ජාත්‍යන්තර ගැටුම්, ආර්ථික පසුබෑම්, කොවිඩ්-19 වසංගතයේ බලපෑම් සහ හදිසි දේශගුණික තත්ත්වවලින් පිරුණු වසරක් ලෙස 2022 හැඳින්විය හැකි යි. සැබවින් ම එය අභියෝගාත්මක වසරක්. 2022 දැන් අතීතයට එක්වූ කාල පරාසයක් වුවත්, එම කාල පරාසයට අයත් ගැටලු බොහෝමයක් 2023 වර්ෂයටත් උරුම වෙනවා. යුක්රේන-රුසියානු අර්බුදය ඉන් ප්‍රබල යි.
කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් වූ අවධානය ක්රමික ව අවම වෙමින් පැවතුණත්, චීනය සිය කොවිඩ් මර්දන ප්‍රතිපත්ති ලිහිල් කිරීමත් සමඟ යළි වසංගත රැල්ලක් චීනයේ නිර්මාණය වුණා. දැන් ලෝකය බලා සිටින්නේ නවත ම කොවිඩ් රැල්ල චීන දේශසීමා පසු කරමින් පැමිණේ ද යන්න යි. ඒ අනුව නව වසරේ දී පෙරටත් වඩා ධෛර්යයෙන් යුක්ත ව ජීවත් වීමට ගෝලීය ප්‍රජාවට සිදු වෙනවා. එසේ ධෛර්ය සම්පන්න ව ජීවත් වීමට නම්, 2023 වර්ෂයේ දී ලෝකය මුහුණ දීමට නියමිත අභියෝග ගැනත් දැන සිටීම වැදගත් වේවි. මේ ලිපිය වෙන් වන්නේ ඒ වෙනුවෙන්.
1. යුක්රේන-රුසියානු යුද්ධය
යුක්රේන-රුසියානු යුද්ධය තරමක් පැරණි මාතෘකාවක් කියා ඔබට සිතෙනවා ඇති. එය සත්‍යයක් වුවත්, තවදුරටත් මෙය ද්විපාර්ශ්වික යුද්ධයක් නොවෙ යි. යුක්රේන-රුසියානු අර්බුදය දැන් ලෝක බල අරගලයක් දක්වා වර්ධනය වී අවසන්. එබැවින්, 2023 වර්ෂයේ ගෝලීය ආර්ථිකය සහ සමාජීය කරුණු ප්‍රබල මට්ටමකින් හැඩ ගස්වන සාධකය යුක්රේන-රුසියානු යුද්ධය විය හැකි යි.
2022 පෙබරවාරි 24 වැනිදා රුසියාවේ ව්ලැදිමීර් පුටීන්, 21 වැනි සියවසේ වැදගත් ම භූ දේශපාලනික සංසිද්ධියක් සනිටුහන් කරමින් යුක්රේනය ආක්‍රමණය කිරීමට තීරණය කළා. ඉන් සති කිහිපයකට පෙර මොස්කව් පාලනය සහ බීජිං පාලනය ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කරමින් ඒකාබද්ධ ප්‍රකාශයක් සිදු කිරීමට ක්‍රියා කළ අතර, බැලූ බැල්මට ම එය “කොන්දේසි විරහිත” ද්විපාර්ශවික සබඳතාවක් මෙන් පෙනෙන්නට තිබුණා. යුක්රේන-රුසියානු යුද්ධය ඇරඹීමට සති කිහිපයකට පෙර මෙම ඒකාබද්ධ ප්‍රකාශය සිදු කිරීම විශේෂත්වයක්. ඒ අනුව රුසියාවේ කිසිදු ක්‍රියාවක් දෙස විවේචනාත්මක දෑසකින් නොබැලීමට චීනය ප්‍රවේශම් වෙනවා. මේ සියල්ල එකිනෙකට බැඳුණු කරුණුයැ යි පැවසුවත් වරදක් නැහැ.
