩ මුත්තාගේ උතුරු ප්‍රවේශය ලෙස සැලකිය හැකි සීගිරියේ පොතාන ගුහාවේ කළ කැණීම්වලින් පුදුම එළවනසුලු තොරතුරු හමුවුණා. ඒ අතරින් ලැබුණු විශාල මෝර දත සුවිශේෂියි. මුහුදු ගිරවා ලෙස හඳුන්වන ගල්මාළුවාගේ අවශේෂ ද මින් ලැබුණා. දැනට වඳ වී ගිය හිපපොටේමස්‌ සතෙකුගේ දතක්‌ ද ලැබුණා. හිපෝ දත් බලංගොඩ මැණික් පතල්වලින් ද කලකට පෙර ලැබී තිබුණා.

සීගිරිය ඇත්තේ මුහුදට බොහෝ ඈතින්. මුහුදේ ජීවත්වන සතුන්ගේ ශේෂ ලැබීමෙන් පෙනෙන්නේ මේ මානවයා මුහුදුබඩ සමග සම්බන්ධ වී සිටි බව යි. පොතාන ගුහාවෙන් ලද ක්‍ෂීරපායී සත්ත්ව විශේෂ අතර බහුතරය ගෝනා, තිත්මුවා, වල් ඌරා, ඕලූ මුවා, මීමින්නා, හරකා, කුළු මීමා, ඉත්තෑවා, හම්බාවා, හා හැලි වඳුරා යන සතුන්  ද සිටිනවා. ඉන් පෙනෙන්නේ මෙම මානවයන්ගේ භෝජනයේ විවිධත්වය යි.

කෑගල්ල අලු ලෙන

ලෙනෙහි පිහිටි විහාර මන්දිරය- footprintsonmotherland.blogspot.com

සබරගමු පළාතේ පිහිටි කෑගල්ල නගරයේ සිට මහනුවර දෙසට කි. මී. 4.8ක දුරක් ගිය විට දකුණු පසින් මොලගොඩ ඉන්ධන පිරවුම්හල පිහිටා තිබෙනවා. එයට යාබද ව දකුණු දෙසට ඇදීයන මාර්ගයේ පිහිටි පුරාවිද්‍යා දැන්වීම් පුවරුව අලු ලෙන විහාරයට මඟ පෙන්වනවා. විහාරයට එහි සිට කි. මී. 2ක් දුර යි. රබර් වතු බහුල කඳු බෑවුම් අතර සුන්දර බිමක අලු ලෙන පිහිටා තිබෙනවා.

ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළේ මාතලේ අලු විහාරයේ නොව මෙම ස්ථානයේ බවට සමහරු මත පළ කරනවා. කටාරම් කෙටූ ලෙන් සහිත මෙම විහාරය ක්‍රි. පූ. යුගයේ සිට ම පූජනීය ස්ථානයක් වශයෙන් පැවති බවට එහි ඇති බ්‍රාහ්මී සෙල්ලිපිය සාක්ෂි දරනවා. 1954 දී පුරා විද්‍යාඥ පී. ඊ. පී. දැරණියගල  විසින් මෙහි කරන ලද කැණීම්වලින් ශිලා ආයුධ හා මානව අස්‌ථි රැසක්‌ සොයා ගැනීමට හැකි වුණා. ඉන් හෙළි වුණේ ඓතිහාසික යුගයේ ජනාවාස වීමට පෙර එය මධ්‍ය ශිලා යුග මානව ජනාවාසයක් වූ බව යි. මෙහි දී හොඳින් සංරක්‍ෂණය නොවුණු මානව සැකිලි කොටස්‌, ගොළුබෙලි කටු, මොලුස්‌කාවන්ගේ අස්‌ථි, උරගයන්ගේ අස්‌ථි කොටස්‌ මෙන්ම මී හරකා, වඳුරා, ලේනා, යන සත්ත්ව විශේෂ රැසකගේ අස්‌ථි ද ලැබී තිබෙනවා. පසුකාලීන ව විහාරය නවීකරණය කිරීමේ දී ලෙන තුළ සිමෙන්ති දමා ඇති නිසා පැරණි ස්වරූපය විනාශ වී ගිහින්. අද මේ ලෙන පුරාණ සාධක සහිත ලෙනක් බව පැවසීමට නොහැකි ලෙස වෙනස් කර තිබෙනවා.