අවසානයක් නොමැති සංහාරය
යුද්ධයේ ප්‍රතිපලය ලෙස ආහාර සහ බලශක්ති වෙළෙඳපොළ ගෝලීය මට්ටමෙන් අස්ථාවර වීම ඇරඹුණා. චීනය ඒ අතර අමුතු ම ආකාරයේ උපාය මාර්ගයක් ක්‍රියාත්මක කරමින් සිය ගෝලීය සැපයුම් දාමය ප්‍රතිසංවිධානය කිරීමේ උත්සාහයක නිරත වුණා. කෙසේ නමුත්, රුසියානු-යුක්රේන යුද්ධයෙන් නිසි ප්‍රයෝජන ගැනීමේ අවස්ථා සීමා කරන සාධකයක් චීනය තුළ තිබුණා. කොවිඩ්, එම සාධකය යි. ගෝලීය වසංගතයට එරෙහි ව බොහෝමයක් රටවල් සාර්ථක ප්‍රතිචාර දැක්වුවත්, චීනයේ තත්ත්වය අසාමාන්‍ය බව දැන් පෙනෙන්න තිබෙනවා. ඒ පිළිබඳ අප සිදුකළ විග්‍රහයක් ඔබට මෙතැනින් කියවිය හැකි යි.
යුක්රේනයේ ගැටුම නිමා වන ලකුණක්වත් තවම නැහැ. දෙපාර්ශවයම පසු නොබසින වාතාවරණය හමුවේ දිගින් දිගට ම තිරිඟු අපනයනය පහත වැටීම, බොරතෙල් මිල ඉහළ යාම, 2023 වර්ෂයේත් සිදුවනු ඇති. මේ සියල්ලට ම වඩා වැදගත් කාරණය වන්නේ මානව සංහතියට සිදුවන විනාශය යි. යුක්රේන භූමියේ සිය ගණන් ජනයා දිනෙන් දින මියැදෙනවා. එය රටක ස්වෛරීභාවයට සහ ස්වයං තීරණ ගැනීමේ අයිතියට එල්ල කළ බරපතල මරු පහරක් ද වෙනවා. ලෝක බලතුලනයේ සැලකිය යුතු වෙනසක් සිදුවන තුරු මෙම යුද්ධය පැවතීමට ඉඩ තිබෙනවා. තවදුරටත් යුක්රේන-රුසියානු යුද්ධය එක් භූ ගෝලීය කලාපයකට පමණක් සීමා වූ ගැටලුවක් නොවන්නේ ඒ නිසා යි.
2. චීනය නැවත විවෘත වීම
2022 නොවැම්බර් අවසාන භාගයේ සිට චීනයේ හට ගත් විරෝධතා රැල්ල හේතුවෙන් සිය ශූන්‍ය කොවිඩ් ප්‍රතිපත්තියේ කරුණු ලිහිල් කිරීමට චීනය උත්සුක වුණා. චීනයේ නැවත විවෘත වීම ශීඝ්‍රයෙන් ඉන්පසු සිදු වූ අතර, ඊට අනුලෝම ව කොවිඩ් වසංගතයත් චීනය තුළ පැතිර ගියා. චීනය නැවත විවෘත වීමේ ආර්ථිකමය බලපෑම මුලින් සලකා බලමු.
දීර්ඝ කොවිඩ් ආරක්ෂණ ක්රියාදාමයකින් පසුව නැවත විවෘත වීමේ දී ලෝකයේ බොහෝ රටවල් මුහුණ දුන් අත්දැකීමට චීනයත් මුහුණ දිය හැකි යි. නැවත විවෘත වීමේ දී පාරිභෝගික වියදම් ඉහළ යන අතර, වර්ධනය වන උද්ධමනය හමුවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීමේ අවශ්‍යතාව චීනයට වෙනදාටත් වඩා සංවේදනය වේවි. කොවිඩ් සීමා තුළ සිටි කාලවල දී ඉහළ ගිය මුදල් තැන්පතු සහ උකස් අනුපාත පහත වැටීම් හමුවේ බිලියන 1.4 ක අතිවිශාල පාරිභෝගිකයන් පිරිසකගේ වියදම්වල හදිසි වැඩිවීමක් අපේක්ෂා කිරීමට සිදු වෙනවා.
ලොව දෙවන විශාලත ම ආර්ථිකය මෙලෙස වියදම් පියවීමට උත්සහ කළහොත්, ගෝලීය උද්ධමනය තවදුරටත් ඉහළ යෑමේ හැකියාවක් පවතිනවා. නැවත විවෘත වීම චීන බලධාරීන් ක්‍රමානුකූලව සිදු කරන්නේ නම්, මෙම තත්ත්වය කැපී පෙනෙන මට්ටමකින් ඉස්මතු නොවේවි.
කොවිඩ් බිය නැවතත්..?
ඊළඟට මතුවන ගැටලුව වන්නේ සෞඛ්‍ය අවදානම යි. චීනය ලෝකයට විවෘත වීමට උත්සහ ගත්ත ද ලෝකය චීනයට විවෘත වීමට යම් මැළිකමක් දක්වනවා. දැනටමත් ජාත්‍යන්තර පැමිණීම් සඳහා වූ නිරෝධායන අවශ්‍යතා ඉවත් කිරීමට චීනය පියවර ගනිමින් සිටින අතර, මීට පෙර රටින් පිටව යෑම සඳහා චීන පුරවැසියන්ට පනවා තිබූ සීමා කිරීම් ද ලිහිල් කරමින් සිටිනවා. වසර කිහිපයක හුදෙකලාවකින් පසු සංචාරයට ආශාවක් දක්වන දහස් සංඛ්‍යාත චීන ජාතිකයන් දැඩි උනන්දුවකින් යුතුව ගුවන් ගමන් වෙන්කර ගැනීමට පෙලඹෙන කාල වකවානුවක් තමයි දැන් ගත වෙන්නේ.
ආසියාවේ සංචාරක කලාප සඳහා මෙය ඉතා යහපත් ප්‍රවෘත්තියක් වුවත්, නැවත ගෝලීය කොවිඩ් රැල්ලක අවදානමක් ඉස්මතු වීමේ හැකියාව ගැන විද්‍යාඥයන් බිය පළ කරනවා. චීනයේ දුර්වල මහජන සෞඛ්‍ය යටිතල ව්‍යුහය සහ දේශීය ව නිපදවන එන්නත්වල පසුගාමී කාර්යක්ෂමතාව හේතුවෙන් චීන සංචාරකයන් ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සහතිකයක් ලබා ගැනීම දුෂ්කර විය හැකි යි.
එක්සත් ජනපදය, ජපානය වැනි රටවල් චීන සංචාරකයන් සඳහා දැනටමත් සීමා පැනවීමට කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව 2023 දී කොවිඩ් පැතිරවීමේ කේන්ද්‍රස්ථානය බවට චීනය යළිත් පත්විය හැකි යි. චීනයට වඩා ක්‍රියාශීලි අන්දමින් ලෝකයේ බොහෝ රටවල් එන්නත්කරණ ක්‍රියාවලියට කැප වූ අතර, වෛරසය සමඟ ජීවත් වී ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමටත් උත්සහ කළා. නමුත්, අලුත් ප්‍රභේදයක බිය ඉන් පහ වෙන්නේ නැහැ.
3. ගෝලීය ආර්ථික අවපාතය
ගෝලීය නිෂ්පාදන මධ්‍යස්ථානයක් වූ චීනය කොවිඩ් වසංගතයේ රුදුරු අත්දැකීම් යළිත් විඳිමින් සිටින අතර, තත්ත්වය තවදුරටත් දරා ගැනීමට නොහැකි වුවහොත්, ශූන්‍ය කොවිඩ් ප්‍රතිපත්තියේ කරුණු අකුරට ම පිළිපැදීමේ වුවමනාව අනිවාර්යයෙන් යළි මතු වෙනවා. එමඟින් ලෝකයේ ආර්ථික එන්ජිම මන්දගාමී වනු ඇති. ඊට යම් තරමකින් හෝ රුකුලක් ලබා දීමට රුසියාව ක්‍රියා කරන බවක් පෙනෙන්නේ නැහැ. ඔවුන් ගේ යුද්ධය නිසා ගෝලීය බලශක්ති අර්බුදය 2023 වර්ෂය කරාත් ගමන් කරන බැවින්, මේ සියල්ලේ ම එකතුව සමඟ මුහුණ දීමට සිදු වෙනවා. එහි ප්‍රතිපලයක් ලෙස 2023 දී බොහෝ රටවල් අනිවාර්ය ආර්ථික අවපාතකයක් කරා ගමන් කරනු ඇති.