කූරගල

කූරගලින් ලැබුණු ඇටසැකිල්ල news.lk

බලංගොඩට නුදුරු කල්තොට කූරගල ප්‍රසිද්ධ පුරාණ සංඝාරාමයක්. කූරගල ඓතිහාසික බිමේ ඇති ගල්ලෙන් ප්‍රාග් ඓතිහාසික අවධියේ දී මානවයාගේ වාසස්ථාන ලෙස භාවිතයට ගෙන තිබෙනවා. ලෙන් රාශියක් සහිත එය පසුකාලීන ව මුස්ලිම් පූජනීය ස්ථානයක් බවටත් පත් වී තිබෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2013 අප්‍රේල් මස සිට දෙසැම්බර් දක්වා කූරගල පුරාවිද්‍යා භූමියේ මුස්ලිම් සිද්ධස්ථානයක් පිහිටි ලෙනක කරන ලද කැණීම් කටයුතුවලින් අපූරු සොයාගැනීම් කිහිපයක් ම කිරීමට අවස්ථාව ලැබුණා. මෙහි දී ලැබුණු අවශේෂ කාල නිර්ණය සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ බීටා ඇනලයිසීස් ආයතනයට යැවූ අතර ඔවුන් විසින් කූරගල ප්‍රාග් ඓතිහාසික පස් තැන්පතු සඳහා කාල නිර්ණයන් ලබා දී තිබෙනවා. එය අදින් වසර 16,000 සිට 6,000 දක්වා අවධි පහකට අයත් බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

කැණීම්වලින් ලැබුණු ශිලා ආයුධ – ජයන්ත විජේරත්න හේරත්, වලස්පතිගේ අඩවිය blogspot.com

ශ්‍රී ලංකාව තුළ අතරමැදි කලාපයක මෙතෙක් සිදුකර ඇති මෙතරම් පැරණි සාධක අනාවරණය වන ප්‍රථම පුරාවිද්‍යා ස්ථානය මෙය වන අතර, මීට ඉහත දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් බෙල්ලන්බැඳි පැළැස්සේ සිදුකරන ලද කැණීම්වල කාල නිර්ණය වසර 13,000කට සීමා වුණා.

කූරගල කැණීම්වලින් අනාවරණය වන තවත් වැදගත් කරුණක් වනුයේ මෙහි ජීවත් වූ මානවයාත් මුහුද සමග සමීප සබඳතා පැවැත්වූ බව යි. මුහුදේ ජීවත්වන බෙල්ලන් විශේෂයක් මෙම ස්ථානයෙන් හමුවන ශේෂ අතර, තිබීම මෙම නිගමනයන්ට එළඹීමට හේතු වුණා.

මෙම ස්ථානයේ කැණීම්වල දී සම්පූර්ණ මානවයෙකුගේ ඇටසැකිල්ලක් හමුවුණා. මෙම ඇටසැකිල්ල වැඩිදුර පර්යේෂණ කිරීම සහ ඩී.එන්.ඒ. පරීක්ෂණ සඳහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ විද්‍යාගාරය වෙත යොමු කළා.

රාවණ ලෙන

ඇල්ල කපොල්ල – Natasha Amar -I1wp.com

මේ ලෙන පිහිටලා තිබෙන්නේ ඇල්ල වැල්ලවාය පාරේ රාවණ දියඇල්ලට නුදුරින්. රාවණඇල්ල ලෙන් විහාරය අසලින් ලෙනට යන අඩි පාර හමුවෙනවා. කලකට පෙර වනයට වැසී පැවති එම ලෙන ඌව පළාත් සභාව විසින් සංචාරක ආකර්ෂණයක් ලෙස නම්කර පිවිසීම පහසු කිරීමට පඩිපෙළක් සකසා තිබෙනවා. ලෙන අඩි 60ක් පළල වන අතර, අඩි 50ක් පමණ උස යි. ලෙන විශාල විවරයක් ලෙස ඇරඹී ඇතුළට යන විට කුඩා වෙනවා. හුඟදෙනෙක් රාවණ ලෙනට යන්නේ එහි ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාසය දැකබලා ගැනීමට නොවෙයි. රාවණ රජු සම්බන්ධ ජනප්‍රවාද නිස යි. මෙහි තිබෙන උමඟක රාවණ රජුගේ වස්තුව නිදන් කර ඇති බවට සමහරු විශ්වාස කරනවා.