සමාගම් තම සැපයුම් දාම වෙනස් කරමින් අර්බුදය සමඟ සටන් කිරීමට වෙර දැරුව ද ඒ සඳහා යම් කාලයක් ගත වෙනවා. එහි ප්‍රතිපලයක් ලෙස සම්පූර්ණ නොකළ ඇණවුම් සහ භාණ්ඩ හිඟය ඉහළ යන අතර, රැකියා අහිමි වීම දක්වා තත්ත්වය උග්‍ර විය හැකි යි.
ලොව පුරා ඇති මහ බැංකු මීට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන උභතෝකෝටිකයට මැදි වී සිටිනවා. පාරිභෝගිකයන් ගේ ණය ගැනීම් සීමා කිරීම සහ හැකිතාක් වියදම් කිරීමේ පසුබිමක් නිර්මාණය කිරීම සඳහා ඇතැමුන් පොලී අනුපාත ඉහළ දැමීමට සූදානම් වන්නේ ඊට පිළිතුරක් වශයෙන්. නමුත්, “ණය ගැනීම” වඩාත් මිල අධික වන විට ආයෝජන හැකියාවට බලපෑම් එල්ල වෙනවා.
ආහාර සුරක්ෂිතභාවය අනතුරේ
උගස් අනුපාතත් 2022 වර්ෂයේ දී ලොව පුරා ඉහළ ගිය ප්‍රවණතාවක් දකින්න ලැබුණා. උදාහරණයක් ලෙස එක්සත් ජනපදයේ වසරක වෙනස් කළ හැකි උගස් අනුපාතය දැක්වුණේ 5.6% වශයෙන්. එය 2022 ආරම්භයේ දී පැවති 2.7% අනුපාතයට වඩා දෙගුණයක වැඩි වීමක්. දිගු කාලීන ස්ථාවර අනුපාත මූල්‍යකරණයක් නොමැති ගෘහස්ථ ඒකක මෙහි දී විශාල බලපෑමකට නතු වෙනවා. 2023 වර්ෂය පුරා මෙවැනි ප්‍රවණතාවක් ලෝකයේ ඉස්මතු වීමේ හැකියාව බොහෝ දෙනකුට බලපෑම් එල්ල කරනු ඇති.
ගෝලීය අවපාතයේ තවත් බැරෑරුම් කරුණක් වන්නේ ඉහළ යන විරැකියා අනුපාතය යි. පාරිභෝගිකයන්ට ආපසු ගෙවීමේ හැකියාව අවම වීම මඟින් ණය ගෙවීමේ පැහැර හැරීම් ද වර්ධනය විය හැකි යි. මෙම තත්ත්වය 2023 දී එක්සත් රාජධානිය, නෝර්වේ, නවසීලන්තය, ප්‍රංශය, ජර්මනිය සහ ඉතාලිය වැනි රටවල ඉහළ අවදානම් තත්ත්වයකින් ඉස්මතු විය හැකි අතර, ඕස්ට්‍රේලියාව, ස්වීඩනය, කැනඩාව තුළත් යම්තාක් දුරකට එය වර්ධනය වේවි.
මේ රටවල්වල පුරවැසියන් සහ සමාගම් වෙනුවෙන් උපකාරක පැකේජ ක්‍රියාත්මක කිරීමට උත්සුක වනු ඇති. අඩු ආදායම්ලාභී සහ දූෂණය ඉහළ රටවල තත්ත්වය තවදුරටත් බැරෑරූම් වීම පමණක් “දැනෙන වෙනසක්” ලෙස සිදු වේවි. මීට පෙරත් ලෝකයට ආර්ථික කුණාටු පැමිණ තිබෙනවා. නමුත්, ශ්‍රී ලංකාව වැනි රටවලට එය අතිශයින් බැරෑරුම් ලෙස නොදැනුණේ ආහාර සුරක්ෂිතභාවය යම් තරමකින් තිබුණ නිසා යි. මෙවර කුණාටුවේ දී අපට ඒ තුරුම්පුවත් නැහැ!
4. දේශගුණික විපර්යාස
“අපි ඉන්නේ ගඩොල් බිත්තියක් දෙසට ධාවනය වෙමින් තිබෙන විශාල මෝටර් රථයක් ඇතුළේ. ඒත් හැමෝ ම තර්ක කරන්නේ වාහනය තුළ තමා අසුන් ගන්න යන තැන ගැන විතර යි!”
පරිසරවේදියකු වන ඩේවිඩ් සුසුකි වරෙක එලෙස ප්‍රකාශ කොට තිබුණා.
සැබවින් ම අප ඉහත සාකච්ඡා කළ කරුණු සියල්ල ම පාහේ “විශාල මෝටර් රථය” තුළ පමණක් පවතින, අප නිර්මාණය කර ගත් ගැටලුවක් පමණ යි. ඒ සියලු ගැටලුවලින් ක්රමික ව එළියේ සෑදෙන “ගඩොල් බිත්තිය” ගැන අපට වගක්වත් නැහැ! ඉතින් 2023 ත් දැනට පවතින විශාලතම ගෝලීය ගැටලුව වෙනසක් නැතුව ම චිරස්ථායි වෙනවා.
යුක්රේන-රුසියානු යුද්ධය නිසා ඇතැම් රටවල් පුනර්ජනනීය බලශක්තිය වෙත සම්පූර්ණයෙන් පිවිසීමේ උත්සාහයන් තාවකාලිකව අත් හිටුවීමේ අවදානමක් තිබෙනවා. යුද්ධය හමුවේ බොහෝ ජාතීන්ට සිය බලශක්ති සුරක්ෂිතතාව කෙරෙහි අවධානය යොමු කිරීමට සිදු වන බැවින්, ගල් අඟුරු බලාගාර පවා නැවත ආරම්භ කිරීමට පෙලඹුණා. එක්සත් ජනපදය සහ යුරෝපා සංගමයේ රටවල් ඛනිජ තෙල් ආනයනය කිරීම සඳහා සිය සැපයුම් දාමය පුළුල් කිරීමටත් කටයුතු කළා. ඒ අනුව 2023 වර්ෂය කාබන් විමෝචනය තවත් ඉහළ දමන කාල පරාසයක් වනු ඇති.
අසාර්ථක වූ COP27
පසුගිය නොවැම්බරයේ ඊජිප්තුවේ සත්කාරකත්වය ඇති ව පැවැත්වුණු COP 27 දේශගුණ සමුළුවෙනුත් එතරම් ප්‍රගතියක් අත්කර ගන්නට හැකි වුණේ නැහැ. දේශගුණික විපර්යාස හරහා සිදු වන ආපදා කළමනාකරණය වෙනුවෙන් ධනවත් රටවල්, දුප්පත් රටවලට වෙන් කරන මුදල සම්බන්ධයෙන්වත් එතරම් ප්‍රගතියක් ඇතිවුණේ නැහැ.
2023 වර්ෂය පෙර වසරට වඩා උණුසුම් වනු ඇති බව එක්සත් රාජධානියේ කාලගුණ කාර්යාලය අනාවැකි පළ කරනවා. ගෝලීය උෂ්ණත්ව සාමාන්‍යයට වඩා අවම වශයෙන් සෙල්සියස් අංශක එකකින් පමණ ඉහළ තිබෙන දසවැනි වසරත් 2023 වනු ඇති. කාලගුණ චක්‍රයේ කොටසක් වන “ලා නිනා” නමැති සිසිලන ආචරණය වසර තුනකට පසු අවසාන වන බවත්, උණුසුම් ම වසරක් ලෙස 2023 හැඳින්විය හැකි බවත් පැවසෙනවා. පෙරටත් වඩා ඉහළ යා හැකි කාබන් විමෝචනය සමඟ මෙම කරුණු එකට ගැට ගැසෙන විට ස්වභාවික ආපදා ක්රමික ව වර්ධනය වෙනවා හැරෙන්නට වෙනසක් සිදු වන්නේ නැහැ.
පැහැදිලිව ම 2023 වසර අභියෝගාත්මක යි. ඉතින්, ඒ නිසා ගෝලීය ප්‍රජාවේ සාමාජිකයෙක් ලෙස ඔබට – මට, තවදුරටත් ධෛර්ය සම්පන්න ව ජීවිතයට මුහුණ දීමට සිදු වෙනවා.