ගුහාව තුළ – ellacabs.com

1949 දී ආචාර්ය පී. ඊ. පී. දැරණියගල මෙහි මුලින්ම කැණීම් කළා. මානව අස්ථි ශේෂ ඉන් ලැබුණත් ඒ කාලෙ කාලනිර්ණ ක්‍රමයක් තිබුණෙ නැහැ. ගුරුගල් ආලේප කරන ලද හිස්කබලක ශේෂ ද මෙහි දී ලැබුණා. 1985 දී ආචාර්ය ශිරාන් දැරණියගල යළිත් මෙහි කැණීම් කළ අතර, අවිධිමත් කැණීම් නිසා බොහෝ සාධක විනාශ වී ඇති බව  ඔහු සඳහන් කර තිබෙනවා. කහඳ සහ තිරුවානාවලින් කරන ලද ගල්ආයුධත් ඉන් ලැබී තිබුණා. ඒ අතර ම කාලරක්ත වළං කටුත් හමුවුණා. මෙය ශිලා යුගයේ සිට පූර්ව ඓතිහාසික යුගයට මාරු වූ ස්ථානයක් ලෙසට ඔහු මත පළ කළා.

වාරණ

වාරණ ලෙන්- lanka excursions. Holidays.com

කොළඹ නුවර පාරේ යක්කල හන්දියෙන් හැරී නෙල්ලිගහමුල හන්දියට ගොස් වාරණ රජමහා විහාරයට පිවිසිය හැකියි. මෙම ලෙන් විහාර සංකීර්ණයේ කඳුගැටය මත පිහිටි කටාරම් කෙටූ ලෙනක පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය විසින් 2010 කළ කැණීමකින් වසර 6,000ක අතීතයට අයත් සාධක මතු වුණා. ක්ෂුද්‍ර ශිලා මෙවලම් ඒ අතරින් ප්‍රධාන යි.

අස්මඩලාගල ලෙන

අස්මඩලාගල,  එස්. හේවාපතිරණ

කොළඹට ඉතා නුදුරින් පිහිටි ප්‍රාග් ඓතිහාසික වාසස්ථානයක් වන මෙය තිබෙන්නේ හංවැල්ල අසල යි. කොස්ගම කපුගොඩ තොටුපොළ පාරේ පිහිටි ලෙනවර රජමහා විහාරයට නුදුරින් පෞද්ගලික ඉඩමක පිහිටි ලෙනක්. මේ ලෙන ඓතිහාසික යුගයේ දී භික්ෂූන් වහන්සේට පූජා කළ ලෙනක් බව එහි ඇති කටාරමෙන් පැහැදිලි වෙනවා. උඩරට රාජධානි යුගයේ දී ද එය භික්ෂු වාසයක් ලෙස පැවති බවට ලෙනෙහි ඇති මැටි බිත්ති කොටස් සාක්ෂි සපයනවා. මෙහි පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ රාජ් බණ්ඩාර කළ කැණීමකින් මධ්‍ය ශිලා යුගයට අයත් ගල්ආයුධ සහ කැකුණ ඇට, වළං කටු ආදිය හමු වී තිබෙනවා.

 

මූලාශ්‍රයයන්:

සීගිරිය, පොතාන ප‍්‍රාග් ඓතිහාසික ගුහාවෙන් අනාවරණය වී ඇති ක්‍ෂීරපායී සතුන් පිළිබඳ සාධක මංගලිකා රාජපක්ෂ -  Archaeology.lk

වන් මෙ අරන්ණේ - කුසුම්සිරි විජයවර්ධන

ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය- එස්. යූ. දැරණියගල

Related Articles